අනේ මට මොකුත් කරන්න එපා.මට අනුකම්පා කරන්න දෙයියනේ.මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ………………….”😭🙏

අත් දෙකම එකතු කරලා වැඳගෙන මං අඩියෙන් අඩිය පිටි පස්සට ගියා.ඒ මිනිස්සු දෙන්නගෙ මුහුණෙ නම් අනුකම්පාවක් ගෑවිලාවත් නෑ කියලා මට හිතුණා.මං සියලු දෙවියන් සිහි කරලා ඉල්ලුවේ මේ නරුමයො දෙන්නගෙන් මට අනතුරක් නම් සිද්ද වෙන්න එපා කියලයි.

පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් මාව බිත්තියට හේත්තු වුනා.ඒත් ඒ මිනිස්සු දෙන්නා මගෙ ඇඟට අතක්වත් තිබ්බෙ නෑ.

“මිස් බය වෙන්න එපා.අපි දෙන්නගෙන් මිස්ට අබ මල රේණුවක තරම්වත් කරදරයක් වෙන්නෙ නෑ……………………”

“අනේ එහෙනම් ඇයි ඔයාලා මාව මෙතන හිර කරගෙන ඉන්නෙ?මට යන්න දෙන්න.මෙලහකත් කේසර මාව හැම තැනකම හොයනවා ඇති…………………..”😭😭

“මිස්ගෙ ජීවිතේ වගේම මේ වෙලාවෙ අපේ ජීවිතත් තියෙන්නෙ අනතුරේ.අපි මිස්ට මෙතනින් පැනලා යන්න ඉඩ දුන්නොත් ලොකු විනාශයක් වෙන්නෙ. මිෂෙල් මැඩම් මිස්ව මරලා දායි.එයා කිසිම හිතක් පපුවක් නැති කෙනෙක්…………………..”

“එතකොට………ඔයාලාට මාව මෙහාට ගෙනල්ලා මොනවද කරන්න කිව්වෙ?එයා ඔයාලට කිව්වොත් මාව මරන්න කියලා?……………………”

“එහෙම කිව්වට අපි මිස්ව මරන්නෙ නෑ.මොකද කේසර බොස් දැන ගත්තොත් මිස් ඉන්නෙ අපි ගාව කියලා එයා අපේ පව්ල් පිටින් මරලා දායි.අපි දරු පව්ල් කාරයො මිස්.අපි මේ දේවල් කරන්නෙ ආසාවට නෙවෙයි.ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසයි.

මේ දේවල් වලින් ඈත් වෙලා ගියොත් මිෂෙල් මැඩම් අපේ පරණ කේස් ඇදලා අපිව හිරේ යවයි.එහෙම වුනොත් අපේ දරු පව්ල් සදා අනාථයි……………………”

දැන් මට එක දෙයක් පැහැදිලියි.මේ මිනිස්සු දෙන්නගෙන් මට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ.ඒත් මං කොහොමද මෙතනින් පැනලා යන්නෙ? මං ගෙදර නෑ කියලා මෙලහකත් අයිරා ඇන්ටි කේසරට කෝල් කරලා කියන්න ඇති.කේසර කලබල වෙලා මාව හැම තැනකම හොයනවා ඇති.මේ මිනිස්සු දෙන්නගෙ උදව්වෙන් මං කොහොමහරි කේසර ගාවට ගියත් අර මිෂෙල් කියන ගෑණි මගෙ කේසරගෙ ජීවිතේට හානියක් කරන්න බැරි කමක් නෑ.

“මිස් බය වෙන්නැතුව ඉන්න.අපි කොහොම හරි මිස්ට මෙතනින් යන්න උදව් කරන්නම්………………….”

“කේසර මාව හැම තැනකම හොයනවා ඇති………………….”

“මිස්ට මගෙ ෆෝන් එක දෙන්නම්.මිස් කේසර බොස් එක්ක කතා කරලා හිමීට මේ ගැන කියන්න…………………”

ඒ ඩගී කියන මනුස්සයා මට එයාගෙ මොබයිල් ෆෝන් එක දුන්නා.මං කේසරට කෝල් එකක් ගන්න හැදුවත් ගත්තෙ නෑ.මං කේසරට කතා කරලා මං ඉන්න තැන කිව්වොත් එයා මාව හොයාගෙන ඇවිත් මාව මෙතනින් ගෙදර අරන් යයි.එහෙම වුනොත් අර මිෂෙල් කියන් ගෑණු කෙනා මගෙ කේසරව මරයි.මට බෑ කේසරගෙ ජීවිතේ අනතුරේ දාන්න.

ඒත් මං කොහෙද යන්නෙ?මට කේසර නැතුව ඉන්න බෑ.කේසර ගාවට ගියොත් එයාව අර ගෑණි මරයි.මං දහ අතේ කල්පනා කරා මොකක්ද කරන්නෙ කියලා. එතකොටම ඩගීගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ මනුස්සයා කෝල් එක ආන්සර් කරලා මං ඉන්න තැනට ආවා.

“රෙජී……මිෂෙල් මැඩම් කතා කරේ…………………”

“මොකද කිව්වෙ?කේසර බොස්ට ආරංචි වෙලාද මිස්ව හංගගෙන ඉන්නෙ අපි කියලා………………..”

“නැහැ.මිෂෙල් මැඩම් කියනවා ශනායා මිස්ව මරලා බොඩි එක ගඟකට දාන්නලු…………………”

දෙයියනේ……ඒ කතාව අහලා මගේ ඇඟේ ලේ වතුර වුනා.මුලු ඇඟටම දාඩිය දැම්මා.අර ගෑණිගෙන් බේරෙන්න බැරුව මේ මිනිස්සු දෙන්නා මාව මරයිද?බිය වැඩි කමට මගේ හුස්ම ගැනීමේ වේගයත් වැඩි වුනා.පපුව ගැහෙන්න ගත්තා.

“මිස් බය වෙන්න එපා.අපි මිස්ව මරන්නෑ.පාන්දර දෙක වෙද්දි මිස් පල්ලෙහා තියන කාරෙකට නැගලා හැංගෙන්න.මිස්ට යන්න ඕනි තැන කියන්න.අපි ගිහින් දාන්නම්.හැබැයි කාලයක් යනකල් මිස් හැංගිලාම ඉන්න.

අඩුම තරමෙ අපි දෙන්නා මිස්ගෙ ජීවිතේ බේර ගත්තු එකට කළ ගුණ සැලකීමක්වත් වශයෙන් මිස් හැංගිලා ඉන්න.බැරි වෙලාවත් මිස් ජීවතුන් අතර ඉන්නවා කියලා මිෂෙල් මැඩම් දැන ගත්තොත් අපි දෙන්නවත් මරයි………………”

මං කුසට අත තියාගෙන එහෙම්මම බිමින් වාඩි වුනා.දරු පැටියා කුසට ආවා කියලා දැනගෙන දවසක් ගෙව්නෙ නෑ. හැම බලාපොරොත්තුවක්ම විනාශ වීගෙන එනවා.කොයිතරම් හීන දැක්කද කේසරත් එක්ක මේ සතුට විඳ ගන්න.දැන් කේසර පිස්සෙක් වගේ මාව හැම තැනකම හොයනවා ඇති.

මං ප්‍රෙග්නන්ට් කියලා අයිරා ඇන්ටි සමහර විර කේසරට කියයි.එයා මොන තරම් දුක් වෙයිද අපි දෙන්නගෙම ජීවිත අනතුරේ වැටෙයි කියලා.ඒත් මං දැන් කොහෙද යන්නෙ?මට කොහෙත්ම කේසර ගාවට යන්න බෑ.

කල්පනා කරලා කරලා මං එක තීරණයක් ගත්තා.ඔව් මං අම්මා ගාවට යනවා.මට දැන් එක විසඳුමයි තියෙන්නෙ.මගෙයි දරු පැටියගෙයි කේසරගෙයි ජීවිත රැක ගන්න මට කරන්න තියෙන්නෙ එච්චරයි.

“මෙ……මේ මාව අපේ ගමට ගිහින් දාන්න පුලුවන්ද?…………………..”

“මොකක්ද මිස්ගෙ ගම?…………………..”

“නුවර තියෙන්නෙ.මාලිගාව කිට්ටුවමයි.මට අම්මාගෙ ගමට බස් එකේවත් යන්න සල්ලි නෑ.මං කේසර ගාවට ගියොත් අර මිෂෙල් කියන ගෑණු කෙනා අපේ ජීවිත විනාශ කරයි………………….”

“හරි මිස්.එහෙනම් පාන්දර දෙක වෙද්දි මිස් පල්ලෙහා තියන වෑන් එකට නගින්න.මං මිස්ව ගමට ගිහින් දාන්නම්…………………..”

“ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි මගෙ ජීවිතේ බේරුවට.මගෙ විතරක් නෙවෙයි මට ලැබෙන්න ඉන්න දරුවගෙත් ජීවිත බේරුනේ ඔයාලා දෙන්නා නිසා……………….”

මං ස්තූතිපූර්වකව ඔවුන් දෙදෙනා දෙස බලා එලෙස පැවසුවා.මැරයින් ලෙස ජීවත් වූවත් ඔවුන් දෙදෙනාට තිබුනේ උණු වන මනුශ්‍ය හදවත් දෙකක්.විනාඩි විස්සකට විතර පස්සෙ ඩගී කියන මනුස්සයා මොකක්දෝ පාර්සලයකුයි වතුර බෝතලේකුයි අරගෙන මං ගාවට ආවා.

“මිස්ට බඩගින්නෙ ඉන්න හොඳ නෑනෙ. මේ කෑම එක කන්න.මේ වතුර බෝතලේත් ළඟ තියාගෙන බොන්න…………………..”

මොන තරම් බඩගින්න තිබුනත් කන්න තරම් හිතේ සැනසීමක් නැහැ.ඒත් දරු පැටියා ගැන හිතලා බඩගින්නෙ ඉන්න හොඳ නැති නිසා මං ඒ කෑම එක කාලා වතුර බිව්වා.හිත පුරාම පැතිරිලා ගියේ කේසර පිලිඹඳ වූ මතකයයි.වෙනදා නම් හැම රාත්‍රියකදීම වාගේ කේසරගෙ උණුහුමට තුරුල් වෙලා මං නිදා ගන්නෙ.ඒත් අද මට නින්ද ගියෙම නෑ.


“මොන ලෝකෙකින් හරි කමක් නෑ පැය විසි හතරක් යන්න කලින් ශනායාව හොයලා දීපන්.උඹලා නිදාගෙනද යකෝ හිටියෙ?කිසිම බයක් සැකක් නැතුව උන් මගේ ගෙදරටම ඇවිත් මගේ ගෑණිව අරන් ගිහින්.කවුරු වුනත් මං කව්ද කියලා දන්නැති කෙනෙක් මේ වැඩේ කරලා තියෙන්නෙ.උන් එකෙක්වත් මං ලේසියෙන් අතාරින්නෙ නෑ.ඔක්කොම,එකෙක් නෑරම මං කෑලි කෑලි කරනවා………………….”😡😡

කේසරගේ කෝපය මෙතෙකැයි කිව නොහැක.ඔහු හතර අතේ කල්පනා කරේ ශනායාව පැහැරගෙන ගියේ කව්ද කියායි.එය සිදු කරේ කව්ද කියා ඔහුට සිතා ගැනීමට අපහසු විය.ඒ කිමද,ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඔහුට හතුරන් සිටියද මෙවැනි පැහැර ගැනීමක් සිදු කිරීමට තරම් හතුරුකමක් ඔවුන් සමඟ නැත.

ශනායාගේ ජීවිතය පිළිඹඳව ඔහුට බියක් දැනුනි.කවුරුන් හෝ ඇයව පැහැරගත් කෙනා ඇයව මරා දමයිද? කිසිසේත්ම එවැනි විපතක් සිදු නොවේවා යයි ඔහු ප්‍රාර්ථනා කරේය. ඔහුගේ ගෝලයින් සියලූම දෙනා සෑම අස්සක් මුල්ලක් නෑරම ශනායාව සොයමින් සිටියා.නමුදු කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.ඔහුගේ හදාතෙහි ඇය ගැන ඇවිලුනු ගින්න නිමා දැමිය නොහැකි විය.කිසිදාක නොමැති ලෙස ඔහුගේ නෙත් වලින් කඳුලු කඩා හැලෙන්නට වූයේ සිය බිරිඳ නොමැති ශෝකයෙනි.

මං මගෙ මැණිකව කොහොම හරි හොයා ගන්නවා.උඹ බය නැතුව හිටපන් රත්තරං.කවුරු මොන ලෝකෙක උඹව හංගගෙන හිටියත් උඹේ කේසර ඉක්මනටම උඹව හොයා ගන්නවා.කාටවත්ම බෑ උඹට මොකුත්ම කරන්න.

ශනායාගේ ෆොටෝ එකක් තුරුල් කරන් කේසර හඬන්නට විය.කවුරු වුවත් කමක් නැත.ඇගේ ජීවිතයට කුමක් හෝ සිදු වුවහොත් ඒ සිදු කල කෙනාව මරා දැමීමට ඔහු තරයේ සිතා ගත්තේය.

“වික්‍රම් ශනායා ගැන ආරංචියක් තියනවද?………………….”📲

කේසර වික්‍රම්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇසුවේය.

“තාම මොකුත්ම හෝඩුවාවක් හොයා ගන්න බැරි වුනා බොස්.අපි කොහොම හරි ශනායා මැඩම් හංගලා ඉන්න තැන හොයා ගන්නවා………………..”📲

“පුලුවන් තරම් ඉකමනට මට ශනායා ගැන තොරතුරක් හොයලා දීපන්.මට පිස්සු වගේ බන්……………….”📲

“බය නැතුව ඉන්න බොස්.ශනායා මැඩම්ව ඉක්මනටම හම්බවෙයි……………….”📲

💔💔

වික්‍රම්,රොනාල් ඇතුළු පිරිස මුලු රට පුරාම සොයා බැලුවත් ශනායා පිළිඹඳව කිසිම තොරතුරක් ඔවුන්ට සොයා ගත නොහැකි විය.කේසර හැසිරුනේ පිස්සෙකු ගානටය.ඔහු නිතරම ශනායා නොමැති දුක නිසා මත්පැන් පානය කරන්නට විය.නිවසේ මෙහෙකාරිය වූ අයිරා,ශනායාට දරුවෙකු ලැබෙන්නට සිටි බවක් කේසරට පැවසුවේ නැත. ශනායා නොමැති දුකින් කේසර මෙලෙස මත්පැන් පානය කර විනාශ වෙනවා නම් ඇයට දරුවෙකු ලැබෙන්නට සිටි බව දැන ගත් විට ඔහු තවත් දුක් වී මානසිකව ඇද වැටෙයි.

දින කිහිපයක් ගෙවී ගියත් කේසරගේ හිතේ ඇවිලුණු ගින්න නිවී ගියේ නැත. ඒ වෙනුවට එම ගින්න බුර බුරා ඇවිලුණි.ඔහු කල් ගෙව්වේ ශනායා නොමැති දුකෙන් මිරිකීය.ඇයගේ සිනහ හඬ,ඇයගේ සුවඳ මුලු කාමරය පුරාම ඔහුට දැනෙන්නට විය.ඇය තමා අසලම සිටිනවාක් මෙන් ඔහුට දැනුනි. ඇඳෙහි ඇය හිස තබනා කොට්ටය ගෙන තම පපුවට තුරුල් කර ගත්තාය. ඔහු කුඩා දරුවෙකු මෙන් හැඬුවේය. ඇයත් සමඟ ගෙවී ගිය රාත්‍රීන් ඔහුට සිහිපත් විය.

ඇගේ සිරුරේ උණුසුමෙන් ඔහු සිටියේ මත් වී මෙන් ය.ඇය හා කයින් වෙලුනු අවස්ථා ඔහුට සිහිපත් විය.එවිට ඔහු ඒවා අමතක කරලන්නේ මත්පැන් ආධාරයෙනි.මේ දින කිහිපයට ඔහු විසින් හිස් කල මත්පැන් බෝතල් ගණනවත් ඔහුට මතකයක් නැත. මුහුණ පුරා වැවුනු රැව්ල,දින ගනනාවකින් නොකැපූ කොණ්ඩය………
ඒ දෙස බලනා කල දිස් වන්නේ ඔහු පිස්සෙකු ගානටය.බාහිර පෙනුමෙන් ඔහු බොහෝ සේ වෙනස් වී ඇත.

ඇඳෙන් නැගිටගත් ඔහු ඇගේ අල්මාරිය විවෘත කරේය.අල්මාරියේ අයිනක ඇගේ අත්බෑගය තිබුනි.ඔහු අරමුණකින් තොරව එය අතට ගත්තේය.එයත් රැගෙන ඇඳ මතින් වාඩි විය.එය විවෘත කර බැලුවේය.

ඇගේ කුඩයත් පර්ස් එකත් තවත් කුමක්දෝ ලියුමක් එහි තිබුනි.එය වෛද්‍ය වාර්තාවකි.ඔහුගේ සිතට අමුත්තක් දැනුනි.සාමාන්‍ය උණක්, කැස්සක්,හෙම්බිරිස්සාවක්…..ඇරෙන්න ඇයට වෙනත් අසනීපයක් තිබුනේ නැත.ඔහු එහි ඇති වෛද්‍ය වාර්තාව ගෙන බැලුවේය.එය කියවූ ඔහුගේ දෑස් විසල් විය.ඔහුව ඉබේම මෙන් ඇඳෙන් නැගිට්ටවුනි.

දෙයියනේ මගෙ මැණිකට දරුවෙක් ලැබෙන්නද ඉඳලා තියෙන්නෙ.මගෙ රත්තරං අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.ඒත් ඇයි ශනායා ඒ ගැන මට නොකිව්වෙ?……………
ඔහු ඉක්මනින් එහි ඇති දිනය බැලුවේය.එහි ඇති දිනය ඇත්තේ අගෝස්තු විස්ස ලෙසය. අගෝස්තු විස්ස යනු ශනායාව පැහැර ගැනීමට ලක් වූ දිනයයි.

එහෙනම් එදා තමයි ශනායා දැනගෙන තියෙන්නෙ එයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.පව් අහිංසකී මං ගෙදර එනකල් ඇඟිලි ගැන ගැන බලන් ඉන්න ඇති මේ සුබ ආරංචිය කියන්න. අනේ මගෙ ශනායා කොහේ ඉන්නවා ඇත්ද?මගෙ දරු පැටියා කුසේ තියාගෙන එයා දුක් විඳිනවා ඇති………………..

එතැන් පටන් කේසර දිවි ගෙව්වේ වෙනදාටත් වඩා අමාරුවෙනි.ශනායාව මතක් වන වාරයක් වාරයක් පාසා ඔහුගේ හදවත අලු වී යනවාක් මෙන් දැනෙයි.සිය දරුවාත් කුස දරාගෙන ඇය කොහේ යන්නට ඇත්ද?ව්‍යාපාරික ලොවේ තමා අංක එක වූවත්,තමා කෙතරම් බලවත් චරිතයක් වූවත් මාසයක් තිස්සෙ අතුරුදන් වී සිටින තම ගැබිනි බිරිඳව ඔහුට සොයා ගැනීමට නොහැකි විය.

ඇය කොහේ ඇත්ද?කේසර තම පියාටද මේ ගැන පැවසුවේය.ඔහුත් ඔහුගේ ගෝලයින් යොදවා ශනායාව සෙව්වත් පලක් වූයේ නැත.ඇය ගැන පොලීසියට දැන්වූවත් පලක් වූයේ නැත.

ශනායාගේ පියාත් ඇගේ කුඩම්මාත් පුවත්පත් වල පවා දැන්වීම් යොදා ශනායා පිළිඹඳ තොරතුරු සෙව්වාය. එහෙත් ඔවුන්ට ඇය ගැන කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.


“දෝණී……මේ බත් ටික කාලා ඉන්න දරුවො.අප්පිරියයි කියලා නොකාම ඉන්න එපා.බඩගින්නෙ ඉන්න හොඳ නෑ……………………”

අම්මා බත් පිඟානක් අරන් ඇවිත් මගේ ඇඳේ පැත්තකින් වාඩි වුනා.ඇයට මහන්සි වෙන්ම එපා කියලා කෙතරම් කිව්වත් අහන්නෙ නෑ.අමාරුවෙන් ඇවිදලා මට කෑම බෙදාගෙන ඇවිත්.

“අනේ අම්මෙ ඇයි ඔයා මහන්සි වුනේ? මං කිව්වනෙ ඔයාට මහන්සි වෙන්න එපා කියලා.කියන දේ අහන්නැතුව ඔයා ඇවිදිනවා.මට පුලුවන් බෙදාගෙන කන්න…………………..”

“මට මහන්සියක් නෑ දුව.ඔයා මේ කෑම ටික කාලා ඉන්න.බඩගින්නෙ ඉන්න එපා.ඒක දරුවට හොඳ නෑ…………………”

අම්මාගේ බල කිරිල්ල නිසාම මම බත් කටවල් දෙක තුනක් කාලා පිඟාන හෝදලා තිබ්බා.සාලෙට ඇවිත් අම්මා ගාවින් වාඩි වුනා.මගේ දුක සැපට හැම දේකටම මට දැන් ඉන්නෙ අම්මා විතරයි.

“ඔයා දුකින් ඉන්න එපා දුවේ.මේ කාලෙ පුලුවන් තරම් හිත සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනි.මොන දේ සිද්ද වුනත් මගෙ දූටයි දරු පැටියටයි මං ඉන්නවා.ඔයාලා දෙන්නා තනිවෙලා කියලා හිතන්න එපා.හැම දෙයක්ම හොඳින් විසඳෙයි………………..”

“මට හැම වෙලේම කේසරව මතක් වෙනවා අම්මෙ.ඒත් මොනවා කරන්නද මං කේසර ගාවට ගියොත් අර යක්ෂ ගෑණි අපි තුන්දෙනාවම මරලා දායි.ඊට වැඩිය හොඳයි හූල්ල හූල්ල මෙහෙම ඉන්න එක.කේසර පිස්සුවෙන් වගේ ඇත්තෙ මාව හොයාගන්න නැතුව……………………..”

“මහ කාලකණි ගෑණියෙක්.මේ ලෝකෙ වෙන මිනිස්සු නෑ වගේ අනුන්ගෙ මිනිහෙක්ව අල්ල ගන්න දඟලනවා. උන්ට ඕවා මෙලෝවදීම පටිසන් දෙන්න ඕනි……………………..”😡😡

අම්මාගේ සිතේ ඇත්තේ මිෂෙල් ගැන කෝපයකි.මගේ සිතේ ඇත්තේද එවැනිම කෝපයකි.ඒත් ඒ කෝපය අභිබවා සිතෙහි ඇති දුක් ගින්න පිටාර ගලයි.අම්මාත් නොසිටියා නම් මගේ ජීවිතේට කුමක් සිදුවේ දැයි කියා සිතා ගැනීමට පවා නොහැකිය.මගේ දරුවට කවදාවත් එයාගෙ තාත්තගෙ ආදරේ උණුසුම විඳගන්න නොලැබෙයිද?කුස අතගාමින් මං කල්පනා කරේ මගෙ දරුවගෙ අනාගතේ ගැනයි.

ඩගී සහ රෙජී ශනායාව මරා දැමුවා යැයි සිතූ මිෂෙල් කේසරට ලං වෙන්න උත්සහ කරා.නමුත් කේසර ඇයව පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මායිම් කරේ නෑ.ඒත් මිෂෙල් ඇගේ උත්සහය අත්හැරියේ නැහැ.ඇය දිගින් දිගටම කේසර පසුපසින් ආවා.

නැවත හමුවෙමු

Advertisment