අඳුරෙහි ගිලුණු👁️👁️🔥🔥

දවල් එකොළහට විතර මායි සෙනේෂ් සරුයි ලන්ච් එකට අරලියා හොටෙල් එකට ගියා.වෙනදා වාඩි වෙන ටේබල් එකෙන්ම අපි දෙන්නා වාඩි වුනා.වේටර් ලන්ච් එක අරන් එන්න කියලා සෙනේෂ් සර් කාරෙකට ගිහින් එන්නම් කියලා ගියා.විනාඩි දහයක් විතර යද්දී සෙනේෂ් සර් පුංචි පාර්සලේකුත් අරන් ආවා.

“Wish your happy birthday mahimaa”🤝

සෙනේශ් සර් මාව වැලඳගෙන මට බර්ත්ඩේ එකට සුභ පැතුවා.

“මෙන්න මගෙන් මහීමාට පුංචි තෑග්ගක්.බලන්න හොඳයිද කියලා………………….”

“අනේ තැන්ක්‍යූ සර්…………………”🤩

“ඔෆිස් එකේ හැමෝම බර්ත් ඩේ එකට ඔෆිස් එකේ හැමෝම විශ් කරලාත් මං විශ් කරේ නැත්තෙ ඇයි කියලා නේද බලන් හිටියෙ?………………..”

මට හිතුණු දේ සෙනේෂ් සර් දන්නවා එහෙනම්.ඇත්තනෙ මාත් බැලුවෙ ඔෆිස් එකේ හැම කෙනෙක්ම වගේ මට බර්ත් ඩේ එකට විශ් කරලත් ඇයි සෙනේෂ් සර් විශ් නොකරෙ කියලා.ඒක සර්ට තේරිලා.මං සෙනේෂ් සර්ගෙ මුහුණ දිහා බලලා හිනා වෙලා නිකන් හිටියා.

“තෑග්ග දීලාම විශ් කරනවා කියලා හිතා ගත්තා.ඒකයි පරක්කු වුනේ.දැන් ලන්ච් ගම්මු………………”

ලන්ච් අරගෙන ඉවර වෙලා අපි දෙන්නා ඔෆිස් එකට එන්න පිටත් වුනා.සෙනේෂ් සර්ගෙ ඇස් තිබුනෙම මගේ දිහාවෙමයි. එයා කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මං දිහා සැරින් සැරේට බලනවා.මං ඒ බව දැක්කත් නොදැක්කා වගේ හිටියා.

“ප්‍රසන්ට් එක කාරෙකේම තියලා මහීමා ඔෆිස් රූම් එකට යන්න.හවසට යද්දි ගන්න.ඕක අනික් අය දැක්කොත් හරි නෑනෙ ඔයාට……………..”

කාරෙකෙන් බහින්න හදනකොටම සෙනේෂ් සර් එහෙම කියලා එලියට බැහැලා දොර වැහුවා.ඔෆිස් එකේ අනික් අය දැක්කොත් මට හොඳ නෑ කිව්වෙ එහෙනම් මොකක්ද දන්නෑ මේ ප්‍රසන්ට් එක.ඔෆිස් රූම් එකට ගිහිල්ලත් මට කල්පනා වුනේ ඒකමයි. කමක් නෑ මොකක් වුනත් හවසට දැන ගන්න පුලුවන්නෙ.

හවස තුනට ටී ටයිම් එකේදි හැමෝමට මං කේක්,කට්ලට්,සැන්වීච් දුන්නා.ඔෆිස් එකේ අය මං වෙනුවෙන් ලොකු කේක් එකක් ගෙනල්ලා කපලා විශ් කරා.

“මහීමා……ඒක නෙවෙයි…….බොස්……… මොනවද…….බර්ත්ඩේ………එකට……… දුන්නෙ?………………”😁😉😊😚🤗

දිල්හාරා ඒක ඇහුවෙ කට ඇද කරලා අමුතු විදියකට හිනා වෙලා වගෙයි. ඒකට එතන හිටපු හැමෝම හිනා වුනා. මට නම් පොලව පලාගෙන යන්න තරමෙ ලැජ්ජාවක් ඇති වුනේ.මං එහෙම්මම බිම බලා ගත්තා.

“අනේ දිල්හාරා මහීට ලැජ්ජ හිතිලා වගේ අනේ.පව් අනේ එයා………………..”

අරෝෂ දිල්හාරාට ඇහැක් වහලා එහෙම කිව්වා.මෙයාලා කියන දේවල් සෙනේෂ් සර්ට එහෙම ඇහුනොත් මට බැනුම් අහන්නත් වෙයි.කීප වතාවක්ම සෙනේෂ් සර් මාත් එක්ක ලන්ච් එකට අරලියා හොටෙල් එකට ගියා.මගෙ හිතට බයකුත් දැනුනා ඔෆිස් එකේ අනික් අය ඒකටත් පදයක් හදයි කියලා.

“ඒක නෙවෙයි මහීමා බොස් ඔයාට ලව් වගේ නේද?………………”

දිල්හාරා එහෙම අහද්දී මාව නිකන් එකපාරටම කරන්ට් එක වැදුනා වගේ ගැස්සුනා.දෙයියනේ මෙයාලා හිතාගෙන ඉන්නෙ මං සෙනේෂ් සර් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවා කියලද?

“දිල්හාරා ඔයාට පිස්සුද?අනේ ඔහොම දේවල් නම් විහිලුවටවත් කියන්න එපා. මගෙයි සෙනේෂ් සර්ගෙයි අතර එහෙම සම්බන්දයක් නෑ.සර්ට ඇහුනොත් එහෙම මං මෙතන රස්සාවත් කරලා ඉවරයි……………..”

බියපත් වූ මුහුණකින් මං එහෙම කිව්වා.ඒත් එයාලා කවුරුවත් ඒකට බය වුනේ නම් නෑ.

“උගුරට හොරා බෙහෙත් බොන්න බෑ මහීමා.ඔය දෙන්නා නියමෙට මැච් වෙනවා.ඔයා ඉතින් තාම පොඩි වයසෙනෙ ඉන්නෙ.ඉතින් තාම මේ දේවල් ගැන එච්චර තේරුමක් නැතුව ඇති.බලමුකො අපිත් මේ ඔෆිස් එකේනෙ ඉන්නෙ………………..”

ටී ටයිම් එක අවසාන වුනු නිසා අපි හැමෝම නියමිත් අසුන් වලට ගියා. මගෙ හිතට අමුතු බරක් එකතු වුනා. දිල්හාරා ඒ දේ කිව්වට පස්සෙයි මට ඒක දැනුනෙ.ඇත්තටම සෙනේෂ් සර්ගෙ හිතේ මං ගැන මොකක් හරි අදහසක් තියනවද?මං එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි වුනත් එයා මං ගැන හුඟාක් උනන්දු වෙනවා කියලා මට හොඳට තේරෙනවා.

අනේ මන්දා සෙනේෂ් සර් මට කෙලින්ම එහෙම දෙයක් ගැන කියන්නෙ නැතුව මං මේ විකාර හිතනවනෙ.ඒ ගැන නොහිතා මං දවසට නියමිත් වැඩ කොටස ඉවර කරා.හවස ඕෆ් වෙන වෙලාවට සෙනේෂ් සර්ගෙ කාර් එකේම ගේ ගාවට යනකල් ගියා.ගේ ගාවට කිව්වට ගෙට චුට්ටක් එහායින් සෙනේෂ් සර් කාරෙක නැවැත්තුවා.

“එහෙනම් මහීමා අම්මගෙන් අහලා මට කෝල් එකක් දෙන්න.මං හෙට උදේ හයට විතර ඔයාව ගන්න එන්නම්……………….”

“හා සර්.මං රෑට කෝල් එකක් දෙන්නම්………………”

“හරි මහීමා.ගුඩ් බායි……………….”

සෙනේෂ් සර්ට අත වනලා මං ගෙදර ආවා.බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන තේ බීලා අම්මයි අප්පච්චියි ගාවට ගියා.

“අද ඔෆිස් එකේ ටී පාර්ටිය හොඳට තිබ්බද දූ?………………..”

“ඔව් අප්පච්චි.හැමෝම ගොඩාක් සතුටු වුනා.මට තෑගිත් හම්බුනා.ඒක නෙවෙයි අප්පච්චි හෙට අපේ බොස්ගෙ තාත්තගෙ දානෙයි බනයි තියනවා එයාලගෙ ගෙදර.උදේ තියෙන්නෙ.මටත් එන්න කිව්වා අම්මගෙනුයි අප්පච්චිගෙනුයි අහලා. ඔයාලා දෙන්නා මොකද කියන්නෙ මං යන්නද?……………….”

“අනේ ඉතින් දානයක් බණක් කියලා කිව්වම නොගිහි බෑනෙ.හොඳ පිරිකරකුත් අරගෙන දූ ගිහින් එන්න. ගොඩාක් දුරයිද ගෙවල්?……………..”

“නෑ අම්මෙ.ඔෆිස් එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර වගේලු තියෙන්නෙ සර්ගෙ ගෙදරට……………….”

“එහෙනම් දූ ගිහින් එන්නකො……………..”

පහුවදා පාන්දර හතරට විතර නැගිටලා මං සීතල වතුරෙන්ම නා ගත්තා.කොණ්ඩෙ හොඳට පිහදාලා වේලගෙන ලා නිල් පාටයි සුදුයි දිග සායකු‍යි,සුදු පාට බ්ලව්ස් එකකුයි ඇඳ ගත්තා.කොන්ඩෙ පීරලා කඩා දාලා කටුවක් ගහගත්තා.කලින් දවසෙ රෑ අප්පච්චි ගෙනත් දීපු පිරිකරේත් සූදානම් කරගෙන තේ බිව්වා.හරියටම හයට සෙනේෂ් සර්ගෙ කාරෙක ආවා. මං අම්මටයි අප්පච්චිටයි වැඳලා ආවා.

“මහීමා උදේ පාන්දර නෑවද?……………..”

මං දිහා බලලා සෙනේෂ් සර් පුදුමයෙන් වගේ එහෙම ඇහුවා.මං හිනා වුනා.

“ඔව් සර්.බණකටනෙ සහභාගි වෙන්නෙ.ඉතින් නැගිටලා නෑවා……………….”

“ඔය ඇඳුමට මහීමා ගොඩාක් ලස්සනයි.පාන්දරම නාලනෙ.බේබි සබන් සුවඳේ බෑ ළඟ…………………”

ලොකූ හුස්මක් අරන් සෙනේෂ් සර් එහෙම කියද්දී මට සතුටකුත් දැනුනා. හිනාවෙන් කතාවෙන්ම අපි සෙනේෂ් සර්ගෙ ගෙදරට ආවා.ලොකූ උස තාප්පෙකින් වට වුනු ඒ නිවස තට්ටු දෙකකින් සමන්විතයි.

“මේක තමයි අපේ ගෙදර.ඔෆිස් එකේ අයගෙන් ඔයාට විතරයි බණයි දානෙයි කිව්වෙ.යමු ඇතුළට……………….”

පිරිකරයි අනෙකුත් බඩු කිහිපයයි අරන් මං සෙනේෂ් සර් එක්ක ගේ ඇතුළට ගියා.බඩු ටික සාලෙන් තියලා මං සෙනේස් සර් ගාවට ගියා.

“සර් මොනවද කරන්න තියන්නෙ?වැඩක් තියනවනම් කියන්න………………”

“මහීමාට එන්න කිව්වෙ ගෙදර වැඩ කරවගන්න නෙවෙයි………………..”

“අනේ සර් මං කිව්වෙ දානෙ වැඩ මොනවා හරි දෙයක් කරන්න තියනවනම් කියන්න කියලා.නිකන්ම පැත්තකට වෙලා ඉඳලා පුරුදු නෑනෙ සර්…………………”

“ඔක්කොටම කලින් එන්නකො පොඩ්ඩක්……………….”

එහෙම කියලා සෙනේෂ් සර් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගියා.මාත් ඒ පස්සෙන්ම ගියා.බණ ගෙදරට ආපු සමහර මිනිස්සු මං දිහා හොඳට හොඳට බැලුවා.ඒ දෙස නොබලා මං සෙනේෂ් සර් පස්සෙන් ගියා.උඩ තට්ටුවෙ එක කාමරයක දොරක් ඇරගෙන සෙනේෂ් සර් ඒ කාමරේට ඇතුල් වුනා.මගෙ හිතට අමුතු චකිතයකුත් ඇති වුනා.ඇයි සෙනේෂ් සර් මේ කාමරේ ඇතුළට මාව එක්කන් යන්න හදන්නෙ?

“එන්නකො මහීමා………………”

මාත් ඒ කාමරේට ඇතුල් වුනා.ඒ කාමරේ ඇතුලෙ ඇඳ උඩ හිටියෙ කව්දෝ මන්දා ගෑණු කෙනෙක්.කව්ද මේ ගෑණු කෙනා?ඒ ළඟම රෝද පුටුවකුත් තිබුනා.

“මහීමා,මේ ඉන්නෙ මගෙ අම්මා.එයාට ඇවිදින්න බෑ.දැන් අවුරුදු තුනක ඉඳන් එක්තැන් වෙලා ඉන්නෙ……………….”

එහෙම කියපු සෙනේෂ් සර් ඒ ඇඳේ පැත්තකින් වාඩි වුනා.මොකුත්ම හිතා ගන්න බැරුව මං සෙනේෂ් සර්ගෙ අම්මගෙ දිහා බලාගෙන හිටියා.අම්මට නින්ද ගිහින් තිබුනෙ.සෙනේෂ් සර් අම්මව ඇහැරෙව්වා.

“අම්මෙ,මේ ඉන්නෙ මහීමා.තාත්තගෙ දානෙට මං මහීමාටත් එන්න කිව්වා. අම්මා තව ටිකකින් පල්ලෙහාට යමු……………..”

“දුවේ……එන්නකො මෙහාට……………….”

සෙනේෂ් සර්ගෙ අම්මා මට එයා ගාවට එන්න කියලා කතා කරා.මං ඒ අම්මා ගාවට ගිහිල්ලා ඇඳේ පැත්තකින් වාඩි වුනා.

“සර් මට සර්ගෙ තාත්තගෙ දානෙට ආරාධනා කරාට මං දැනන් හිටියෙත් නෑ අම්මව එක්තැන් වෙලා ඉන්න බව……………….”

“දැන් අවුරුදු තුනක් තිස්සෙ මං මෙහෙම තමයි දූ ඉන්නෙ.ඒත් මගෙ පුතාලා දෙන්නා මාව හොඳට බලා ගන්නවා.වැඩියෙන්ම ලොකු පුතා……………….”

ඇය එලෙස පැවසුවේ සිය වැඩිමහල් පුත්‍රයා ගැන අසීමිත මව් සෙනෙහසකිනි.මං ඇගේ අතකින් අල්ලා ගත්තෙමි.

“අම්මා කාලද ඉන්නෙ උදේට?……………”

“ඔව් දුවේ.දුව උදෙන්ම ඇවිල්ලනෙ. අනේ පුතේ මාවත් පල්ලෙහාට එක්කන් යන්නකො.හාමුදුරුවො වඩින්නෙ කීයටද?…………….”

“හාමුදුරුවො වඩින්නෙ උදේ අටයි තිහට අම්මෙ.අම්මා යමුකො පල්ලෙහාට…………….”

සෙනේෂ් සර් එයාගෙ අම්මව පල්ලෙහාට එක්කන් ඇවිල්ලා වීල් චෙයාර් එකෙන් තිබ්බා.මම කුස්සියට ගිහින් දානෙ වැඩ වලට උදව් වුනා.ටික වෙලාවකින් සෙනේෂ් සර් කුස්සිය පැත්තට ආවා.

“මහීමා පොඩ්ඩක් එන්නකො…………….”

“ඇයි සර්?…………….”

“මගේ කාමරේ තියන පිරිකර ටික අරන් ඇවිල්ලා මේ මේසෙ උඩින් තියන්නකො. මං පන්සලට යනවා හාමුදුරුවො වඩම්මගෙන එන්න………………”

“හා සර්.මං තියන්නම්……………..”

එහෙම කියපු මං සෙනේෂ් උඩ තට්ටුවට නැගලා සෙනේෂ් සර්ගෙ කාමරේට ගියා.කාමරේ ඇඳ උඩ තිබුනු පිරිකර දහය මං ගෙනල්ලා ඒ මේසෙ උඩින් තිබ්බා.ඊට පස්සෙයි මතක් වුනේ කාමරේ දොර ලොක් කරේ නෑ කියලා. මං ආපහු ඒ කාමරේට ගියා.දොර ලොක් කරන්න හදනකොටම සෙනේෂ් සර්ගෙ ෆෝන් එක රිං වෙන සද්දෙ ඇහුනා කාමරෙන්.සෙනේෂ් සර්ට ෆෝන් එක අරන් යන්න අමතක වෙන්න ඇති.මං කාමරේට ගිහිල්ලා ෆෝන් එක අතට ගත්තා.කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ…………….”

“හෙලෝ මහීමා මට ෆෝන් එක ගන්න අමතක වුනා.ඔයාට පුලුවන් නම් දානෙ බෙදන තැන වැඩ ටික පොඩ්ඩක් බලනවද මං එනකල්……………”

“හා සර් මං බලන්නම්…………….”

කෝල් එක කට් කරලා මං ෆෝන් එක පැත්තකින් තියන්න හදනකොටයි දැක්කෙ ෆෝන් එකේ වෝල් පේපර් එකේ තිබුනෙ මගෙ ෆොටෝ එකක්.ඒත් සෙනේෂ් සර්ට කොහෙන්ද මගෙ මේ ෆොටෝ එක🤔සමහර විට මට හොරෙන් මගෙ ෆෝන් එකෙන් ගන්න ඇති.ඒත් ඇයි සෙනේෂ් සර් මගෙ ෆොටෝ එකක් එයාගෙ ෆෝන් එකේ දාගෙන ඉන්නෙ?

ආපහු හැරිලා බලනකොටයි මං දැක්කෙ බිත්තිය අයිනෙ එල්ලලා තියන මගෙ රාමු කරපු ලොකු ෆොටෝ එක. ඇයි සෙනේෂ් මෙහෙම කරන්නෙ?එයා ඇයි කාමරේ මගේ ෆොටෝ එකක් එල්ලගෙන ඉන්නෙ?එහෙම හිත හිතාම මං කාමරේ දොර ලොක් කරලා සෙනේෂ් සර්ගෙ ෆෝන් එකත් අරගෙන ආවා.දානෙ බෙදන්න තියන තැන අස් කරලා සූදානම් කරා.හාමුදුරුවො වැඩලා පිරිත් දේෂණා කරා.

හාමුදුරුවො පිරිත් දේෂණා කරලා ඉවර වුනාට පස්සෙ මං සෙනේෂ් සර් ගාවට ගියා.

“මේ සර්ගෙ ෆෝන් එක…………….”

“ආ තැන්ක්‍යූ මහීමා……………..”

අනේ මන්දා මොකක්දෝ මන්දා නොවැටහෙන හේතුවක් හින්ද මට සෙනේෂ් සර්ගෙ මුහුණ දිහා කෙලින් බලන්න බැරි කමක් දැනුනා.

“මහීමා කෑම කාලා ඉන්නකො දැන්……………..”

“මං පස්සෙ කන්නම් සර්…………….”

“පස්සෙ නෙවෙයි දැන්ම කන්න.තාම උදේට කාලත් නැතුවනෙ ඇත්තෙ. බඩගින්නෙ ඉන්න එපා……………..”

“සර් කන්නෙ නැද්ද?…………….”

“ඇයි මං කෑවොත් විතරයිද මහීමා කන්නෙ?……………”

සෙනේෂ් සර් ඒක අහපු විදියට මගෙ පපුවත් රත් වුනා.මං අනවශ්‍ය දෙයක් ඇහුවාදෝ කියලා හිතුණා.ඒත් ඒක අනවශ්‍ය දෙයක් නෙවෙයිනෙ.මං මොකුත් නොකියා බිම බලා ගත්තා.

“මං කන්නම්.ඔයා කන්නකො…………….”

“හා සර්………………”

මං කුස්සියට ගිහිල්ලා දානෙට අඩු පාඩු බෙදලා මාත් බංකුවක් උඩට වෙලා කෑවා.කාලා ඉවර වෙලා වතුර එකකුත් බීලා ඉවර වෙලා එළියට ආවා.

“කෑවද?…………..”

“ඔව් සර්……………”

“එහෙනම් මේ අයිස්ක්‍රීම් එකත් කන්න……………”

අයිස්ක්‍රීම් කප් එකක් මගෙ අතට දීපු සෙනේෂ් සර් හැන්දකුත් දුන්නා.ඒකත් කාපු මං සාලෙට ආවා.

“ඔයා සෙනේෂ් පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද?……………”

අවුරුදු පනහක විතර ගෑණු කෙනෙක් හිනා වෙලා මගෙන් එහෙම ඇහුවා. මෙයාලා මාවයි සෙනේෂ් සරුයි ගැන වැරදියට හිතන් ඉන්නෙ.මං නෑ කියන්න හදනකොටම සෙනේෂ් සර් මං ගාවට ආවා.

“මං මේ දුවත් එක්ක ටිකක් කතා කර කර හිටියා පුතා.හරිම අහිංසක ලස්සන කෙල්ලෙක්නෙ පුතා හොයාගෙන තියෙන්නෙ.දෙන්නට දෙන්නා නියමෙට ගැළපෙනවා…………….”

ඒ ගෑණු කෙනා එහෙම කියද්දී මගෙ හිත හීල්ලුනා.ගැලපුනත් දැන් වැඩක් නැහැ.සෙනේෂ් සර් වගේ ගුණ යහපත් තරුණයෙක් එක්ක බලද්දී මං වැඩකට නැති දූවිල්ලක් තරම්වත් වටින්නෙ නැති කෙනෙක්.ඒ ගෑණු කෙනා ගියාට පස්සෙ සෙනේෂ් සර් මං දිහා හොඳට හොඳට බැලුවා.ඒත් මං හිටියෙ වෙන කල්පනාවකනෙ.

“මොනවද කල්පනා කරන්නෙ?…………..”

“මේ……මොකුත් නෑ සර්.මං දැන් ගෙදර යන්නම්.එකොලහත් පහු වෙලානෙ සර්……………”

“එපා.තව පොඩ්ඩක් වෙලා ඉන්න.මං ගිහින් දාන්නම්.මටත් ටව්න් එකට යන්න ඕනි…………….”

“කමක් නෑ සර්.මට තනියම යන්න පුලුවන්…………….”

“පණ්ඩිතයා වෙන්නෙ නැතුව තව පොඩ්ඩක් වෙලා ඉන්නවා…………….”😠

“හා…..සර්…………….”

ඇයි සෙනේෂ් සර් අර ගෑණු කෙනා කියපුවා ගැන මොකුත් නොකිව්වෙ?අනේ මන්දා නොකිව්වට මොකද මගෙ හිතට මහ අමුත්තක් දැනෙනවා සෙනේෂ් සර් මට ආදරේ කරනවා කියලා.සෙනේෂ් සර් වගේ කෙනෙකුගෙ ආදරේ ලබන්න මං ගොඩාක් පිං කරලා තියන්න ඕනි.ඒත් මං මහා අවාසනාවන්තියක්.😥😥

කල්පනා කර කරම මං සාලෙන් එලියට බහිද්දී ඉස්සරහින් ආපු කෙනෙක් මගෙ ඇඟේ හැප්පුනා.

“ඕහ්…..සොරි.මං දැක්කෙ නෑ……………”

මං ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවා.ඒ මනුස්සයගෙ අතේ තිබුනු මොකක්ද මන්දා පාර්සලයක් බිම වැටුනා.එයා ඒක අහුලගෙන මං දිහා මහ අමුතු විදියකට බැලුවා.

“ඔයා කව්ද?මං මීට කලින් මෙහෙදි දැකලා නෑ…………….”

“මං…..මං මහීමා…………….”

“කාගෙ කව්ද?…………….”

ඒවා මොකටද මේ මනුස්සයට?මං කවුරු වුනත් මෙයාට මොකෝ.

“මං සෙනේෂ් සර්ගෙ ඔෆිස් එකේ වැඩ කරන්නෙ?ඇයි අහන්නෙ?…………..”

“ආහ්…..ඔයා අපෙ අයියගෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ද?හරියට නිකන් ඉන්නෙ මගෙ නෑනා වගේනෙ.මොකටද මෙහෙ ආවෙ?……………”

“ආවෙ එන්න කියපු නිසා…………….”

සෙනේෂ් සර්ගෙ සහෝදරයෙක් කියලා කියන්නවත් බෑ.නපුරු මූසලයෙක්. එහෙම හිතාගෙන මං මිදුලට ආවා. මගෙ හිතට මහ අමුත්තක් දැනුනා. සෙනේෂ් සර්ගෙ මල්ලිව මං මීට කලින් කොහෙදි හරි දැකලා තියනවා කියලා හිතුණා.ඒ කටහඬ මං මීට කලින් අහලා තියනවා වගේ හුරු පුරුදු බවක් දැනුනා.

මතු සම්බන්දයි

Advertisment