මොකෝ මේ අහස පොලව ගැටලන්න කල්පනාව?මේ සැරේත් අම්මා එන්නෙ නැද්ද ඔයාව එක්කන් යන්න……………”

“නෑ දුලාරි.එයාට උවමනාවක් නැද්ද කොහෙද මං ගැන හොයලා බලන්න. එයාගෙ ලෝකෙ දරුවන්ට ඉන්නෙ නංගියි මල්ලියි විතරයි.ලොකු දුව උන්නද මළාද කියලා හොයලා බලන්න එයාට වෙලාවක් නෑ.හැමදාම මං තනි වෙලා.මට කාත් කවුරුවත් නෑ දුලාරි……………..”

ජනේලය මත හිස තබාගෙන මං ඉකි බින්දා.

“ඔයාගෙ අම්මට තිබුනෙ දෙවෙනි කසාදයක් නොබැඳ ඉන්න.ඒකෙන් එයාට හොඳක් වෙන්න ඇති.ඒ වුනත් එයාගෙ ලොකු දුවට එයා කරලා තියෙන්නෙ ලොකු අසාදරණයක්……………”

“අම්මට වරදක් කියන්න බෑ දුලාරි. අප්පච්චි මැරෙද්දි අම්මා ගොඩාක් තරුණයි.එයා මං ගැන හිතලා වෙන්න ඇති ආපහු කසාද බැන්දෙ.ඒත් වුනේ අපි නොහිතපු දෙයක්…………….”

“එයා නියම අම්මා කෙනෙක් නම් මේ වෙලාවෙ ඒ මනුස්සයගෙ කීම අහලා ඔයාව තනි කරන්නෑ දේවාන්ශි.ඔයා ගැන හිතලා නෙවෙයි එයා දෙවනි කසාදයක් බැන්දෙ.ඔයා ගැන හිතුවා නම් එයා කවදාවත් ආපහු කසාද බඳින්නෙ නෑ………….”

“මට තේරෙන්නෙ නෑ දුලාරි මං මොනවා කරන්නද කියලා.අප්පච්චි ජීවතුන් අතර හිටියා නම් මට මෙහෙම වෙන්නෑ. එයා මැරුනට පස්සෙ මං කවදාවත් සතුටින් ඉඳලා නෑ…………..”

සේවිකාවක් අපගේ කාමරය වෙතට පැමිණ දුලාරිගේ දෙමව්පියන් පැමිණ ඇති බව කීවාය.

“ඔයා යන්න දුලාරි.අම්මයි තාත්තයි ඇවිල්ලලුනෙ………….”

“මං ගිහින් එන්නම් දේවාන්ශි.ඔයා දුක් වෙන්න එපා.අම්මා සමහර විට ඔයාව එක්කන් යන්න එයි……………”

මගෙ හිතහැදෙන්නටදෝ දුලාරි එසේ පවසා ඇගේ ඇඳුම් බෑගයත් රැගෙන දෙමව්පියන් සමඟ පිටව ගියා. කාමරයේ ජනේලය අසලට වී මං පහල ඇති කාරය දෙස බලා සිටියා.

දුලාරි අම්මා අසලට දිව ගොස් ඇයට තුරුල් වුනා.අම්මා ඇගේ හිස සිඹ ඇයගේ අතින් අල්ලාගෙන කාරයට ගොඩ කරවා ගත්තා.කාරය නොපෙනී යන තුරුම ඒ දෙස බලා සිටි මම අරමුණකින් තොරව දුර ඈත බලා සිටියෙමි.මුලු අහස් තලයම නිහඬය. මගේ සිත කෑ මොර දී හඬන්නේය.

හැම දෙයක්ම සිදු වන්නේ මගේම අවාසනාවටය.වෙනදාට ළමුන්ගේ සිනහා කෝලම් හඬින් පිරී ඇති මෙම නේවාසිකාගාරය අද නිහඬව ඇත.එය පාලු කතරක් මෙනි.පාසලේ අගෝස්තු නිවාඩුව පටන් ගත් නිසා සියලූම ළමුන්ගේ දෙමව්පියන් පැමිණ ඔවුන්ව නිවෙස් කරා රැගෙන ගොසිනි.මා පමණක් මෙහි තනිව ඇත.අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් සේ මා මෙහි තනි වී ඇත.

මගේ පියා මිය ගියේ මීට වසර පහලවකට පෙරය.එකල අප ජීවත්ව සිට ඇත්තේ නුවරඑළියේය.මගේ පියා නුවරඑළියේ ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු නමින් ඩේවිඩ් සුධර්මන්.ඔහු සහ මාගේ මව විවාහයෙන් පසුව ජීවත්ව ඇත්තේ නුවරඑළියේ මාගේ පියාට අයත්ව තිබූ නිවසකය.

ඔවුන් විවාහ වී වසර දෙකක් ගෙවෙනා දින මා ඉපිද ඇත.ඉන් මාස එකොලක් ගත වූ තැන මාගේ පියා රිය අනතුරකින් මෙලොව හැරදා යන්නේ එවකට මාස එකොලහක් වූ මාත් අවුරුදු විසි එකක් වූ මාගේ මවත් සදහටම තනිකර දමාය. එතැන් පටන් ඒ සුවිසල් නිවසේ මාත් අම්මාත් තනි වී ඇත.අප්පච්චීගේ මරණය ගැන මට මතකයක් නොවේ. එතැන් පටන් මාත් සමඟ තනියම ජීවත් වූ මාගේ මවගේ ජීවිතයට තවත් පිරිමියෙකු පැමිණ ඇත.එකල මට වයස තුනකි.ඔහුගේ නම ගයන්ත

වීරසේකර ය.ව්‍යාපාරික ලොවේ දැවැන්තයෙකු වූ ඔහු මාගේ මව සමඟ විවාහ වූයේ මාගේ පියා මිය ගොස් වසර තුනක් ඉක්මවීමටත් පෙරය. එකල මා කුඩා දැරියක නිසා මේ කිසිවක් මට තේරුනේ නැත.බාප්පාගේ ආගමනයත් සමඟ මගේ මව මගේ දිවියෙන් කෙමෙන් කෙමෙන් දුරස් විය. නුවරඑළියෙන් නික්මී අම්මාත් මාත් හම්බන්තොට පිහිටි බාප්පාගේ සුවිසල් දෙමහල් මැදුරේ පදිංචියට පැමිනෙණ විට මට වයස අවුරුදු හතරහමාරකි. වසර තුනහමාරක් ඉක්මවන විට අම්මා තවත් දියණියකගේ සහ පුතෙකුගේ මවක් විය.ඇය ඇයගේ ලෝකයෙන් මා දුරස් කරමින් සිය දෙවන විවාහයේ දරුවන් දෙදෙනා ලං කර ගත්තාය.

නංගී මට වඩා වසර හතරක් බාල වූ අතර මල්ලී මට වඩා වසර හයක් බාලය.බාප්පාත් අම්මාත් ඔවුන් දෙදෙනාට සිය ප්‍රාණය දෙවැනි කොට ආදරය කරද්දී කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූ මා අසරණව ඔවුන් දෙස බලා උන්නෙමි.

මා හදා වඩා කවා පොවා රැක බලා ගනු ලැබුවේ නිවසේ මෙහෙකාරිය වූ දයාවතී නැන්දාය.අම්මා නංගීටත් මල්ලීටත් බත් අනා කවද්දී මට බත් කැව්වේ දයාවතී නැන්දාය.ඇය කුමක් හෝ වැඩක නිරතව සිටින්නේ නම් මා කුස්සියට ගොස් තනිවම කෑවෙමි.

අම්මාත් බාප්පාත් මල්ලීත් නංගීත් කෑම මේසෙ වාඩි වී කෑම කද්දී මං කුස්සියේ බංකුවක් උඩට වී තනියම බත් කෑවෙමි.අම්මා සිටියත් මා ජීවත් වූයේ අම්මා අහිමිව ගිය අනාථයෙකු සේය.මා පාසල් රැගෙන ගියේද දයාවතී නැන්දාය.මා හතර වසරට සමත් වූ දා පටන්ම අම්මාත් බාප්පාත් මාව දුර පාසලක නේවාසිකාගාරයක නවත්වා ඉගන ගැනීමට සැලැස්වූවාය.

ඒ මගේ ඉගෙනුම ගැනවත් මට ඇති ආදරයක් නිසා නොව.මාව ඔවුන්ගේ ලෝකයෙන් වෙන් කර තැබීමටය.නංගීටත් මල්ලීටත් ලැබෙන ආදරයෙන් සෙනෙහසෙන් අංශු මාත්‍රයක්වත් මට ලැබෙන්නේ නැත.මා ඔවුන්ගේ ජීවිත වලට පිටස්තරයෙකි.

දැන් මට වයස අවුරුදු දාසයකි.මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මා මුහුණ දීමට සූදානමින් සිටින්නෙමි.වයස අවුරුදු නවයේ සිට සිටින්නේ මේ නේවාසිකාගාරයේය.පාසලේ නිවාඩු කාලය එන තෙක් මා ඉතා ආසාවෙන් මග බලා සිටින්නේ නිවසට යෑමටය.

අම්මා මට ආදරය නොකලාට ඇය අසල ගැවසීමට ඇගේ සෙනෙහස විඳීමට මා ඉතා ආශා කරමි.සමහර නිවාඩු කාල වලදී ඇය මාව නිවසට රැගෙන යාමට පැමිණෙන්නේ නැත.ඒ දින වල මා මේ නේවාසිකාගාරයේ තනි වෙයි.මෙහි අම්මා තාත්තා අහිමිව ගිය ළමුන් කිහිප දෙනෙක්ම සිටී.මා මෙන්ද ඔවුන්ද නිවාඩු කාල වලදී සිටින්නේ මෙහිය.

ඒ නිසා මට පාලුවක් නැත.මේ වසර අට තුල නිවාඩු කාල වලදී අම්මා මාව රැගෙන නිවසට ගියේ ඉතා සීමිත අවස්ථා ප්‍රමාණයක් පමණි.මේ වාරයේදීත් ඇය මාව රැගෙන යාමට පැමිණියේ නැත.මා හඬමින් උන්නෙමි.


මට ආදරේ නොකලාට අම්මා මගේ පන්ති ගාස්තු ඇතුලු සියලූම ගාස්තු වෙලාවට කලාවට ගෙවයි.ඒ මාගේ පියාගේ මුදල්ව ලිනි.අප්පච්චීට අයිතිව තිබූ දේපළ පාලනය කරන්නේ අම්මාත් බාප්පාත්ය.ඒවායේ අයිතිය කෙදිනක හෝ අයිති විය යුත්තේ මටය.ඒත් මට මිල මුදල් දේපල ගැන ආසාවක් නැත.

“දේවාන්ශී………….”

නේවාසිකාගාරයේ ලොකු මැඩම් මා හමු වීමට කාමරේට පැමිණියාය.

“මැඩම්…………..”

“ඔයා අඬනවා නේද දරුවො?දුක් වෙන්න එපා.අම්මා කවදා හරි ඔයාව තේරුම් ගනියි.එයාට වෛර කරන්න එපා.හතුරන්ටත් අපි ප්‍රේම කරන්න.බුදු හාමුදුරුවො පවා කියලා තියෙන්නෙ වෛරයෙන් වෛරය නොසංසිඳේ කියලා නේද?…………….”

ඇය ක්‍රිස්තියානි වුවත් බුදු දහමෙන් මට කියා දුන්නාය.කන්‍යාරාමයක මා ඉගන ගත්තත් මම උපතින්ම බෞද්ධයෙකි.

“මට මේ දේවල් දරා ගන්න අමාරුයි මැඩම්.අම්මා මට ආදරේ නෑ.ඒත් මං එයාට වෛර කරන්නෙ නෑ.මට හරිම දුකයි.අප්පච්චී හිටියා නම් මට මෙහෙම වෙන්නෑ……………”

“යන්න.ගිහින් දෙවියන් වහන්සේට ඔයාගෙ හැම දුකක්ම කියන්න.එතුමා ඔබට පිහිට වෙයි…………….”


රෝසි මැඩම් අම්මාට දුරකථන ඇමතුමක් දීලා මං ගැන කතා කරලා තිබුනා.ඊට දවසකට පස්සෙ අම්මා ඇවිත් මාව ගෙදරට එක්කන් ආවා.ගිය අවුරුද්දෙ ඉස්කෝලෙ අප්‍රේල් නිවාඩුවට පස්සෙයි අද මං ගෙදර ආවෙ.අවුරුද්දයි මාස හතරකට පස්සෙ.මාව දැකලා මල්ලියි නංගියි දුවගෙන මං ගාවට ආවා.

“ආනේ…..අක්කා ගොඩ කාලෙකට පස්සෙ ඇවිල්ලා යේ……………”

එයාලා දෙන්නාට මං ආපු නිසා ගොඩාක් සන්තෝශයි.නංගි නම් දැන් ටිකක් මහත් වෙලා.මල්ලි උස ගිහිල්ලා. ඒ දෙන්නම ඉස්කෝලෙ යන්නෙ ගෙදර ඉඳන්.නංගි ඉගන ගන්නෙ හත වසරෙ. මල්ලි ඉගන ගන්නෙ පහ වසරෙ.

“හා හා යන්න දෙන්නම ගේ ඇතුලට. ගිහින් පාඩම් කරන්න.අක්කා එක්ක සෙල්ලම ඕන්නෑ…………..”😠😠

අම්මා සැර කරාට පස්සෙ ඒ දෙන්නම දුකින්ම ගේ ඇතුලට ගියා.අම්මා කැමති නෑ මල්ලියි නංගියි මාත් එක්ක කතා කරනවටවත්.ඒ ඇයි කියලාවත් මං දන්නෙ නෑ.නිහඬව මං කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගෙන කුස්සියට ගියා.මං යද්දී දයාවතී නැන්දා කෑම උයනවා.

“නැන්දෙ…………….”

“ආනේ ලොකු බේබි.දෙයියනේ දැක්ක කල්.මයෙ රත්තරනේ දැන් ලොකුයි නෙවැ.උස ගිහිල්ලා ලස්සන වෙලා.සුදු වෙලා.ඇස් වහක් කටවහක් නෑ ඉටි රූපයක් වාගෙ ලස්සනයි……………”

“රෝසි මැඩම් අම්මාට කෝල් කරලා කිව්වා මාව ගෙදර එක්කන් යන්න කියලා…………….”

“අනේ උන්දැගෙ තියන ලොකුකම.මට නම් පේන්න බෑ.ලොකු බේබි නිසාමයි මං මෙහෙ ඉන්නෙ.අවුරුද්දකට සැරයක් හරි ලොකු බේබි ගෙදර එනවනෙ…………….”

“ගෙදර මොකක් හරි උත්සවයක් තිබ්බද නැන්දෙ?…………..”

මං එහෙම ඇහුවෙ පැන්ට්‍රි කබඩ් එක උඩ තිබුනු කැව්ම් දීසිය දැකලා.තව කොකිස් ආස්මී එහෙමත් තිබුනා.

“මද්දු බේබිගෙ කොටහළු උත්සවේ තිබුනනෙ ඊයෙ.ගයන්ත මහත්තයා කිව්වා ලොකු බේබිව හොස්ටල් එකට ගිහිල්ලා එක්කන් එන්න කියලා උත්සවේට.කෝ ඉතින් අර උන්දැ බේබිව එක්කන් ආවෙ නෑනෙ.ඔය එක්කන් එන්න ඇත්තෙත් බේබිගෙ මැඩම්ගෙ කීමට……………”

දයාවතී නැන්දා මට කිරි තේ හදලා දීලා කැව්ම් කොකිස් ආස්මී පිඟානක් දුන්නා. ඒකෙනුත් කාලා තේ බීලා ඉවර වෙලා මං නංගි ගාවට ගියා.

“දැන් ලොකු කෙල්ලෙක් නේද මෙයා……………”

“කෝ ඉතින් තාත්තා කොච්චර කිව්වද අක්කවත් පාර්ටියට එක්කන් එන්න කියලා.ඒත් අම්මා එක්කන් ආවෙ නෑනෙ……………”

“ඔයාට තෑග්ගක්වත් දෙන්න බැරි වුනානෙ පැටියො.ආ මේක මගෙන් ඔයාට…………..”

එහෙම කියලා මං මගෙ කරේ තිබුනු පව්ම් එකහමාරක් වටින රත්තරං මාලෙ නංගිගේ කරේ දැම්මා.📿එයා ඒකට මාව තුරුල් වෙලා ස්තූති කරා.

නැවත හමුවෙමු📿👸

මේ කතාව ගැන හිතෙන දේ කමෙන්ට් කරන්න යාලුවනේ