දෙවෙනි ගමන.
…………………………..
“අත්තම්මේ අරයා මම දිහා බලනවා”.
“කවුද කෙල්ලේ.”
“අර අතන දොර ළඟ හිටගෙන ඉන්නේ”.
“කොතනද? දුවේ මට පෙනෙන්නේ නෑ.”
“අර කළුපාට දිග කලිසමකට අත් දිග කමිසයක් ඇඳලා කොණ්ඩය පැත්තට පීරලා ඉන්න කෙනා.”
“කලු පාට බෑග් එකක් අතින් එල්ලගෙන ඉන්න මහත්තයාද?”
“ඔව් අත්තම්මේ.”
“උඹ දිහා බැලුවට කමක් නෑ උඹ ඔය නන්නාඳුනන පිරිමි දිහා බලන්න යන්න එපා.”
“හා අත්තම්මේ.”
“අත්තම්මේ එයා ආයෙමත් මං දිහා බලනවා” .
“මං උඹට කීවනේ උඹ ඒ පැත්ත බලන්න යන්න එපා.”
අත්තම්මා සමඟ කැළණි විහාරය වඳින්න යනකොට මා ඔහුව දුටුවේ අහම්බෙනි. ඒ කෝච්චියේ තුන්වන මැදිරියක දොරක් අසලය. ඒ ඔහු මට හමුවු පළමු අවස්ථාවය. ඔහු පැත්තකට කොණ්ඩය පීරපු හීනියට උඩු රැවුල තියපු උස තලෙලු කඩවසම් තරුණයෙකි.
ලෝකයේ කතා කරන ඇස් ඇති පිරිමි ඇති වග මා ඉස්සෙල්ලාම දැන ගත්තේ ඔහු දුටු මුල් දවසේය. කෝච්චියේ සෙනඟ අතරින් ඔහු මා වෙත ඇවිත් මට දෙයක් දෙන්නට අත දික් කලේය. ඒ ඇස් දෙක බලාගෙන මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් හයියක් තිබුනේ නෑ.
එය පොඩි තුණ්ඩු කෑල්ලකි. අත්තම්මාට නොපෙනෙන්නට එය අතේ ගුලි කර ගත්තාට මට එය බලනකන් ඉස්පාසුවක් තිබුනේ නෑ. ඔහු අහිංසක ලෙස සිනාසී යන්නට ගියේය. ඒ සිනහවේ අව්‍යාජ බව උතුරා ගලායන අයුරු මම දැක්කෙමි.ඔහුගේ හීනි උඩු රැවුලට හැඩිදැඩි සිරුරේ කඩවසම් බව තවත් ඔප මට්ටම් කලේය.
“කෙල්ලේ තවමත් ඌ උඹ දිහා බලනවාද දුවේ.”
“නෑ අත්තම්මේ එයා බැහැලා ගියා.”
“ඔය කෝච්චි වල කෙල්ලන්ට බැල්ම දාන පිරිමි මහ වල් වනචර හැත්ත.”
“කෝච්චි වල හොඳ අවංක අය ඇත්තෙම නැද්ද අත්තම්මේ.”
“ඉන්නවා එකෙක් දෙන්නෙක්. අනිත් පිරිමි ඔක්කොම කපටි බොරු කාරයෝ.”
කැළණි විහාරය වැඳලා ගෙදර ආපු ගමන් මම කලේ කෝච්චියේදී මහත්තයා දුන්න කොළ කෑල්ල දිග ඇරලා බලපු එක. ඒකේ ලියලා තිබුනේ එඩ්‍රස් එකක්. ඒකේ යටින් ලියලා තිබුන එක දැකලා මට පුදුම හිතුනා.
“ඔයා තවම අවිවාහක කන්‍යාවියක් නම් ඔයා අයිති මට. ඉක්මනට ලියන්න. මම ඔයා වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා. “
ඔව් මම කන්‍යාවියක්. ඒත් අත්තම්මාට නොදන්වා නන්නාඳුනන පිරිමියෙක්ට ලියුමක් ලියන එක මහා ලොකු වරදක් ලෙස මට පෙනුනි. ඒ හින්දාම කෝච්චියේදී මහත්තයා දුන් ලිපිනය මම ඉස්සෙල්ලාම පෙන්නුවේ අත්තම්මාටය.
“ඔය මහත්තයාට ඇත්තටම උඹ ගැන ආදරයක් ඇති වෙලා වෙන්න ඇති. උඹ ලියමනක් තැපැල් කරපන් දුවේ.”
“හා අත්තම්මේ.”
“හැබැයි මතක තියාගනින් දුවේ කවදාවත් තනි පංගලමේ හම්බ වෙන්න එන්න කීවට කිසිම තැනකට යන්න එපා. යන තැනකට යනවා නම් යන්න ඕනේ මාත් එක්ක. තේරුණාද කෙල්ලේ”.
“තේරුණා අත්තම්මේ. “
මම කෝච්චියේ හමුවු මහත්තයාට ලියමනක් තැපැල් කලේ අත්තම්මාගේ අවසරය මතය. ලියුම තැපැල් කරන්නට මත්තෙන් එය දෙතුන් වතාවක් කියවූයේ වැරදි ඇත්දැයි බැලීමටය.
දයාබර මහත්තයා වෙත ලියමි.
මම තවම කන්‍යාවියක්. ඒ උනාට මම දෙමව්පියන් නැති දුප්පත් කෙල්ලෙක්. මගේ එකම නෑදෑයා සහ මගේ තනියට ඉන්නේ මගේ අත්තම්මා විතරයි. මා ගැන අදහසක් තියේ නම් ඇවිත් අත්තම්මා සමඟ කතා කරන්න. මහත්තයාට තෙරුවන් සරණයි.
මීට
ඕලු.
“අවංකවම උඹ ගැන ආදරයක් ඇති උනානම් ඒ මහත්තයා ගෙදරටම ඇවිත් උඹ ගැන කතා කරයි කෙල්ලේ. ඕනවට වැඩිය පිරිමි ගැන බලාපොරොත්තු තියාගන්න එපා.” අත්තම්මා කීවේ එහෙම.
හුඟක් අය කිව්වේ මම ගොඩක් ලස්සන කෙනෙක්ලු. තවත් සමහරු කිව්වේ මම මගේ මැරිච්ච අම්මාගේ කපාපු පලුවලු. ඒ ලස්සන විටෙක මට මහ වදයක් උනා.
යුවතියකගේ වටිනාම වස්තුව චරිතයලු. චරිතයට හානියක් උනොත් ගැහැණියකට වෙන්නේ ජීවිත කාලයම කදුලු බොන්නලු. අත්තම්මාගේ කටින් වැඩිම වාර ගණනක් පිටවු වචන ටික මට දැන් කට පාඩම්ය.
දවසින් දවස ගෙවිලා යනකොට මමත් බලාපොරොත්තු ගොඩ ගහගෙන එයාගෙන් ලියුමක් ලැබෙන තුරු මග බලාගෙන හිටියා.ඒත් ලියුමක් ආවේ නෑ. අත්තම්මා කීවේ ඔහු මහ බොරු කාරයෙක් කියලයි. ඒත් මට හිතුනා එයා කවදාහරි මාව හොයාගෙන එයිම කියලා.
මට නිතර දෙවේලේ සිහිවූයේ ඒ හැගීම් බර මුහුණය. කතා කරන ඒ ඇස් දෙක , හීනියට වවා තිබු උඩු රැවුල මා ඉදිරියේ මට මැවී පෙනෙන්නට විය.යුවතියකගේ සිත සොරා ගැනීමට තරම් ඒ රූපය ප්‍රබල විය. මගේ සිත හැඟුම් බර ආදර සිතුවිලි වලින් පිරී යන්නට පටන් ගත්තේ ඉන් පසුවය. ඒ ටිකේම මා අත්තම්මා සමඟ කතා කලේ ආදරය ගැනය.
“අත්තම්මේ..”
“ඇයි කෙල්ලේ”.
“අත්තම්මා කසාද බදිනකොට වයස කීයද?”
“මම කසාද බදිනකොට මට අවුරුදු දහ හතරයි කෙල්ලේ.”
“අත්තම්මා කසාද බැන්දේ ආදරය කරලද?”
“නෑ කෙල්ලේ. මම කසාද බැන්දේ අප්පච්චි හොයලා දුන්න කෙනෙක්.”
” කෝච්චියේ දැකපු මහත්තයා ලස්සන කෙනෙක් නේද අත්තම්මේ.”
“පිරිමියෙක්ගේ මුහුණ බලලා තේරුම් ගන්න අමාරුයි දුවේ. පිරිමි ඉක්මනට වෙනස් වෙනවා. ඒක හින්දා මගේ දුව ඒ ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. “
අත්තම්මා එහෙම කිව්වට අමතක කරන්න බැරි තරමට මගේ සිත මහත්තයා ගැන ආදරෙන් බැදිලා කියලා මට හිතුනා. මෙච්චර බලාපොරොත්තු දීපු මහත්තයාට මාව අමතක උනාවත්ද?.
මම ලියපු ලියුම බලලා මහත්තයාට හිතෙන්න ඇති මම ගොඩක් දුප්පත් කෙනෙක් කියලා. ඒක හින්දා මහත්තයා මාව අමතක කරාවත්ද?. නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ. එහෙනම් ඇයි තුණ්ඩු කෑල්ලේ ලියලා තිබුනේ මම කන්‍යාවියක් නම් මාව ස්ථිරවම එයාගේ කර ගන්නවා කියලා.
මහත්තයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියාට, එයාගෙන් ලියුමක් එන්න ටික ටික පරක්කු වෙනකොට , මට හිතුනේ මහත්තයාට මාව අමතක වෙන්න ඇති කියලා.
එක දවසක් අපේ ගෙදර පැත්තට සුදුපාට කාර් එකක් හැරෙව්වා. කාර් වලින් එන්න තරම් අපිට ලොකු නෑදෑයෝ හිටියේ නෑ. කාට හරි පාර වැරදිලා වෙන්න ඇති. මම එහෙම හිතාගෙන මිදුලට වෙලා බලාගෙන හිටියා. කාරෙක අපේ ගේ ඉස්සරහ නතර උනා. දොර ඇරැනාම මට අදහාගන්න බැරි උනා.
අත්තම්මේ එයා ඇවිත්.. මට ඉබේටම කෑ ගැස්සුනා.
මේක හීනයක් නම් වෙන්න එපා දෙයියනේ. මම ඇස් පිසදාගෙන ආපහු බැලුවා. නෑ ඒක හීනයක් නෙවෙයි. ඒ එයාම තමයි.
“ඕලු.. මම ඔයාව බලන්න ආවා.. මොකද මේ ඔයා බයවෙලා.”
“නෑ. මට තවමත් විශ්වාස කරන්න බෑ මහත්තයා අපේ ගෙදරට ආවද කියලා. “
“මහත්තයාට ගෙදර හොයා ගන්න අමාරු වෙන්න ඇති.”
“ඔයා ලියුමේ ලියලා තිබුන එඩ්‍රස් එක නිසා අමාරු උනේ නෑ.”
“කෝ අත්තම්මා.”
“ඉන්නවා”.
“අත්තම්මේ”
මම ගේ පිටිපස්සේ හිටපු අත්තම්මා කැන්දාගෙන ආවේ ගෙදරට ආපු විශේෂ අමුත්තව පෙන්නන්න.
අත්තම්මාට මහත්තයා දැක්කාට එකපාරටම අදුනා ගන්න බැරි උනා.
“අත්තම්මේ මේ කෝච්චියේ දැකපු මහත්තයා. “
“අනේ මහත්තයෝ මට අදුනාගන්න බැරි උනා. “
“මහත්තයාට ලියමනක් තැපැල් කරපු දවසේ ඉදලා මගේ කෙල්ල පාර දිහා බලාගෙන ඉන්නවා. මහත්තයා ගෙදරටම ආපු එක කොච්චර දෙයක්ද.”
” රාජකාරි වැඩි හින්දයි ටිකක් ප්‍රමාද උනේ”.
“හිටගෙන ඉන්නේ වාඩි වෙන්න මහත්තයා කියමින් අත්තම්මා ගෙදර තිබුන එකම පුටුව මහත්තයාට වාඩි වෙන්න දුන්නා”.
මහත්තයා එදා දැක්කට වඩා තවත් ලස්සන වෙලා කියලා මට හිතුනා.
“ඉතින් කොහොමද ඕලු. මම ආවේ ඔයාව බලන්න. කෝච්චියේදී ඔයාව දැකපු දවසෙමයි මට ඔයා ගැන අදහසක් ඇති උනේ. ඒත් ඉතින් කලබලේට කතා කරගන්න බැරි උනානේ. ඔයා මග හැරෙයි කියන බයටයි තුණ්ඩු කෑල්ලක් අතට දීලා බැහැලා ගියේ”.
මහත්තයා එක දිගට කියවගෙන යනකොට මට හිතුනා මේ ඇවිත් ඉන්නේ මගේ ඉරණම් කාරයා තමයි කියලා. මට ඒ වෙලාවේ ඇතිවූ සතුට කියලා නිම කරන්න බෑ.
“දුවේ මහත්තයාට තේ එකක් හදාගෙන එන්න.
“හොඳයි අත්තම්මේ.”.
ඉහලට ඉගෙනගත්ත ලොකු රස්සාවක් කරන මහත්තයෙක්ලු. මහත්තයාට තේ එකක් හදන්න කුස්සියට ගිය වෙලේ අත්තම්මා එක්ක කතා කරන දේවල් මට යාන්තමට වගේ ඇසුනා
“අපි හරිම දුප්පත් මිනිස්සු මහත්තයෝ. අපිට කියලා කාත් කවුරුවත් නෑ.”
“එතකොට ඕලුගේ අම්මයි, තාත්තයි.”
“දෙන්නම මියදිලා මහත්තයෝ.”
” කෙල්ලට කියලා ඉතුරු උනේ මගේ දුව මැරෙනකොට දීලා ගිය වළලු දෙකයි මෙන්න මේ පුටුවයි, මේසයයි,ආන්න අර අල්මාරියයි විතරයි මහත්තයෝ”.
“මට දේපළ මිල මුදල් තියෙනවා අත්තම්මේ. මට ඕන ඕලුගේ හැදිච්ච කමයි චරිතවත් කමයි විතරයි. “
“ඒ ගැන මට බය නැතුව කියන්න පුලුවන් මහත්තයෝ. චරිතවත් අතින් හැදිච්ච කම අතින් මෙච්චර කීකරු දරුවෙක් මේ ගමේ වත් නැතුව ඇති. ඒ ගැන මට විශ්වාසයි.”
මම තේ එක හදාගෙන ගිහින් එයාගේ අතේ තියෙනකොට ඒ ඇස් ආදරයෙන් පිරිලා ඉතිරිලා යන හැටි මම දැක්කා. එච්චර ලස්සන කඩවසම් කෙනෙක්, ආදරයෙන් පිරුණු හදවතක් ලබන්නට මා ආත්ම ගාණක ඉදන් පින් කරන්න ඇති. මට එහෙම හිතුනා.
“ඔයා කැමතියිද හැමදාටම මගේම වෙන්න. මගේ ගෙදර නතර වෙන්න. මැරෙනකන්ම මාත් එක්ක ජීවිතය බෙදාගන්න.”
මහත්තයා එහෙම කියද්දී මට කතා කර ගන්නට වචන එලියට ආවේ නෑ. මම කලේ කදුලු පුරවාගෙන ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටපු එක. මේක ආත්ම ගාණක සංසාරගත බැඳීමක් වෙන්න ඇති. මට එහෙම හිතුනා.
එදා මහත්තයා අපේ ගෙදරින් ගියේ මං උයලා දුන්න කෑමත් කෑවට පස්සේ. කෙසෙල් මුව මාලුවයි, ගොටුකොළ සම්බෝලයි, කරවල තෙම්පරාදු කරලා මම උයපු කෑම කාලා එයා කිව්වේ ජීවිතයේ කාපු රසම කෑම වේල ඒක කියලා.
ගැහැණියකගේ එකම සිහිනය තමන්ට පණ වගේ ආදරය කරන තමන්ව තේරුම් ගත් පිරිමියෙක්ලු. ඒ වගේ කෙනෙක් ලැබුනා කියලා මට දැනුනා. ඒ ආදරය මම හීනෙකින්වත් හිතපු නැති මට අහම්බෙන් ලැබුන ආදරයක්.
ඒක හිම මෙන් පිරිසිදු අවංක ආදරයක්. මහත්තයා කිව්වේ මට ඔයාගේ සත පහක දෙයක් එපා ඕලු ඔයාගේ චරිතයයි, හැදිච්ච කමයි තිබුනොත් මට ඒ හොඳටම ඇති කියලා.
සතියකට විතර පස්සේ මහත්තයා එයාගේ අම්මයි, තාත්තයි එක්ක මාව බලන්න අපේ ගෙදර ආවා. මාව දැකලා වැඩියෙන්ම සතුටු උනේ මහත්තයාගේ අම්මා. එයාලා සල්ලි කාර වැදගත් අය කියලා තේරෙන්නට මට වැඩි වෙලාවක් ගියේ නෑ.
“අපි හිතනවා අපේ පුතාට ගැලපෙනම කෙනා එයාට හම්බ උනා කියලා. එහෙම කියලා මහත්තයාගේ අම්මා හිමිහිට මං ළගට ආවා”.
“කසාද බදින්න බෑ කියපු අපේ පුතා ගෙදර ඇවිත් කිව්වා අම්මේ අද කෝච්චියේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා. එයා බැදලා නැත්නම් මම කවදාහරි කසාද බදින්නේ එයා තමයි කියලා”
” කවුද මේ මගේ පුතාගේ හිත සොරාගත් සුරංගනාවිය කියලා බලාගන්නකන් මට ඉවසීමක් නැතුව හිටියේ. දැක්කාමයි තේරුනේ ඇත්තටම ඔයා ලස්සන සුරංගනාවියක් තමයි කියලා”.
“ගොඩක් ස්තූතියි මැඩම්.”
“මැඩම් නෙවෙයි දුවේ මම දැන් ඔයාගේ අම්මා”.
“ලබන මාසේ හොද නැකතක් තියෙනවා අපි මේ දෙන්නගේ මගුල එදාට තීන්දු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මහත්තයාගේ තාත්තා එහෙම කියනකොට අත්තම්මා අසරණ වෙන හැටි මම දැක්කා”.
“ලොකුවට මගුලක් ගන්න තරම් මට ලොකු වත්කමක් නෑ මහත්තයෝ.”
“අත්තම්මා ඒ ගැන බයවෙන්න එපා. මගුල ගන්නේ හෝටලයේ. අත්තම්මට තියෙන්නේ ලස්සනට ඇඳගෙන වෙඩින් එකට එන එක විතරයි. මහත්තයා එහෙම කියද්දී අත්තම්මාගේ ඇස් ලොකු වෙන හැටි කම්මුල් දිගේ ගලාගෙන එන දහඩිය බිංදු, බිංදු බිමට වැටෙන හැටි මම හොඳට දැක්කා .
“එතකොට මහත්තයෝ පෝරුවේ චාරිත්‍ර එහෙම. “
ඒවා ඔක්කොම හොටෙල් එකේ තියෙනවා අත්තම්මේ. අත්තම්මා කිසි දේකට බයවෙන්න එපා. එතකොට වෙඩින් එකට දාන රත්තරන් බඩු, වෙඩින් සාරි ඔක්කොම ඕලු වෙනුවෙන් වියදම් කරන්නේ මම. මහත්තයා එහෙම කියනකොට මට අදහාගන්න බැරුව ගියා.”
වෙඩින් එකට සති දෙකක් විතර තියෙද්දි මහත්තයා මාව එක්කන් ගියේ මට රත්තරන් මුදු මාල අරගෙන දෙන්න. ඒ ගමන්ම වෙඩින් එකට අදින සාරි,ජැකට් ටිකත් එයා මට අරගෙන දුන්නා. එදා තමයි මට දැනුනේ මහත්තයා ඇත්තටම මාව මේ කසාද බදින්න තමයි යන්නේ කියලා. ඒ වෙනකන් මේ වෙන දේවල් ගැන මට කිසිම විශ්වාසයක් තිබුනේ නෑ.
එදා ගෙදර ආවහම අත්තම්මාටත් හිතුනා මහත්තයා ඇත්තටම මාව කසාද බදින්න තමයි මේ හදන්නේ කියලා. සතුට වැඩි කමට අත්තම්මා මාව බදාගෙන ඇඩුවා. ඉකිබිඳුම් අතරින් අත්තම්මා කීවේ ඔබට දෙවියෝ බැලුවා දුවේ. මගේ දුවට කවදාවත් වරදින්නේ නෑ කියලා.
වෙඩින් එකට දින නියම උනා. මගේ ජීවිතයේ ලස්සනම දවස උදා උනා. උඩ රට ඔසරිය ඇඳලා රත්තරන් මාල වළලු වලින් සරසලා මම ලස්සන මනාලියක් උනා. කැඩපත ඉස්සරහට ගියාම මට මාව අදුනාගන්න බෑ. මංගල ඇදුමට ඒ තරම් මාව ලස්සන වෙලා. මේ වගේ ලස්සන දවසක් උදා වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ.
වෙඩින් එක තිබුනේ විශාල හෝටලයක. ඒක තිබුනේ පුදුම ලස්සන තැනක. දාහකට වඩා පිරිසක් අපේ වෙඩින් එකට ඇවිත් හිටියා. මගේ පැත්තෙන් මට හිටපු එකම නෑදෑයා මගේ අත්තම්මා විතරයි. අත්තම්මාගේ ඇස් වලින් කදුළු වැටෙන හැටි ඒ කදුලු සාරි පොටෙන් පිසදාගෙන හැංගී, හැංගී අඩන හැටි දැක්කාම මට දරාගන්න බැරි දුකක් ඇති උනා. අදින් පස්සේ අත්තම්මා ආයෙමත් තනි වෙනවා. එහෙම හිතෙනකොට මගේ හිතට වාවන්නේ නැතුව ගියා.
වෙඩින් එකට ඇවිත් හිටිය ලොකු ලොකු මිනිස්සුන්ට මහත්තයා මාව අඳුන්නල දුන්නේ එයාගේ බිරිඳ කියලා. ඒ හැම දෙනාම අපට සුබ පැතුවේ “නයිස් කපල් එක” කියලා. හවස් වෙනකොට වෙඩින් එකේ කටයුතු අවසන් උනා. ඊට පස්සේ අපි දෙන්නා හනිමුන් එකට නුවරඑළියට යන්න පිටත් උනේ මහත්තයාගෙම කාර් එකේ.
මහත්තයාට කොච්චර මහන්සි උනත් මග දිගට කාරෙක නතර කරලා මාව සිඹ වැළඳ ගත්ත හැටි, බොළඳ හුරතල් කතා කිය කිය මාව සතුටින් තියන්න උත්සාහ කරපු හැටි. ඇත්තටම ඒ සොඳුරු මතකයන් කොතරම් සුන්දරද.
අපි නුවරඑළියට එනකොට ගොඩක් රෑ වෙලා තිබුනා. අවට සුදු පාටට මීදුම වැටිලා පුදුම සීතලක්. අපේ හනිමුන් එක ගත කරන බංගලාව තිබුනේ කදු මුදුනක සුන්දර තැනක. එතෙන්ට මුලු නුවරඑළියම ලස්සනට පේනවා. මගේ ජීවිතයේ ලස්සනම දවස මේ වගේ තැනක ගත කරන්න ලැබුන එක ගැන මට දැනුනේ කියාගන්න බැරි සතුටක්.
එදා රෑ මහත්තයා මාව තුරුල් කරගෙන ගොඩක් වෙලා හිටියා මට මතකයි. මමත් සීතලට මහත්තයාගේ උණුසුමට තව තවත් තුරුලු උනා. ජීවිතයේ පළමු වතාවට එදා මම පිරිමියෙක්ගේ පහස ලැබුවා. ඒක කියාගන්න බැරි සුන්දර මිහිරි අත්දැකීමක්.
උදෑසනම කලින්ම අවදි උනේ මහත්තයා. මම වොෂ් එකක් දාගෙන එනකොට මහත්තයා කාමරයේ ලයිට් දාගෙන මොනවද හොයනවා. එයා ටිකක් කලබලෙන් වගේ. මුහුණ හොදටම මලානික වෙලා. මහත්තයා හිමිහිට මං ළගට ආවා.
“මට ඇත්ත කියන්න ඕලු. ඔයා මීට කලින් පිරිමියෙක් එක්ක ඉදලා තියෙනවා නේද?”
“දෙයියනේ.. මොනවද ඔයා මේ කියන්නේ”.
” එහෙනම් කෝ ඔයාගේ පිරිසිදු කම. කෝ ඔයාගේ පිට වුන ලේ බිංදුව. කිසිම පැල්ලමක් මේ සුදු පාට බෙඩ් ෂීට් වල පේන්න නෑනේ”.
“මම දන්නේ නෑ. මම කවදාවත් මහත්තයා ඇරෙන්න කිසිම පිරිමියෙක් එක්ක මේ විදිහට ඉදලා නෑ මහත්තයෝ. මාව අවිශ්වාස කරන්න එපා.”
“මම කොහොමද ඔයා කියන දේවල් විශ්වාස කරන්නේ. මම කොහොමද දැන් මගේ දෙමව්පියන්ට, නෑදෑයින්ට මුහුණ දෙන්නේ”.
” මම කවදාවත් චරිතයට හානියක් කර ගත්ත කෙනෙක් නෙවෙයි මහත්තයෝ. මාව මේ විදිහට සැක කරන්න එපා. එහෙම කියලා මම මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැන්ඳා”.
“බොරු කරලා, වංචා කරලා මාව රවට්ටලා ලැජ්ජා නැතිව තව දිව්රන හැටි. මම තමුසෙව ඩිවෝස් කරනවා. මට තමුසෙව අප්‍රසන්නයි. එහෙම කියලා මහත්තයා කාටද කෝල් කරන්න පටන් ගත්තා.”
වෙන්නේ මොනවද කියලා මට හිතාගන්න බැරුව ගියා. මෙච්චර කාලයක් චරිතවත්ව ජීවත් වු මට වඩා එයා විශ්වාස කලේ මගේ රතු පාට ලේ පැල්ලමක්ලු. ඒත් ඒ ලේ බිංදුව සුදු රෙද්ද මත සටහන් වෙලා තිබුනේ නෑ. මට මේක විශාල ගැටළුවක්. දෙයියනේ නිවරදි මාව මේ අවමානයෙන් ගලවා ගන්න. මම දෙයියන්ට කන්නලව් කළා. ඒත් දෙවියන්ට මාව සමාජ අවමානයෙන් ගලවා ගැනීමට පුළුවන් කමක් තිබුනේ නෑ.
ඊයේ රෑ මාව ආදරයෙන් තුරුල් කරගෙන
බලාපොරොත්තු කන්දක් එයා මා ගාව ගොඩ ගහලා එළිවෙනකොට ඒවා එකින් එක කඩාගෙන වැටෙද්දී මම කොහොමද දෙයියනේ බලාගෙන ඉන්නේ. ගැහැණියකට මෙච්චර දුකක් උහුලන්න පුලුවන්ද. මිනිහෙකුට වෙනස් වෙන්න තප්පරයක් උනත් ඇති.
අපේ වෙඩින් එකේ දෙවෙනි ගමන මහත්තයා අවලංගු කරලා දැම්මා. දෙවෙනි ගමන වෙනුවට මහත්තයා මාව එක්කගෙන ගියේ නීතිඥ මහත්මයෙක් ගාවට. එදා මහත්තයා මට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කලා. කිසිම වැරැද්දක් නැතුව මම අන්ත අසරණ උනා.
දික්කසාද නඩුවට හේතුව මහත්තයා ඉදිරිපත් කර තිබුනේ චරිතය කැත කරගත් මා ඔහු රවටා, වංචා කොට ඔහුව විවාහය සදහා පොළඹවා ගැනීම. නඩුවක් ගොනු කල වාහාම මහත්තයා මාව අත්තම්මා ළඟ ආයෙමත් නතර කලා.
“ඉපදුන දවසේ ඉදලා මේ කෙල්ල හිටියේ මාත් එක්ක. වැඩිවියට පත් වු දවසේ ඉදලා මම කෙල්ල ගාවින් හෙල්ලුනේ නෑ. මේක මහත්තයාට ලොකු වැරදීමක්.”
එහෙම කියලා එදා අත්තම්මා හොදටම ඇඩුවා. ඒත් එදා වචනයක්වත් කතා නොකොට මහත්තයා ගෙදරින් පිට වෙලා ගියා.
මහත්තයාට මම කවදාවත් වෛර කලේ නෑ. එයා වෛර කරන්නේ මට නොවන බව මට තේරුණා. එයා හොයන්නේ සුදු රෙද්දක සටහන් වු මගේ රතු පාට ලේ පැල්ලම. යම්කිසි දවසක ඒ ගතානුගතික ආකල්පය මේ සමාජයෙන් තුරන් වු දවසක එයා මාව තේරුම් ගනීවි. ඒ නිසා කොතරම් ආදරය කලත් මා ළඟ රැදෙන්නේ නැති සෙනෙහසක් මා බලෙන් රදවා ගන්නේ කොහොමද. ඒ නිසා මම එයාට දික්කසාදය කැමැත්තෙන්ම දෙන්නට තීරණය කලා.
ඒත් බලාපොරොත්තු නොවූ විදිහට මාව ගැබ් අරගෙන තිබුනා. මාස හතරකින් පළවෙනි නඩු වාරයට යනකොට මම මාස හතරක ගැබිණියක්. ඊට පස්සේ මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නය වුනේ මගේ කුසේ ඉන්න දරුවාගේ පියා කවුද කියන එක. මම මහත්තයා ඇරෙන්න කිසිම පිරිමියෙක් එක්ක ඉදලා නැතිබව මම උසාවියේදී දිවුරලා කිව්වා. ඒත් මහත්තයා කීවේ මගේ කුසේ ඉන්න දරුවා එයාගේ නෙවෙයි කියලා.
දරුවා ලැබෙනතුරු නඩුව ආයෙමත් කල් ගියා.
පිරිමියෙක්ගේ සරණක් නැති වෙද්දි ගැහැණු කොච්චර අසරණ වෙනවද. මිනිස්සු කොච්චර කතා කියනවද. පද හදන එක නින්දා වල ඉවරයක් නෑ. ඒ හැම දෙයකටම හේතුව පිරිමියෙක්. පිරිමියෙක්ට පුලුවන් දුවේ ගැහැණියක් සතුටින් තියන්න වගේම මුලු ජීවිත කාලයම අඩවන්නත්. අත්තම්මා කියපු කතාව මට ආයෙමත් මතක් උනා.
මට ලස්සන දුවක් ලැබුනා. දුව ඉපදුනාට මහත්තයා දුව බලන්න ආවේ නෑ.
දුවත් වඩාගෙන දික්කසාද නඩුවට ගිය පළමු දවසේදී එයා දුව ළඟට ඇවිත් එයා දිහා හොඳට බැලුවා. එදා එයා කිව්වේ දුව එයා වගේ නෙවෙයි. ඒ නිසා දුවට කිසිම වන්දියක් දෙන්න බෑ කියලා.
නඩුකාරතුමා වාහාම නියෝග කලා වෛද්‍ය පරීක්ෂණයක් කරන්න. දුවගේ පියා මහත්තයාද කියලා හරියටම බලාගන්න. වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු උනේ දුවගේ දුවන්නේ මහත්තයාගේ ලේ කියලා. ඒත් මහත්තයා ඒක පිළිගත්තේ නෑ. මහත්තයා කවදාවත් දුවට ආදරයක්, සෙනෙහසක් දක්වනවා මම දැක්කේ නෑ.
නඩුව ඉවර වෙන පාටක් නෑ. මට දැන් උසාවි ගිහින් එපා වෙලා. දුවට වචනයක් දෙකක් කතා කරන්න පුළුවන් වෙනකොට එයා අහන්නෙම තාත්තී ගැන. නඩුවාරයට උසාවියට එන එක තරම් සතුටක් දුවට තිබුනේ නෑ. ඒ එදාට එයාගේ තාත්තීගේ මුහුණ බලන්න ලැබෙන නිසා. නඩුවේ කාලය ඉවර වෙනකම්ම දුව තාත්තී කියමින් මහත්තයා පෙන්න පෙන්න කෑ ගහනවා.
ඒත් මහත්තයා කවදාවත් දුව දිහා හැරිලාවත් බැලුවේ නෑ. කොච්චර දර දඩු මිනිස්සු උනත් දරු සෙනෙහස ඉදිරිපිට හැගීම් බර වෙන අවස්ථා මා දැක තිබෙනවා. ඒත් මහත්තයා කවදාවත් දුව ඉස්සරහ හැගීම් බර වෙනවා මා දැක්කේ නෑ. නොදරුවකුගේ ආදරය හමුවේ පියෙකුට පුලුවන්ද මෙච්චර දරදඩු වෙන්න.
දික්කසාද නඩුව වසර තුන හමාරක් යනතුරුම ඇදිලා ගියා. කිසිම වන්දියක් නොඉල්ලා කැමැත්තෙන්ම දික්කසාදය ඔහුට දෙන්නට මා තීරණය කලත් උසාවිය මගේ තීරණය ප්‍රතික්ෂේප කලා. ඒකට හේතුව දරුවකු සමග තනිවු ගැහැණියයකට ජීවත් වීම සදහා කුමන හෝ වන්දියක් ලැබිය යුතු බවට උසාවිය තීරණය කල නිසා.
අවුරුදු තුන හමාරකට පස්සේ තමයි නඩුවේ අවසන් තීන්දුව හම්බ උනේ. එදා මහත්තයා දුවට වන්දියක් දෙන්න කැමති උනේ දුව එයාගේ කියලා ඔප්පු උනාට පස්සේ. ඒත් මට වන්දියක් දෙන එක උසාවිය ඉදිරියේ එයා ප්‍රතික්ෂේප කලා.
නඩු කාරතුමා අසනලද ප්‍රශ්න වලට එයා දුන් උත්තර අනුව මට දැනුනේ ආදරයක් සදාකාලික වන්නේ දෙදෙනා අතර ඇතිවන විශ්වාසය මත පමණක්ම කියලා.
“ඇයි තමුන් දික්කසාද කරන තමන්ගේ බිරිඳට වන්දි මුදලක් දීම පැහැර හරින්නේ.”
“ස්වාමීනි ඇය මට වංචා කලා බොරු කලා. මගේ මුලු ජීවිතයම විනාශ කලා”.
“කොහොමද ඇය ඔබට වංචා කලේ.”
” ඇය මා සමඟ ගත කල පළමු මංගල රාත්‍රීයේදී ඇයගේ පිරිසිදු බව ඔප්පු උනේ නෑ. ස්වාමීනී. “
“මොකක්ද ඔබ ඉල්ලන පිරිසිදු කම”.
“ගැහැණියක් පිරිසිදු නම් ප්‍රථම එක් වීමෙදී ලේ බිංදුවක් පිටවිය යුතුයි ස්වාමීනී”.
“ඔබ දන්නවාද කන්‍යාවියක් සමඟ එක්වන ප්‍රථම ලිංගික එක්වීමෙදී සියයට පනහක් හැටක් අතර කාන්තාවන්ගේ ලේ පිටවීමක් සිදු නොවන බව”.
“නෑ ස්වාමීනී”.
“මම අණ කරනවා ගරු අධිකරණයට මුලු උසාවියම මේ සම්බන්ධව සම්පූර්ණ දැනුවත් කිරීමක් කරන ලෙසට.”
ගැහැණියකගේ කන්‍යා භාවය සහ කන්‍යා පටලය සම්බන්ධව කවදාවත්ම අසා නැති දේවල් මා දැන ගත්තේ එදා. ඒ ඇය උසාවිය තුළ කරන ලද දැනුවත් කිරීමක් නිසාවෙනි. ලංකාවේ ලියාපදිංචි වෛද්‍ය වරියක් කාන්තාවකගේ කන්‍යා පටලයේ ස්වභාවය ගැන උසාවියේදී අන් අය දැනුවත් කලේ මෙහෙමයි.
ගරු අධිකරණයෙන් අවසරයි..
කන්‍යා පටලය කියන්නේ කාන්තාවකගේ යෝනි මාර්ගය අවසාන වන සිදුර වටේට තියෙන හරීම තුනී පටලයක්. කාන්තාවන්ගේ ස්වරූපය අනුව විවිධ ඝන කම් වලින් මෙය පිහිටන්න පුළුවන්. මෙය පිහිටා ඇත්තේ කාන්තාවකගේ යෝනි මාර්ගයේ සිට සෙන්ට් මීටර් බාගයක් පමණ ඇතුලට වෙන්න.
ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට දහයකට පමණ උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නේ නෑ. එවැනි කාන්තාවක් සමඟ එක්වන ප්‍රථම ලිංගික සංසර්ගයේදී ලේ පිටවීමක් සිදුවන්නේ නෑ. මේ පටලයේ රුධිර නාලිකා නෑ. ඒ නිසාම ප්‍රථම එක් වීමෙදී එය කැඩිලා ගියාට සියයට පනහක් හැටක් පමණ කාන්තාවන්ගෙන් ප්‍රථම එක් වීමෙදී ලේ පිටවීමක් සිදු නොවන්න පුළුවන්.
සමහර ගැහැණු ළමයින්ගේ කන්‍යා පටලය ඉලාස්ටික් එකක් වාගේ ඇදෙන සුලුය. එවැනි කන්‍යා පටලයක් ඇති ගැහැණු ළමයෙක් සමග කරන පළමු ලිංගික සංසර්ගයේදී කන්යා පටලයට හානියක් සිදු නොවන්න පුළුවන්. එවැනි ඇදෙන සුලු කන්‍යා පටලයක් ඇති ගැහැණු ළමයෙක් සමග එකතු වීමෙන් ලේ පිටවීමක් සිදුවන්නේ නෑ. නමුත් ඇය සමග සිදුවන දෙවන හෝ තුන්වන එකතු වීමෙන් එය කැඩී ගොස් ලේ පිටවීමක් සිදු විය හැකියි.
සමහර ගැහැණු ළමුන්ගේ කන්‍යා පටලය ඇදෙන සුලු ස්වභාවය වැඩි නිසා ලිංගිකව එකතු වීමෙදී කැඩෙන්නේ නෑ. එවැනි අයගේ කන්‍යා පටලය කැඩෙන්නේ පළමු දරු ප්‍රසූතියෙන් දරුවා යෝනි විවරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී.
ශ්‍රී ලංකාවේ විවාහ වන යුවතියන්ගේ සියයට තිස් පහක පමණ ප්‍රථම සංසර්ගයේදී ලේ පිටවීමක් සිදු වෙලා නැති බවටයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කන්‍යා පටලය කියන්නේ යුවතියකගේ පිරිසිදු කම මනින මිණුම් දණ්ඩක් නොවේ.
යුවතියකගේ චරිතවත් බව, හැදියාව, අවංක බව, සත්‍ය ගරුක බව සහ සරල බව තීරණය වන්නේ ඇය ජීවත් වන පිළිවෙල අනුවය. කන්‍යා පටලයක් තිබී මේ දේවල් ගිලිහී ගියහොත් එවැනි යුවතියකගේ චරිතවත් බවෙන් ඇති වැඩක් නැත.
පින් කරමින්, තම අධයාත්මය දියුණු කර ගත් කාන්තාවන් සමාජයේ ජීවත් වෙති. ඔවුන් අධයාත්මය දියුණු කරගනිමින් තම ජීවිතය ආලෝකමත් කර ගත්තේ කන්‍යා පටලයකින් වැටුණු ලේ බිංදුවක් නිසා නොවේ. කාන්තාවක් චරිතවත්ද යන්න තීරණය කළ යුත්තේ ඇය ජීවත් වෙන පිළිවෙල අනුවය.
ඒ නිසා මංගල රාත්‍රීයේදී ලේ පිටවීමක් සිදු නොවු කාන්තාවන් සමාජයෙන් කොන්කොට, සමාජ අවමානයට ලක් කොට ශාරීරික හා මානසික හිංසනයට පත් කල යුතු පිරිසක් නොවේ. ඔවුන් දිනක පින්වත් දරුවන් බිහි කරාවි. ඒ දරුවන් හොද පුරවැසියන් කොට සමාජයට මුදා හරීවි. උත්තරීතර මව් පදවියට හිමි කම් කියාවි.
කාන්තාවක් උනත් කන්‍යා පටලය ගැන කවදාවත්ම අසා නැති දේවල් එදා මම දැන ගත්තේ උසාවියේදී ඇය කල විස්තර කිරීම නිසාය. ඒත් මහත්තයාගේ අදහස වෙනස් වෙලා තිබුනේ නෑ. එයා නඩුව අවසන් වෙලා මගේත්,දුවගේත් මුහුණවත් නොබලා උසාවි බිමෙන් පිට වෙලා ගියා.
එයා පිට වෙද්දී මගේ දුව මහත්තයා පස්සේ දුවගෙන යනකොට මම එය වළක්වන්න ගියේ නෑ. එයා අඩමින් එයාගේ තාත්තා පස්සේ දුවගෙන ගියා. එදා දුව මහත්තයාගෙන් ඉල්ලුවේ ආදරයයි සෙනෙහසයි විතරයි.
“තාත්තී මාව දාලා යන්න එපා. මට ඔයාව ඕනේ.” කියමින් දුව එයා පස්සෙන් දිව්වා.
ඒත් මහත්තයා දුවගේ මුහුණවත් නොබලා වාහනයට නැගලා පිට වෙලා ගියා. දියණියක් තම පියාට තියෙන ආදරය මුදලින් තක්සේරු කල හැටි. මහත්තයා දුවට තියෙන ආදරය නඩුකාර තුමා ඉදිරියේ රුපියල් වලට තක්සේරු කරලා තිබුනා.
මනුෂ්‍ය ආත්මයක් ලබාගැනීම තරම් විරල සිදුවීමක් මේ ලෝකයේ තවත් නැත. ඒ විරල අවස්ථාව ලබා ගත් අප විදින්න තියෙන ජීවිතය විදවමින් ජීවිතය ගෙවන හැටි.
දැන් මට ඉන්නේ දුවක්. එයා ලොකු වෙනකොට මේ හැම දෙයක්ම මම එයාට කියලා දෙනවා. එයත් කවාහරි මේ අවස්ථාවට මුහුණ දෙයි. එදාට එයාගෙත් ලේ බිංදුවක් පිට උනේ නැත්නම්???
මට ඕනේ කවදාහරි මගේ දුවට අවංකවම ආදරය කරන පිරිමියෙක් හොයලා දෙන්න. එයාව මුලු ජීවිත කාලයම සතුටින් තියන්න පුළුවන් පිරිමියෙක් හොයලා දෙන්න. හැබැයි එයා ගැහැණියකගේ හම් කෑල්ලකින් වැටෙන ලේ බිංදුවක් මත ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගන්න කෙනෙක් නම් කවදාවත් මගේ දුව එහෙම කෙනෙකුට විවාහ කර දෙන්නේ නෑ.
………………………………………………………………………..
ගොඩක් ස්තූතියි හැමෝටම.
බී.කේ. චාමින්ද ගුනවර්ධන.