උපන් බිම සිය කුස උපන් අය හඳුනන්නේය. යම් අයෙකුට උපන් බිමෙන් කෙතරම් දුරස්ව සිටියද තමන් උපන් බිමේ සුවඳ දැනෙන්නේය. එහෙත් ජෙසීට පෙර ලංකාවට පා නඟද්දි ඒ හැඟීම එතරම් නොදැනුනද මෙවර පුදුමයකට මෙන් එය දැනුනේය.
ජෙසී උපන් බිම ලංකාව වුවද සිය දෙමව්පියන් සමඟ ඈ වැඩි ලෙස හැදී වැඩුනේ එංගලන්තයේය.වරින් වර ඇය සිය මව පියා සමඟ ලංකාවට පැමිණ ගියද ඈ වඩාත් ඇලුම් කලේ එංගලන්තයටය.ජෙසී බටහිර පන්නයට හැඩගැසී තිබුනත් ඇයගේ දෙමව්පියන් ඇය උපන් රටෙන් හෝ ඒ සංස්කෘතියෙන් කෙදිනකවත් වෙන් කළේ නැත.
ජෙසීගේ ජීවිතයේ වූවේ එක් විශාල බලාපොරොත්තුවක් පමණි.ඒ නිළියක් වන්නටය.ඇයගේ රූ සපුවද එයටම සරිලන ලෙස ඇයට ලැබී තිබිණි .ඇය එංගන්තයේදී නිරූපිකාවක ලෙස සිය සිහිනයට ඇවැසි මූලික පියවර කිහිපයක් ඒ වනවිටත් තබා තිබිණි.
ජෙසී මෙවර ලංකාවට පැමිණියේ එංගලන්තයේදී ඈ සමඟ ඉගෙනගත් ලාංකික මිතුරියකගේ විවාහය වෙනුවෙන් ලද ආරාධනාවකටය.
” ජෙසී..ඩෝටර්..ප්ලීස් මතක්වෙලා අපේ වැඩිහිටි නිවාසෙටත් ගිහින් එන්න..නිකන් සල්ලි යැව්වට වැඩක් නෑනේ..”
ජෙසීගේ අම්මා අයිරා කීවේ ජෙසීට ආරාධනාව ලැබුණු දිනයේදිමය.සිය මව විටින් විට එය සිහිකළ නිසා ජෙසීට ඒ ගමන අත් හැරීමට සිත් නොවිණි.
දින කිහිපයක් ලංකාවේ සිටීමට සැලසුම් කර පැමිණි ජෙසී,පළමුව සිය මිතුරිය හමුවට ගොස් විවේක ගත්තාය. විවාහයට තවත් දින තුනක් තිබූ බැවින් ඇය ඊළඟ දිනයේ උදෑසනින්ම කුලී රථයකින් වැඩිහිටි නිවාසය බලා ගියාය.
” හරි ඉක්මනට මේ පැත්ත වෙනස්වෙලානේ..”
ජෙසීට එලෙස කියවුනේ ගිය අවුරුද්දේ පැමිණි මොහතේ දුටුවාට වඩා පරිසරයේ යම් වෙනසක් ඇයට දැනුණු හෙයිනි.
වැඩිහිටි නිවාසයද ඒ වෙනසට හසුව ඇති බව ඇයට දක්නට ලැබිණි .
වැඩිහිටි නිවාසය දුටු වනම සිය මව එවූ මුදලින් මනාසේ වැඩිහිටි නිවාසය නඩත්තු වී ඇති බව ඇයගේ නෙතට එකවර හසුවිය.
” ආනේ.. මේ අපේ ජෙසී දරුවනේ…”
වැඩිහිටි නිවාසයේ පාලිකාව වූ අමරා දිව විත් ජෙසීව ආදරෙන් බදාගත්තාය.අමරා වූ කලී ජෙසීගේ මවගේ හොඳම මිතුරියයි.ලංකාවට පැමිණෙන සෑම වතාවකදීම ඇය ජෙසීට ආදරේ දුන්නේ තමන්ගේම දරුවෙකුට මෙනි. අවිවාහකව දිවි ගෙවූ අමරා සිය මිතුරියගේ ආශාව වෙනුවෙන් වැඩිහිටි නිවාසයේ කටයුතු සතුටින් බාරගෙන අද දක්වා සිදු කළාය.
” තවත් ලස්සන වෙලා දූ..ඇස් වහක් නම් වදින්න එපා..අම්මලා එහෙම සනීපෙන්ද පුතේ…”
” ඔව් ආන්ටි.. ඩැඩීට බිස්නස් වැඩක් නිසා මමීත් නතරවුණා..නැත්තන් දෙන්නම එන්න හිටියේ ..”
අමරා සමඟ පිළිසදරේ යෙදුණු ජෙසී කලින් පුරුද්දට වගේ වැඩිහිටි නිවාසේ ඇතුළේ ඇවිද්දේ ඒ වැඩිහිටියන් දකින අටියෙන්.
” අනේ..සුදු දූ.. දැන් නම් හැබෑවටම නිළියක් වගේ..”
” අනේ දුවේ ..මොකෝ ඔය ඇගේ හැටි.. හරියට කන්නේ නැතෙයි..”
” ඔහොම තමා අද කාලේ තරුණ ගෑනූ ළමයි .. මහත්වෙනවා කියලා කන්නේ නෑනේ..”
සියල්ලෝම ඇය අසලට පැමිණියේ සැනෙකිනි.ඔවුන් වැඩිහිටි නිවාසයේ රැඳි සිටින්නේ අවුරුදු ගාණක සිටය.ජෙසී ලංකාවට බොහෝවිට පැමිණෙන්නේ වසරකට වතාවක් පමණ වුවද ඔවුන්ට ජෙසී කිසිදා අමතක වී නොතිබිණි.ජෙසී ඔවුනට දැක්වූ කාරුණික බව එයට හේතූ වන්නට ඇත.
” අම්මා.. අර අම්මා කවුද..”
ජෙසී එක් අයෙකුගෙන් විමසූවේ තනිව කාමරයට වී සිටිනා මැදිවියේ කාන්තාවක් දැකය.
” ආ.. ඒ රීටා.. දැන් මාස හත අටක් විතර ඇති මං හිතේ ඇවිල්ලා..එයා ගොඩක් තනියම තමා ඉන්නේ..”
අනෙක් අය සමඟ කෙතරම් කතා බහ කළද ජෙසීගේ සිත වඩාත් ඇඳී ගියේ ඒ තනිව සිටි කාන්තාව කෙරෙහිය.අනෙක් අයගෙන් කෙසේ හෝ මිදුණු ජෙසී ඈ කරා ගියාය.
රීටා නම් වූ ඒ කාන්තාව සිටියේ කාණ්නාඩිය අසළය.ජෙසී ඇයගේ මුහුණ හොඳ හැටි දුටුවේ කණ්නාඩියෙන්ය.මැදිවිය ඉක්මවා තිබුවද රීටාගෙන් දිස්වූවේ ස්වභාවික සුන්දරත්වයකි.තරුණ වියේ ඈ පියකරුව සුන්දරව සිටින්නට ඇති බවට ලකුණු ඇයගේ මුහුණෙන් මොනවට දිස්විය.
” අම්මා..”
ජෙසී ඇයට ඇමතුවේ මඳක් ළංවීය.ඇය වහා හැරිණි.ඒ මුවගේ සැනින් මතුවූවේ සිනහවකි.
” අම්මා මොකද තනියම මෙතන.. හැමෝම එළියෙනේ..”
“මේ.. මං හිතන්නේ රට ඉන්න නෝනගේ දුව වෙන්න ඕන..”
” ඔව්.. අම්මා කොහොමද දන්නේ..”
” මෙහේ ඉන්න අය නිතරම දූ ගැන කතාවෙනවා.. ඇත්ත තමයි ..නිළියක් වගේ ලස්සනයිනේ..”
රීටා කීවේ ජෙසීගේ හිස අතගාමිනි.ඇයගේ අව්‍යාජ සිනහව ,වදන් දුටු ජෙසීගේ සිත අමුතු සතුටකින් පිරීගියේය.
“අනේ දුවේ..”
රීටා කතාව නවත්වා මඳක් වටපිට බැලුවාය.
” දුවේ.. දුවට බැරිද මගේ කොණ්ඩේ ටිකක් ලස්සන විදියකට පීරන්න..”
හදිසියේ එවන් ඉල්ලීමක් ඇයගෙන් නැගේවියැයි කියා ජෙසී සිහිනෙකින්වත් සිතුවේ නැත.ඇරත් කිසිවෙක් මෙතෙක් ඇගෙන් එවැනි ඉල්ලීමක් කර තිබුනේ නැත.
රීටා කණ්නාඩිය දෙස බලමින් සැරසෙන්නේය.මොහතක් එදෙස බලා සිටි ජෙසී ඇයගේ සිත් සතුටු වන ලෙස ඇයගේ වරලස පීරූවාය.
” රීටා අම්මා ගොඩක් ලස්සනයි ..”
” දැන්නම් මං වයසට ගිහින් දුවේ.. ඉස්සර නම් මං ඔය වගේ ලස්සනට හිටියා දුවේ.. දන්නවද .. මං දැන් මෙහෙම හිටියට ඉස්සර නිළියක් ..”
” නිළියක් ..?”
ජෙසී රීටා දෙස පුදුමෙන් මෙන් බැලුවාය.
“ඔව්.. විශ්වාස කරන්න බෑ නේද..හ්ම්.. ගොඩක් අයට බෑ..මෙහෙන් වාඩිවෙන්නකෝ.. “
රීටා ජෙසීගේ අතින් අල්ලා සිය ඇඳෙන් වාඩිකරවා ඇයද වාඩිවූවාය.
” මං පොඩි ගමක ඉපදුනේ..ගමේ කෙල්ලෝ අතරේ කැපිලා පේන කෙල්ලෙක්..මට පොඩි කාලේ ඉඳන්ම තිබුනේ රඟපාන පිස්සුව.. ඉතින් අපේ ගමට ආවා චිත්‍රපටියක් කරන කට්ටියක්..අපේ ගම ගොඩක් ලස්සන නිසා චිත්‍රපටියේ සමහර දර්ශන රූගත කරේ අපේ ගමේ..
ඉතින් පොඩි පොඩි චරිතවලට අපේ ගමෙන් කීපදෙනෙක් තෝරගත්තා.. එතකොට මට අවුරුදු දහඅටක් විතර ඇති.. මාවත් තේරුණා ..
මට ..මට..කියාගන්න බැරි තරම් සතුටක් ආවා..මට මතකයි මට සතුටට කෑගැහුනා.. මට කරන්න තිබුනේ පොඩි කොටසක්.. ඒත් මට ඒක මහමෙරක් වගේ වුනා..”
ජෙසී ඇගේ කතාවට සවන්දී සිටියේ ඉතා ආසාවෙනි.කතාව කියද්දී රීටාගේ ඇස් දිලිසෙනු ජෙසී දුටුවාය.
” දන්නවද..මං ලස්සන මල් ගවුමක් ඇදලා වැව ළඟ නෙලුම් මල් මිටකුත් තියන් හිටියා.. ප්‍රධාන නලුවා ඇවිත් මගෙන් මල් මිට ගත්තා..දන්නවනේ.. සුදම් මහත්තයා හිටියේ . ගමේ අය කට ඇරන් බලන් හිටියේ .. මට තාමත් මතකයි..”
රීටා වෙනතක් බලා එය සතුටින් සිහි කරනු ජෙසී දුටුවාය.තමන් මුල් වරට නිරූපිකාවක ලෙස කටයුතු කළ දිනය ජෙසීට සිහිවිය.
” ඉතින් රීටා අම්මා..”
” ඊට පස්සේ ඉතින් ඒ චිත්‍රපටියේ ප්‍රධාන නලුවා මගේ අත ඉල්ලන් පස්සෙන් ආවා.. “
” ඇත්තට..”
” නැත්තන්.. මට නිළියක් විදියට ගොඩක් දුර යන්න පුලුවන් කිව්වා..මට ඒකට අවස්ථාත් අරන් දෙන්නම් කිව්වා..කිව්වා වගේ එයා මාව කොළඹ එක්කන් ගියා..අනේ ඉතින් ඊට පස්සේ මගේ හීනේ හැබෑවුණා ..
දෙයියනේ ..සුදම් මහත්තයාගේ විසාල ගෙදරටත් මාව එක්කන් ගියා..මං චිත්‍රපටි ගානක රඟපෑවා..එක එක චරිත.. ඊට පස්සේ ..”
” ඊට පස්සේ..?”
රීටාගේ මුහුණ රතුව තිබෙනු ජෙසී දුටුවාය.
” ඊට පස්සේ..සුදම් මහත්තයා මාව කසාද බැන්දා..මාව ඒ ගෙදරට එක්කන් ගියා.. අපිට.. අපිට ..දරුවෙකුත් ලැබුණා..”
ජෙසී ඇගේ කතාවේ ඒ අවසානය අසා සිටියේ ප්‍රශ්න ගොඩක් සිතේ ඇතිකරගනිමිනි. අවසානයේ ඇයගේ සිත තුළ ඉතිරිවූ ලොකුම පැණය වූවේ එවන් ජීවිතයක් හිමි කරගත් ඇය අද වැඩිහිටි නිවාසයක කුමක් කරන්නේද යන්නයි.එහෙත් ඇයගෙන් එය ඇසීමට ජෙසීට සිත් නොවුණි.
රීටා සිටියදීම ජෙසී එළියට පැමිණියාය.
එළියේ සිටියේ අමරාය.දෙදෙනා මිදුලට බැස නොයෙක් දේ කතාකරමින් වත්තේ කෙළවරේ වූ බංකුවක අසුන් ගත්තේය.
“ආන්ටි.. අර රීටා අම්මා ..ඇත්තටම නිළියක්ද..?”
රීටා තරමක් ගැස්සිණි.
” දුවටත් කිව්වද ඒ කතාව..”
” ඔව්.. ඒ කතාව ඇත්තද..”
” රීටා හැමෝම ඔය කතාව කියනවා දුවේ.. එච්චර ගණන් ගන්නෙපා..ඒක අමතක කරලා දාන්න..”
” ආන්ටි.. ප්ලීස් මට කියන්නකෝ රීටා අම්මා ගැන.. “
” මොනවා කියන්නද දුවේ.. එහෙම කියන්න දෙයක් නෑ.. දූ දැන් මොකද කරන්නේ..”
අමරා කතාවෙන් පිට පනින්නට යනබව ජෙසීට තේරිණි.එහෙත් ජෙසීගේ ඇවටිල්ලෙන් බේරීමට අමරාට නොහැකිවිණි.
” ඔය රීටා..පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක්.ඉතින් දැන් වගේ ඉස්සර ඒකට තිබුණු අවස්ථා අඩුයිනේ..ඒකට ලැබීම තියෙන්නත් ඕනනේ..රීටා ඔය ගමට ආපූ චිත්‍රපටියෙන් තමයි අවස්ථාව අරගත්තේ..ඒත් රීටාට වාසනාව වගේම අවාසනාව ගෙනාවෙත් ඔය චිත්‍රපටය තමයි …
ඒකේ ප්‍රධාන නලුවා මේ රීටා ..ගමේ කෙල්ලට ගොඩක් බලාපොරොත්තු දීලා කොළඹ අරන් ආවා..ඒත් ඒ රීටාගේ රඟපාන හීනේ හැබෑ කරගන්න නම් නෙවෙයි .. තමන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න ..
ඒ කෙල්ල තමන්ගේ දෙමව්පියෝ ගම අත ඇරලා ඒ නලුවා එක්ක ආවේ නිළියක් වෙන්න..ඒත් අන්තිමට වුනේ දරුවෙකුත් බඩේ තියන් නොදන්න කොළඹ අතරමං වෙන්න.. ඒ නලුවා මේ කෙල්ල බැන්දෙත් නෑ.. අත ඇරලා දැම්මා ..
රීටා මානසිකව ගොඩක් වැටුනා..ඒ නිසාම දරුවා ළමා නිවාසයකට දුන්නා.. ඒ නලුවා නම් පස්සේ වෙන කෙනෙක් බැන්දා.. ඒත් ටික කාලෙකින් පිළිකාවකින් නැතිවුණා..”
” ඕ මයි ගෝඩ්..”
ජෙසී වාඩීවී හුන් තැනින් නැගිට්ටේ අත ඔලුවේ තබාගනිමිනි.ඇය එවැනි කතාවක් කිසිවිටෙකත් බලාපොරොත්තු වූවේ නැත. රීටාගේ අව්‍යාජ සිනහව ඇයගේ මනසේ අකුණක් මෙන් හදිස්සියේ පෙනී නොපෙනී ගියේ හිතේ රිදුමක්ද ඇති කරවමිනි.
” රීටා ගොඩක් හීන මවලා තියෙනවා නිළියක් වෙන්න.. ඒ නිසාම වෙච්ච මේ නරක දේවල් පිළිගන්න රීටාගේ හිත කැමති නෑ..ඒකයි රීටා ඔය විදියට හිතාගෙන හැමදේම හොඳට සිද්දවුණු කතාවක් කියන්නේ ..මෙච්චර කල් එක එක තැන ඉඳලා තියෙන්නේ .. මාස හත අටකට කලින් තමයි මං මෙහාට එක්කන් ආවේ…රීටාට පිස්සු නෑ දූ..”
” මට ඒක තේරුම් ගන්න පුලුවන් ආන්ටි..”
නිදහසේ විනෝදෙන් විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ලංකාවට පැමිණි ජෙසීගේ සිත රීටා පිළිබඳ සිතුවිලිවලින් පිරීයන්නට වූවෙන් ඇයගේ සිතට නිදහසක් නොවිණි.
සැබැවින්ම රීටා දුටු සිහිනය ඇයට හිමි කමක් නැතිද.. ජෙසීට කිහිපවරක්ම එසේ සිතිණි.නමුත් තමන්ට නම් ඒ හීනයට තව නොබෝ දිනකින් ළඟාවිය හැකි බව ඇය දනී. එසේනම් ඇයට නොලැබුණු හිමිවීම තමන්ට පවතීද..අතොරක් නැති සිතුවිලි ඇයගේ සිතේ සරන්නට විය.
ඇය ලංකාවේ සිටි දිනයන්ගෙන් හැකි සෑම විටම වැඩිහිටි නිවාසයට පැමිණියාය.වැඩි ලෙස රීටා සමඟ කාලය ගත කළාය.
වත්මන් ලාංකික මෙන්ම ලෝක සිනමාව පිළිබඳ බොහෝ දේ දැනගැනීමට රීටා තුළ වූ කැමැත්ත වටහාගත් ජෙසී ඇගේ සිතේ සතුට වෙනුවෙන් බොහෝ දේ කළාය.ජෙසීගේ සිහිනයද ඇයගේම සිහිනය බව දැනගත් රීටා හදවතින්ම ඇයට ආශිර්වාද කළාය.
” දුවේ.. දුවට පුලුවන් දුවගේ හීනේ හැබෑකරගන්න.මට වඩා ඒ හීනෙට හිමිකමක් දූට තියෙන බව මට පේනවා .. හැබැයි දුවේ පරිස්සමින්.
හොඳට හිතලයි ඕන තීරණයක් ගන්න ඕන.. හැඟීමවලටම විතරක් ඉඩ දෙන්න එපා.. දූ මොහක හරි රඟපාපූ ගමන් ඒක අපට බලන්න අරන් එනවද දුවේ..”
” අනිවාර්යයෙන්ම රීටා අම්මා..”
ජෙසීගේ හදවත තුළ රීටා වෙනුවෙන් උතුරා යන තරමේ සෙනෙහසක් ඇතිවිය.ඇය ලංකාවෙන් පිටවූවේ ඒ සෙනෙහසත් කැටිකරගෙනය.
………………………………………………………….
කවදත් ජෙසී වාසනාවන්තය.එනිසාම නොබෝ දිනකින් ඇගේ සිහිනයට පාරක් එළිවිය.ඒ ඈ පැමිණි මංගල උත්සවයේ සිටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට ඇය දැක ඇය යොදා චිත්‍රපටයක් කිරීමට සිත් වී තිබිණි.වාසනාවට මෙන් ඔහු ඇගේ පියාගේ පැරණි මිතුරෙක්ද වී ඇත.
” සුජිත්.. බලපන්..මං හීනෙකින්වත් හිතුවේ නෑ ඒ උඹේ දුව කියලා .. කිසි දේකට බයවෙන්න එපා.. උඹේ දරුවා මගේ දරුවා වගේ තමයි ..”
” උඹ නැත්තන් මං මේකට කැමති වෙන්නෑ සූරේන්..දන්නවනේ අද කාලේ අහන්න වෙන දේවල් ..හරි..මොකක්ද දැන් ඔය ෆිල්ම් එක.. එකේ කතාව..”
ජෙසීගේ පියා එලෙස විමසුවේ සිය එකම දියණිය එක්වන චිත්‍රපටය පිළිබඳ තොරතුරු දැනගැනීම වැදගත් බැවිනි.
” මටත් මුලින් ලොකු කතාවක් තිබුන්නෑ .. චිත්‍රපටියකට පොඩි අයිඩියා එකක් තිබුනේ.. ඒත් මං ජෙසී දුව එක්ක මේ ගැන කතාකරන කොට ජෙසී මට නියම කතාවක් කිව්වා.. මං හිතුවේ ඒකෙන් හොඳ කතාවක් හදාගන්න ..”
ජෙසී ඔහුට කීවේ ඈ රීටා තුළින් ගොඩනඟාගත් කතාවයි.පුංචි ගමක, අහිංසක ලස්සන දිනෙක නිළියක වීමේ සිහිනයෙන් පෙළෙන තරුණියක් ,ඒ ගමට චිත්‍රපටයක දර්ශන වෙනුවෙන් පැමිණෙන කණ්ඩායමක් ,චිත්‍රපටයේ සුලු කොටසක් වෙනුවෙන් ඈ තෝරා ගැනීම,චිත්‍රපටයේ ප්‍රධාන නලුවාගේ බැල්ම ඇයට වැටීම, ඔහු හා හාදවීම,ඔහු ඈ රැවටු සැටී,ඇයගේ දුක, බොඳවූ සිහිනය,සිය ගමෙන් දෙමව්පියන් වෙතින් ඈත්කර දැමූ ඈ කොළඹ තනිවීම, සිය දරුවා ළමා නිවාසයකට බාර දීම, ඇය තරමක් උමතුවීම ,අවසානයේ වැඩිහිටි නිවාසයක සිය ජීවිතයේ අවසන් කාලය ගෙවීම යන ජෙසී රීටා පිළිබඳ පැවසූ කරුණුවලින් අධ්‍යක්ෂක සුරේන් නිර්මාණාත්මක පිටපතක් බිහිකළේය.
මෙය සත්‍ය සිදුවීමක් බව දත් සුරේන් අධ්‍යක්ෂක රීටාද හමුවට ගොස් අවශ්‍ය තොරතුරු ගත්තේය.රීටා තවමත් ඇයගේ සිහිනයේම සිටිනු දුටු සුරේන් ජෙසීගේත් ඉල්ලීම පරිදි ඇයට අපූරූ යෝජනාවක් කළේය.ඒ අනුව චිත්‍රපටයේ රීටාගේ තරුණ සමය ජෙසී විසින් නිරූපණය කිරීමටත් , අවසාන ඇගේ මැදිවිය චිත්‍රපටයට පාදක වූ කතාවේ හිමිකාරී රීටාටම රඟදැක්වීමට ලබාදුණි.
ජෙසී නිතර ලංකාවට පැමිණීමත් , එංගලන්තයේ සිටියද සිය රටින් ඈත්නොවීමත්,ඇයගේ පළමු රංගනය, සිහිනය වෙනුවෙන් ඇය කළ කැපවීමත් නිසාවෙන් ඇයට රීටාගේ තරුණ වියට පණ පෙවීම එතරම් අසීරූ නොවීය.
චිත්‍රපටය එළිදැක්විණි.නවක නිළියන් දෙදෙනෙකුගේ සම්ප්රාප්තියත්,වෙනස් කතා තේමාවකුත් රැගත් ” ඇගේ හිමිවීම” සිනමා පටය බොහෝ දනන්ගේ හා විචාරකයන්ගේ සිත් ගත් නිර්මාණයක් විය.
” දෙයියනේ..ආයෙත් මං නිළියක් වුණා.. ජෙසී දුවේ..දූ මාව නිළියක් කරා.. මගේ හීනේ හැබෑවුණා..මගේ තරුණ කාලේ දූ හොඳට කරා…දෙයියනේ ..මගේ ජීවීතේට වෙච්ච හොඳම දේ මේක..”
රීටා කීවේ ජෙසීව ආදරෙන් බදාගනිමින්ය. රීටාගේ නෙතින් සතුටු කදුලු වෑහිණි.තම අතීතය ආශිර්වාදයක් වී තමා වෙලාගත් සෙයක් ඇයට හැඟිණි.
” මං මේ දුව හම්බවෙන්න කලින් හිතන් හිටියේ මං හීන දැකපු දේවල් මට කවදාවත් හිමිවෙන්නෑ කියලා ..මගේ හිමිවීම එච්චරයි කියලා ..මට මගේ හීනේ හිමිවුණා..මං දැකපු හීනේ හිමිකාරී වුණා..ඒත් ..තව එක හීනයක් තාම ඉතිරියි..”
……………………………………………………………..
ජෙසී නැවත සිය දෙමව්පියන් සමඟ එංගලන්තයට යාමට සූදානම්ව වැඩිහිටි නිවාසයට නැවත පැමිණියේය.
ජෙසී රීටා සොයා සමුගැනීමට ගියාය.ඒ අතරේ ජෙසීගේ මව හා පියා පාලිකාව අමරා සොයා ගියාය.
” අමරා.. ඔයා කොහොමහරි රීටාව හොයාගත්තා..අවුරුදු කීයකට පස්සෙද රීටාව දකින්නේ..මතකද අමරා..ඔයා රීටා මම ..රීටා කොළඹට ආවම අපි යාලුවෝ වුණු හැටි..”
” හ්ම්..මට මතකයි අයිරා..රීටා ඒ කාලේ කොච්චර හැඩද..තාමත් ඒ හැඩ ඉතිරියි ඉතින් ..”
” ජීවිතේ අපිට සමහර දේවල් හිමිවෙනවා.. ඒ වගේම සමහර දේවල් අහිමිවෙනවා.. මට අහිමිවෙලා තිබුනේ දරු සම්පතක්.. අපි නොගියපු තැනක් නෑ..
රීටාට අහිමිවෙලා තිබුනේ එයාගේ සැමියා..එයාගේ ජීවීතේ..ඒත් එයාට දරුවෙක් හිටියා..රීටා හිටියේ ගොඩක් අසරණ වෙලා.. කිරි දරුවෙකුත් එක්ක ඒ දරුවගේ තාත්තා හොය හොය හිටියේ ..ඒ මිනිහා පැනගත්තා.. රීටාගේ මානසික තත්වෙත් අවුල් වුනා.. එයාමයි මට එයාගේ දරුවව භාරදුන්නේ.. එයා බයවුණා එයාට මොනවාහරි වුනොත් දරුවට කරදරයක් වෙයි කියලා ..පස්සේ අපි රට ගියා..”
” ඒත් අයිරා ඔයා මට කිව්වනේ රීටා ගැන හොයලා බලන්න කියලා ..අන්තිමට මට පුලුවන් වුනා එයාව අපේ ඇස් මානෙට ගන්න..එයා ෆිල්ම් එකේ වැඩ පටන්ගන්නකොටම දැනගත්තා ජෙසී එයාගේ දුව කියලා ..”
” ඔව්..එයා තමයි අපේ ජෙසීව මේ ලෝකෙට ගෙනපූ අම්මා..”
අයිරා කීවේ අමරා දෙස බලමිනි.
” අම්මා…?”
ඒ ආසන්නයේ සිට ඔවුනගේ කතාව අසා සිටි ජෙසීව ඔවුන් දුටුවේ නැත.රීටා සිය කාමරයේ නොසිටි හෙයින් ඇය එම ස්ථානයට පැමිණියේ අනපේක්ෂිත ලෙසය.
” දුව..මේ.. “
” අම්මා..ඒ කියන්නේ රීටා අම්මා මගේම අම්මද..”
ජෙසී පුදුමයෙන් පිරුණාවූ දෙනෙත් විහිදමින් ය.
“ඔව්..ඒක තමයි ඇත්ත දුවේ..අපි..මේ ගැන ඔයාට කියන්නයි හිටියේ .. ඒත් එදා මීට අවුරුදු විසිපහකට කලින් රීටා අපිව පොරොන්දු කරගත්තා මේ ගැන කවදාවත් දරුවට දැනගන්න තියන්න එපා කියලා ..ඉතින්..ඉතින් රීටා යන්න ගිහින්.. කොහේ ගියාද දන්නේ නෑ..අමරා එක්ක කියලා තියෙනවා ආරාමයකට යන කතාවක්..”
” මට අහිමිවෙච්ච දේවල් ඔක්කොම දැන් මට ලැබුනා දුවේ..දැන් තියෙන්නේ නිදහසේ සැනසීමෙන් ජීවිතේ ඉතුරු ටික ගෙවන්න විතරයි..”
පෙර දිනෙක රීටා ජෙසීගේ අතින් අල්ලා කී වදන් ජෙසීට එකවර මතකයට නැඟිණි.
ජෙසීගේ හදවත රිදුම් දෙන්නට විය.
ජෙසී සැනකින් දිවගියේ හඬමිනි.සිය සැබෑ මව වසර ගණනක් ඇය අහිමිකරගෙන සිට ඇත.දැනුදු ඇය ගොස් ඇත.ජෙසී රීටා සොයා ඇගේ කාමරයට ගියාය.රීටා කාමරයෙහි සිටියේ නැත.ඇය හඬමින්ම රීටාගේ කාමරයේ සිටියාය.
රාමූ කරන ලද රීටාගේ තරුණ වියේ කලු සුදු පියකරු ජායාරූපයක් ඇයගේ ඇඳෙහි විය.ඒ සමඟ කුඩා නවන ලද කඩදාසියක් විය.
“හිමිකරගන්නට ..
බොහෝ දේ සිත තුළ
සිහිනයන් පරිද්දෙන්
දඟ කරා සිත පුරා එදා..
නිළියක විලසින්
සුව ඇති දිවියක්
හිමිකරගන්නට
තිබුණා පැතුමක් එදා..
ඔහුගේ අත ගෙන
ඔහු හා දියණිය
හිමිකරගන්නට
තිබුණා පැතුමක් එදා..
හිමිවීමම මා කෙරෙන්
දුරස්වී ගිය නමුත්
එදා පැතු හිමිවීම
අහිමිවූ දෝණි නුඹ
නුඹම මට හිමිකරදී
නුඹත් හිමිවුණා මට මෙදා..
” හිමිවීමම නෙවෙයි දුවේ ජීවිතේ කියන්නේ ..
දුව හදාවඩාගත්තු අම්මා තාත්තා තමයි දූගේ අම්මා තාත්තා ..ඒ අම්මා තාත්තට කිසිම දුකක් දෙන්න එපා..මොකද ඔයා මගේ ගාව හිටියානම් අම්මගෙ තාත්තගෙයි දෙන්නගෙම ආදරේ දෙන්න වෙන්නේ මට..මගේ හිතට දැන් ලොකු සැනසීමක් දැනෙනවා.මං පතපු හැමදෙයක්ම මට මගේ දූ හිමිකරලා දුන්නා..මගේ දූ..මගේ හීනේ..ඒ තමයි මගේ හිමිවීම…
දූ කවදාවත් හිතන්නෙපා දූ මාව අහිමිකරගත්තා කියලා ..හිමිවීම කියන්නේ අයිතිකරගෙන ළඟින්ම තියාගන්න එකම නෙවෙයි දුවේ..දැන් අපි දෙන්නට දෙන්නත්, අපේ හීනත් අපට හිමිවෙලා ඉවරයි දුවේ..”
හැමදාමත් දුවට ආදරේ ,
රීටා අම්මා.
” ඔව් රීටා අම්මා..මට මාව මේ ලෝකෙට ගෙනාපු අම්මත්,මගේ හීනෙත් හිමිවුණා..”
ජෙසී රීටාගේ පින්තූරයත්,ලියුමත් තුරුලු කරගනිමින් එසේ කීවේ සිය දෙනෙතේ උනන කදුලුවලට නිදහසේ ගලායාමට ඉඩ දෙමිනි.
………………………………………………………….
සමාප්තයි .
කතාව කියවන,
Like ,Comment කරන හැමෝටම ගොඩක් ස්තූතියි …😊😊❤️❤️🌸