චූටි දෝණි… චූටි දෝණි … කොහේ ගිහිංද මන්දා මේ දරුවා?”

“අනේ ඇයි අම්මා… මම මේ ජනේලය ළඟ “

“නිදා ගන්න දරුවෝ .පාන්දර ඇහැරෙන්නත් ඕන. මනමාලියක් නිදි මරන්න හොඳ නෑ මැණිකේ .”

දවස ගෙවිලා යන්න තව හෝරා කිහිපයයි.. නින්ද අහලකටවත් එන්නෙ නැත්තේ මුලු හිතම අමුතුම හැගීම් ගොන්නකින් වෙලාගෙන තියෙන නිසාමයි.. සුරාජ් මගේම වෙලා අපේම ලෝකයක් හදන හීනය හැබෑ වෙද්දි මගේ පණ වෙලා ඉන්න මගේ අම්මා මගෙන් ඈතට යනවා… ඇයි හැම ගෑණු ළමයෙක්ටම සතුටක් එක්කම දුකක් ජීවිතයේ හොඳම දවසෙම දෙන්නේ කියල හිත හිත ඉද්දී තමා අම්මා කොණ්ඩය ගොත ගොත මාව හොයාගෙන ආවේ….

“චූටිං දෝණි අද මාත් එක්ක නිදා ගමුද?”

මගේ ඇස් දිහා බලාන අම්මා එහෙම ඇහුවේ ගොඩක් දවසකට පස්සේ ඒ වචන , ඒ බැල්ම එක්ක මගේ හිත කීරී ගැහිලා ගියේ නිමේශයකින්. අම්මගේ උණුසුමට තුරැලු වෙලා පොඩි දරුවෙක් වගේ නිදාගෙන හිටි මම පාන්දර ඇහරුනේ අම්මගේ කට හඬටමයි…..

පැය කට්ට මිනිත්තු කට්ට හරි වේගෙන් ගිහිං මගේ අම්මගේ අත් දෙකෙන්ම ගෙත්තම් වුන තනි සුදු ගවුම ඇඳගෙන ගොක් කොළ රැහැනින් නිම වුන පෝරුව උඩ මම තව අම්මෙක්ගේ දුවෙක් වුණා. මම දන්නවා අම්මගේ චූටි දෝණිගේ ආදරේ බෙදිලා යනවට අම්මා ලෝබයි. ඒත් අද මගේ අම්මා මං දිහා බලන්නේ හරි ආඩම්බරයෙන්. ඒ මොකද දන්නද මම එයාගේ දුව නිසා…

අන්තිම මොහොතේ මගේ ඇහෙන් කදුලක වැටෙනවා දැක්ක මගේ අම්මා මාව තුරැලු කර ගත්තේ පුදුමාකාර දරු සෙනෙහසකින්. මං ඒ මොහොතේ අම්මට කිව්වේ එකම එක දෙයයි.ඒ මොකක්ද දන්නවද?

“අම්මේ ඔයාට පුළුවන් ද අම්මගේ වත්තේ පිපිණු මේ මල අම්මගේ වත්තෙම හැමදාම තියා ගන්න” කියලා.. ඒත් අම්මට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.. දුවෙන් ඉන්න හැම අම්මෙක්ටම දවසක ඒ දූව දෙන්න වෙනවා වෙන අම්මෙක්ට. අන්තිමට මම දැක්කේ අම්මගේ අතේ තිබුණ පුංචි ලේන්සුව අම්මාගේ ඇහ ළඟට යනවා ව්තරමයි……

ස්තූතියි
අමාලි විජයන්ති