“ජීවිතය ජීවත් කරවන්නේ අපිට දැනෙන අපේම හැඟීම් දැනීම් වලින් කිව්වොත්…සමහරවිට මන් වැරදි ඇති…ඒත් මගේ හිතේ ඇදුන ඒ රෑපය..පළමු හමුවීමෙන්ම මගේ හදවත මට අහිමි කරපු ඇය….හිස් පිටුවක් වෙලා තිබ්බ මගේ ජීවිතේ ලස්සන චිත්‍රයක් ඇන්ඳා…ඒත් මගේ අවාසනාවටද කොහෙදෝ ඒ චිත්‍රය ඇගේ සියුමැලි දෑතින් පාට කරන්න මට වරම් නෑ….

අදත් එයා උදේම එළියට බැහැලා…සුදු පාට දිග රැළි සාය…රෝස පාට අත් දිගු බ්ලවුස් එක….ඒ සුදු මූණ දෙපැත්තේ දඟ කරන කෙහෙරැළි..ඉන ගාවට දිග එයාගේ ඒ කොණ්ඩේ පුංචි කටුවකින් එකතු කරලා…ඒ ලස්සන හැමදාම උදේට මගේ මේ ඇස් දෙකින් දකින එක තරම් තවත් දෙය මට නැතිව ඇති…ඒත්..කවදාවත් හිමිවෙන්නේ නැති, හිමිකම් කියන්න බැරි පුංචි රෝස මල….ආදරෙයි මන් හැමදාමත්”

අකීෂ්මාගේ සුරත මත තිබු ඒ ඩයරිය මතට වැටුණු ඇගේ කඳුළු බිඳු වලින් ඒ කඩදාසී පිටුවේ වූ අත් අකුරු බොඳ වී ගියේ ය…තීන්ත දිය වී බොඳ වූ අකුරු මත තම දෑස් යොමාගෙන සිටි අකීෂ්මා මේසය මත තිබු ඔහුගේ ඡායාරූපය රැගෙන එකවරම තම පපුව මත හොවාගත්තේ හදවතින් හඬා වැලපෙමිනි…

“අකී….අපි දැන් යමු….අපිට රෑ වෙන්න කලින් බදුල්ලට යන්නත් එපැයි…”

කාමරය තුළට පැමිණි සෙව්මි අකීෂ්මා අසළට පැමිණියේ එසේ පවසමිනි..

“ඇයි සෙව් දෙවියෝ මෙච්චර නපුරු….අවුරුදු ගාණක්ම මන් එයා එනකම් බලාගෙන හිටියා..ඒත් අන්තිමට මන් එයාව හොයාගෙන එනකොට එයා මේ ලෝකෙන්ම යන්න ගිහින්….අවුරුදු විස්සක් කියන්නේ පොඩි කාලයක්ද සෙව්…මන් එච්චර කල් එයාව හෙවුවා….හැමදාම මඟ බලාගෙන හිටියා එයා එවන රෝස මල් වෙනුවට එයාම මාව බලන්න ඒවී කියලා…ඒත් ඇයි එයා මට මෙච්චර ආදරේ කරා නම් මගේ ඉස්සරහට ආවේ නැත්තේ ඇයි….?”

සෙව්මි නිහඬවම අකීෂ්මා දෙස බලා සිටියේ ඇගේ පැනයට යුවතිය ළඟ පිළිතුරක් නොතිබු හෙයිනි.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

🌷අවුරුදු විස්සකට පෙර🌷

අකීෂ්මා මංජරී අවුරුදු විසි එකක් වයසැති සුන්දර යුවතියක්…ඈ සිටියේ ඇගේ මවත් පියාත් සමඟ කුඩා ගම්බද නිවසකයි…උසස් පෙළ දක්වා ඉගෙන ගත් ඈ නිවෙස ආසන්නයේ තිබු උත්සව සඳහා කෘතිම මල් කුලියට දෙන ‘ෆ්ලොරා හවුස්’හි රැකියාව කරන්නට පටන් ගත්තේ උසස් පෙළ අවසන් වූ විගසමයි…පවුලේ එකම දරුවා වූ හෙයින්ද මවත් පියාත් ඈ වෙනුවෙන් උපයා තිබු ධනය ප්‍රමාණවත් වූ හෙයින්ද ඈ වැඩිපුර අධ්‍යාපනයක් ගැන නොසිතා සිටියේ ඉහළට ඉගෙන ගෙන ඊට වඩා ඉහල රැකියාවක් කිරීමේ කිසිඳු අපේක්ෂාවක් ඈ තුළ නොතිබු නිසාවෙනි…ඉතින් ඈ ගෙවුවේ නිදහස් සරල ජීවිතයකි…

මේ පියකරු යුවතියගේ අත ගැනීමට තරම් වාසනාවන්ත වී සිටියේ නගරයේ බැංකුවක රැකියාවක් කළ තරමක් ධනවත් තරුණයෙක් වූ ගයන්තයි..ඔහු අවුරුදු විසි අටක් වයසැති කඩවසම් තරුණයෙක්.නිවෙස් වලින් ආශීර්වාදය ද හිමිව තිබු ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ඔවුන්ගේ අසල්වැසියන්ට මෙන්ම නෑදෑයන්ටද රහසක් වුණේ නෑ..

එහෙත් මේ සුන්දර තරුණියගේ ජීවිතේ එක අඩුපාඩුවක් නැතහොත් එක්තරා සිත් වේදානාවක් තිබුණි…එනම් ඇගේ පෙම්වතාගේ අනියම් සැකයයි…ඔහු නිතරම ඇයව අහේතුකව සැක කරේ ඇයට නිකරුනේ දොස් පවරමිනි…ඇගේ සුන්දරත්වය නිසාම තමාට ඇයට අහිමි වේ යැයි බිය ඔහුගේ හඳ තුළ ලැඟුම් ගෙන තිබුණේ ඔහුගේ ප්‍රේමය යුවතියට එපා වන තරමට කටයුතු සලසමිනි…

ඈ ඔහුට කෙතරම් අවබෝධ කරදීමට උත්සාහ කළත් ඔහු ඇගේ සිතැඟි තේරුම් ගත්තේ නැත….අන් යුවතියන් සේ රණ්ඩු කරමින් තර්ක කරමින් ඔහුව නිවැරැදි කරන්නට උත්සාහ නොගත් යුවතිය නිහඬවම සියල්ල ඉවසුවේ ඔහු නිසා තම සිත කෝපයෙන් පුරවා නොගනිමිනි…ඒ වෙනුවට ඈ මඳින් මඳ ඔහුව තම සිතෙන් ඈත් කළේ ඇගේ නිදහස ඇගේ සිතේ සාමකාමී බවට ඇය ප්‍රිය කළ හෙයිනි…ඔහුගේ පසු පස ගොස් ප්‍රේමය ඉල්ලා හඬා වැළපෙනු වෙනුවට ඈ තම ජීවිතේ අනෙකුත් වැඩ කටයුතු වලට තම අවධානය යොමු කරේ සියල්ල කාලයට ඉඩ දීමෙනි….

එහෙත් ඔහු නිතරම උත්සාහ කළේ ඈ හා ඇවිලීමටයි…විටෙක අනෙකුත් තරුණයන් ද ඇයට පාවා දී ඔහු ඇයට දොස් පැවරුවේ ඈ නිහඬවම බලා සිටියදීමයි…ඉතින් ඔහු ම ඇවිලී ඔහුම නිවෙනකම් යුවතිය සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියා ය…ඇගේ නිහඬතවය ඔහුව තව තවත් කෝප කළේය…එහි අවසානය වූයේ මාස තුනකට පසු එළඹෙන සුභ දිනයකට ඔවුන්ගේ විවාහය තීන්දු වීමයි…

අකීෂ්මා උදෑසනම අවදී වී දිය නා තෙත කොණ්ඩය කුඩා කොණ්ඩ කටුවකින් එක් කර ගත්තේ සුපුරුදු ලෙස චාම් එහෙත් පියකරු ඇඳුමකින් සැරසීමෙනි..ඈ දෙමාපියන්ගෙන් සමුගෙන සුපුරුදු රැකියාවට යන්නට පිටත් වී ඉදිරිපස දොර වෙත ගියේ උදෑසන පිපුණු නැවුම් රෝස කුසුමක් ලෙසිනි….ඇගේ පුදුමයට හේතු වන ලෙස දොර ඉදිරිපිට ඇගේ දෙපා අසල වූයේ කුඩා පාර්සලයකි..

ඈ නිවෙසින් එළියට බැස ගෙමිදුල පුරාත් අවට මාවත දෙසත් විපරම් කළද එහි හිමිකරුවකු සිටියේ නෑ….ඉතින් ඈ ඒ කුඩා පාර්සලය රැගෙන මව සොයා ගියේ කුතුහලයෙනි..

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

එය රතු රෝස කුසුමක් සමඟ කුඩා පෙම් හසුනකි..

“මාගේ හද සොරා ගත් සදවතිය නුඹයි..අයිති නැති බව දන්නා නමුදු පෙම් කරන්නෙමි හිමිකමක් නොපතාම.

-ඩී.එන්”

එපමණකි එහි ලියා තිබුනේ..ඉතින් කිසිම අනන්‍යතාවයක් නොමැතිව ආකිෂ්මා වෙත ලැබුණු ඒ පෙම් හසුන අවුරුදු ගණනාවක් පුරාවට ඇයට ලැබෙන්නට තිබු හසුන් පත් වල ආරම්භය විය.ඇගේ මවත් පියාත් තම දියණියට ලැබෙන මේ හසුන් පත් වල හිමිකරුවකු සොයා ගන්නට වෙහෙසුනත් සතියකට එක් දිනක් හෝ තම නිවෙස දොර අසල තබා යන රතු රෝස කුසුමෙත් කුඩා හසුනෙත් හිමිකරුවකු සොයා ගැනීමට කිසිම දිනක හැකි වුණේ නැත..ඉතින් ඔවුන් එහි අගක් මුලක් සෙවීම අතහැර දැමුවෝය…එහෙත් ගයන්තගේ ආත්මාර්ථකාමී ප්‍රේමයෙන් වෙහෙසට පත්ව සිටි ආකිෂ්මාගේ හදවත ඇයටත් නොදැනීම නාඳුනන හසුන්පත් හිමිකරු හා බැඳුනේ ඒ කුඩා ලියමන් තුළ සැඟවී තිබුණු ඔහුගේ සෙනෙහස යුවතියගේ හද පතුලටම දැණුනු නිසාවෙනි….කාටත් හොරා ඈ ඔහු තමා ඉදිරියට එන තුරු බලා සිටියේ නැවුම් බලාපොරොත්තු සමඟයි..

කවදා හෝ ඔහු සැබවින්ම රතු රෝස කුසුමක් සමඟ තම නිවසේ දොරටුව අසළට පැමිණ සිටිවී යැයි ඈ සෑම උදෑසනකම පැතුවාය….එය බොළඳ සිතුවිල්ලක් වුවද ඈ ඔහුට ඇබ්බැහි වී සිටියාය….ඔහුගෙන් පේළි කිහිපයක කුඩා ලියමනක් බලාපොරොත්තුවෙන් ඈ සෑම දිනකම පෙර මඟ බලා සිටියාය… තරුණයෙක්ද මහල්ලෙක්ද නැති නම් තමාව සරදමට ගත් කොලු ගැටයෙකුදැයි කිසිඳු තොරතුරුක් නොදැන සිටි මේ අරුම පුදුම ප්‍රේමවන්තයා හරි අපූරුවට තරුණියගේ සිත හොරකම් කළේ ඇයට නව ජීවයක් ලබා දෙමිනි..

මේ අතර දෛවයේ සරදමකට අනුවදෝ විවාහයට සති තුනකට පමණ පෙර ගයන්ත රිය අනතුරකට ලක් වූයේ ඔහුගේ එක් පාදයක් ආබාධයකට ලක් කරමිනි…ඉතින් නැවත් ඔහුට දෙපයින් නැඟී සිටීමට හැකි වනතුරු ඔවුන්ගේ විවාහය කල් දැමිනි..

ගයන්ත ද තම පෙම්වතියට අනාගත බිරිඳට ලැබෙන නාඳුනන හසුන්පත් පිළිබඳව දැන සිටි අතර ඔහුත් ඒ පිළිබඳව සත්‍ය සොයා ගැනීමට බොහෝ ලෙස උත්සාහ කළේය…එහෙත් හිමිකරුවකු නොමැති හසුන් පත් ලැබීම නතර වුණේ නෑ….තම ආබාධිත තත්වයත් පෙම්වතියට ලැබෙන නාඳුනන ප්‍රේමයත් නිසා තව තවත් නොසන්සුන් වූ ගයන්ත ආකීශ්මා දෙස බැලුවේ වෙනදාටත් වඩා සැක සිතිණි….ඔහුගේ සැකයේ කෙළවර වූයේ ආකීශ්මාගේ දෙමාපියන් ද ඔහුගේ මේ නොමනා ක්‍රියාකලාපය පිළිබඳව දැන ගැනීමයි…මේ නිසා ආකීශ්මාගේ සැනසුමට හේතු වන ලෙස ඔවුන්ගේ විවාහය නතර විය…ගයන්ත එක හෙළාම විරුද්ධ වුවද ඔහුට ඇගේ දෙමාපියන්ගේ තීරණය අභිබවා යාමට පුළුවන් කමක් තිබුණේ නැත…

ඉතින් ඔවුන් වෙන් වූහ..අවුරුදු කිහිපයක පෙම් කතාව අනියත සැකයක් නිසා බිඳී ගියේය..

මේ අතර ආකිෂ්මාට ලැබුණු නාඳුනන පෙම් හසුන්ද නතර විය…අවසාන හසුන ඇගේ සුරතට ලැබුණේ ගයන්ත අනතුඅරට පත් වීමට පෙර ඔහුත් ඇයත් විවාහ වීමට නියමකර ගෙන තිබු දිනයි……

“අද සිට ඔබ සස්වාමික වනු ඇත…ඉතින් තවත් අවසර නැත ඔබ වෙනුවෙන් ලියන්නට…නමුදු පෙම් කරමි මගේ හදවත අවසන් හුස්ම හෙළන තුරු..පතමි ඔබට සුන්දර විවාහ දිවියක්.

  • ඩී.එන්”

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

🌷වර්තමානය🌷

එදා අවුරුදු විස්සකට පෙර තරුණියක්ව සිටි ආකිෂ්මා දැන් මැදිවියේ අවිවාහක කාන්තාවකි..ඈ ගෙවී ගිය අවුරුදු ගණනාව පුරාවටම කිසිදා දැක නොමැති ඒ නාඳුනන ප්‍රේමවන්තයා වෙනුවෙන් බලා සිටියාය..නැවත කවදා හෝ ඔහු එක් හසුනක් හෝ එවන දිනය වන තෙක් ඈ ඉවසීමෙන් තම රහස් ප්‍රේමය ආරක්ෂා කළාය…මව්පියන් ඇයට කොපමණ බල කළත් ඈ ඔහු වෙනුවෙන් බලා සිටියේ ඔහුගේ ප්‍රේමය විශ්වාස කරමිනි..ඉතින් ඇගේ හදේ වෙනත් පිරිමියෙකු වෙනුවෙන් ඉඩක් නොවීය..ඇගේ පියා මේ වන විට ජීවතුන් අතර නොසිටියත් ඈ මවත් සමඟ ඒ කුඩා නිවසටම වී සිටියේ තම පදිංචිය පවා වෙනස් නොකරමිනි…මන්ද ඈ වෙනත් ප්‍රදේශයකට ගියහොත් ඇගේ නාඳුනන පෙම්වතාට ඇයව සොයා ගත නොහැකි වේ යැයි බියෙනි…

ඇය උන්මත්තක ගැහැණියක් ලෙස අනෙක් අයට සිතුනද ඇයට ඔහුගේ ප්‍රේමය සැබවින්ම දැණුනි…ඇය පැතුවේ ද ඔහු ලෙස ඇයට ආදරය ලබා දෙන පිරිමියෙකි…ඒ නිසා ඇය ඔහුගේ ප්‍රේමයට තම මුළු ආතමයෙන්ම බැඳුනේ බාහිර සියල්ලන්ගේම මත ප්‍රතික්ෂේප කරමිනි..

එහෙත් දින දෙකකට පෙර ඇයට ලැබුණේ ඈ කිසි සේත්ම නොසිතු ආකාරයේ ලිපියකි..එය එවා තිබුණේ නුවර ප්‍රදේශයේ පදිංචි එකතරා කාන්තාවකි.ඉන් දන්වා තිබුණේ ඇයව හමු වීමට වහාම ඇගේ නිවසට පැමිණෙන ලෙසත් අවුරුදු ගණනාවකට පෙර ආකිෂ්මාට හසුන්පත් එවු පුද්ගලයා පිළිබඳව ඇය දන්නා බවත් ය..

ඉතින් ආකිෂ්මා තම මිතුරිය සමඟ,කුඩා කළ සිට තමා අසලම සිට තමාගේ සියලු දේ බෙදා ගත් මිතුරිය සෙව්මි සමඟ එම ලිපියේ සඳහන් ලිපිනය සොයා ගියාය..එය මහනුවර නගරයෙන් තරමක් ඈතට වන්නට පිහිටා තිබු තරමක් විශාල සුන්දර නිවසකි..ගේ හිමි කාන්තාව අවුරුදු හැට අටක් පමණ වූ වයසක කාන්තාවකි.ඇය ඔවුන්ව පිළිගත්තේ ආදරණීය ලෙසයි..

“මම මාලනී නානායක්කාර….”

ඈ ඔවුන් දෙදෙනා සමඟ විසිත්ත කාමරයට පැමිණියේ අසුන් ගන්නා ලෙස ඔවුන්ට ආරාධනා කරමිනි..

විසිත්ත කාමරයේ එක් බිත්තියක් මත වූයේ අවුරුදු හතළිහක පමණ වූ කඩවසම් මිනිසෙකුගේ තරමක් විශාල ප්‍රමාණයේ ඡායාරූපයකි..වැදගත් මහත්මයකු ලෙස හැඳ පැළදගෙන සිටි ඔහුගේ මුවේ වූයේ සුන්දර මෙන්න කරුණාවන්ත සිනහවකි..ආකීශ්මා එම ඡායාරූපය දෙස බලා සිටියේ ඔහුගේ රුව තම සිතට හුරුපුරුදු වූ බැවිනි…

“මේ….මේ…. මන් කොහේදී හරි මේ කෙනා…”

ඇයට තම වදන් සම්පූර්ණ කිරීමට හැකි වූයේ නැත…වයසක කාන්තාව ආකිෂ්මාගේ දෑතින් අල්ලා ගත්තේ දිගු කතාවකට මුල පුරමිනි.

“මේ මගේ මල්ලී..දිසුල නානායක්කාර.එයා ප්‍රොෆෙසර් කෙනෙක්…අවුරුදු විස්සකට කලින් ගත්තු ෆොටෝ එකක් මේ….දැන් මාසෙකට කලින් මගේ මල්ලී නැතිවුණා…”

“අනේ….”

ආකිෂ්මාගේ හදවතට දැණුනේ දැඩි වේදනාවකි..ඒ මන්ද යැයි ඇයටම වැටහුණේ නෑ..

“මගේ මල්ලී අවුරුදු විස්සකට කලින් තම මන් ළඟට ආවේ..ඊට කලින් එයා හිටියේ ඔය දුවගේ අසල්වැසි ගෙදර…”

“ආ….මොකක්ද …..එහෙනම්..මට දැකලා පුරුදුයි කියලා හිතුණේ ඒකද..”

“ඔව්…මල්ලී ඔයාලගේ එහා පැත්තේ ගෙදර කාමරයක් කුලියට අරගෙන හිටියා මාස හයක් විතර..ඒ එයා එහෙ කැම්පස් එකේ වැඩ කරන කාලේ.මගේ මල්ලීගේ ජිවිතේ ලස්සනම කාලේ ඒ මාස හය කියලයි මල්ලී නිතරම මාත් එක්ක කිව්වේ..”

ආකීශ්මාගේ සුරත අතහැර නිවෙස තුළට ගිය කාන්තාව නැවත පැමිණියේ කුඩා කළු පැහැති දිනපොතක් රැගෙනයි.ඈ එය ආකිෂ්මා අතට ලබා දුන්නේ එය පෙරලා බලන ලෙස ඉල්ලමිනි…

පිටු කිහිපයක් පෙරලු ආකිෂ්මාගේ සුරතින් දිනපොත බිමට අතහැරී ගියේත් ඇගේ දෑස් කඳුළින් පිරෙන්නට වූයේත් එක්වරමයි

“එතකොට…එතකොට ඒ එයා ප්‍රොෆෙසර් දි…දිසුලද…? “

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

“මන් ප්‍රොෆෙසර් දිසුලව දැකලා තියෙනවා.එයා ඒ දවස් වල නැවතිලා හිටියේ අපේ ගෙවල් ළඟ..ඒත් මන් එයා එක්ක කවදාවත් කතා කරල නෑ….”

“හ්ම්ම්ම්….මල්ලී මාරු වීමක් හදාගෙන නුවරට ආවා.එයා කාලෙකට පස්සේ තමයි මට ඔය දුව ගැන හැමදේම කිව්වේ..මල්ලී ඔයාට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් නිසා කවදාවත් ඔයා ඉස්සරහට යන්න බෑ කිව්වා….ඔයා කවදාවත් එයා කවුද කියලා දැනගන්න ඕන නෑ කියලා මල්ලී හිතන් හිටියේ…ඒත් එයා ඇත්තට ම ඔයාට ගොඩක් ආදරේ කරා..මල්ලී කිව්වා ඔයාගේ වෙඩින් එක දවසේ තමයි එයා ඔයාට අන්තිමට ලිව්වේ කියලා..ඔයාගේ වෙඩින් එකට සති තුනකට විතර කලින් එයා මෙහෙ පදිංචියට ආවා….ඔයා මැරි කරද්දී එයාට ඒක දරාගන්න බැරි වෙයි කියලා එයා එහෙ ඉන්න කැමති වෙලා නෑ…වෙඩින් එක දවසේ ඒ ලියුම ලැබෙන විදිහට එයා ඒක පෝස්ට් කරා…එතකොට .එයා නැති වුණේ හාර්ට් ඇටෑක් එකකින්..එතකොට එයාට අවුරුදු හැටක් වුණා විතරයි…මල්ලි ඔයාට මේ ගැන කියන්න එපා කිවුවත් මට හිතුණා මල්ලී ඔයාට ආදරේ කරපු තරම ඔයා දැන ගන්න ඕන කියලා..ඒකයි මන් මේ දේවල් එළි කළේ..”

“මන් කසාද බැන්දේ නෑ එදා….”

“ආ…?.”

“ඔව්….ඒ කසාදේ සිද්ද වුණේ නෑ…”

“මල්ලී ඒ ගැන දැනගෙන හිටියේ නෑ….එයා මෙහෙ ආවට පස්සේ ඔයා ගැන හෙව්වේ නෑ…එයාට ඔයා ගැන හෙවුවා ම එයාගේ හිත හදාගන්න බැරිවෙයි කිව්වා…එයාට ඕන වුණේ හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ඉන්න..මේ අවුරුදු විස්ස පුරාම එයා හිටියේ එයාගේම ලෝකෙක….ඔයාල දෙන්නා දෙපැත්තට වෙලා විඳවලා…”

“ඔව්….මන් නමක් ගමක්..කාගේ කවුද කියලා දන්නේ නැති එයා වෙනුවෙන් ගොඩක් කල් බලාගෙන හිටියා….ඒත් මන් එයා ගැන දැන ගන්නකොට එයා මට ළං වෙන්න බැරි තරම් දුරකට ගිහින්….”

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

ආකිෂ්මා ඔහුගේ කුටියට ගියේ හදපිරි වේදනාවෙන්..ඈ ඔහුගේ දිනපොත කියවා අවසන් කළේ දෑස් වලින් වැටෙන කඳුළු අතරින්…..ඔහු ඇයට කොතරම් පෙම් කළේ දැයි ඇයට තහවුරු වී අවසන් වුවත් ඇගේ ප්‍රේමය පිළිගන්නට අද ඔහු ඈ අසළ නැත…ඉතින් ඔවුන්ගේ නාඳුනන ප්‍රේමයේ අවසානය එයයි….

අකීෂ්මා සෙව්මිත් සමඟ මාලනීට සමු දී නිවසෙන් පිටතට පැමිණියේ තමන්ගේ අසම්පූර්ණ ආදර කතාව තම හදවත පතුලේ ම තැම්පත් කරගනිමි.

💙නිමි.💙

අදහසක් කියන්න යාලුවනේ..කියවපු හැමෝටම ස්තූතියි 😍😍😍

💛💜 කුමුදු

Advertisment