සමිත හාමුදුරුවො මට මුලින්ම මුණගැගෙන්නෙ මම දහම් පාසල් යන දවස් වල. ඒ දවස්වල උන්වහන්සෙ තමයි අපේ දහම් පාසලේ ප්‍රදාන ආචාර්‍ය හාමුදුරුවො. ළමයි සමිත හාමුදුරුවන්ට සෑහෙන බයයි මොකද කවි ගාථා පාඩම් නැති උනොත් සමිත හාමුදුරුවන්ගෙන් ටොකු කන්න වෙන විත්තිය අපි හැමෝම දැනගෙන ඉඳියා. ඒත් මගෙ අතින් කවියක් ගාථාවක් වැරදුන එක දවසකවත් උන්වහන්සෙ මට ටොකු ඇන්නෙ නෑ රවලා මගෙ දිහාව බැළුවා විතරයි.

”මොකද සිරිමෙවන් කවිය පාඩම් කලේ නැද්ද”

ඒ හඬේ තිබුනෙ මහා ප්‍රථාපවත් බවක්.

”පාඩම් කලා හාමුදුරුවනේ ඒත් මතක නෑනෙ”

”ඔහොම බෑ විභාග වලට ලියන්න ලබන සතියෙ එන කොට ඔය කවි පන්ති දෙකම පාඩම් කරගෙන එන්න ඕනා හොඳද”

ඒක දැනුම් දීමක් නෙමේ අනකිරීමක්.

”එහෙමයි හාමුදුරුවනේ”

මට සිරිමෙවන් කියන නම දැම්මෙත් සමිත හාමුදුරුවො කියලා දවසක් අම්මා මා එක්ක කිව්වා මතකයි.

කාලයක් ගතවෙද්දි ඉරිදට විතරක් නෙමේ සතියට දවස් දෙක තුනක් මට පන්සලට යන්න උනා. තනියම නෙමේ ඒ අපේ අම්මත් එක්ක. හැමදාම කට ගොන්නක් බීගෙන ගෙදර ඇවිත් අම්මට තඩිබාන තාත්තගෙ බීම නවත්වන්න බෝධි පූජා තියන්න තමයි අම්මයි මායි ඒ විදියට පංසලට ගියේේ. ඒත් තාත්තගෙ බීම නම් ඒකෙන් අඩු උන බවක් පෙනුනෙ නෑ.

පොඩි හාමුදුරුවන්වයි මටයි ආවාසෙ ගාව සෙල්ලම් කරන්න කියලා තමයි අම්මයි සමිත හාමුදුරුවොයි හැමදාම බෝධි පූජාව තියන්න උඩ මළුවට ගියේ. එක දිගට බෝධි පූජා නොතිබ්බත් සමහර සතිවල දවස් තුන හතර අපි බෝධි පූජා තියන්න පංසලට ආවා.

ඔය දවස්වලම තමයි සමිත හාමුදුරුවන්ගෙ නමයි අපේ අම්මගෙ නමයි ඈඳලා ගමේ හැම තැනම කැලෑ පත්තර ගහලා තිබුනේ මට ඒ ගැන ලොකු තේරුමක් නොතිබුනත් ගමේ අය අපිට සලකපු විදියත් එක්ක ඒ කැලෑ පත්තර වල තිබුනෙ ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා මම තේරුම් ගත්තා. අපේ අම්මා පිස්සියක් වගේ අඬ අඬ ගම පුරාම ගහලා තිබ්බ කැලෑ පත්තර ගලවනවා මට හොඳට මතකයි.

”ආ ඔන්න එනවා උපාසක අම්මා

අපි කවුරුත් පූජා නොකරපු දානයක් මෙයැයි හවසට හවසට හාමුදුරුවන්ට පූජාකරවලු නේද .ඒ විතරක්යැ අපි පංසලට පූජා කරන කිරි පිටි සීනි හෙම හොර පාරෙම යන්නෙ මුන්ගෙ ගෙදරටලුනෙ”

ගමේ උන් එක එක කතා කියද්දි මටත් මතක් උනා ඔච්චර අඟහිඟකම් තියෙන අපේ ගෙදර මට කවදාවත් උදේ කිරිපිටි වීදුරුව වැරදුනේ නෑ නේද කියන එක. සමහර විට ගමේ අය හරි ඇති තාත්තගෙ බීම එන්න එන්නම වැඩි උනේ ගමේ උන්ට මූණ දෙන්න ලැජ්ජාවෙන් කියන එක මට තේරුනේ සෑහෙන කාලෙකට පස්සෙ.

”මෙහෙ වරෙන් කොල්ලො මගෙ ඔඩොක්කුවට”

තාත්තා හොඳටම බීලා ආපු දවසක මට ලඟට කතාකරලා මගෙ ඔළුව අත ගාන්න ගත්තා.

”ගමේ උන් කියනව උඹ පංසලේ හාමුදුරුවො වගේළු. මම මේ උන් එක්ක රංඩු කරගෙන ආවෙ නෑ ඌ මගෙ කොළුවා කියලා

උඹ මගෙ නේද රත්තරං පුතේ”

තාත්තගෙ කඳුළු පිරිලා තියෙන ඇස් දිහා බලාගෙන මම ඔළුව වැනුවෙ තත්තා කියපු දේ තේරීලා නෙමෙයි තාත්තා අඬනවා බලා ඉන්න බැරි නිසා. අම්මත් දොර මුල්ලට වෙලා හෝ ගාලා අඬනවා මම බලාගෙන .

වෙනදා අම්මා එක්ක රංඩුකරන තාත්තා එදා වචනයක්වත් කතා නොකර කෑමත් නොකා නිදා ගන්න ගියා. යන්තම් රොටි කෑල්ලක් කලා කහට එකක් බීලා මමත් උන්දැ ගාවින්ම ඇල උනා පහුවෙනිදා අපි ඇහැරිලා බලන කොට අම්මා ගෙදර හිටියෙ නෑ. සමිත හාමුදුරුවොත් පංසලේ නෑ කියලා එදාම අපිට ආරංචි උනා..


ඒ සිදුවීම වෙලා දැන් අවුරුදු දහ අටක් , දැන් මගෙ වයස අවුරුදු විසි හයක්. මේ ගෙවුන අවුරුදු දහ අට පුරාවටම ඊයෙ වෙනකම් අම්මා ගැන මට කිසි ආරංචියක් ලැබුනෙ නෑ.

තාත්තයි මමයි ජීවිතේ ගැටගහ ගන්න පහුගිය කාලෙ නොවිඳිනා දුක් වින්දා. අම්මා ගෙදරින් ගිහින් සුමානෙකට විතර පස්සෙ තාත්තා බීම නතර කලේ මගෙ ජීවිතේ ගොඩ දාන්න ඕනා නිසා, මට උගන්නන්න ඕන නිසා කියලා මට පහුකාලයේදී තේරුම් ගියා. ඒ නිසා මම පුළුවන් විදියට ඉගෙන ගත්තා ඒත් අම්මා නැති අඩුව මාව හැම මොහොතකම අසරණ කලා. අද රජයේ ලිපිකරුවෙක් හැටියට මම රස්සාවක් කරන්නෙ තාත්තගෙ කැපවීම නිසා.

ඊයෙ මම වැඩ කරන කංතෝරුවට ආව විදුලි පණිවිඩයක් නිසා මේ අතීත සිදුවීම් එකින් එක මට මැවිලා පේන්න ගත්තා.

පිළිකාවක් වැළඳීම හේතුවෙන් ඔබේ මව සුනීතා ඊයේ මියගියා

අවසන් කටයුතු හෙට 18 හවස හතරට රාගම පොදු සුසාන භූමියේදී

මෙයට බාප්පා

සමිත සිරිමෙවන්.

”ගිහින් වරෙන් මගෙ පුතේ මොනව උනත් ඒ උඹේ අම්මනෙ”

ඒ මේ පණිවිඩය අහපු තාත්තා මට දීපු උත්තරේ…..

සමාප්තයි .