ට්‍රීංං ට්‍රීංංං සද්දෙන් වදින එලාම් එකේ හඬ සකුන්තලාගෙ සුව නින්ද හිත් පිත් නැති විදියට බිඳ දාද්දී සකුන්තලාගෙ හිතට ආවෙ ෆෝන් එක පොළවෙ ගහන්න තරම් කේන්තියක්. තව පැයක්වත් මේ විදියට නිදාගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා හිතුනත් සමන්ත වැඩට යන්න කලින් කෑම හදලදෙන්න ඕන කියලා මතක් උනහම සකුන්තලා හිතට ආපු සිතුවිල්ල එහෙමම යටපත් කරගත්තේ කෑම එක පොඩ්ඩක් හරි පරක්කු උනොත් උදේ පාන්දරම සමන්තගෙන් හොඳටම බැනුම් අහන්න වෙනබව දන්න නිසා.
සමන්තගෙ තේ එක හදලා ඇඳ ගාවින් ගෙනත් තියපු සකුන්තලා කඩිමුඩියෙ උයන්න පටන් ගත්තෙ සමන්ත ගෙදරින් පිටවෙලා යන්න කලියෙන් කොහොම හරි කෑම ටික හදාගන්න.
ඊයෙ ඔෆිස් ගෙනියන්න හදලා දීපු කෑම එකේ කෙස් ගහක් තිබුනයි කියලා නොසෑහෙන්න බැනුම් අහපු සකුන්තලා අද තමන්ගෙ අතින් ඒ වරද නොවෙන්න පුළුවන් තරම් වග බලා ගත්තා , මොන ගෑණිද හදන කෑම එකකට උවමනාවෙන් කෙස් ගස් දාන්නෙ නොසැලකිල්ලයි අතපසු වීමයි කියන්නෙ දෙකක්.
පාන්දර හතරට අවදිවෙලා ගින්දරත් එක්ක ඔට්ටු වෙද්දි එක දවසක වෙච්ච පුංචි අතපසු වීමකට ඔයතරම් නම් දේවල් කියන්න ඕනද?
ඉස්සර අම්මා උයන කෑම එකක බැරිවෙලාවත් කෙස් ගහක් තිබුනොත් තාත්තා කරන්නෙ අම්මටට නොපෙනෙන්න ඒ කෙස් ගහ විසී කරන එක. එයා එහෙම කරනෙ ඒක දැක්කොත් අම්මගෙ හිත රිදෙයි කියලා හිතාගෙන,
“උදේ ඉඳන් ගෙදර දොරේ වැඩ එක්ක ඔට්ටුවෙන මනුස්සයනෙ පුතේ අම්මා අම්මා කවදාවත් ඕනකමින් බත් එකට කෙස් ගස් දාන්නෙ නෑනෙ උන්දැ ආදරෙන් හදල දෙන කෑම එකේ කෙස් ගහක් තිබ්බයි කියලා කෑගලා අපි මොකටද නිකම් උන්දැගෙ හිත රිද්දන්නෙ ?”
තාත්තා සකුන්තලාටයි අයියටයි අම්මගෙ ආදරේ ගැන කියලා දුන්නෙ එහෙම.
ඒ ගැන හිතනකොට සකුන්තලාගෙ හිතේ සමන්ත ගැන ඇති උනේ ලොකු පිලිකුලක් රෑට ඇඳේදි ඔළුවෙ කෙස් විතරක් නෙමෙයි වෙන තැන්වල තියෙන කෙස් ගසුත් කිසිම හිරිකිතයක් නැතිව ඉඹ්න මිනිහට බත් එකේ කෙස් ගහක් තිබ්බ එක මහා ලොකු හිරිකිතයක් උනේ කොහොමද කියලා සකුන්තලාට හිතාගන්නවත් බෑ…
හවස ගෙදර ආපු වෙලාවෙ ඉඳන් සමන්ත කලේම සකුන්තලාට බනින එක ඒ විතරක් නෙමෙයි සමන්ත රෑට කෑවෙත් කඩෙන් ගෙනාපු කෑම එකක් .
“හරියට කෑම එකක්වත් හදා ගන්න බැහෙන ඕයී තමුසෙට තාම ඒ උනාට කයියනම් මහ ලොකු සූපවේදියෙක් වගේ “
“ඇයි සමන්ත ඔයා ඔහොම කතා කරන්නෙ ඔයා හරියට කතා කරන්නෙ මම හැමදාම කෑම එකට කෙස් ගස් දානව වගේනෙ කලබලේ බත් එක බඳින කොට කෙස් ගහක් වැටෙන්න ඇති ඒක ඔයතරම් කෑ හගන්න දෙයක් නෙමෙයිනේ”
සකුන්තලා කොයිතරම් පැහැදිලි කරන්න උතසාහ කලත් සමන්ත නෙමේ ඒ වචන කනකට ගත්තෙ.
“කරන්නෙත් ගෙදරට වෙලා බත් තම්බන එක විතරයි මේ ගෑණුන්ට ඒකත් හරියට කරන්න බෑනෙ රස්සාවකුත් කලානම් හෙම තව කොහෙද “
දිගින් දිගටම උල් පිහි පාරවල් වගේ වචන සකුන්තලාගෙ හදවත පසාරු කරන් යද්දි සකුන්තලා කලේ නිහඬවම ඒ වේදනාව දරා ගත්ත එක ගෑණියෙක් ගෙදරක කරන වැඩ කන්දරාව කොයිතරම්ද කියලා මේ මිනිහට තේරෙන්න දවස් දහයක් පහලවක් මහ ගෙදර ගිහින් නවතින්න සකුන්තලාට නොහිතුනාමත් නෙමෙයි ඒත් අම්මගෙයි තාත්තගෙයි හිත් නිරපරාදෙ රිද්දන්න බැරි නිසා සකුන්තලා ඒ සිතුවිල්ල බොහොම අමාරුවෙන් යටපත් කරගත්තා .
පිඟානට බෙදපු කෑම එක දිහා සකුන්තලා දෙතුන් පාරක්ම විමසිල්ලෙන් බලපු සකුන්තලා හිතේ සැක දුරු කරගෙන කෑම එකත් අරන් සමන්ත ලඟට ගියේ ඊයෙ උන හැම දෙයක්ම අමතක කරනවා කියලා හිතාගෙන .
“කෑම එක හරී”
සකුන්තලාගෙ වචන නෑහුන ගානට සමන්ත ෆෝන් එකත් එක්ක ඔට්ටු වෙනවා
“සමන්ත මේ කෑම එක “
සකුන්තලා ආයෙම කියද්දී සමන්ත ඔළුව උස්සලා සකුන්තලා දිහාව බැළුවේ සමච්චල් හිනාවකුත් මූණට අරගෙන.
“අදත් කෙහි මාළුවද හැදුවෙ?”
සමන්ත සමච්චලේට වගේ අහද්දී සකුන්තලාගෙ ඇස් කඳුලෙන් පෙඟුනෙ තමන් ගැනම ඇතිවෙච්ච ආටත් අනුකම්පාවකින් .
මොකුත්ම නොකියා එලියට ආව සකුන්තලා සමන්තගෙ කාර් එකේ දොර ඇරියෙ කෑම එක කාර් එක ඇතුලින්වත් තියන්න ඒත් එක්කම සකුන්තලාගෙ ඇහැ ගියේ කාර් එකේ ඉස්සර සීට් එකේ තිබ්බ කොණ්ඩ කට්ට දිහාවට තමන්ට ඒ ජාතියේ කොණ්ඩ කට්ටක් නොතිබුන බව සකුන්තලාට හොඳටම මතකයි ,
කොණ්ඩ කට්ටෙ පැටලිලා තිබුන තඹපාට දිගු කෙහෙරැල් වලින් කොණ්ඩකට්ටෙ නාදුනන අයිතිකාරිය ගැන ඉඟියක් ගන්න සකුන්තලාට අපහසු උනේ නෑ,
කොණ්ඩ කට්ට අතට ගත්ත සකුන්තලා සමන්ත දිහාවට හැරුනෙ ඇස්දෙකේ ගිණ්දර පුරෝගෙන
“කාගෙද මේ කෙස් ගස්?????”
නිමි.