ආව්හ්…. රිදෙනවා බූරුවෝ….”

“ආව්හ්හ්… සිදෙනවා බූලුවෝ…”

“අනේ අම්මේ….. මේ බලන්නකෝ…..”

“අලේ අම්මේ…. බලන්නකූ….”

“තමුසෙට මම…….”

“සමුසෙට මම……”

“අනේ මල්ලී…. ඉන්න දෙනවකෝ….. කොන්ඩේ අදින්න එපා ඕයි…..”

“හරී එහෙනම් තමුසෙගෙ ආප්පෙන් මට බාගයක් ඕනී….”

“බෑ…. බෑ…. මන් කිව්වනේ…. මේකනම් මලත් දෙන්නෑ… තමුසෙ දැන් කෑවේ දෙකක්ම….”

“දැනුනේවත් නෑ ඕයී……. අර මොකද්ද පාලම යටින් මොකද්ද එක ගියා වගේ අප්පා…. ඒ හුන්ඩුව වගේ අප්පේ ඇති මගේ කටවල් දෙකකට….”

“නෑ…. නෑ….. තමුසේ මොනව කිව්වත් අදනම් දෙන්නේම නෑ……”

ඔන්න ඒ පාර දත් තිස් දෙකම දාලා හිනාවෙවී මේකා එනවා මන් ඉන්න පැත්තට…. මුගේ මේ නසරානී හිනාවනම් අල්ලන්නේ නෑ….. මාත් අල්ලගත්තා ආප්පේ තද කරලා…

“තමුසේ ඔය ග්‍රවුන්ඩ් ගිහින් එන ගමන්ද?”

“ම්ම්ම්ම්ම්හ්…..”

ඒපාර මූ එන්නේ මුගේ ඔලුවේ දාඩිය මගේ ඇගේ ගාන්න තමයි. ශික් ගස් ගදේ බෑමූ ගාව

හෑ….. පාත් කලානේද මේකා ඔලුව. මලත් අතාරින්නෑ කිව්ව ආප්පේ වගේද අලුත්ම කන්ඩිශනර් එක ගාල මන් නාලා ආවා විතරයි. ආප්පෙත් අතඇරලා මන් පටස්ගාලා නැගිට්ටේ මූව ඒතරමට ශුවර් නැතිනිසා.

“තැන්ක්ස් මැණික….. අක්කලා නම් මෙන්න අක්කලා…. අදහන්න වටිනවා ඕයී…..”

මන් මුලා කරලා විද්දානේද මේකා මගේ ආප්පෙට… හැටිවිතරක් කන… හිපාටුවා….
අනේ දෙයියනේ කට්ට සම්බෝලේ කොච්චිම හැපියන් මේකට….

“නාලා වරෙන්කෝ තමුසේ.. බූරුවා….”

ලෝකේ අන්තිම ආප්පේ කනවා වගේ මගේ ආප්ප බාගෙට වැඩේ දෙන උලමට රවල මන් රූම් එකට ආවා.

ඒ අවසන් වූයේ සුපුරුදු මැගී ආච්චිගේ ආප්ප වලියයි. එතකොට මගේ ආප්පෙට විද්ද ඒ උලම ගැන තමයි මන් මේ කියන්නේ. ආදරවන්තය කිව්වට අපි දෙන්නගෙ කිසිම ආදරනීය කතාවක් නෑ… කොටින්ම කිව්වොත් මාව කන්න ආපු නරියෙක් මේකා. කොච්චරද කියනවානම්…..

“අනේ අම්මේ….. මගේ ෆේශ් වොශ් එක නෑනේ….”
ගෙනල්ලා තාම දවස් දෙකයි. දන්නැද්ද ඉතින් ආසාවට ආයෙපාරක් වොශ් එකක් දා ගන්න මන් ආවේ.

“ඔතන ඇති ලමයෝ පොඩ්ඩක් බලනවා බෙරිහන්දෙන්නැතුව” ඒ අපේ අම්මා.

” මල්ලී….. මල්ලි…. තමුසෙ මගේ ෆේශ්වොශ් එක ගත්තද?”

” මන් ගත්ත ෆේශ් වොශ් එකක් නෑ ඕයී. හැබැයි……”

“හැබැයි මොකද්ද?” ඒ ඇද්ද ඇදිල්ල මට ඇල්ලුවේ නෑ.

“හැබැයි අලුත් භාන්ඩයක් නම් තිබ්බා…. මාර සුවදක් ඕයි ආවේ ඒකෙන්… ඒත් වැඩක් නෑ අප්පා…”

“ඇයි වැඩක් නැත්තේ????”

“මන් ඔලුවේ ගාලා ඇගේ ගාන්න යනකොට ඒක ඉවරයි ඕයි. පෙන ආවෙත් නෑ… හෙන චුට්ටයි ඕයී තිබ්බේ. හැබැයි පට්ට සුවද අප්පා… මේ බලනවකෝ තාම සුවදයි කොන්ඩේ…”

දෙයියනේ මගේ ඉහ මොල රත් වුනා මේ උලම කිව්ව කතාවට… යකුනේ 1249/= උනා ඒක.. ගනන් වැඩි නිසා මන් මාස දෙකතුනක්ම අදින්නම් කියල ගත්තේ… මේ යකා ඒක විනාඩියෙන් ඉවර කලා මදිවට තව පෙන එන්නෙත් නෑලූ….

“තමුසේ………. අ…..ර්…. ඒ මගේ ෆේශ්වොශ් එක බූරුවෝ…. තමුසෙ අද ඉවරයි….. මන් අද මරනවා තමුසෙව…. ඉන්නවා මන් තමුසෙට පෙන පෙන්නන්න වල් නරියා…..”
මේ වගේ උලම මල්ලියෙක් හතුරෙක්ටවත් සෙට් වෙන්න එපාහ්….

“අනේ අම්මේ…. බේරගනියෝ….. මේ යක්ශනී මාව කන්න එනවෝ…”
ඔන්න ඉතින් අපේ අම්මගේ චූටි පුතා ගිහිල්ලා හැන්ගුනා අම්මගේ පිටිපස්සේ.

“මොකද ලොකූ වෙලා තියෙන්නේ?? මේ පොඩි එකා පස්සේ එලව එලව ඉන්න වයසකද උබ ඔය ඉන්නේ? උබේ වයසේ අනිත් කෙල්ලොන්ට දැන් ලමයිත් ඉන්නවා… උබ තාම මේ පොඩි එකා පස්සෙ එලවනවා….”

පුෆ්……. හැමදාම වගේ දවසේ වලි සීසන් එක ඉවර වෙන්නේ ඔන්න ඔය කතාවෙන්. ඒ කෙල්ලොන්ට ලමයි හදන්න හදිස්සි උනාට මේ අහින්සක මන් මොනව කරන්නද ඇයි අප්පා….

“ඒක තමයි අම්මා…. බලන්නකෝ… තාම දාසයේ කෑල්ල කියලාද දන්නෑ හිතන් ඉන්නේ… මන් මේ මස්සිනෙක් වෙන්න බලන් ඉන්නවා… කොහෙද මේ එලිසබෙත් රැජින එකෙක්ටවත් කැමති වෙන්නැහැනේ….
තේරුම් ගන්නවකෝ හලෝ… තමුසෙව දැන් එපා වෙලා ඉන්නේ අම්මලට… එයාලට ඕනි දැන් එයලගේ චූටි පුතා එක්ක හැපී එකේ ඉන්න… අඩුම තරමේ එකෙක් හොයා ගනින්කෝ…”

ඒ පාර මූ මගේ ලොකු තාත්තා වෙන්න යනවා. මුටත් රවල මන් හිමින් සීරුවේ මාරු උනේ ඇදගෙන නාන්න ඕනි නැති නිසා. කොල්ලෙක් හොයාගනින් කිව්වට එහෙම චාන්ස් නැතිවෙන්නෙත් මේ හිපාටුවා නිසාම තමයී..

” ඒ මල්ලී පොඩ්ඩක් එහාට වෙලා යනවකෝ… තමුසේ හින්දා කොල්ලෙක්වත් බලන්නෑ…”

කොහෙද මූ මගේ මල්ලි උනාට මන් ඉන්නෙ මේ යකාගේ උරහිසටත් වඩා කොටට. ඒ මදිවට ජූතක බමුනෙක් වගේ මූ රැවුල වවල ඉන්නකොට උප්පැන්නේ කරේ එල්ලන් ගියත් මිනිස්සු ශුවර් කරන්න්හැ මූ මගේ මල්ලි කියලා…

“ආහ්… මේ එහෙම පාරවල් වල ඉන්න එවුන්ට පුලුවන්ද මගේ මස්සිනා වෙන්න… ඒවට හොද කොලිෆිකේශන්ස් තියෙන්න ඕනී… මෙන්න මෙහෙ එනවා හලෝ…. ඇස් කරකව කරකව බලන්නේ එහෙම නෑ….”

අපරදේ අප්පා… හැන්ඩි කොල්ලෙකුත් හිටියා.. කොහෙද මේකා එක්ක බෑනේ.. මාත් ඉතින් බුම්මගෙනම යනවා.


ඒ වගේම තමයි මොනවා කිව්වත් ඉතින් මූ මට හෙන ආදරෙයි. දවසක් පාන්දර…..

“ඒ මල්ලී…. මල්ලී….. නැගිටිනවකෝ හලෝ….”

“ම්ම්ම්ම්ම්ම්හ්..”

“මල්ලී…. ඒ මාව ස්ටේශන් එකට ගිහිල්ලා දානවකෝ…. ඒයී…. මේ…… මල්ලී නැගිටිනවකෝ….”

“දැන් බෑ…. හවසට යන්… ම්ම්හ්…”

මේ බූරුවා මේ මොනවද කියවන්නේ…?? හවසට යන්න පුලුවන් නම් මන් මුට කියනවද??

“ඒ….. මල්ලී…..බූරු පැටියෝ…… නැගිටිනවකෝ..” කනටම කලරා මන් බෙරිහන් දුන්නා.

“ඇයි වදේ..? මොන හු#ක් නිදා ගන්න දියන්කෝ….”
ඒ පාර මූ නැගිට්ටා…. නම කියනකන්ද කොහෙද බලන් ඉදලා තියෙන්නේ.

“අනේ සුදූ… මාව ස්ටේශන් එකට ගිහිල්ලා දානවකෝ හලෝ….”

“වීරේ අන්කල් එක්ක යනවකෝ ඕයි වද දෙන්නැතුව…”

“අන්කල් හොස්පිටල්ලු… අනේ ගිහින් දානවකෝ සුදූ…”

“අනේ මේහ් මට බෑ… තමුසෙ එහෙනම් පයින් යනවා..”
මෙන්න මේකා අනිත් පැත්ත හැරිල බුදි. අපරාදේ මගේ බටර් ටික.

“අම්මේ එයාට බෑලූ…. එහෙනන් වීරේ අන්කල්ගේ පුතාටවත් එන්න කියන්න…”
අකමැත්තෙන් උනත් මන් කිව්වේ යන්න විදිහක් නැති නිසා.

මෙන්න ඒපාර මේකා එනවා නැගිටලා…

” එනවා ඉතින් යන්න… උදේ පාන්දර කොල්ලො එක්ක යන්න ආස ඇතී… ඌත් හෙන කුකුලනේ…”

මොනවා කිව්වත් මූ මට ආදරෙයි ඒකනේ මේ… තාත්තා නැතිවුනු දවසෙ ඉදන් මගේ තාත්තා වෙන්නෙත් මගේ වසවර්ති මල්ලිම තමයි.

“ඒ… තමුසේ එන්නේ කීයටද?”

“දවල් වෙයි එන්න…”

“තමුසෙට කෑම?”

“උදේට අම්මා හදල දුන්නා. දවල්ට සයිවර් පාරක්වත් දානවා.”

“හ්ම්ම්… අනූ අක්කත් යනවනේ තමුසේ එක්ක??”
අනූ අක්කා. මන් තමුසේ… ඔය වෙලවට තමයි දෙන්න හිතෙන්නෙ හොම්බට එකක්…

“හ්ම්ම්”

“තමුසෙ ඇවිල්ලා මට msg එකක් දානවා.. මන් එන්නම් ගන්න. අර හිකනලාට එහෙම කතා කරන්නෑ…”

“හ්ම්ම්….”
වෙලාවකට හිනත් යනවා මුගේ වැඩ වලට. ස්ටේශන් එකෙන් බැස්සට මොකද මූව තනියම යවන්න මොකද්ද වගේ… ඇයි අනේ නිදිමතේ ගිහින් කොහෙට හරි හේත්තු කරගත්තොත් එහෙම… යකා උනත් ඉන්නේ මූ විතරයිනේ…

“මේ මල්ලී.. නිදිමත නෑනේ තමුසෙට?”

“අනේ නෑ හලෝ…. මේ පාන්දර හතරට මාව ඇහැරපු එකට හෙන ආතල් එකේ ඉන්නේ මන් … කියන්නෑ ඉතින් …”
මූ යකෝ.. හොදක් කරන්න ගිහිල්ලත් අහගන්න ඕනේ.

” ඒ මේ…. පරිස්සමින් යනවා හරිද? හිමින් යනවා… කුලප්පු වෙච්ච වස්සා වගේ යන්නැතුව. ගිහිල්ල මට මිස්ස කෝල් එකක් ගහනවා…. හරිද මල්ලී.”
මොනවා කිව්වත් මගේ වස්සට මාත් ආදරෙයි ඉතින්.

” අක්කා.. තමුසෙත් පරිස්සමින්…”


ඔන්න ඉතින් ඉදලා ඉදලා මාත් එක ඉරනම් කාරයෙක්ට කැමති උනා. පවුල් දෙකේම අයත් කැමති උන නිසා නැකැත් බලලා ඉක්මන්ටම වෙඩිමත් දා ගත්තා.

ඒත් ඉතින් අපේ වසවර්තියානම් වෙඩින් එක ලන් වෙන්න වෙන්න ඉන්නේ මූඩ් ගහලා…. මාත් එක්ක වල් දාගන්න එන්නෙත් නෑ… කොටින්ම කිව්වොත් මේකා අනිවාරෙන්ම උස්සන මගේ ආප්ප කෑල්ලටවත් බැල්මට් එක දාන්නේ නෑ… මන් අවුස්සන්න හැදුවත් මූ වචනයක් දෙකක් දාලා මාරුවෙලා යනවා…. වදේ වදේ කිව්වට මොකද මූ මෙහෙම ඉන්නකොට පාලුවේ බෑ….

බලන් ඉන්න බැරිම තැන මන් ගියා මුගේ කාබරේට. ඇයි වදේ හෙටින් පස්සේ මන් මෙහෙ ඉන්නෙත් නෑ… මේකා ඒත් මන් එක්ක කතා කරන්නෑනේ… මටත් දුකයිනේ ඉතින් මන් යනකොටවත් මාව ගනන් ගන්නැති උනාම…..

“මල්ලී…..”

අනේ වාසනාවන් මන් මෙහෙ මූ මූඩ් ගහල ඉන්න ඒවා බලන්න එනවා මූ මෙතන හොදට කොට්ටෙත් බදන් බුදි. පොඩි එකා වගේ නිදාගන්නකොට. හෙටින් පස්සේ උබට ඇතිවෙනකන් අම්ම එක්ක හුරතල් වෙන්න පුලුවන්… කදුලක් කම්මුල දිගේ බේරෙද්දී මටත් හොරෙන් මගේ අත නැවතුනේ උබේ කපුටු කූඩුව ලග….

“මේ මොකද මේ කොට්ටේ තෙමිලා..”
අතට දැනුනු තෙතගතිය මන් බැලුවේ උබේ මූණ දිහා. දෙයියනේ මේකා අඩලවත්ද?? ඇස් දෙකත් ඉදිමිලා වගේ…

“මල්ලී…. මල්ලී…. ඒයි නැගිටිනවකෝ…..”

“ම්ම්හ්.. අහ්… තමුසේ මොකද මෙතන කරන්නේ….?”
අල්ලෙන් ඇස්දෙක පිහිදාන ගමන් උබ ඇහුවෙ හරි කලබලෙන්. ඇස් දෙකත් රතුපාට වෙලා…. උබ අඩලා තමයි. සෑහෙන්න අඩලා…

” මල්ලි…. ඇයි මේ… ඔයා ඇඩුවද? ඇයි ඔලුවවත් රිදෙනවද?” හේතු දැනගෙනම මන් උබට හේතුවක් දුන්නේ නැත්තන් උබ නිරුත්තර වෙන නිසා.

“ආහ්… ආ.. ඔව් ඔව්…. ඔලුව ටිකක් රිදෙනවා.. ඒකයි. දැන් තමුසේ මොකද මෙතන කරන්නේ?? යනවා ගිහින් නිදා ගන්නවා…. උදේ පාන්දර සැලුන් එකෙන් එනවා නේද තමුසෙගේ මූනේ අර මොනවද උලන්න… යනවා ගිහින් නිදා ගන්නවා…”

“හ්ම්ම්…”

“ඒ මේ අක්කේ….. තමුසෙට බදින්නම ඕනෙද?”

“හෑ…..” මූ මොකද්ද ඒ ඇහුවේ.

“ඔව් ඉතින් මන් යනකන්නේ කට්ටියම බලාගෙන හිටියේ… ඔන්න ඉතින් මන් හෙට යන්නම යනවා. තමුසෙට හෙට ඉදන් මගේ ආප්ප ඔක්කොම තනියම කන්න පුලුවන්.. තව මගෙ බිස්කට් ටිකත් මන් තමුසෙට තියල යන්නම්. ආ තව මගෙ රූම් එකේ බඩුත් ඔක්කොම මන් තියලනේ යන්නේ… අවුලක් නෑ ඕනි එකක් තමුසේ ගන්නවා… ඒක නෙමෙයි මේ…… මොකද එකපරට එහෙම ඇහුවේ තමුසෙට මන් යන්වට දුකද?”

ඔන්න පත්තුකලා බෝම්බේ දැන් බලමුකෝ මූ ඇඩුවේ ඇත්තටම ඒකටද කියලා….

“හ්ම්ම්…”
මෙන්න මෙකා එක පාරට ඔව් කිව්වා….

“තමුසේ වගේ මල යකින්නියක් එක්ක ජිවිත කාලෙටම ඉන්නයන මගේ මස්සිනා පොඩ්ඩ ගැන මට පට්ට දුකයි ඕයී…. “

ශික් බූරුවා මූ ඒ අස්සෙත් මගෙන් ආතල් ගන්නවා. හොදහැටි රවල මන් හැදුවෙ රූම් එකෙන් එලියට යන්න….

“ඒයි මේ…. ඔය කම්මුල පිහදාගෙන ඔය හොටු ටික උඩට ඇද ගන්නවා… නැත්තන් කවුරුහරි හිතයි තමුසේ අඩලා කියල….”
කදුලු එකයි මූනේ… නහයත් උඩට ඇදලා මන් එලියට ගියේ උබට හොදට රවලා උනත් උබ කියන්වා වගේ හිතට මාර මෙව්වා එකක් ආවේ උබ කියපු එකට.


පෝරුවේ චාරිත්‍ර වෙලාවෙ ඉදන්ම මාව දෙන්න හදිස්සිය තිබ්බ අම්මා අඩනවා… අම්මා අඩනවා කිව්වට මොකද මටත් ඇඩෙනවා….

කදුලු අතරිනුත් හෙව්වේ ඒ වසවර්තියාව. කෝ මේකා….. හෝල් එකට ආවත් හරී තාම දැක්කේ නෑ මේකව…. මූ තාම නිදිවත්ද? ඒතරම් පොර මේකා….

පෝරුවේ චාරිත්‍ර ඉවර වෙලා පෝරුවෙන් බහිනවත් එක්කම මෙන්න මේකා එනවා… වූෆ්…. අද කොල්ලා මාර හැන්ඩිනේ… මගේ හැන්ඩි හබීටත් වඩා හැන්ඩිද මන්දා…. කාටද ඉතින් ආඩම්බර….. මගේ මල්ලිනේ…..

“මේහ්.. බඩ්ඩක් කියන්නද?”

“ම්ම්ම්… මොකද්ද?”

“තමුසෙ අද හෙන ලස්සනයි ඕයී. ආහ් මේ…. වැඩිය උඩ යන්න එපා හරිද??”

මගේ පිටිපස්සට ඇවිත් මට රහසින් කියන උබ දිහා මන් බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. ඇයි යකෝ අවුරුදු 25ක් තිස්සේ මාව දකිනවා මූ නිකමටවත් මෙහෙම කියලා නෑ.

” අහ් තව එකක්. තමුසෙ දත් සෙට් එකම දාලා හිනා වෙන්න නම් එපා මේන් වැන්දා….. තමුසෙගෙ වානර ලුක් එක එලියට එනවා”

“අනේ මේහ්… ” රවන්න ඕනි උනත් මට හිනා ගියේ උබ වෙස් පෙරලන්න දාන ට්‍රයි එක නිසා.


සියල්ල නිමා කරමින් එලැබුනේපිටත් වීමේ මොහොතයි. අම්මාත් මාත් වැලදගෙන එකට හඩයි. බදිනකන් බලන් හිටිය අම්මටත් මාව දෙන්න ලෝබයිද කොහෙද…. එහෙමනේ ඉතින් අම්මලා…..

ඊ ලගට මගේ ඇස් හෙව්වේ මගේ වසවර්තියාව…. කෝ මේකා…. උබේ අක්කා යනවා බලන්නවත් එන්නැද්ද බන් උබ….? වටේම හෙවුවත් උබ නෑ….

“පිටත් වෙන්න තියෙන නැකත් වෙලාව පරක්කුවෙයි. දැන් ඉතින් ජෝඩුව නැග්ගනම් හරී වාහනේට…”

ඒ අස්සේ කවුදෝ කියන්වා මට ඇහුනා. අනේ මේ නැකතට බම්බුගහගන්න කියන්න… මන් යන්නේ මගේ උලමව දැක්කට පස්සේ තමයී… හිතබෙරිහන් දුන්නට ඒ වන විටත් මා සිටියේ මන්ගල රතයට ගොඩ වෙලා. අනේ දැන් යයි මේක….. කෝ බන් උබ….???

වටේටම හැරිහැරී උබව හොයද්දී මන් දැක්කේ මොකද්දෝ ගුලි කරගෙන මන් දිහාවට එන උබව. දුවගෙන වාහනේ ලගට ආපු උබ මගේ පැත්තෙන් දොර ඇරලා මන් ලග දන ගහගෙන මගෙ උකුල උඩ දිග ඇරියේ උබ ගුලිකරගෙන තිබ්බ අත් දෙක.

“අනේ මල්ලීහ්…..” නවතාගත නොහැකි වූ ඉකියක් සමග මා හඩන්නටවූයේ උබව බදාගෙනයි. මගේ ගෙල දිගේ රූටවිත් පහලට වැටෙන් උබේ කදුලු තවත් මට දරාගන්න අපහසු නිසා මන් ආයාසයෙන් සිනාසී උබ දිහා බැලුවා.

ඒ අත්ල උඩ තිබ්බේ උබත් මමත් හැමදාම වලි අල්ලපු ඒ වලි වලින් හැමදාම උබ හැමදාම මගෙන් උදුර ගන්න අපි දෙන්නගේ දිව්‍ය බෝජනේ….. මැගී ආච්චිගේ කිරි ආප්ප…..

ඉන් කෑල්ලක් කඩා මා දෙසට දික්කල උබ මට කවපු පලවෙනි කට නිසා මගේ කදුලු ආයෙත් අලුත් උනා. ඒවා තාමත් උනුයි. ආප්ප බාගයක් මට කවල ඉතුරු බාගේ පෙන්නලා උබ කිව්වා

“තමුසෙට ඔය ඇති මේ ටික මගේ…..හ්”

හිතට බර වැඩී උබේ ඔය හැසිරීම. මන් කොහොමද මල්ලියේ ඔහොම කරනකොට උබව දාලා යන්නේ…. ඇස් දිගේ ගලා යන කදුලු දෝතින්ම පිහිදාපු උබ…

“හරි හරි දැන් ඇති….. වහගන්නවා ඔය ටැප් එක ඉතින්…. පරිස්සමින් ඉන්නවා හරිද? ගිහිල්ලා මට msg එකක් දානවා….. (ඒ පාර මූ මගේ කනට කරලා) තමුසෙට වෙලාව තිබ්බොත් හරිද?” දගකාර හිනාවක් දාලා උබ් මට කියද්දී මන් රැව්වේ උබට හිනා වෙවී.

ඊලගට උබ අත දුන්නේ මගේ හබීට. වචනෙන් කිව්වේ නැති උනාට ඒ බැල්ම ඔහුට කිව්වා මහ ගොඩක් දේවල්. අවසානවතාවට මගේ නලලට තට්ටුවක් දාලා…

“ඒ බන් අයියේ…. මේ පිස්සිව බලගනින්…” උබ එහෙම කියලා එතනින් අයින් උනේ අපේ අලුත් ජීවිත පටන්ගන්න උබ හරියට අවසර දුන්නා වගේ…. මගේ පන්ඩිත ලොකු තාත්තා….


ඉතින් මගේ දෙවෙනි ආදරවන්තයෝ…… ආදරෙයි කියලා නොකිව්වට….. හැමදාම මරා ගත්තට…. උබේ හිතේ තිබ්බ ආදරේ දැනුනා මේ අක්කට ඕනේවටත් වැඩිය.
වෙලාවකට එපාමකරපු වසවර්තියෙක් වෙච්ච උබ තවත් වෙලාවකට මාව තාත්තෙක් වගේ රැක්කා. උබේ අක්කා වෙලා ඉපදෙන්නත් මන් හෙන පිනක් කරන්න ඇති බන්……

ඉතින් මගේ යක්ශ පැටියෝ අදින් පස්සේ උබට වෙනදාතරම් උබ ලග ඉන්න බැරි උනාට…. උබ එක්ක බෙදාගත්ත දේවල් වෙන කෙනෙක් එක්ක බෙදා ගත්තට…. තාමත් උබම තමයි මගේ හිතේ තාත්තට පස්සේ ඉන්න දෙවෙනි ආදරවන්තයා…. මගේ පිස්සු වසවර්තියෝ උබට පින් මෙච්චර දවසක් මාව රැක්කට….

ස්තුතිය 🙏
දිනූ ලියනගේ.