හලෝ…අකිල…ඔයා වැඩක්ද?

📞ආ..කියන්න..තාරී..මන් ඔෆිස් එකේ ඉන්නේ.

📞අකිල අද දූට හවස ක්ලාස්.ඔයා එනවද මාව බලන්න..

📞හරි පැටියෝ…ගොඩක් දවසකින් කෙල්ලගේ මූණත් බලන්න බැරි වුණානේ..මන් එන්නම්..පවනි එන්න රෑ වෙයිද?

📞ඔව්..දූට ක්ලාස් ඉවර වෙන්නේ 6 ට…දූගේ යාලුවා මයුරිලාගේ තාත්තා එක්කම තමයි දූත් එන්නේ..රෑ වෙයි.

📞හරි..හරි..එහෙනම්.අපිට ගොඩක් වෙලා නිදහසේ ඉන්න පුළුවන්…

📞හ්ම්ම්…ඔව් අකිල

📞හරි කෙල්ලේ..මන් තියනවා.බායි

📞බායි වස්තුවේ..

…………………………………………………………………..

උදතාරී මනුවර්ණ..අවුරුදු තිස් පහක් වුණත් අවුරුදු විස්සක තරුණියකගේ රුවකට හිමිකම් කියු තරුණ මවක්..ඇයටම උරුම වූ ඡවි වර්ණයත් සිහින් හැඩති සිරුරත් ඇයට ගෙන ආවේ කලාතුරකින් තරුණ මවකට පිහිටන සුන්දර පෙනුමක්.ඇගේ ස්වාමියා රන්දුනු විජේතුංග අවුරුදු දහයකට වැඩි කාලයක් සේවය කළේ සයුරෙන් එහා දුරු රටක.

ඉතින් මුදලින් අඟහිගයක් නොවු නිසාම උදතාරී දියණිය ඉපදීමෙන් පසු ඇගේ රැකියාවට සමු දුන්නේ රන්දුනුගේ ඉල්ලීමට අනුවයි..ඔහුගේ සැලසුම වූයේ තව අවුරුදු දෙකකින් තම ආදරණීය බිරිඳත් දියණියත් අසලට පැමිණීමයි..ඉන් පසු ලංකාවේම තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු හීන පොදි බැඳගෙන සිටි රන්දුනුගේ මුළු ජීවිතයම වූයේ ඔහුගේ බිරිඳත් දියණියත් දෙදෙනාය.

දියණිය පවනි සේපාලිකා අවුරුදු පහළොවක නව යොවුන් වියේ සිටි මවගෙන් උරුම වූ සුන්දරත්වයෙන් අනූන හැඩකාර කෙළිලොල් යුවතියක්.ඇය යන්තම් බහ තෝරන වියේදීම ඇගේ පියාගේ සෙනෙහස ඔහු ළඟ සිට විඳින්නට වාසනාව අහිමි වුවත් ඈ තම පියාට බෙහෙවින් ආදරය කළාය..

ඈ ඇඟිලි ගනිමින් බලා සිටියේ ඔහු නැවත ලංකාවට පැමිණෙන දින තෙක්‍ ය.නිවසේ සිටියේ උදතාරීත් ඇගේ දියණියත් පමණි.දියණිය මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන නිසා ඇයට බොහෝ විට පාසල් කාලයෙන් පසු අමතර පන්ති සඳහා සහභාගි වීමට සිදු විය.මේ නිසාම දිවා කාලයේ නිවසේ සිටියේ උදතාරී පමණි.

…………………………………………………………………..

ට්‍රීන්….ට්‍රීන්…

“ආ..අකිල එන්න ඇතුළට ඉක්මනට”

“ආ..මොකද මගේ කෙල්ලට එච්චර හදිස්සිද?”

එදින සවස නිවසට පැමිණි ආගන්තුකයා නිවස ඇතුලතට පය තබනවාත් සමඟම උදතාරීගේ සිහින් ඉඟෙන් ඇද ඇයව තම සිරුරට තද කරගත්තේ ඇගේ කම්මුල් රත් පැහැයට හරවමිනි….

“ඔන්න ඉතින් අතාරින්නකෝ අකී…ආවා විතරයි කෝලම ඔයාගේ…”

“නැත්තම්….ගොඩක් දවසකින් ලැබුණ චාන්ස් එක අපතේ යවාගන්න පුළුවන්ද?”

“අකී….මනෝරී ඔයාව හොයයිද දන්නේ නෑ පරක්කු වුණාම..”

“නෑ පැටියෝ…මන් එයාට කෝල් එකක් දීලා කිව්වා අද බිස්නස් මීටින් එකක් කියලා…”

“ම්ම්ම්…එහෙනම් කමක් නෑ…අපි යමු උඩට.”

ඈ ඔහුගේ ගතට තුරුලු වීම ඇගේ නිදන කාමරය වෙත ගියේ තරුණ පෙම්වතුන් යුවලක් සේ පෙමින් වෙලීමෙනි.

අකිල සුදේශ්…උදතාරීගේත් රන්දුලගෙත් දිගු කාලීන හිතවතා…අවුරුදු තිස් හතක් පමණ වූ ඔහු විවාහ වී සිටියේ මනෝරී නම් ඔහුගේ පාසල් වියේ පෙම්වතිය සමඟයි.ඔවුන්ට අවුරුදු දහයක සහ අවුරුදු දොළහක කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් සිටි අතර උදතාරීලාගේ නිවසට කිලෝ මීටර පහක පමණ දුරින් ඔවුන්ගේම නිවසක් ඔවුන් පදිංචි වී සිටියහ.

ඇත්තෙන්ම අකිල රන්දුලගේ පාසල් කාලයේ සිට හොඳම මිතුරෙක් විට.රන්දුල විවාහ වූ පසු අකිල ඔවන්ගේ පවුලේ සමීපතම හිතවතෙකු වූ අතර රන්දුල රට යාමට පෙර මනෝරීත් අකිලත් ඔවුන්ගේ නිවසට නිතර ආවගියහ…පෙර සේ මනෝරී නිතර නිතර ඔවුන්ගේ නිවසට නොපැමිණියේ දරු දෙදෙනාගේ වැඩ කටයුතු සමඟ ගුරුවරියක් වූ ඇය වඩාත් කාර්යය බහුල වූ නිසාවෙනු..

එහෙත් රන්දුල දුර රටක බිරිඳත් දරුවා වෙනුවෙනුත් වෙහෙසන් විට උදතාරී ඔහුගේ ම යහළුවා සමඟ අනියම් ඇසුරකට පෙළඹුනේ ඇගේ පතිවත කෙළෙසා ගනිමිනි….මේ අසම්මතයට අවුරුදු දෙකක් වුවද අකිලගේ බිරිඳවත් රන්දුලවත් මේ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත…ඔවුන් එතරම්ම තම සහකරු සහකාරිය විශ්වාස කළහ.

…………………………………………………………………

රන්දුල හා උදතාරීගේ විසල් නිදන යහනේ අකිල උදතාරීත් සමඟ පැය දෙකකට ආසන්න කාලයක් තහනම් ගහේ රස වින්ඳේ මුලු ලොවම අමතක කරමිනි..

“මෙච්චර ලොකු දුවෙක් ඉන්නවද කියලාවත් හිතන්න බෑ පැටියෝ..ඔයා දහ අටේ කෙල්ලෙක් වගේ…මට ඔයාව ඕනී තාරී…”

අකිලගේ දෙතොල් ඇගේ නිරුවත් පිරුණු ලැම මත දඟ කලේ නොසිඳුණු ආශාවකිනි…ඈ ඔහුගේ කෙස් අතරින් තම දිගු ඇඟිලි තුඩු යැව්වේ තමා මවක් බවද අමතක කරමිනි…කාමයෙන් ගිනියම් වූ සිරුරු වලින් යුතු වූ ඔවුහු එකිනෙකා වෙලී ගිය සිරුරින් තම කාම පිපාසය නිවා ගත්තේ ගෙවී ගිය අවුරුදු දෙක පුරාවට කී වෙනි වරටදැයි ඔවුන්වත් දැන සිටියේ නෑ..

කාමරය පුරා තැන තැන වැටී තිබු සළුපිළි එකතු කරගත් අකිල වැදගත් මහතකු සේ හැඳ පැළඳගෙන සුචරිතවත් කාන්තාව සේ ලොවටම පෙනී සිටි එකී අපිරිසිදු කාන්තාවගේ නිවසින් පිටව ගියේ ඇගේ දියණිය නැවත් නිවසට පැමිණීමේ මොහොත ළඟා වූ බැවිනි.
……………………………………………………………….

📞ආයේමත් ඉක්මනට මීට් වෙමු තාරී….මනෝරී ඔයාව ළඟින් වත් තියන්න බෑ…ඉස්කෝලේ යන කාලේ මොකට මන් එයත් එක්ක යාලු වුණාද කියලා හිතෙනවා…

📞එහෙම කියන්නත් එපා අකී..ඒ ඔයාගේ වයිෆ්නේ…

📞ඔව්…ඒත් මට එයාගෙන් වැඩක් නෑ…ඔයාවයි ඕනී පැටියෝ…පවනිට ක්ලාස් තියෙන දවසක කියන්නකෝ මට.

📞ඕකේ අකී….

පසු දිනෙක ඔවුන්ගේ සන්වාදය සිදු වූයේ එලෙසයි…

…………………………………………………………………

“අම්මී….අම්මී……කොහෙද ඉන්නේ ඔයා?”

“ඇයි දූ කෑ ගහන්නේ…මොකද මේ තරහා ගිහින්…”

පාසල නිමාවී නිවසට පැමිණ පවනි පොත් බෑගයත් පුටුවක් උඩට විසි කර උදතාරී සොයා කෑ ගැසුවේ රතු වූ දෙනෙතිනි.

“අම්මී….මොනාද මේ මිනිස්සු කියන කතා..”

ඈ තම මවගේ දෙනෙත් දෙස බලමින් වේදනාවෙන් කෑ ගැසුවාය..

“මොන කතාද පවනී…ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ ?”

අ”ම්මී ඔයාට ලැජ්ජා නැද්ද…ඔය…ඔයා…කොහොමද අම්මී එහෙම දෙයක් කරන්නේ…ආ…මාවයි තාත්තිවයි අමතක වුණාද ඔයාට…?”

පවනි ඈ ඉදිපිටදීම මුළුතැන්ගෙයි වූ බඩු පොලොවේ ගසන්නට වූයේ කෝපයෙනි.

“නවත්තනවා පවනි ඕක…කියන දෙයක් තේරෙන්න කියලා ඉන්නවා මැරෙන්න හදන්නේ නැතිව..”

“ඔව් අම්මී…මැරෙන්න තමයි වෙලා තියෙන්නේ…මිනිස්සු කියන කතා අහල කොහොමද මන් ස්කූල් වත් යන්නේ…අද ඊයේ නෙවේ..දැන් දවස් කීයක් මට එක එක මිනිස්සුන්ගේ කතා අහලා ලැජ්ජා වුණාද?ඒත් මන් ඒවා විශ්වාස කරේ නෑ…අද…අද…මගේ යාලුවා මයුරිම මේවා මගෙන් අහද්දී කොහොමද මන් ඉවසන් ඉන්නේ…”

“මොකද වුණේ ළමයෝ…මයුරි දූ මොනාද ඔයාට කිව්වේ ?”

“අම්මී අකිල අන්කල් එක්ක යාලුයිලු…එයා මේ ගෙදරට එනවලු අම්මී බලන්න…ඒවා ඇත්තද අම්මී..? ඒවා බොරු නේද?”

“අයියෝ දූ…අකිල අන්කල් ඔයාගේ තාත්තිගේ යාලුවනේ.එයා කොහොමත් අපි ගැන හොයලා බලන්න තාත්තිට පොරොන්දු වෙලානේ ඉන්නේ…ඉතින් එයා ඒ නිසා මෙහෙ එනවා දූට කොහොමද කියලා බලන්න.”

“බොරු කියන්න එපා අම්මී..මට මතක ඇති කාලෙක අකිල අන්කල් අපේ ගෙදර ආවේ නෑ මාව බලන්න.මයුරිලාගේ අම්මා කියලා තියෙන්නේ මන් ක්ලාස් යන වෙලාවට අන්කල් මෙහෙ එනවලු.ඇවිත් ගොඩක් වෙලා ඉඳලාලු යන්නේ…ඇයි අම්මී එහෙම?”

“පිස්සුද දූ…එක එක මිනිස්සු කියන කතා පිළිගන්නේ ඔයත්..අකිල අන්කල්ට නිවඩු තියෙන වෙලාවට එනවා..එතකොට ඔයා ක්ලාස් ගිහින් ඉන්නේ ගොඩක් වෙලාවට..අනික ඔෆිස් ඇරිලා යද්දි ගෙට ගොඩ වෙලා යනවා..ඒ වෙලාවට ඔයාට කොහොමත් ක්ලාස්නේ…ඔයාට අම්මිව විශ්වාස නැද්ද දූ…ආ?”

උදතාරීගේ වදන් වලින් පවනිගේ කෝපය සන්සිඳුනේ ඈ තම මව පන සේ විශ්වාස කළ බැවිනි…ඉතින් උදතාරී තම දියණිය ඉදිරියේ අපූරු රංගනයක යෙදුණාය..අහිංසක දියණිය සන්සුන් සිතින් තම කාමරය වෙත ගියද උදතාරීගේ සිතේ ඇවිලුණු ගින්න ගත පුරා පැතිර ගියේ ඇයව බියට ද පත් කරමිනි.

…………………………………………………………………..

“අකී…මගේ හිතට හරි නෑ…”

“ඒ මොකද තාරී මේ හිටපුගමන්?”

“පවනි දැන් හරි වෙනස් ඉස්සර වගේ නෙවෙයි….”

“ඇයි ඒ….එයා ආයේ සැරයක් අපි දෙන්නා ගැන ඇහුවද?”

අකිල තම නිරුවත් පපුව මත වැතිර සිටින උදතාරීගේ නිරුවත් පිට පුරා තම අතඟිලි ගෙන ගියේ එසේ අසමිනි…

“නෑ…ඒත් දූ දැන් වෙනදා වගේ මට මූණ දෙන්නේ නෑ…ගෙදර හිටියත් මාව මඟාරිනවා කියලා දැනෙන්නේ මට…”

“ඔයා ඕනවට වඩා හිතනවා තාරී…පවනි ආයෙමත් අපි ගැන ඇහුවේ නැත්තම් ඇයි ඔයා ඔච්චර කලබල වෙන්නේ…රන්දුල කතා කරාද?”

“හ්ම්ම් ඔව්..එයා මේ මොකුත්ම දන්නේ නෑ…මට වෙලාවකට බයයි අකී…රන්දුලයි මනෝරීයි මේවා දැන ගත්ත දවසට මොනා වෙයිද?”

“ඒවා එදාට බලාගමුකෝ…”

සැහැල්ලු ලෙස එසේ පැවසූ අකිල නැවත වරක් උදතාරීගේ ගතට බර වූයේ උද්වේගයෙනි.

…………………………………………………………………

සතියකට පමණ පසු උදතාරීට තම ස්වාමියාගෙන් ඇමතුමක් ආවේ ඈ නොසිතූ මොහොතකයි.

📞හලෝ..මහත්තයෝ

📞තාරී ඔහේ හැමදේම හොඳින්ද?

📞ඔව් මහත්තයෝ ඇයි…ඔයා එහෙම අහන්නේ…

📞කෝ දූ…

📞එයා ක්ලාස් ගියා..

📞මගේ යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා පවනි කොල්ලෙක් එක්ක පැටලිලා කියලා..තාරී ඔයා මට මොකුත් හංඟනවද?…පවනි ගැන මොකුත්ම දන්නේ නැද්ද ඔයා ඒ වගේ දෙයක් ගැන?

📞අ…අනේ….දූ එහෙම කෙනෙක් නෙවෙයි..එ…එයා මට හැමදේම කියනවා මහත්තයා…

📞හ්ම්ම් එහෙනම් මගේ යාලුවට වැරදීමක් වෙන්න ඇති…ඔයා දන්නවානේ තාරී මන් මෙහෙට වෙලා දුක් විඳින්නේ ඇයි කියලා..ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න..දූ ගැන අවධානෙන් ඉන්න..දැන් දූ පොඩි ලමයෙක් නෙවෙයිනේ…

📞හ…හරි මහත්තයා….

📞මන් වැඩ..මන් පුළුවන් වෙලාවක දූට කතා කරන්න ගන්නම්.පරිස්සමට ඉන්න තාරී.ඔයලා දෙන්නා මගේ පන.බුදුසරණයි

📞හරි මහත්තයෝ ඔයත් පරිස්සමට..බුදුසරණයි.

දුරකථන ඇමතුම විසන්දි වූ පසු උදතාරී අසල තිබු අසුනක හිඳ ගත්තේ නොසන්සුන් සිතිනි.ඇයට දැණුනේ ඇගේ පපුව මත් විශාල බරක් පැටවී ඇති ලෙසිනි..රන්දුල ඇගේ සැමියා කවදාවත් මෙසේ කලබල වී නැත..ඊටත් වඩා ඔහු නිවුණු පුද්ගලයෙකි.

.ඔහු තමාව කොතරම් විශ්වාස කරන්නේ දැයි උදතාරී හොඳින්ම දනී…ඉතින් මුල් වරට ඇයට ඈ පිළිබඳව ම උපන්නේ කෝපයකි…එහෙත් තප්පර ගණනාවකින් ඇගේ පාපකාරී සිතේ නැඟුණු අකිලගේ රුව නිසා ඇය නැවතත් චපල ගැහැණියක් බවට පත් විය.

…………………………………………………………………..

“පවනි…ඔහොම ඉන්න ටිකක්…”

පාසල නිමා වී නිවසට පැමිණි පවනි තමා එනතුරු පෙර මඟ බලමිනි සිටි මව නොදැක්කා සේ තම කාමරයට යාමට සූදානම් වුවත් උදතාරී ඇයව වැලැක්වූයේ කෝපයෙනි..

“තමුන් මොකා එක්කද හැමතැනම රවුන් ගන්නේ..එසෑම් එකට තව මාස කීයද? තාත්ති කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ තමුන් ගැන..ඒ ගැන දැන දැනත් කොල්ලෙක් හොයාගන්න තමුන්ට ලැජ්ජා නැද්ද?”

“එතකොට අම්මිට ලැජ්ජා නැද්ද තාත්ති නැති අතරේ වෙන මනුස්සයෙක් ගෙදරට ගෙන්න ගන්න?”

පවනි සිටියේද කෝපයෙනි…එම නිසාම ඈ කිසිඳු බියක් නොමැතිව තම මවගෙන් ප්‍රශ්න කරන්නට වූවාය..

“දූ..ඔයාගේ කට වැඩී…මාත් එක්ක එකට එක කියන්න එන්න එපා..වෙන මිනිස්සු කියන කතා අහලා ඔයා ඔහොමද තමන්ගේ අම්මාට කතා කරන්නේ?”

“ඔයා මගේ අම්මා කියලා මතක් වුණේ දැන්ද?…මන් හැමදේම දන්නවා..ඔයා නිසා මන් කොච්චර ලැජ්ජා වෙනවද? අපහස විඳිනවද කියලා දන්නවද ඔයා..? මගේ හොඳම යාලුවා මයුරිත් මාත් එක්ක කතා කරන්නේ නෑ දැන්..

මනෝරී ආන්ටී ස්කූල් එක ගාවට ඇවිත් මට අඬ අඬා කිවුවා ඔයා ගැන ඔක්කොම දේවල්..පවු අම්මී..ඔයා කරන්නේ ලොකු පවක්..”.

උදතාරී විස්මයෙන් තම දියණිය දෙස බලා සිටි අතර ඇයට දැණුනේ දැඩි ලැජ්ජාවකි..ඈ සෙමින් තම දියණියගේ දෑස් මඟ හැරියාය..

…………………………………………………………………..

“අනේ මගේ දරුවා…රන්දුල මගේ දරුවා…”

“කටවහපන් තාරී..උඹ නිසා තමයි මේ ඔක්කොම…මගේ අහිංසක කෙල්ලගේ ජීවිතේ විනාශ වුණේ උඹ නිසා…”

රන්දුල සිටියේ කවදාවත් නැති තරම් කෝපයෙනි..සියල්ල සිදු වූයේ හදිසියෙනි..එද මවත් සමඟ ඇති වූ බහින් බස් වීමෙන් පසුව පවනි වෙනදාටත් වඩා මව මඟහැරියාය..ඊට සතියකට පමණ පසු ඈ කොල්ලෙකු සමඟ පැන ගියේ කාටත් හොර රහසෙනි..උදතාරී සියල්ල දැන ගන්නා විට විනාශය සිදු වී හමාරය…

පණිවිඩය ලද සැනින් රන්දුල සියල්ල හැර දමා ලංකාවට පැමිණියේ ඔහුගේ ප්‍රාණය දියණිය වූ නිසාවෙනි..ඒ වන විටත් රන්දුල තම බිරිඳ හා තම හොඳම මිතුරා අතර පැවති අනියම් සම්බන්ධය පිළිබඳව සියල්ල දැන සිටියේ ය.ඔහුට ඒ පවත් සියල්ල හැඬු කඳුලෙන් පැවසුවේ අකිලගේ බිරිඳ මනෝරීයි.

පවනි අතුරුදන් වී සති දෙකකට පසු ඔවුන්ට ඇමතුමක් ආවේ පොලිසියෙනි..ඒ පවනි එම නගරයේම රෝහලකට පෙර දින රාත්‍රියේ ඇතුළත් කළ බව පැවසීමටයි…

එදින රාත්‍රියේ පොලිසියට නාඳුනන අයෙකු ඇමතුමක් දී පවසා සිට ඇත්තේ බොහෝ සේ තුවාල වී සිහිසුන්ව අවුරුදු පහලොව පමණ දැරියක් අසවල් මාර්ගය අයිනේ වැටී සිටින බවයි..වහාම ක්‍රියාත්මක වූ පොලිසිය දැරියව රෝහලට ඇතුළත් කරන විටත් ඈ සිට ඇත්තේ අසාධ්‍ය තත්වයේය….වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට බරපතළ ලිංගික අපයෝජන කර ඇත..ඉතින් ඒ පවනි විය…විවාහක තරුණයකු සමඟ රහසේ ම පැන ගිය පවනි ඔහුගේ බහට රැවටී ඇත..

මවගේ නොමනා චර්යාව නිසා අහිමි වූ ආදරය සෙනෙහස ඇය සොයා ඇත්තේ ඇගේ කුළුදුල් පෙම්වතා වූ මේ විවාහක තරුණයාගෙනි..ඔහු ඇගෙන් ප්‍රයෝජන ගෙන මෙසේ ඇයව මහමඟ දමා ගොස් තිබිණි.ඇගේ පෙර පිනකට සති කිහිපයකට පසු ඈ නැවත කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත් විය..එහෙත් ඇගේ මනස සුවපත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.

………………………………………………………………

🌷මාස තුනකට පසු🌷

පවනි මේ වන විට ජීවත් වන්නේ තම ආදරණීය පියා රන්දුල සමඟයි.ඔහු ඇයව තම පණ සේ රකින්නේ කුඩා කළ සිට ඇයට ලබා දීමට නොහැකි වූ පිය සෙනෙහස අසීමිතව ඇයට උරුමකර දෙමිනි..රන්දුල උදතාරීගෙන් නීතියෙන් වෙන් වූයේ ඇයට සමාවක් නොදෙමිනි..

ඔහු බිරිඳක් ලෙස ඇයට සමාව දුන්නද ඇගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් ඇයට මඟහැරුණු ඇගේ දියණියට සිදු වූ විනාශය නිසා මවක් ලෙස කවදාවත් ඔහු ඇයට සමාව ලබාදුන්නේ නැත.පවනිද ඇගේ මවගෙන් වෙන්ව වාසය කිරීමට කැමති විය..මේ නිසා වේදනාකාරී ලෙස අකමැත්තෙන් හෝ උදතාරීට ඇගේ පවුලෙන් වෙන් වීමට සිදු විය.

මේ අතර අකිල නිසා උදතාරී ගැබ් ගත්තේ නොසිතූ ලෙසයි..ඒ පවනිගේ ප්‍රශ්නය වූ දින වලමයි..එහෙත් අකිල දරුවාවත් උදතාරී වත් භාර ගැනීමට එකඟ වූයේ නැත..මනෝරී ඔහුට සමාව දුන්නේ තම දරුවන් දෙදෙනා ගැන සිතාය..ඉන් පසු අකිල තම පවුල සමඟ වෙනත් ප්‍රදේශයකට ගියේ ඔවුන්ගේ නිවස හා ඉඩකඩම් ද විකුණමිනි.

උදතාරීගේ මවුපියන්ගේ පිහිට පමණක් අවසානයේ ඇයට ඉතුරු වූයේ ඇය සිටි තත්වය නිසා ඔවුන් ඇයට අනුකම්පා කළ නිසාවෙනි..

“මට හිමිවුණේ ලස්සන පුංචි පවුලක්.මට ලැබුනේ දෙවි කෙනෙක් වගේ ස්වාමිපුරුෂයෙක්…මගේ දියණිය ඉපදුන දවසේ මාත් මහත්තයාත් සතුටු වුණේ අපේ අතට පුංචි සුරංගනාවීයක් ලැබුණා කියලා…ඒත් මගේම වැරදි නිසා මට ඒ හැමදේම නැතිවුනා..මගේ කුසේ ඉන්න දරුවට තාත්තෙක් නැති වෙන්නේ මගේ වැරදි නිසා..

මුළු ලෝකෙම දවසක ඒ දරුවට අවජාතක දරුවෙක් කියලා අපහස කරයි..කිසිම දේකට පළි නැති මේ කිරි සප්පයා ඉපදෙන්නත් කලින්ම වැරදිකාරයෙක් වුණේ මගේ පවු නිසා.ගැහැණියක් පිරිමියෙක් එකතු වෙලා වැරදි කරොත් ඒ වැරදි වලට වැඩිපුරම වන්දි ගෙවන්න වෙන්නේ ගැහැණු වුණ අපිටයි….සමාජයෙන් ඇඟිල්ල දික් වෙන්නෙත් අපිටමයි..ඒත් කර්මය කියන දෙයින් පිරිමි වුණත් ගැහැණු වුණත් කාටවත්ම බේරෙන්න බෑ….මගේ දුවේ මට සමාවෙන්න.”

ඒ උදතාරී නම් වරදකාරී ගැහැණිය තම දිනපොතේ තම දියණිය පවනි වෙනුවෙන් තැබු සටහනකි.

……………………………………………………………….

පසු වදන.

වරදේ බැඳන මිනිස්සුන්ට කර්මයෙන් බේරීමක් නෑ..ඒක ඇත්ත..අවුරුදු දෙකකට පසු අකිල මෙලොව හැර ගියේ ඔහුට වැළදුණු පිළිකා රෝගී තත්වයක් නිසාවෙනි..එය සොයාගන්නා විටත් මුළු ශරීරය පුරාම පැතිර තිබු අතර ඔහු මිය ගියේ බොහෝ සේ දුක් විඳීමෙනි.

නිමි.

කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි🙏🙏🙏 …..ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම් පුංචි ම දෙයක් හරි එකතු කර ගන්න කියලත් ආදරෙන් ඉල්ලනවා..බුදුසරණයි.

❤❤නැවත කතාවකින් හමුවෙමු❤❤

💜️💛 කුමුදු 💛