සෙනාලි ෆොන්සේකා කියන්නේ ෆොන්සේකා කලා පවුලේ තවත් පුංචි පුරුකක්. පුංචි පුරුකක් වුණාට ඇය දැන් කලා ලොවේ රූක්ෂ ගසක ශක්තිමත් අත්තක්. එංගලන්තයේ ඉපදී එහි හැදුණු වැඩුණු සෙනාලි ශ්‍රී ලාංකික සුන්දර අව්‍යාජ ගැමි තරුණියකගේ රූ සපුවකට හිමිකම් කියනවා. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ මතක සිටින චරිතයකට පණ පොවමින් ඇය ඇයගේ රංගන කෞශල්‍යය මුළු රටටම පෙන්නුවා. එතැන් සිට ඇරැඹි ඇයගේ රංගනය චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල විවිධ චරිත තුළින් මැනවින් විදහා දැක්වූවා. මේ දිනවල පුංචි තිරයේ අතිශයින් ජනප්‍රියට පත් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ද ඇය සැමගේම සිත් දිනා ගෙන සිටී. මේ කතා බහ ඇය සමඟයි.

ඔබ මේ දවස්වල මොනවද කරන්නෙ?

මම මේ දවස්වල හැමෝම දන්න ‘නාඩගම්කාරයෝ’ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මෙ දවස්වල කාලය වෙන් කරලා තියෙන්නේ ඒ සඳහායි.

දිගටම ශ්‍රී ලංකාවෙම රැඳි ඉන්න ද බලාපොරොත්තුව?

මම කොහොමත් එදා ඉඳලම ලොකු කැමැත්තක් තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්න. එංගලන්තය එක්ක සම්බන්ධකම් තිබුණේ හැදුණෙ වැඩුණේ ඒ රටේ නිසයි. එහේ මතකයන් තියෙන්නේ තාත්ති එක්ක. දැන් තාත්ති නැති නිසා එහේ එයාර්පෝට් එකේ බහින්නවත් මම කැමති නැහැ. මට තාත්ති මතක් වෙනවා. එතකොට දුකයි. ඒත් මගේ ගෙවල් තියෙන්නේ එංගලන්තයේ නිසා මට කවද හරි එහේ යන්න වෙනවා. ඉගෙනීම් කටයුතු ඉවර කරන්නත් ඕනෑ නිසා මම එහේ යාවි. නමුත් වැඩිපුර බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ ඉන්නයි.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

‘නාඩගම්කාරයෝ’ මිනිස්සු අතරට ඇවිත් තවම මාස දෙකයි දවස් ගණනයි ගත වෙන්නේ. ඒ කෙටි කාලයට අපේ රටේ ඉන්න හැමෝගෙන්ම වයස් භේදයකින් තොරව මේ නිර්මාණයට හොඳක් අහන්න ලැබෙනවා. මම හිතුවෙ නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ‘නාඩගම්කාරයෝ’ තිර රචනය සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාගේ, අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ, මෙහි නිෂ්පාදනය චාමර සමරවික්‍රම මහතාගේ. මේ තුන් දෙනා එකතු වෙලා වැඩක් කළාම ඒ වැඩේ ජනප්‍රියත්වයට පත් වෙනවා සහ මිනිස්සු අතරට යනවා කියලා මට විශ්වාසයක් තිබුණා. ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයටත් ඉහළින්ම ප්‍රතිචාර තිබෙනවා. සමාජ මාධ්‍යවලත් එහෙමයි. ප්‍රධාන චරිතයේ ඉඳලා සුළු චරිතය දක්වාම චරිතවලට චිත්‍ර අඳින්න, කවි ලියන්න තරම් හොඳ ප්‍රතිචාර තිබෙනවා. අපේ හැකියාවන් බලලා මේ චරිත ආදරයෙන් වැලඳගන්න ප්‍රේක්ෂකයන්ට අපි ස්තූතිවන්ත වෙනවා. අපි හැමෝම ඒ අයට ආදරෙයි.

‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රංගනය නිසා ඔබ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වුණා. ඒ ගැන ඇතිවෙන හැඟීම කොහොම ද?

ඇත්තටම මම නොසිතූ විදියටයි මට මේ සම්මානය ලැබුණේ. හැම නළුවෙකුටම, නිළියකටම බලාපොරොත්තුවක් තිබෙනවා හොඳම නළුවා හෝ නිළිය වෙන්න සහ ජනප්‍රියම නළුවා හෝ නිළිය වෙන්න. සිරිපැරකුම්වලින් අවුරුදු 7කට පස්සේ මම ජනප්‍රියම නිළිය ලෙස සුමති ටෙලි සම්මාන උළෙලේ නිර්දේශ වෙලා තිබුණේ. එහි විශේෂ ස්තූතිය යන්න ඕනේ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණයට ආදරය කරන අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. ඒ අයගේ ආදරය සහ ශක්තිය තමයි මට සම්මානයක් විදියට ලැබුණේ. ඒ සතුට මට කියා නිම කරන්න බැහැ. විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂකයින් මට දුන්න දේ නිසා මට රංගන ශිල්පිනියක් විදියට සහ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘සුදු චූටි’ විදියට දැන් මට ලොකු වටිනාකමක් දැනෙනවා. ඇත්තටම ගොඩක් පින් හැමෝටම. දැන් මට වෙනදට වඩා ලොකු වගකීමක් තිබෙනවා. මම කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරය ඉදිරියටත් ආරක්ෂා කරන්න මට පුළුවන් වෙයි කියලා මම හිතනවා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට මෙනවා ද?

2020දි චිත්‍රපට කිහිපයක් තිරගත වෙන්න නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය නිසා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු නිසා චිත්‍රපටශාලා විවෘත වුණේ නැහැ. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ ‘යාත්‍රා’, ජැක්සන් ඇන්තනි මහතාගේ ‘එකගෙයි සොකරි’, ධනුෂ්ක රේමන් මහතාගේ ‘පරිස්සමින් ඉන්න’, හර්ෂ උඩකන්ද මහතාගේ ‘කබඩි’ යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

මම මේ වෙනකොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් විදියට පළමු පෙළ උපාධියක් අරගෙන තිබෙනවා. ගිය අවුරුද්දෙ මගේ තාත්ති නැති වුණේ කොවිඩ් නිසා. මගේ තාත්තිගෙ කලා පවුලෙ ඉගෙනීමට නැඹුරු වෙලා හිටියෙ මගේ තාත්ති විතරයි. අපේ පවුලෙ එකම දරුවා විදියට තාත්තිගෙ ලොකු ආසාවක් තිබුණා මට හොඳින් උගන්වලා හොඳ තැනකට ගේන්න. ඒ නිසා ජීව විද්‍යා අංශයෙන් තවත් ඉදිරියට ගිහින් මාස්ටර්, පශ්චාත් උපාධි තෙක් ඉහළට ගිහින් තාත්තිව සතුටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. කාලයත් එක්ක ඒ දේවල් සිදු වේවි. මම කැමති එංගලන්තයේ ඉගෙන ගෙන ශ්‍රී ලංකාවට සේවයක් කරන්න. එංගලන්තයේ ඕනෑ තරම් පහසුකම් තිබෙනවා.

ඔබගේ වැඩ කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

මගේ තාත්ති උපාලි ෆොන්සේකා. අම්මා සේනානි ෆොන්සේකා. මගේ නම දාලා තියෙන්නෙත් ඒ දෙන්නගේ නම් දෙකේ එකතුවෙන්. පවුලේ එකම ළමයා වුණාම ඉල්ලන ඉල්ලන දේ දීලා හිතුවක්කාර විදියට තමයි ඒ ළමයා හැදෙන්නේ.ඒත් මම හිතුවක්කාර චරිතයක් නොවී මේ විදියට ඉන්න ලැබුණු එකට ගෞරවය හිමි වෙන්න ඕනෑ මගේ අම්මටයි තාත්තිටයි. මට ඉල්ලන ඉල්ලන දේ එයාලා දුන්නේ නෑ. ඒ නිසයි මම මේ විදියට හැදුණේ. මම කලා ලෝකෙට අවතීර්ණ වුණේ ‘පුංචි පැංචි’ වගේ වැඩසටහන්වල නිවේදන කටයුතු කරලයි. මගේ පළමු චිත්‍රපටය ‘සිරි පැරකුම්’. ඒ හැම දේටම මගේ පස්සෙන් හිටියේ අම්මයි තාත්තියි. තාත්ති මට හයියක් වෙලා මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්න උදවු වුණා. ඒ දෙන්නා නැත්නම් මම මේ විදියට ඉන්නේ නෑ. කවුරු හරි මම දිහා බලලා, කුඩා ළමයෙක් හරි මම වගේ වෙන්න ඕනෑ කියලා කිව්වොත් ඒ මුළු ගෞරවයම හිමි වෙන්න ඕනෑ මගේ අම්මිටයි තාත්තිටයි.

මම දකින්නේ ඔබ ඉතා සරල කෙනෙක් විදියට. සැබෑ ජීවිතයේත් ඔබ විලාසිතා කරන්නේ නැද්ද?

මම ලොකුවට ආභරණ පලඳින්නේ නැහැ. විච්චූරණ ඇඳුම් පැලඳුම් ඇඳගෙන මට ඉන්නත් බැහැ. ඒවා මට බරක්. මට ඕනෙ සරලව ඉන්න. නමුත් මම ගැහැනු ළමයෙක් විදියට මමත් ආසයි කරාබු, මාල, වළලු, ඇඳුම් පැලඳුම්, ලස්සන අත් බෑග්වලට. ඒවායේ එකතුවක් මා ළඟ තිබෙනවා. සමහර ගැහැනු ළමයි කැමති එක එක ‘බ්‍රෑන්ඩ්’වලින් අඳින්න පලඳින්න. මට එහෙම වෙන්න ඕනකමක් නෑ. මම යන තැන අනුව ඒ ඒ විලාසිතා කරනවා. ඒත් මට ඕන මම, මම විදියට, සෙනාලි විදියට පෙන්වන්න මිසක් මාල වළලු පෙන්වන්න නෙමෙයි.

චතුමී පිටිපන