දෙව්ලි උදේම ලෑස්ති වුණේ සුමේධ සර්ගෙ ඉන්ග්ලිස් ක්ලාස් එකට යන්න .සුමේධ සර් දැනට ලංකාවෙ ඉන්න ජනප්‍රිය ගුරු වරුන්ගෙන් එක්කෙනෙක්.සර්ගෙ ක්ලාස් වල ළමයි වැහි වැහැලා.හරිම සරල විදියට ඉංග්‍රීසි දැනුම මොල වලට දෙන්න සර් උපන් හපනෙක්.
දෙව්ලි වෙනදටත් වඩා ආසාවෙන් තමයි ඉන්ග්ලිස් ක්ලාස් එකට යන්නෙ.ඒකට හේතුව නම් සුමේධ සර්ගෙ ඉංග්‍රීසි නම් නෙවෙයි.කෙල්ලගෙ හිත් ගත්තු කෙනෙක් තමයි හේතුව.


ක්ලාස් එකට යන අතරමඟ කෙල්ලො කොල්ලොන්ගෙ පාරාදීසයක් වගේ තැනක් තියෙනවා.ඒක තමයි හැමෝම හැමදාම යන කූල්ස්පොට් එක.එතන තියෙන ෆලූඩා එක සෝයා අයිස්ක්‍රීම් එක පන්ති යන කෙල්ලොන්ට කොල්ලොන්ට දිවිය අමෘත වගේ.ඉතින් සේරම එක පොදියට ශාන් එකට පිරෙන්නෙ ඒකයි.


දෙව්ලිත් යාලුවොත් එක්ක ශාන් එකට ගියේ ෆලූඩ බොන්න.ඒත් මුලදි මුලදි කෙල්ලට ෆලූඩා එක රසවත් වුනත් පස්සෙදි වඩාත් රසවත් වුණේ ෆලූඩා එක නම් නෙවෙයි.ශාන් එකේ වැඩකරපු දිල්ශාන් .කෙල්ල දිල්ශාන් දිහා හොර හොරෙන් බලන්න පුරුදු වුණේ ෆලූඩ එක රස කරන අතරෙමයි.හිටි හිටි ගමන් දිල්ශාන්ට කෙල්ලගෙ බැල්මවල් අහු වුණත් කොල්ල වෙනසක් පෙන්නුවෙ නම් නැහැ.

දෙව්ලි හැමදාමත් ශාන් එකට යනවා..ඒ මූණ දිහා බලන් ඉදලා එනවා.දවසින් දවස ඒ ආදරේ වැඩි වුණා මිසක් අඩුවක් නම් වුණේ නැහැ.

“ගුඩ් මෝනිම් නංගි…”

දෙව්ලි හිටියෙ ශාන් එකේ ටේබල් එකක..කෙල්ල ආසම ෆලූඩා එක ගෙනත් දෙනකල් තමයි කෙල්ල බලන් හිටියෙ.කවදාවත් නැතුව වේටර් ගුඩ් මෝනිම් කියද්දි කෙල්ල බැලුවෙ ගැස්සිලා .ඒත් කෙල්ල දැකපු දේ කෙල්ලට විශ්වාස කරන්න බැහැ.

ඒ හිටියෙ කව්රුත් නෙවෙයි දිල්ශාන් ..කොල්ල දෙව්ලි ආසම ෆලූඩා එක ටේබල් එකෙන් තියලා කෙල්ලට ගුඩ් මෝනිම් කියල යන්න ගියාම දෙව්ලිගෙ හිතේ තවත් ආදරේ පිරුණ .තවත් බලාපොරොත්තු වැඩි වුණා .කෙල්ලගෙ හොදම යාලුව සදී.කෙල්ල එහෙමම කෝල් එකක් ගත්තෙ සදීට.

“එයා මට ගුඩ් මෝනිම් කිව්ව බං..”

කෙල්ලගෙ වචන වල පිරුණ සතුට තේරුම් ගන්න සදීට වෙලා ගියේ නැහැ .සදීට දෙව්ලි ගැන ඇති වුණේ දුකක්.මෙච්චර කොල්ලෙක්ට ආදරේ කරන්නෙ කොහොමද .ඒ කොල්ල ආදරේද කියලවත් නොදැන .එක වචනයක් කතා කරාම හිත පිරෙන්න තරම්.සදී හිතුවා.

දෙව්ලිට දිල්ශාන් නොදැක බැරි තරම් කෙල්ල ඒ රූපෙට ඇබ්බැහිවෙලා .වචනයක් කතා කරල නැති වුණත් දෙව්ලි දිල්ශාන් ට ආදරේ කරන්න අරන් .දෙව්ලිගෙ හිතටත් හොරාම .

“සදී..මං එයාට ආදරෙයි බං..
උබට විතරයි මාව තේරුම් ගන්න පුලුවන් ..
මං කරන්නෙ වරදක්ද සදී..”

දෙව්ලි අහන්නෙ කෙල්ලගෙ හොදම යාලුවගෙන්.ඒත් සදීට දෙන්න උත්තර නෑ..ආදරේ හිතට එන්නෙ කිය කිය නෙවෙයි කියල සදී දන්නවා.ඒත් දිල්ශාන්ගෙ හිතේ දෙව්ලි ගැන ආදරක් තියේද නැද්ද කියල කෙල්ලවත් දන්නෙ නෑ.

හිත අස්සෙ ආදරේ මෝරද්දි දෙව්ලිට දිල්ශාන්ගෙන් තොර ලෝකයක් නැති වෙද්දි කෙල්ලගෙ ඉන්ග්ලිස් කෝස් එක ඉවර වෙනවා.කෙල්ල ගෙදරට වෙලා ඉන්නෙ පිස්සුවෙන් වගේ.දිල්ශාන් ගෙ ඇස්,ඒ හිනාව ඒ මූණ මතක් වෙද්දි දෙව්ලිගෙ ඇස් කදුළින් තෙමෙනවා.

දෙව්ලිට තව දුරටත් ගෙදරට වෙලා ඉන්න හිත් දෙන්නෙම නැහැ.කෙල්ල අම්මට බොරුවක් කියල මාතර යන්නෙ දිල්ශාන්ගෙ මූණ චුට්ටක් බලලවත් හිත හදාගන්න .කෙල්ලට මතක් වෙන්නෑ තමන් ගෑණු ළමයෙක් නේද කියලවත්.කෙල්ලට ඕන ඒ මූණ දකින්න විතරයි .

කෙල්ල ජයසේකර එක ළඟින් බැහැල ඉස්සරහට ඇවිදගෙන ගිහින් ඇලවේල්ල පාරට හැරෙන්නෙ ශාන් එක දිහා බල බල.ක්ලාස් යන කෙල්ලො කොල්ලොනම් ශාන් එක ඇතුලෙ අඩුවක් නෑ.කෙල්ල හෙමින් හෙමින් ශාන් එක ඇතුලට යන්නෙ ඒ මූණ දැකල හිත පුරවගන්න.
කෙල්ල ෆලූඩ එකක් ඕඩර් කරල වටේටම ඇස් යැව්වෙ දිල්ශාන් හොයන්න .

කොල්ල පේන්න නැති වෙද්දි කෙල්ලගෙ හිතට දැනෙන්නෙ පුදුම දුකක්.ඒත් එකපාරටම කිචන් එක පැත්තෙන් ඒ රූපය මතු වෙද්දි කෙල්ලගෙ ඇස් දිලිසෙන්න ගන්නෙ සතුට දෝරෙ ගලද්දි.දිල්ශාන් බලන් ඉන්නෙ ඒ දිලිසෙන ඇස් දිහා.කොල්ල හෙමින් හෙමින් එන්නෙ කෙල්ල වාඩි වෙලා හිටපු තැනට.දිල්ශාන් එහෙමම පුටුවක් ඇදල අරන් කෙල්ල ලගින් වාඩි වෙනව.

“කොහෙද හැංගුනේ..
මං කොච්චර බලන් හිටියද..”

කොල්ල කියන්නෙ එහෙම .දෙව්ලිගෙ ඇස් කදුලින් තෙමෙන්නෙ සතුටට.කෙල්ල කවදාවත් බලාපොරොත්තු නොවුණ ඒ වචන කෙල්ලට ගෙනාවෙ පුදුම සතුටක්.කෙල්ල එදා ගෙදර යන්නෙ දිල්ශාන් ගෙ රූපෙන් විතරක් නෙවෙයි ඒ ආදරෙනුත් හිත පුරවගෙන .කෙල්ල සදීට කෝල් කරල හැමදේම කියන්නෙ ගොඩක් සතුටින් .කෙල්ලගෙ සතුට දැකල සදී අවංකවම සතුටු වෙනවා.ඒ යාලුකම ඒ තරම් හයියයි.

එතනින් එහාට දෙව්ලිගෙ මුළු ලෝකයම වුණේ දිල්ශාන් .කෙල්ල නිදාගත්තෙ..නැගිට්ටෙ..කෑවෙ ..බිව්වෙ..හැමදේම දිල්ශාන් ගැන හිතමින්.කෙල්ලගෙ හීන වල හිටියෙ දිල්ශාන් විතරයි .

……………………………………………………………………………………….

දිල්ශාන්ගෙ උරහිසේ ඔලුව තියාගෙන දෙව්ලි හිටියෙ ගොඩක් සැනසීමෙන්.දිල්ශාන්ගෙ ළගින් මෙහෙම ඉද්දි කෙල්ලගෙ හිතේ ආදරේ වාන් දානවා වගේ.අත් දෙකින්ම කොල්ලගෙ අතක් බදාගෙන කොල්ලගෙ වතටම ඇලිල කෙල්ල ඉන්නෙ.ඒ වත ආදරේ වැඩිකමට ගැහෙනවා.මේ කොල්ලගෙයි කෙල්ලගෙයි පලවෙනි හමුවීම.

ඉතින් දෙන්නගෙම හිතේ නුහුරු හැඟීම් නලියද්දි දිල්ශාන් හරි ලස්සනට කෙල්ලගෙ දෙතොලට බරවෙන්නෙ.දෙව්ලි බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ උණුසුම විදගන්න.කෙල්ලගෙ ඇස් ඉබේම පියවෙන්නෙ ඒ පහසට නතු වෙලා.

ගාලු කොටුවෙ තැන් තැන් වල අහුමුළු වල පෙම්වතුන් තම තමන්ගෙ ලෝකවල තනිවෙලා.දෙව්ලිත් දිල්ශාන්නුත් ඔවුන්ගේ ලෝකවල තනි වුණේ ආදරේ හිත් වල දෝරෙ ගලද්දි.දිල්ශාන්ගෙ උණුසුම් හාදු වලින් කෙල්ලගෙ මුළු මූණම පිරිල යද්දි දෙව්ලි තව තවත් ඒ පපුවටම තුරුල් වුණේ ඒ ආදරේ තව තවත් විදගන්න .

කෙල්ලට ගෙදර ගිහිල්ලත් මතක් වුණේම දිල්ශාන් එක්ක ගත කරපු ඒ මොහොත.දෙව්ලි හිටියෙ පුදුමාකාර සතුටකින්.

ඒත් ඒ සතුට නැති වෙන්න ලොකු කාලයක් ගත වුණේ නැහැ .දෙව්ලිගෙ සතුටට කණ කොකා ඇඩුවෙ දෙව්ලිගෙ සතුට සී සී කඩ කරල .
කෙල්ලගෙ ගෙදරට ඔවුන් දෙන්නගෙ ආදරේ ගැන ඉව වැටෙන්නෙ කෙල්ලගෙම හැසිරීම් නිසා.කෙල්ලගෙ ෆෝන් එකේ තිබුණ මැසේජ් එකක් ගෙදරින් දකින්නෙ කෙල්ල ගැන ගොඩක් සෙවිල්ලෙන් ගෙදර අය හිටපු නිසා.

ඒකත් අහු වෙන්නෙ කෙල්ලගෙ අයියට .එතනින් එහාට කෙල්ලට ගෙදරින් එලියටවත් බහින්න තහනම් වෙන්නෙ දැඩි නීති මැද්දෙ.අඩුම සදීගෙ ගෙදරටවත් කෙල්ලට යන්න ලැබෙන්න නැහැ.කෙල්ල ඇඩූ කදුලින් දවස් ගත කරද්දි දිල්ශාන් නුත් ටිකෙන් ටික වෙනස් වෙන බව දෙව්ලිට දැනෙනවා.දෙව්ලිට හේතුවක් හිතා ගන්න බැරි වෙනවා දිල්ශාන්ගෙ වෙනසට.වෙනද වගේ කතා කරන්නවත් දිල්ශාන් ට උනන්දුවක් නැති වෙද්දි දෙව්ලි අඩනවා..දිල්ශාන් ගෙ ෆෝන් නම්බර් පවා වෙනස් කරද්දි කෙල්ල ජීවත් වෙන්නෙ පිස්සුවෙන් වගේ.

ඒ ආදරේ මතක් වෙද්දි දෙව්ලිට තවත් ගෙදරට වෙලා ඉන්න හිත් දෙන්නෙ නැහැ.ඒකයි කෙල්ල කොහොමහරි ගෙදරින් එලියට ගිහින් දිල්ශාන් මුණ ගැහෙන්නෙ.කෙල්ල යන්නෙ සදී එක්ක.ඒත් කෙල්ලට අහන්න ලැබෙන්නෙ කෙල්ල හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ දේවල්…

………………………………………………………………………………………අයියට්
දිල්ශාන් ටයි දෙව්ලිටයි කතා කරන්න දීල සදී බීච් එක දිහාට ඇවිදගෙන ගියා .දෙව්ලිගෙ ඇස් වල කඳුළු.දිල්ශාන් හිටියෙ ඈත් මුහුද දිහා බලාගෙන .

“සුදු අයියේ..


ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ..

ඔයත් ඔහොම කරාම මම කොහොමද ඉන්නෙ කියන්නකෝ..”

දෙව්ලි අහද්දි දිල්ශාන් සද්ද නැහැ.දිල්ශාන් තීරණයක් අරන් ආවෙ දෙව්ලිගෙන් ඈත් වෙන්න.දෙව්ලිට ඒ ගැන කියන්න හොදම වෙලාව මේක කියලයි දිල්ශාන් හිතුවෙ.

“අපි මේ සම්බන්ධෙ නවත්තමු දෙව්ලි..”

දිල්ශාන්ගෙ කටින් පිටවුණ ඒ වචන කෙල්ලගෙ පපුවට පිහියෙන් ඇන්නා වගේ.දෙව්ලිට දැණුනෙ මුළු ලෝකෙම කෙල්ල වටා භ්‍රමණය වෙනව වගේ.

“මොනවද දෙයියනේ ඔයා මේ කියන්නෙ.
කොහොමද එහෙම කරන්නෙ..
මං ඔයාට ආදරෙයි සුදු අයියෙ..
කොහොමද මං ඔයාගෙන් ඈත් වෙන්නෙ..
ආදරේ නොකර ඉන්නෙ..
ඔයා නැතුව ඔයාගෙ ආදරේ නැතුව කොහොමද මං ඉන්නෙ අයියෙ..”

දෙව්ලි කිව්වෙ දිල්ශාන් ගෙ අතේ එල්ලිලා.ඒත් ඒ කදුළු වලට හෙල්ලෙන හිතක් නෙවෙයි දිල්ශාන්ට තිබුණෙ .

“ඔයා මට ආදරෙයි නම් ඔයා මාව අමතක කරන්න දෙව්ලි..
මෙතනින් එහාට අපි අතරෙ සම්බන්ධයක් නැහැ..
සමාවෙන්න ..
මං යන්නම්…”

එහෙම කියපු දිල්ශාන් යන්න ගියා .ආයෙ හැරිලවත් බැලුවෙ නැහැ .දිල්ශාන් වෙනස් වුණේ ඇයි කියල දෙව්ලි හිතුවා..කෙල්ල ඇඩුවා..හයියෙන්..බිම වැටීගෙන ඇඩුවා.සදීටවත් ඈව සනසන්න පුලුවන් වුණේ නෑ.දෙව්ලි ගෙදර ආවෙ මලමිනියක් ගානට.

නොකා නොබී කෙල්ල ගොඩක් දුක් වින්දා.දිල්ශාන් ගෙ මතකය එක තප්පරේකටවත් කෙල්ලගෙ හිතින් ඈත් වුණේ නැහැ.කෙල්ල හදවතින්ම දිල්ශාන් ට බැදිලයි තිබුණෙ .කෙල්ලගෙ ආදරේ අඩුවක් නැහැ .දෙව්ලි තව තවත් දිල්ශාන් ට දෙව්ලිගෙ සුදු අයියට ආදරේ කලා මිසක් වෙනස් වුණේ නැහැ.

………………………………………………………………………………………

“මිසිස් මුණවීර ..අපි කැමතියි ඔයාගෙ දුවව අපේ පුතාට යෝජනා කරන්න ..”

ගෙදරින් මගුල් යෝජනා හොයද්දි එක යෝජනාවක් ස්තීර වෙන්නෙ ඒ විදියට.දිල්ශාන් දෙව්ලිගෙන් සමු අරන් ඒ වෙද්දි වසරක් ගෙවිලා.ඒත් කෙල්ලගෙ හිතේ හිටියෙ ඔහු විතරයි .කෙල්ලගෙ හිතින් ඒ ආදරේ මරල දාන එක කිසිම කෙනෙක්ට කරන්න බැරි වුණා .
ඒත් කෙල්ලට බැරි වුණා මේ යෝජනාව අහක දාන්න.ඉතින් දෙව්ලිට වුණා දේවින්දගෙ පතිනිය වෙලා ඔහුගෙ අත ගන්න.

කෙල්ල හරිම ලස්සනයි ..සුරංගනාවියක් වගේ..දේවින්දගෙ අත හරි ආදරෙන් දෙව්ලිගෙ සුරත දරාගෙන හිටියෙ.

“මම සුදු අයියට තාමත් ආදරෙයි සදී..
දේවින්ද මගෙ සැමිය වුනත් මට බැරි වෙයි සුදු අයියට තියෙන ආදරේ වෙනසක් කරන්න ..
මට සමාවෙන්න සදී..”

සමුගන්න මොහොතෙ දෙව්ලි කිව්වෙ එහෙම .සදී ලොකු හුස්මක් අතෑරියෙ කෙල්ලගෙ කටට වචන ආවෙ නැති නිසා.දෙව්ලි දේවින්දගෙ පතිනිය වෙලා ඔහු ලගට ගියේ දිල්ශාන් වෙනුවෙන් උපන් ආදරේ හිතේ දරාගෙන .

………………………………………………………………………………………….

“සදී කොහොමද ..”

කෙල්ල උඩ ගියේ ඒ හඩට..ඇගේ ඉස්සරහ හිටියෙ දිල්ශාන් .

“හොදයි..කොහොමද ශාන් අයියෙ..”

ඔහු නිහඩයි.ඒ මූණෙ තිබුණෙ දුකක්ද මොකක්ද සදීට තේරුම් ගන්න බෑ.

“දෙව්ලි මැරි කරාද..”

“ඔව්..දැන් ඔයා මොකටද දෙව්ලි ගැන හොයන්නෙ..
ඔයා ඒ කෙල්ල අතෑරල දැම්මනෙ..”

“එයාට තව චුට්ටක් ඉවසන්න තිබුණා ..
එහෙනම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා ..”

දිල්ශාන් කිව්වෙ කලකිරීමෙන් .

“දැන් ඕව කතා කරල වැඩක් නෑ අයියෙ..
මම යන්නම්..”

සදී එතනින් ආවෙ දිල්ශාන් ගැන කේන්තියෙන් .කෙල්ලව අතෑරල දාල දැන් මොකට හොයන්න එනවද..කෙල්ලට හිතුනෙ එහෙම .දිල්ශාන් කෙල්ලව අතෑරපු හේතුව දන්නෙ ඔහුම විතරයි ..

……………………………………………………………………………………….

කාලය ගත වුණා .දේවින්ද දෙව්ලිට ආදරණීය සැමියෙක් වුණා .ඒත් කෙල්ලගෙ හිත හැම මොහොතකම තිබුණෙ දිල්ශාන් ලග.දේවින්ද එක්ක ජීවත් වුණත් ඇයට දැණුනෙ දිල්ශාන්ව විතරයි .
දෙව්ලි හිටියෙ උදේ කෑම හදමින් කුස්සියෙ.දේවින්ද ඇවිත් කෙල්ල ලගින් වාඩි වෙලා හිටියෙ ඈට උදව් කරමින්.

“සුද්දි..
දැන් අපිට අමුත්තෙක් එන්නත් ඉන්න එකේ මං හිතුවෙ ඔයා දැන් උදේම නැගිටින්න ඕන නෑ නේද..”

දේවින්ද කියන්නෙ හාල්මැස්සන් ඔලු ගලවමින්.
දෙව්ලි හිටියෙ පලවෙනි දරුව කුසේ දරාගෙන .

“එහෙම අමාරුවක් නෑ දේවින්ද..
මට පුලුවන් ගෙදර වැඩ ටික කරන්න ..”

කෙල්ල එහෙම කියල හාල් ටික හෝදල ලිපෙන් තිව්වෙ ඉක්මනින් උයාගන්න හිතාගෙන .ඒත් කෙල්ල එකපාර කොන්ද අල්ල ගත්තෙ වේදනාවෙන් ..

“ඇයි මැණික ..
අමාරුද ඔයාට ..
අපි ඉක්මනින් හොස්පිටල් යමු..”

කොල්ල ඉක්මනින් දෙව්ලිව හොස්පිටල් අරන් ගියේ ඔවුන්ගෙ කිරි සිහිනය සැබෑ කරගන්න .
පැය ගානකට පස්සෙ ලස්සන කිරි කැටියෙක් දේවින්දගෙ අතට දෙද්දි කොල්ලට දැණුනෙ මුළු ලෝකෙම සම්පූර්ණ වුණා නේද කියල .දේවින්දගෙ ආදරේ තව තවත් දෙව්ලිට වැඩි වුණේ ඒකයි.ඒත් අවාසනාව කියන්නෙ ඒ තරම් ආදරේ සැමියෙක් ඉදලත් දෙව්ලිගෙ හිත තිබුණෙ ඈව හැර ගිය දිල්ශාන් ළගයි.

……………………………………………………………………………………….

ඔහොම කාලය ගත වෙද්දි දවසක් අහම්බෙන් දෙව්ලිගෙ ඇස් ඉස්සරහට එන්නෙ දිල්ශාන් .දෙව්ලිගෙ පුංචි දුව යන පෙරපාසලටම තමයි දිල්ශාන් ගෙ පුංචි පුතා එන්නෙත්..දිල්ශාන් කොල්ලවත් වඩාගෙන එද්දි කොල්ලගෙ ඉස්සරහට ආවෙ දෙව්ලි.දෙන්නට දෙන්න බලාගෙනම හිටියෙ අතීත මතක ඇස් ඉස්සරහ ඇදී මැකී යද්දි .

දිල්ශාන් මැරි කරල කියල දැනගත්තම කෙල්ලගෙ පපුව පිච්චිලා වගේ යනවා.පුංචි දෝණිවත් වඩාගෙන ස්කූටියෙ නැගල දෙව්ලි ගෙදර ගියේ ඇස් වල කඳුළු බේරෙද්දි.
දවස පුරාම කෙල්ලට මතක් වුණේ දිල්ශාන්ව.ඈට ඕන වුණේ ඔහු එක්ක කතා කරන්න .ඒත් ඔහු ඉන්න තැනක්වත් කන්ටැක්ට් නම්බර් එකක්වත් දෙව්ලි ලග තිබුණෙ නෑ.

දෙව්ලි ඊලග දවසෙ වේලාසනම පෙර පාසල ලගට ගියේ බලාපොරොත්තු ගොන්නක් එක්ක.කෙල්ල බලාපොරොත්තු වුණා වගේම දිල්ශාන් වේලාසනින් ඇවිත් හිටිය.ඔහුත් බලාපොරොත්තු වුණා දෙව්ලි එයි කියල .
දෙන්න කතා කලා.දෙන්න ගෙදර ගියේ ෆෝන් නම්බර් හුවමාරු කරගෙන .ඊට පස්සෙ රැයක් දවාලක් නෑ දෙන්නගෙ ආදරේ ආයෙත් ෆෝන් එකෙන් ගලාගෙන යන්න ගත්තෙ දිල්ශාන් ඔහුගෙ බිරිදටත් දෙව්ලි ඇගේ ආදරණීය සැමියටත් වරදකරුවන් වෙමින්.

දෙව්ලිට අමතක වුණා ඈ මවක් කියල .පුංචි කෙල්ලෙක් වගේ දිල්ශාන්ගෙ ආදරේ ලග දෙව්ලි ආයෙ අතරමං වුණා .වෙලාවකට හිත පිරෙන්න ආදරේ දෙන දිල්ශාන් වෙලාවකට දෙව්ලිගෙන් ඈත් වෙලා හිටියා.ඒ වෙලාවට දෙන්න රන්ඩු කලේ පොඩි එව්න් වගේ.

“තේරුම් ගන්න දෙව්ලි..
අපි මේක නතර නොකරොත් අපි දෙන්නගෙම පව්ල් අව්ල් වෙයි..”

“නෑ එහෙම වෙන්නෑ සුදු අයියේ..
අනේ මට ඔයාව ඕන..”

“පොඩි ලමයෙක් වෙන්න හදන්න එපා..
ආයෙ කතා කරන්න එපා..”

එතනින් එහාට දෙව්ලිගෙ නම්බර් බ්ලොක්.ඉතින් දෙව්ලි කලේ දවස පුරාම අඩන එක.බීසී වැටෙන දිල්ශාන්ගෙ නම්බර් එක ඩයල් කර කර අඩන එක.

“මැණික අපි හම්බවෙමු..”

දිල්ශාන් බ්ලොක් අරිනවා..එහෙම අහද්දි දෙව්ලිට ඊට වඩා දෙයක් නෑ..හැමෝගෙම ඇස් වහල දෙව්ලි දිල්ශාන් ලග..ආදරේ උතුරනවා..දිල්ශාන් කෙල්ලව තුරුල් කරගන්නෙ හුස්ම ගන්නත් බැරි තරම් හයියෙන් .ඒ උණුසුමේ දෙව්ලි සැනසීම හොයන්නෙ දෙවියෙක් වගේ සැමියගෙ සැනසීම නැති කරල .

“උබ මට වශියක් කරලද මැණික ..
කොච්චර අමතක කරන්න හැදුවත් උබවමයි ඕන..”

ඒ වචන කෙල්ලව අරං යන්නෙ අමුතුම ලෝකෙකට.ඒ ලෝකෙ අතරමං වුණ දෙව්ලිට දැන් එන්න පාර අමතකයි.
ඒ ආදරේ ටික දවසයි..දිල්ශාන් ආයෙ කෙල්ලව මගාරින්නෙ දෙව්ලිගෙ සතුට නැති කරල දාල.

“මම මැරෙනවා..”

“ඉතින් මැරෙන්න ..
මට මොකද ..”

“මගෙන් ඔයාට වැඩක් නැද්ද..”

“වැඩක් නෑ ගෑණියේ..
මැරෙනවනම් මැරියම් ..”

“මෙච්චර ආදරේ කරල මට කියපු දේ..
ගොඩක් පිං
මම මං ගැන බලාගන්නම්..
මැරෙන්නෙ තනියම නෙවෙයි..
තනියට තව කෙනෙක් ඉන්නවා..”

ඒ කතාවෙන් දිල්ශාන් ගැස්සෙනවා.ආයෙ ආයෙ අහනවා.සමාව ගන්නවා..රන්ඩු,තරහ අසම්මතේ අස්සෙ දෙව්ලි පණ වගේ දිල්ශාන්ට ආදරේ කරනවා.වරදක් බව දැන දැනත් දෙව්ලි ඒ ආදරේම හොයනවා.දිල්ශාන් එදත් දෙව්ලිට ආදරේ කලාද අදත් දෙව්ලිට ආදරේ කරනවද දන්නෙ ඔහුම විතරයි .

දෙව්ලි කියන්නෙ මෙහෙම ..

“මම මගේ දෙවියෙක් වගේ මහත්තයට වරදක් කලත් මගෙ සුදු අයියට වරදක් හීනෙකින්වත් කරල නෑ..එයාගෙ ආදරේ මාව පිස්සියෙක් කරනවා.මං තාමත් දන්නෑ මගෙ අයියා මාව දාල ගියේ ඇයි කියල ..”

……………………………………………………………………………………..

ඒත් දෙයියනේ මේක වරදක්..ජීවිත ගානක් එක්ක කරන සෙල්ලමක්..දෙව්ලිගෙ සුදු අයියා ඈට ආදරේ කලාද නොකරද දන්නෙ ඔහු..ඒත් අද ඔහු නිසා ඇගේ ජීවිතේ අසම්මත කතාවකින් විනාශයට අර අදිනවා.දෙව්ලි එදා සිට මේ මොහොත දක්වාම ඔහුට අසීමිතව ආදරේ කරා..ඒත් අද ඈට ඕන එයින් මිදෙන්න..ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඈට මේ පවින් මිදෙන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් ඇගේ ලස්සන කැදැල්ල ආරක්ෂා වෙන්න කියලත්..

සත්‍ය කතාවක් ඇසුරින් ලියූවකි..

දිල් රූ

Advertisment