ගුණසිංහ ඉස්කෝලෙ මහත්තය පාන්දර හතරෙ බස් එක අල්ල ගන්න ගෙදරින් පිටත් උනේ තුන හමාරට විතර. හතරෙ බස් එකේ යා ගන්න බැරි උනොත් මහ ඉස්පිරිතාලෙ ක්ලිනික් එකේ ඉස්සරහ නොම්බරයක් අල්ල ගන්න එක බොහොම අමාරු වැඩක්.
පාර අයිනෙ ගෙවල් වල තාම ලයිට් එකක් පත්තු කරලවත් නෑ ඒ මිනිස්සු තාම හොඳටම නිදි ඇති . මුළු පාරම අඳුරුයි පාරෙ තැනින් තැන සභාවෙන් ලයිට් දාලා තිබ්බත් ඒව පත්තු වෙච්ච කාලයක් ගුණසිංහ ඉස්කෝලෙ මහත්තයගෙ මතකයට ආවෙම නෑ.
හීන් පොද වැස්සක් පාන්දරම පොලොව සිඹිනවා . දවල් දවසෙ අව්වට කරකුට්ටන් වෙලා තියෙන පොලවට මේ වැටෙන මල් වැස්ස කොච්චර නම් අස්වැසිල්ලක් වෙනව ඇතිද . ඉස්කොලේ මහත්තය බස් නැවතුමට එනකම්ම වැස්සෙ කිසි අඩුවක් උනේ නෑ
“අපේ ඉස්කෝලෙ මහත්තයා පාන්දරම බෑරක යනවද?
බස් එකේ ඩ්‍රයිවර පියතිලක ඉස්කෝලෙ මහත්තයගෙන් ඇහුවා. පියතිලකත් ඉස්කෝලෙ මහත්තයගෙ පරණ ගෝලයෙක්.
“අද ඉස්පිරිතාලෙ ක්ලිනික් එකනෙ පියතිලක ළමයො පාන්දරම නොගියොත් හැන්දෑ වෙනකම් පෝලිම්වල හිටං ඉන්න වෙනවා මුලින් නොම්බරයක් අල්ල ගත්තොත් දොලහ එක වෙනකොට යන්තම් ගෙදරට ඒ ගන්න පුළුවන් “
“ඒකනම් ඇත්ත තමයි ඉස්කෝලෙ මහත්තයො. දැන් ඉන්න දොස්තරලා නර්ස්ලා තියා අපේ පංතියෙ මිනිස්සු වෙච්ච ඇටෙන්ඩන් කාරයෙක්වත් ඉස්පිරිතාලෙකට ගියාම මිනිහෙක්ගෙ හිත හැදෙන විදියට වචනයක් කතාකරනවද? උන් ලෙඩ්ඩු දිහා බලන්නෙ අඟහරු ලෝකෙන් ආපු කුරුමිට්ටො දිහා බලනවා වගේ අනේ මන්දා දැන් අපේ රටේ සෞඛ්‍ය සේවෙනම් නැත්තටම නැතිවෙලා තියෙන්නෙ”
ඉස්සර ඉඳන්ම ජේවීපී කාරයෙක් වෙච්ච පියතිලක රටේ තතවය ගැන කරපු පුළුල් පැහැදිලි කිරීම ඉස්කෝලෙ මහත්තයා බොහොම සාවදානව අහගෙන ඉඳියා.
හතරට තව විනාඩි පහක් තියෙනවා කොළඹ වැඩට යන මිනිස්සු පොලේ වෙළඳාමට යන මිනිස්සු එකා දෙන්නා බස් එකට ගොඩ වෙනවා. ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට යන මිනිස්සුන්ගෙනුත් අඩුවක් නෑ ඉස්කෝලෙ මහත්තයගෙ වයසෙ ගොඩ දෙනෙක්ට දැන් එක එක ජාතියෙ ලෙඩ. ලෙඩක් නැති මිනිහෙක් හොයන එක කළු නික හොයනවටත් වඩා අමාරු කාරියක් නොවෙද කියලා ඉස්කෝලෙ මහත්තයා කල්පනා කලා .
“අපේ සර් ගමනක් යනව වගේ….?”
ඉස්කෝලෙ මහත්තයගෙ හොඳම ගෝලයෙක් වෙච්ච සමන් ඇවිත් ඉස්කෝලෙ මහත්තයා ලඟින්ම වාඩි උනා.
“ආ මේ සමන් ළමයනෙ ඔව් ළමයො අද ක්ලිනික් එකනෙ මේ ඒකට යමින් ගමන්”
ඉස්කෝලෙ මහත්තයා මේ වගේ දුක්විඳින්න ඕන මිනිහෙක් නෙමෙයි විශාම ගත්තට පස්සෙ රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක් නේද කියලා සමන්ට කල්පනා උනා.
“ඉස්කෝලෙ මහත්තයා බේත් තුංඩුව මට දුන්නනම් මම කොළඹින් බේත් ටික අරන් එනවනෙ “
“අනේ මොකටද දරුවො කරදර වෙන්නෙ මට තාම මේ ටික දුර ගිහින් ඈ හැකි නෙ අනික දොස්තර මහත්තයට පෙන්නලාම බේත් ටික ගන්න එක කෝකටත් හොඳයිනෙ”
ඉස්කෝලෙ මහත්තයා ඇස් දෙකට ආපු කඳුළු සමන්ට නොපෙනෙන්න පිහිදා ගත්තා.
ඉස්සර ඉස්කෝලෙ උගන්නන කාලෙ ඉස්කෝලෙ මහත්තයා ගමේ ළමයින්ට කොයි තරම්නම් උදව් කරල තියෙනවද කියලා සමන් කලා. ඒ කාලෙ තමන් ගේන කෑම එක පවා ළමයි එක්ක බෙදා ගන්න තරම් ඉස්කෝලෙ මහත්තයා නිහතමානී උනා . අද ගොඩක් ලොකු පුටුවල ඉන්න ඉස්කෝලෙ මහත්තයගෙ ගෝලයො කී යෙන් කී දෙනෙක්ට ඒ අතීතය මතකයෙ ඇතිද?
“පුතා හෙම ලඟදි එන්නෙ නැද්ද ඉස්කෝලෙ මහත්තයො”
සමන් පුතා ගැන අහද්දි ඉස්කෝලෙ මහත්තයගෙ ඇස්වල දීප්තිය ඉබේම වැඩිවුනා.
“තව අවුරුදු තුනක් යනකම් නිවාඩු නැතෙයි කිව්වෙ ඉඳ හිටල ටෙලිෆෝන් කොල් අරන් මගෙ දුක සැප හොයල බලනවා මේ ඊයෙ පෙරේදා සල්ලි වගේකුත් එවලා තිබුනා “
ඉස්කෝලෙ මහත්තය බොහොම හිමින් උත්තර දුන්නා.
ඉස්කොලේ මහත්තයගෙ පුතා සම්පත් සමන්ලගෙ පන්තියෙමයි ඉඳියෙ මිනිහා ඒ කාලෙ ඉඳන්ම ඉගෙන දක්සයා. සම්පත් දැන් ඉන්නෙ ඇමරිකාවෙ ඉස්කෝලෙ හාමිනේගෙ මරණෙට ආවට පස්සෙ සම්පත් ලංකාවට ආපු වගක් සමන්ට මතක නෑ .
අද ඉස්කෝලෙ මහත්තය වගේ තාත්තලා අම්මලා කී දෙනෙක් නම් දරුවන්ව පිටරට යවලා තනිවම ජීවිතේ ගෙනියනව ඇතිද කියලා සමන් කල්පනා කලා.
“සමන් ළමයො මම එහෙනම් ඉස්සරහින් බහින්නම් තෙරුවන්සරණයි”
ඉස්කෝලෙ මහත්තයා ඉස්පිරිතාලෙ ලඟින් බහින්න සූදානම් උනා.
“පරිස්සමෙන් ගිහින් එන්න සර් ..බුදුසරණයි”
බස් එකෙන් බැහැලා අමාරුවෙන් ඇවිදන් ඈතට යන ඉස්කෝලෙ මහත්තයා දිහා සමන් බලා ඉඳියෙ බොහොම දුකින්.
දරුවො මීට වඩා දෙමාපියො ගැන හිතනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා සමන්ට හිතුනා.
සමාප්තයි
සමීර මදුසංක