අනුපමා මෙතන මස් වගයක් තියෙනවා රෑ වෙලා බයිට් එකට හදලා ගන්න… අහ් මතක ඇතුව පපඩමකුත් බදින්න..”
“අදත් රෑ වෙද්දි පටන් ගන්නද යන්නේ ?මේ ගෙදර අවුරැදු දහයක කෙල්ලෙක් ඉන්නවා අසංක. ඔයාට කොච්චර කිව්වත් ගානකවත් නෑ. මේ කණෙන් අහලා අනෙත් කණෙන් පිට කරනවා.”
හෙම්බත් වෙලා වැඩ ඇරිලා එන අසංක දොරකඩ ඉදන්ම නිමන්තිට මස් පාර්සලය දෙන ගමන් එසේ කීවේ ඉල්ලිමක් ස්වරයෙන් නම් නෙවෙයි. ඒක තනිකරම අණ කිරීමකි . අඩුම තරමේ සතියට එක දවසක් හෝ මේ අණ කිරීම නිමන්තිට හුරුපුරුදු එකක්…
අවුරැදු තුනක ආදර සම්බන්ධයකින් පෝරුව උඩ මුදු මාරු කරගෙන එකිනෙකාගේ යුතුකම් හරියට ඉෂ්ට කරන්න පොරොන්දු දුන්න අසංක අද හැසිරෙන්නේ එයාට පවුලේ කිසිම වගකීමක් ලැබිලා නැති ගානටයි. දරුවෙකුත් නැති ගානටයි..
විවහ වෙච්ච මුල් කාලයේ අසංකට අනුපමා නැතුව මළ ගෙදරකට දානේ ගේකටවත් යන්න බැරි වුණා.. ඒත් කාලයත් එක්ක රැකියාව පත්තර කන්තෝටුවට මාරු වෙද්දි වෙනස් වුනේ අසංකගේ රැකියාව විතරක් නෙවෙයි ගති පැවතුම්ද වෙනස් වුනේ අලුතෙන් හම්බවුන යාලුවෝ නිසයි.
“දෝණි අපි යමු කාමරේට. ඔයාට ගණං වැඩ වගයක් තියෙනවා කිව්වා නේද?අපි ඒ ටික බලමු ගිහිං “
ගේට්ටුව ඇරෙන සද්දෙත් එක්කම මිදුලෙන් පිරිමි කටහඬවල් දෙකක් තුනක් ඇහෙද්දිම අනුපමා දරුවාව කාමරයට එක්ක ගියේ බේබද්දන්නේ ඇස්වලින් දරුවාව රැක ගන්න ඕන නිසාමයි.
“අම්මේ..?”
” හ්ම්…. ඇයි දෝණි? නිදි මතනම් හෙට පාන්දර ඇහැරලා කරමු මේ ටික?”
“නෑ. අම්මේ අදත් අප්පච්චි බීලා අපි දෙන්නට ගහයිද?”
බයත් එක්කම දුකත් ඇස්වලින් දෝරෙන ගලන ගමන් අනුපමාගේ බඳ වටා අතක් යවමින් දෝණි එහෙම ඇසුවේ නිකන්ම නෙවෙයි. මේ චූටි කෙල්ලට මෙක සුලබ සිදුවීමක් නිසයි.
අසංක යාලුවො ගෙදර එක්කන් ඇවිත් බෝතල් පාර්ටි දාලා සිංදු කියලා ඉවර උනාට පස්සේ හැමදාම කලේ දරුවටයි අනුපමාටයි කෑ ගහන එක. ඊට අමතර දෙයක් කලා නම් ඉඳහිට අත උස්සන එක එකයි තමයි. ඒ නිසාම දෝණි තාත්තා එයාගේ ළඟට එනකොටත් බයෙන් ගැහෙන්නේ දියෙන් ගොඩට ගත්ත මාලුවෙක් හා සමානවයි.
“අනුපමා… අනුපමා කොහෙද ගෑණියේ උඹ?”
“චටාස්”
දරුවා තුරැලු කරන් නිදාගෙන හිටිය අනුපමා නින්දෙන් ඇහැරුනේ මේසය මත තිබුණ වීදුරු කෝප්ප එකින් එක පොළව ස්පර්ශ කරනා හඬටයි.
“ඇයි අසංක මෙහෙම හැසිරෙන්නේ? කෑව නම් බිව්ව නම් නිදා ගන්න අපිට තවත් කරදර නොකර ? මේ දරුවා ගෙට ස්කෝලේ යන්නත් ඕනේ.” කාමරේ දොර රෙද්ද මෑත් කරමින් සාලයට ආ අනුපමා එසේ කියන්නට විය.
“උඹට මාව දැන් කරදරයක් එහෙනම්.. දැන් එහෙනම් ඇති නේහ් උඹට ආදරේ කරන් උනුත්?”
ඔහු අනුපමාගේ කෙස්වැටියෙන් අල්ලා ගන්නා ගමන්ම එසේ කියන්නට විය.
“ආයි ..ආයි.. අනේ අසංක අත අරින්න.. රිදෙනවා. “
“රිදෙන්න තමා යකෝ කොණ්ඩෙන් ඇල්ලුවේ.. වෙන පිරිමි ළඟ හුරතල් වෙන උඹව නලවන්නද මට කියන්නේ?”
අරක්කු ගඳත් එක්කම ඔහුගේ කටින් පිටවුණ ඒ වචන අනුපමාට පිහි ඇණුමකට වඩා වේදනාකාරී විය.
“කට ගොම්මනක් බීගෙන මොනවද මනුස්සයෝ මේ කියන කතා? තමුසෙ නයිට් ක්ලබ් ගානේ ගිහිං ගෑනුන්ගේ ඇගේ දැවටුනාට මම එළිවෙච්ච වෙලාවේ ඉදන් ගෙදර වැඩ කරලා ළමයගේ වැඩ කරන්නේ මේ පවුල රැක ගන්න මිසක් හොර මිනිස්සු ලඟ නැලවෙන්න නෙවෙයි .”
දෑතින් කදුල පිස දමමින් ඇය ඇඬුම් ස්වරයෙන් එසේ කියන අතරේ මේ කාලගෝට්ටිය අසාගෙන සිටි දෝණි නින්දෙන් ඇහැරී සද්ද නොකරම ඇඳ යටට යන්නට වූයේ අප්පච්චිගේ දරදඬු අත් පාරවල්වල සැර ඈ දන්නා නිසාවෙනි.
පසුදා උදෑසන****
“අම්මා?.. ඇයි මට නංගියෙක්වත් මල්ලියෙක්වත් නැත්තේ? යාලුවො හැමෝටම ඉන්නවා. අපිත් ගේමුකෝ”
ඇය මුහුණ බිමට හරවාගෙන ගේට්ටුවේ කූරැ ගණින ගමන් අහන්නට විය. එය ඇසූ අනුපමාගේ හිත වේදනා දෙන්නට වූයේ අනුපමාට උවමනාව තිබුනද අසංකගෙන් කිරි සිහිනයක් තියා මෘදු ස්පර්ශක්වත් විදින්නට ඇයට පුංචි ඉඩක්වත් මේ වන විට නැති නිසාය.
“දෝණි රෝස කැලේ චූටි බබාලා ඉවර වෙලාලු මැණිකේ “
අනුපමා හිතේ වේදනාව සගවන්නට උත්සහ ගනිමින් දෝණිව එසේ සනසන ගමන් හිස පිරි මදින්නට විය.
අවුරුද්දකට පසු *
“අසංක මට තවත් මේ දරුවා එක්ක වේදනා විදින්න බැ.. මං උපරිම ඉවසුවා. ඔයාට අරක්කු බෝතලෙයි සිගරට් එකයි නයිට් ක්ලබ් එකයි විතරයි ඕන. ඔයාගෙන් මට සත පහක්වත් ඕන නෑ.. මට පුළුවන් මං ගැනයි දරුවා ගැනයි බලා ගන්න .”
කාලෙකට පස්සෙ අසංක සාලයේ පුටුවකට බර වී තේ උගුරක් බොමින් ඉන්නා මොහොතේ අනුපමා අසල වූ පුටුවක හිඳ ගනිමින් එසේ කියන්නට විය.
“අනු දැන් ඔයා මොකක්ද කියන්න යන්නේ?”
” මුකුත් කියන්නේ නෑ . මට මෙන්න මේ ඩිවෝස් පේපස් වලට සයින් කරලා දෙන්න.”
“පිස්සු හැදිලද තමුසෙට?. අර කෙල්ලට තාත්තෙක් කෝ?”
කෝප්පය අසල වූ මේසය මත තැබූ අසංක පුටුවෙන් නැගිටින ගමන්ම එසේ අසන්නට විය.
“විහිලු කරන්න එපා අසංක ? ඔයාගේ බේබදු යාලුවො ගෙදරටම ඇවිත් මේ දරුවගේ ඇඟ අතපත ගාන්න හදද්දී ඔයාගේ ඔය තාත්තා කියන හැඟීම කොහෙද තිබ්බේ අසංක?
චෝදනාත්මක ස්වරයෙන් අනුපමා එසේ අසද්දි ගොලුවත රැක්ක අසංකට දීමට කිසිදු පිළිතුරක් නොවීය.
“අනුපමා මම ඔයාලට කන්න අදින්න අඩු කලේ නෑ නෙහ්. යාලුවො මෙහෙට ගෙන්නන එක නවත්තන්නම් ඩිවෝස් නොවී ඉමු”
“මට ඔය බේබදුකම තිත්ත වෙලා.. අර දරුවා තාත්තා කියන වචනෙටත් බයයි. මතක තියා ගන්න කෑමවත් ඇඳුම්වත් නෙවෙයි ආදරේ කියන්නේ. අපිට මේ බැඳීම ඕන නෑ.. තමුසේ තමුසෙගේ අර යාලුවො ටික එක්කම ඉන්න. මට කරුණාකරලා මේක අත්සන් කරලා දෙන්න.”
ඔහුගේ ක්‍රියාකලාපයේ වැරදි ඇති නිසාම ඔහුට කර කියා ගන්නට දෙයක් නැත. ඒ නිසාම ඔහුට එයට අත්සන තැබීමට සිදුවිය.
අනුපමා හැකි සෑම විටම හදිසියකය ගන්න එකතු කර තිබූ මුදල් බැංකු පොතෙන් ගන්නට වූයේ සොයා ගත් කුලී නිවසට ගෙවීම සඳහාය. නිවසේ සිට මුදල් උපයා ගන්නට කල්පනා කළ නිසාවෙන් ඇයට ඇයගේ යාලුවෙකුගේ උපකාරයෙන් පොත් ටයිප් කිරීමේ රැකියාවක් සොයා ගන්නට හැකි විය.
මෙසේ අලුතින් පටන් ගත් ජීවිතයට අනුපමාගේ දෙමාපියන්ගේද උදව් හිමි වූ නිසා මේ ගෙවන ජීවිතය දෙදෙනාම සතුටින් නිදහස්ව ගෙවන්නට විය. කාලයත් සමඟම මේ ජීවිතයට හුරු වූ ඔවුන් පියෙකු ස්වාමියෙකු නැතත සිතේ සැනසීමෙන් තියෙන විදියට කාලා බීලා ජීවිතය සතුටින් ගත කලේ පහුගිය අවුරැදු ගණනාවේම නොවිදපු සතුටක්ද ලබමින්ය.
දරුවන් සිටින පියෙකුට තම දරුවා සහ බිරිඳ වෙනුවෙන් මොන තරම් නම් වගකීම් පවතිනවාද?විශේෂයෙන්ම දියණියක් සිටින පියෙකු මොනතරම් චරිතවත් විය යුතුද? මෙවන් පියවරු ස්වාමින් සිටින සමාජයක දරුවන්නේ අනාගත, බිරින්දෑවරුන්ගේ අනාගතය කෙබඳු වෙවිද ? හිතන්නට යමක් තබමින් නවතිමි මම අදට….
ස්තූතියි
අමාලි විජයන්ති