කන්තෝරුවට යන්න ලැහැස්තිවෙලා හිටපු බලදේව දොර රෙද්ද මෑත් කරලා හිමීට එබුනෙ දුවගෙ කාඹරේට. ඇඳේ වකුටුවෙලා ඇස් පියාගෙන උන්නත් ඈ ඉන්නෙ නිදි නැතිව බැව් බලදේව දන්නවා.
විගහින් ඔහු දොර ගාවින් මෑත්උනේ තව දුරටත් ඈ දිහා බලාගෙන ඉන්නට බැරිකමට. ඔහුගේ හිතේ ඈ ගැන ඇතිඋනේ අනුකම්පාවක්. දවල්ට කන්න ඔතපු කෑම පාරසලය දමාපු බෑග්එක ඔහු අතට ගෙනත් දුන්නු මංගලිකත් හිටියෙ එච්චර හොඳ මූහුනකින් නෙවෙයි.
” පව්.. කෙල්ලගෙ හිත රිදිලා හොඳටම. “
ඈ කිව්වෙ කනස්සල්ලෙන්.
” මං කියලා වෙන මොනව කරන්නද මංගලිකා. කව්ද හිතුවෙ මේ තරම් ඉක්මනට චමින්ද සල්ලි ඉල්ලගෙන එයි කියලා. “
ඒ මොනව කිව්වත් ඈත් ඉන්නෙ මේ හැනදේකටම වැරදි කාරයා තමන් කියන සිතුවිල්ලෙන් කියලා බලදේව දන්නවා. වෙනදට වැඩට යන්න එලියට බහිනකොට මොනව නැතත් ගේ දොරකඩට වෙලා පරිස්සමින් ගිහින් එන්න කියලා කියන්න මංගලිකා අමතක කරන්නේ නැතිව උනත් අද උදේ බලදේව ගෙයින් එලියට බැස්සෙ ඇගේ ඒ ආශිර්වාදයත් නැතිව.
ගෙයින් එලියට බැස්සත් බලදේවගේ කල්පනාව තිබුනෙම දුව ගැන. අද ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් එක යන්න කෙල්ල ලැහැස්තිවෙලා හිටියෙ දැන් සෑහෙන කාලෙක ඉඳලා. ශිෂ්‍යත්වෙ විභාගෙ ඉවරවෙච්චි ගමන් ලමයි ටික ට්‍රිප් එකක් එක්ක යනවා කියලා ටීචර් කියන්නෙ ගිය අව්රුද්දෙ ඉඳන්. පහුගිය මාස දෙක තුනේම තවත් අමතර පැය දෙක තුනක් වැඩකරලා ඕ.ටී කරලා ගත්තු සල්ලි ටිකක් ඉතුරුකරලා බලදේව පරිස්සමට තියාගෙන හිටියෙත් ඒකටම තමයි.
මීට මාස කිහිපයකට උඩදි බලදේව චමින්දගෙන් අතමාරුවක් ඉල්ලගත්තෙ හදිස්සියකට. ඒත් ගිය සතියෙ හදිස්සියෙම ඔහු ගෙදරට ඇවිත ඒක ඉල්ලුවේ ඔහුගේ නැන්දම්මා නැතිවෙලා ඒකෙ පිංකමට සල්ලි නෑ කියලා.
නැතිබැරි වෙලාවක නෑ බෑ කියන්නැතිව උදව් කරපු මිනිහගෙ මුහුන බලාගෙන සල්ලි නැහැයි කියලා කියන්නද. අන්තිමට දුවගෙ ඉස්කෝලෙ ට්‍රිප් එක යන්න එකතුකරගෙන ඉඳපු සල්ලි ටික දීලා දැම්මෙ විනා වෙන කරන්න දෙයක් නැතිකමට. අන්තිමට ඒකෙන් බැට කෑවෙ අර අහිංසකී. පව් ඒකි ඊයෙ රෑ ඉඳන් හූල්ලනවා.
ආන්ඩුවේ ජොබ් එකක් කරනවයි කියලා මහ ලොකුවට ගෙදරින් එලියට බැස්සට මොකද හදිස්සියකට ගන්න රුපියල් සීයක් තියෙනවද ගේ හරියෙ. තමන්ට වඩා හම්බ කරනවා හන්දියේ වඩේ කරත්තෙ වඩේ විකුනන කොලුවා. මහ ලොකු නම්බුව විතරයි . රක්ෂාව ගැන විටෙක ඔහුට ඇතිවෙන්නෙත් කලකිරීමක්. බලදේවට මතක්වෙන්නෙ තමන් එක්ක එක කන්තෝරුවේ වැඩකරන සුජීවලා නිලන්තලා වරුණිලාව. එක අතකට ඔව්න් කරන දේ හරි. අපිට මෙහෙම උනාට උන් ඔය ඉන්නෙ කිසි හෙනයක් නැතිව යස අපූරුවට .
කොතරම් වැඩ රාජකාරි තිබුනත් හැමදාම වගේ උදේ අට වෙනකොට කන්තෝරුවට එන එක බලදේවගේ එදා ඉඳන් තිබුනු පුරුද්දක් උනත් බලදේව කඩිමුඩියේ කන්තෝරුවෙ ගේට්ටුවෙන් ඇතුලට දුවගෙන ආවෙ අද ටිකක් පරක්කු වෙච්ච හින්දා. ඔහු එනකොට 8.30 විතර උනත් ඒ වෙනකොටත් කන්තෝරුවට ඇවිත් හිටියෙ දෙතුන් දෙනෙක් විතරයි .
” ගුඩ් මෝනින් බලදේව “
” මෝනින් .. මෝනින්.. “
ඒ වෙනකොටත් ගෙදරින් ගෙනාපු බත් මුල් දිගහැරගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන ගෑනු ටික ආයෙ ඔතනින් නැගිටින්නේ දවල් තේ බොන වෙලාව කිට්ටුකරලා කියන්න බලදේව දනී. අතේ තිබුනු බෑගය පැත්තකින් තියාපු ඔහු බැලුවෙ තමන්ගෙ මේසෙ උඩින් තිලකරත්න ගෙනත් තියපු පයිල් මිටිය දිහා. හැමදාම උදේට මේසයක් මේසයක් ගානෙ තිලකරත්න ගෙනත් තියන පයිල් මිටිය කොච්චර ලොකු පොඩි උනත් බලදේව හවස ගෙදර යන්න නැගිටින්නෙ ඒ ගෙනත් තියෙන සේරම පයිල් වල වැඩ ඉවරයක් කරලා තමයි. ඒ ගමන්ම ඔහු බැලුවෙ අනෙක් අයගෙ මේස දිහා.
ඒවයෙ දවස් දෙක තුනක ඉඳන් එකතු වෙච්චි පයිල් මිටි මේස උඩ තියෙන්නෙ කෙනෙක් ඉඳගත්තහම මූන නොපෙනෙන තරමට ගොඩගැහිලා. වැඩක් නොකර නිකරුනේ කාලෙ කන ඔව්න් පිලිඹද බලදේවගේ හිතේ තියෙන්නෙ පිලිකුලක්. තියෙන වැඩක් කරගෙන තමන්ගෙ පාඩුවේ ඉන්නවා මිසක් වෙන කාත් එක්කවත් වැඩි බජනෙට නොගිහින් බලදේව පැත්තකට වෙලා ඉන්නෙත් ඒ නිසා.
” ගුඩ් මෝනින් බලදේව .. මොකද අද නිවාඩුවක් ගන්නවා කිව්වා නේද .
ඇයි ට්‍රිප් එක ගියෙ නැද්ද .. “
කන්තෝරුවට ගොඩඋනු බලදේවගේ අල්ලපු මේසයේ වැඩකරන සිරිල්ගේ හිත සතුටින් ඉපිලුනේ අද නිවාඩු දානවයි කියපු බලදේව වැඩට ඇවිත් ඉන්නවා දැක්කහම. බලදේව නිවාඩු දවසට කන්තෝරුවෙ වැඩි බරක් පැටවෙන්නෙ සිරිල්ට වන බැවින් බලදේව ඉඳහිට හෝ නිවාඩුවක් ලබාගන්නවා තරම් අප්‍රසන්න දෙයක් ඔහුට තවත් නැත.
” දුවට ටිකක් සනීප නෑ සිරිල්.. ඒක හන්දා ගියේ නෑ… “
” ඔව්.. ඔව් ඒක හොඳයි. මේ දවස්වල හැමතැනම ලෙඩනෙ. “
බෑග් එකේ තිබුනු කෑම පාර්සලය එලියට ඇදලා ගත්තු සිරිල් ඒකත් අරගෙන ගිහින් එකතුඋනේ කෑම ගනිමින් උන් අනික් අය ගාවට. ======
=======
” මහත්තයෝ .. මෙන්න මේ ලියුම අස්සන් කරගන්ඩ … “
බලදේව ඔලුව උස්සලා බැලුවෙ කව්ද කියලා. අවුරුදු හැත්තෑ පහක විතර වයසක ගැහැනු කෙනෙක් වෙව්ලන අතින් ඔහු වෙත දිගුකරගෙන හිටපු ලියුම අතට ගත්තු බලදේව කියවලා බැලුවෙ ලියුම මොකද්ද කියලා .
” ග්‍රාමසේවක මහත්තයා අත්සන් කරලද තියෙන්නෙ අම්මේ. “
” ඔව් මහත්තයෝ “
ඇගේ අසරණ පෙනුම දුටු ඈ ගැන බලදේවට ඇතිඋනේ අනුකම්පාවක්. ඈ ඇවිත් තිබුනෙ ගේ හදාගන්න ගඟෙන් වැලි ට්‍රැක්ටරයක් ගන්න පර්මිට් එකක් හදාගන්න. අසල තිබුනු පුටුවක ඈ හින්දවූ ඔහු බැලුවෙ ලියුමෙ තිබුනු ඇගෙ පදිංචිය කොහෙද කියලා.
කිරිගල්පතාන..
” මෙච්චර දුරක් අම්මා තනියමද ආවෙ. ඇයි ලමයි කව්රුවත් නැද්ද .. “
බලදේව ඇහුවෙ ඇවිදගන්න තියා හරියට හිටන් ඉන්නවත් වාරු නැති වයසක කාන්තාව දිහා බලාගෙන.
අපරාදෙනෙ අම්මා ආවෙ.
ඔය කව්රුහරි ලමයෙක් අතේ එව්වනං ඉවරයිනෙ. “
” ලමයි හිටියට උන්ට උවමනාවක් නැතිකමනෙ මහත්තයෝ ..
මමම කලොත් මිසක්. “
ඈ ඇඳසිටි සායම් පිලිස්සුනු දිරාපත් සාරියත් හැට්ට කටුවකින් අමුණා තිබෙන රබර් සෙරෙප්පුවේ පටියත් දැක්කම ඈ නියෝජනය කරන සමාජ පන්තිය පෙන්නුම් කිරීමට තවත් සාධක බලදේවට අවශ්‍ය උනේ නෑ. බලදේව තමන් කරමින් හිටපු වැඩේ පසෙක දමා ඇගේ වැලි පර්මිට් එක ලබාගන්න අවශ්‍ය සියලු දේවල් කඩිමුඩියේ සකස් කරලා දුන්නෙ ඒ නිසා.
” දැන් ඔක්කොම හරි අම්මා..
ආන්න .. අර කෙලවරේ මේසෙ ගාව ඉන්නවා මිස් කෙනෙක්.. ඒ මිස් තවම කෑම කනවා.
ඒ මිස් ආවහම ඒ මිස්ට කියලා මෙතන අත්සනක් දාගෙන සර් ගාවට අරන් යන්න. එතකොට හරි..
එතකං අන්න අතන බංකුවේ වාඩිවෙලා ඉන්නකො… “
සිකුරාදා දිනයක් උනත් වෙනදට වඩා තරමක වැඩ වැඩියෙන් වැඩ ගොඩගැහිලා තිබුනෙන් ලියුම් ගොඩකට මැදිවෙලා හිටපු බලදේවට දැනුනෙ තෙහෙට්ටුවක්. ඔහු බැලුවෙ බිත්තියේ එල්ලලා තිබුනු ඔරලෝසුව දිහා. තරමක බඩගින්නක්ද දැනුනු බැවින් ඔහුට හිතුනෙ කැන්ටිමට ගිගින් තේ එකක් බීලා ආවොත් හොඳයි කියලා.
පුටුවෙන් නැගී හිටපු බලදේව කැන්ටිම දිහාට යනිං ගමන් අහම්බෙන් වගේ ඔහුගේ නෙත ගැටුනේ ඊට තරමක් දුරින් බංකුවේ කෙලවරක නිදි කිරා වැටෙන උදේ තමන් වෙත ආපු වයසක කාන්තාව. ඉද්ද ගැසුවාක් මෙන් හුන් තැනම නතරඋනු බලදේව ඈ හිටි තැනට ගියේ පුදුමයෙන් වගේ.
” අම්මා… අම්මා… “
බලදේව ඇගේ උරහිසින් අල්ලා සොලවද්දී ගැස්සිලා ඇහැරුනු ඈ බංකුවේ ඉඳගත්තේ වටපිට බලමින්. ලැජ්ජාවටද මන්දා යංතං හිනාවක් පෑ ඈ බලදේව දිහා බලාගෙන හිටියෙ අසරණ විදිහට.
” ඇයි .. මොකද මේ .. තවම ගෙදර ගියේ නැද්ද .. “
බලදේව ඇහුවෙ පුදුමයෙන්. තමන් ඈ පිටත්කර හැරියේ ඈ පැමිනි කාරනාවට අවශ්‍ය සියලු දේ කරදීලා උනත් තවමත් බංකුවට වෙලා ඉන්න ඈව දැක්කහම ඔහුට ඇතිඋනේ පුදුමයක්.
” අර නෝනා කිව්වා ටිකක් වෙලා ඉඳගෙන ඉන්න කියලා .. කතාකරන්නං කියලා . “
බලදේවගේ ඇඟේ මාලු නටන්න ගත්තෙ ඈ අතේ තිබුනු ලියුම දැක්කහම. උදේ ඔහු ඈට ලියුම දුන්නෙ කරන්න තිබුනු හැමදෙයක්ම කරලා. ලියුම කෙලවරේ අත්සනක් ගහන එක විතරයි තව කරන්න ඉතුරුවෙලා තිබුනෙ. තවමත් ඉස්සරහා මේසෙට වෙලා කාත් එක්කදෝ හුරතල් වෙන ශාලිකා දිහා බලදේව බලාගෙන හිටියෙ ඉහවහා ගියපු කේන්තියෙන්.
” කෝ.. දෙන්න අම්මා ඕක.. !”
ඈ අතේ තිබුනු ලියුම උදුරාගත් බලදේව ශාලිකා ගාවට ගියේ කෝපයෙන්.
” අනේ… ඔව් අනේ..
ස්වීට්… ඊයෙ කොටසනං. ….
මේ… ඒක නෙවෙයි .. හෙට මොකක් වෙයිද …. අනේ…
අර බෝයි.. ඒ ගර්ල් එක්ක යාලු වෙයිද…
මටනං ඉවසිල්ලක් නෑ බලනකං .. “
ඈ අසලට ගියපු බලදේව බලාගෙන හිටියෙ ශාලිකා කතාකරලා ඉවරවෙනකං. නමුත් ඇගේ කතාව නවතින පාටක් නැත. බලදේව පැමිනි වගක් නොදැකපු ශාලිකා පුටුවේ දෙපැත්තට කරකැවෙමින් ඈ කාත් එක්කදෝ දිගටම කතාව.
” ඔහොම චුට්ටක් ඉන්න ඩාලිං….”
“ඇයි.. ම්‍රිස්ට බලදේව . “
ඈ අසල හිටගෙන හිටපු බලදේව දැකපු ශාලිකා බලදේවගෙන් ඇහුවෙ දුරකථනයේ රිසිවරය අතින් වසාගනිමින්.
” මිස්… බලන්නකෝ..
අර මනුස්සයා කොච්චර වෙලාවක් ඉඳන්ද මේ ලියුම අත්සන් කරගන්ඩ අර බංකුවට වෙලා ඉඳගෙන ඉන්නෙ. දැන් පැය දෙකකටත් වැඩියිනෙ..
ඔයගොල්ලෝ මෙතන වල්පල් දොඩවනවා.. “
උස් හඬින් කෑ මොරදෙන බලදේව දිහා ශාලිකා බලාගෙන හිටියෙ පුදුමයෙන්. මීටපෙර කිසිදිනක ඔහු මේ තරම් කේන්තියෙන් සිටුනු ඈ දැක තිබුනේ නෑ. දුරකතනය පසෙක තබා ඔහු අත තිබුනු ලියුම අතට ගත්තු ශාලිකා කඩිමුඩියේ එහි අත්සන තබා බලදේව වෙත දිගුකරේ ඈත උන්නු මහලු කාන්තාව දිහාත් බලදේව දිහාත් මාරුවෙන් මාරුවට බලමින්.
” මොකද බං උනේ…. “
බලදේව එතනිං ඉවත්වෙන තෙක් බලාගෙන ඉඳපු ශාලිකාට අල්ලපු මේසෙ හිටි නිලන්ති දුවගෙන ඇවිත් ශාලිකාගෙන් ඇහුවෙ බලදේවගේ කෑ ගැසීම ඇයටත් ඇහුනු හින්දා.
” අනේ මන්දා බන්…
කලින් කියන්න එපැයි ඉතින් ..
ඒ මනුස්සයා බලදේවගෙ නෑයෙක් කියන්නඩ අපි දන්නවයෑ…. “
ශාලිකා මහලු කාන්තාව දිහා බලාගෙන කෙඳිරුවේ හිතේ මතුඋනු ලැජ්ජාවටත් එක්ක.
ප්‍රාදේශීය ලේකම් තුමා ලඟට ගියපු බලදේව ඔහුගේ අත්සනද අරගෙන ආපහු ආවෙ කාන්තාව ගාවට.
” ඕන්.. අම්මා දැන් සේරම හරි..
දැන් ඉතින් පරිස්සමට ගෙදර යන්න. “
ඔහු කිව්වෙ ලියුම ඈ අතේ තබමින්.
” පිංසිද්දවෙනවා මහත්තයෝ …. “
ඔහුට පිංදුන් ඈ හැරුනෙ ආපහු යන්නට. බලදේවට මතක් උනේ ඔහු කුඩා කලම මියැදුනු ඔහුගෙ අම්මව. හිටියනං දැන් ඈත් මේ වයසෙම නෙවෙයිද .
” අම්මා උදේට කාලද. “
” ඔව්.. මහත්තයෝ .. “
ඈ එහෙම කිව්වද මුහුනේ ගිලී තිබුනු ඒ ඇස් දෙක දැක්කම ඔහුට හිතුනේ ඈ කියන්නෙ බොරුවක් කියලා.
” කමක් නෑ .. කමක් නෑ ….
ගොඩක් දුරක් යන්නත් එපැයි. කෝ. එන්ඩ.. තේ එකකුත් බීලම යමු. “
ඈවත් එක්කරගෙන බලදේව ගියේ කැන්ටිම දිහාට.
ඇඳේ හාන්සිවෙලා පොතක් කියවමින් හිටපු බලදේව යාන්තමින් ඉන් ඇස් ඉවතට ගෙන බැලුවෙ ඇඳේ පැත්තකින් ඉඳගත්තු මංගලිකා දිහා. නැවතත් පොත වෙතට හැරුනු ඔහුගේ ඇස් පිටුව පුරා දිවගියේ කලින් කියවමින් ඉඳ නතර කරපු තැන සොයාගෙන.
” මේ…. “
අව්ල්ව ගිය කෙස් වැටියේ තැනින් තැන ගැටගැහුනු කෙහෙරැලි අස්සෙන් අමාරුවෙන් පනාව පහලට ගනිමින් ඈ බැලුවෙ පනාවෙ ගැලවී තිබුනු කොන්ඩෙ ගස් දිහා.
” ලබන සතියෙ තාරුකාගෙ වෙඩින් එකට අඳින්න අලුතින් සාරියක් ගන්නත් වෙයි…
හැමදාම එකම ඇඳලා , ලැජ්ජාවෙ බෑ.. “
” මේ සැරේටත් ඔන්න ඔහෙ ඕකම අඳින්න මංගලිකා ..
ලබන මාසෙ දිහා අපි අලුත් එකක් ගමුකෝ…. “
බලදේව කිව්වෙ පොතෙන් ඇස් ඉවතට නොගෙනෙම. මේ මාසෙ පඩිය හම්බවෙන්නත් තව දෙසතියකට වඩා බලාගෙන ඉන්න වෙනවා. සාරි ගන්නවාට වඩා ඔහු කල්පනා කලේ එතකං මේ දවස්ටික ගෙවාගන්නෙ කොහොමද කියලා.
බලදේව එහෙම කියනවාත් එක්කම අතේ තිබුනු පනාව පොලවේ ගහපු මංගලිකා නැගී හිටියෙ බලදේව කිසිසේත්ම හිතපු නැති විදිහට.
” නෑ …… නෑ….. නෑ……. “
” කොච්චරවත් නැති බනේම තමයි ..
කවදද ඔහේට තිබුනෙ.. “
කොන්ඩෙත් කඩාගෙන කේන්තියෙන් පුපුරමින් තමන් දිහා බලාගෙන කෑ ගහන මංගලිකා දිහා බලදේව බලාගෙන හිටියෙ පුදුමයෙන්.
” අනේ හැබෑට අපේ අම්මලත් මහ ලොකුවට ඔහේට මාව බන්දලා දුන්නෙ ආන්ඩුවේ රක්ෂාවක් කරනවයි කියලා.
ඔයිට වැඩිය හොඳයි පාරෙ ඉන්න හිඟන්නෙක් එක්ක දීග ගියානං. “
වේගයෙන් කියාගෙන කියාගෙන ගියපු මංගලිකා ආපහු ඒ වේගයෙන්ම හැරී කාඹරයෙන් නොපෙනී යද්දී කිසිවක් හිතාගත නොහැකි ඌ බලදේව ඒ දිහා බලාගෙන හිටියෙ පපුවට හී තුඩකින් අන්නින්නාක් මෙන් දැනුනු වේදනාවෙන් .
පහුවදා උදේ වැඩට පැමිනියත් බලදේව හිටියේ මලානික විදිහට. ඔහුගේ හිත තුල නිරන්තරයෙන් දෝංකාරය දුන්නෙම මංගලිකාගෙ වචන.
” ඔයිට වැඩිය හොඳයි පාරෙ ඉන්න හිඟන්නෙක් එක්ක දීග ගියානං. “
තමන් එක්ක දීග ඇවිත් මංගලිකා විඳින්නෙ දුකක්ද. ඒ ගැන හිතත්ම ඔහුට ඇතිවෙන්නෙ වේදනාවක්. ඈ නොකියා කියන්නෙ ඒ ටික නෙවෙයිද. ඒත් තමන් කියලා වෙන මොනව කරන්නද. හම්බ කරන හැම සතේම වියදම් කරන්නෙ ඔව්න් දෙන්නා වෙනුවෙන් නේද. උවමනාවකට මිසක් තමන් කිසිවිටක එක රුපියලක්වත් නිරපරාදේ වියඳම් කරන්නේ නැත. තියෙන ඇඳුම් කෑලි දෙක තුන උනත් හෝද හෝද අඳිනවා මිසක මතක ඇති කාලෙක ඔෆීස් එකට අඳින්නවත් අලුතින් ඇඳුමක් අරගෙන තියෙනවද.
ඒත් ඔහුට හිතෙන්නෙත් මංගලිකා කියන්නේ ඇත්තක් නොවෙයිද කියලා. තමන්ට වඩා අඩු පඩියක් ලබන කාර්‍යාලයේ පියන් වැඩ කරන තිලකරත්නත්, තමන්ට වඩා හොඳට අඳිනවා පලඳිනවා. ඔහුට හිතාගන්න බැරිව තිබුනේ එකම ආයතනයේ රැකියාව කරන ඔව්න්ට හටියන්නත් තමන්ට වරදින්නත් හේතුව මොකද්ද කියලා.
” මොකද ම්‍රිස්ට බලදේව අසනීපයක්වත්ද. “
කාන්‍ති ඇහුවෙ ඔලුවෙ අත තියාගෙන කල්පනා කරන බලදේව දිහා බලාගෙන. ආපු වෙලේ පටන් ඔහු උන්නෙ එහෙම. වෙනදටනං මේ වෙලාව වෙනකොටත් ඔහු මේසෙ උඩ තිබුනු ලියුම් වලින් භාගෙකටත් වැඩිය වැඩ අවසන් කරලා. අද ඔහු මේ ඉන්න විදිහට කාන්ති බලදේව ලඟට ඇවිත් ඇහුවෙත් ඒ හින්දා.
” නෑ කාන්ති මිස් .. මගේ ඔලුව ටිකක් රිදෙනවා වගේ. “
ටිකක් වෙලා එහෙමම ඉඳපු බලදේව බැලුවෙ අවට මේස දිහා. හැම තැනකම ඔහුගේ නෙත ගැටුනේ පයිල් වලින් ගොඩගැහුනු කිසි පිලිවෙලක් නැතිව අව්ල්ව ගියපු මේස කබඩ් දිහා. ආපහු හැරුනු බලදේව අතට ගත්තෙ ඊයෙ හරිගස්සා අවසන් කර ආපහු යවන්නට සකස් කරපු පයිල් මිටිය. ඒවා මේසෙ පුරා සීසීකඩ අතහැරපු ඔහු අද උදේ තිලකරත්න ගෙනත් තිබුනු පයිල් මිටියද ඒ අස්සෙන් ඔබාගත්තේ අනෙක් මේස වගේම ඔහුගේ මේසයද කිසි වෙනසක් පෙනෙන්නට ඉඩක් නොතබමින්.
මොහොතකින් ආපහු අනික් අය දිහා බලදේව හොරහින් හැරිලා බැලුවෙ ඒ අය මොකද කරන්නෙ කියලා. සමහරු පෝන් එක කනේ ගහගෙන. තවත් සමහරු අල්ලාප සල්ලාපයේ. ඒ අතර තවකෙකු නිදි කිරා වැටෙති. ඒ දිහා බලන් ඉඳපු බලදේවත් සාක්කුවේ තිබුනු පෝන් එක අතටගෙන ඒක ඔබන්න ගත්තේ කිසිම අරමුනකක් ඇතිව නෙවෙයි.
ටික වෙලාවකින් හිස ඔසවා බලපු බලදේව දැක්කෙ කන්තෝරුවට ඇවිත් තමන්ගෙ වාරය එනකං ඉදිරිපස බංකුවේ පෝලිමට වාඩිවෙලා ඉන්න මිනිස්සුන්ව. ඔව්න් ඒ විදිහට රස්තියාදු වෙද්දී තමන් මේ විදිහට පෝන් එකේ එල්ලිලා ඉන්න එක ඔහුට දැනුනෙ ලැජ්ජාවක්. පෝන් එක පැත්තකින් තියපු ඔහු ඊලඟට ඇදලා ගත්තෙ හාෆ්සීට් කොලයක්. කුඩා දරුවෙකු මෙන් එහි බලි අඳින්නටත් කුරුටු ගාන්නටත් ගත්තේ නිකං උඩ බලාගෙන ඉන්නවට වඩා එහෙම ඉන්න එක හොඳයි කියලා හිතුනු හින්දා.
බලදේවගේ මේසය ලඟින් යන්නට ආපු තිලකරත්න කවදාකවත් නැතිව පයිල් මිටි වලින් පිරිච්චි ඔහුගේ මේසය දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන්. ඔහු බලදේව ආශ්‍රය කරන්නෙ අවුරුදු ගනනාවක් ඉඳන්. එතෙක් මෙතෙක් කාලය පුරාවටම ඔහු මේ විදිහට අපිලිවෙලට ඉන්නවා දැක්කාමය. ඒ එක්කම බලදේවගේ මේසය ගාවට ආවෙ අවුරුදු හතලිස් පහක විතර කෙසඟ පුද්ගලයෙක්. වයසට වඩා ඔහුගේ මුහුනෙන් පෙනුනේ සුදුමැලිවී ගියපු මලානික පෙනුමක්.
” මහත්තයෝ.. මගෙ වත්තෙ තේක්ක ගස් දෙක තුනක් තියෙනවා. ඒකට බලපත්‍රයක් ගන්ඩ කියලා. “
ඔහුගේ අතේ තිබුනු ලියුම් කඩදහිය උඩින් පල්ලෙන් කියවා දැමුවත් බලදේව දන්නවා ඒකෙ කිසිම අඩුපාඩුවක් නැහැයි කියලා. කරන්නට තිබෙන්නේ ඒක ලොක්කගෙ අත්සන සඳහා යවන්ඩ නිර්දේශ කරන එක විතරයි.
” මේ පේනවනෙ වැඩ. “
බලදේව අත දිගුකර ඔහුට පෙන්නුවේ මේසෙ මත ගොඩගැහිලා තියෙන ෆයිල් මිටිය දිහාව.
” මේ වැඩටික ඉවරකරලා තමයි කරලා දෙන්න වෙන්නෙ. එතකං ආං අරහෙන් ගිහින් ඉඳගෙන ඉන්න. “
ලියුම බලදේවට දුන් ඔහු ආපහු බංකුව ගාවට ගිගින් ඉඳගෙන හිටියේ මැලවුණු මුහුනින්. ඒ තිබුනු පයිල් කන්දරාව හැටියටනං හතර හමාරෙන් මෙහා ඔහුට අද වැඩේ කරගන්නට සිදුවන්නේ නැත. අද උදේම පුතාව අරගෙන ක්ලීනික් එකට ආපු ඔහු බිරිඳවයි දරුවයි ඉස්පිරිතාලෙ තියලා දුවගෙන ආවෙ පුලුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරගෙන ආපහු ඉස්පිරිතාලෙට යාගන්ඩ.
මඳ වෙලාවකින් ආපහු ඔහු කිට්ටුකෙරුවෙ බලදේව ගාවට.
” මහත්තයෝ “
බලදේවගේ මේසය අසලට ගියපු ඔහු වටපිට බලලා කමිස සාක්කුවෙන් කිසිවක් ගෙන බලදේවගේ පයිල් කවරයක් යටින් තිබ්බෙ කාටවත් නොපෙනෙන විදිහට.
” තරහා ගන්ඩ කාරි නෑ. මගේ වැඩේ කරලා දුන්නොත් මට සුනංගු නොවී ගෙදර යතහැකියි. “
හවස වැඩ ඇරී කන්තෝරුවෙන් එලියට ආපු බලදේව ඉවසිල්ලක් නැතිව හිටියෙ දවල් පර්මිට් එක ගන්න ආපු මනුස්සයා පයිල් කවරෙ අස්සෙන් මිට මොලවපු ගාන කීයදැයි බලාගන්න.
හිතේ තිබුනු කලබලයට ඒක ගුලිකරගෙන සාක්කුවට දාගත්තා විනා එහි තිබෙන්නේ කීයක්දැයි බැලීමටවත් ඔහු උත්සාහයක් ගත්තේ නැත. මීට පෙර කිසිදිනෙක එවන් අත්දැකීමක් නොලැබුනු බැවින්දෝ ඒ තරමටම ඔහු හිටියේ කැළඹුනු සිතින්.
කඩයක් ඉදිරිපිටට පැමිනි බලදේව වටපිට බලා එලියට ගෙන බැලුවෙ සාක්කුවේ තිබුනු කාසි කොලේ දිහා. එහි තිබුනේ හතරට පහට ගුලිඋනු පන්දාහෙ කොලයක්. ඔහුගේ හිත සතුටින් ඉපිලුනේ ඒක දැක්කහම. ඔහුට මතක්උනේ පෙරදින දෙස් දෙවොල් තියපු මංගලිකාගෙ වචන ටික. දැන් ඉතින් දෙයියනේ කියලා ඈට වෙඩින් එකට යන්න අලුත් සාරියක් අරන් දෙන්න පුලුවන්.
ඒ මොහොතෙම එතන තිබුනු කඩ සාප්පුවට ගොඩවැදුනු බලදේව ගෙදර ගෙනියන්න කේක්, ෂෝර්ටීස් , අයිස්ක්‍රීම්, විස්කෝතු පැකට් ටිකකුත් අරගත්තේ ගෙදර අයව පුදුම කරවන්නත් එක්ක.
ඉතිරි මුදල මංගලිකට සාරියක් අරගන්න දෙන්න හිතාගෙන පරිස්සමින් සාක්කුවේ දමාගත්තු බලදේව ආපහු හැරී ඒ අසල තිබුනු ෆාමසියට ගොඩඋනේ දැන් දවස් දෙක තුනක ඉඳන් සැරින් සැරේ ඔහුට හැදෙන හිසේ අමාරුවට බෙහෙත් ටිකකුත් ඔය ගමන්ම අරගෙන ගියොත් හොඳයි කියලා හිතුනු හින්දා.
ෆාමසිය ඇතුලට පැමිනි බලදේව හදිසියේම ඒ අසල තිබුනු කණුවකට මුවාඋනේ බෙහෙත් දෙන කව්න්ටරේ ගාව දැක හුරුපුරුදු මුහුනක් තිබුනු නිසා. ඒ හිටියේ වෙනින් කව්රුවත් නෙවෙයි . උදේ පර්මිට් එක ගන්න ඇවිත් බලදේවට රුපියල් පන්දාහ දීලා ගියපු කෙනා. ඔහුට නොපෙනෙන්නට කණුවට මුවාවෙලා හිටපු බලදේව අහගෙන හිටියෙ ඔව්න් කතාකරන දිහා.
” මේ අර පිලිකාව හැදුනු ලමයට අරගෙන යන බෙහෙත් ටික නේද ..”
ෆාමසියේ කෙල්ල කිව්වෙ මාසෙකට සැරයක් ෆාමසියෙන් බෙහෙත් ගන්න එන නන්දසිරිව හොඳින් අඳුනන නිසා.
” ඉතින් ඇයි මේ බෙහෙත් භාගෙට අරගෙන යන්නෙ.
එහෙම නවත්ත නවත්ත බෙහෙත් බොන්න හොඳනෑ.
එහෙම කොහොමද ලෙඩේ සනීප වෙන්නෙ. “
ඈ ආඩපාලි කිව්වේ දොස්තර මහත්තයා මාසයක් බොන්ඩ ලියලා දුන්නු බෙහෙත් වට්ටෝරුවේ නන්දසිරි සති දෙකකට විතරක් සෑහෙන්ඩ බෙහෙත් ඉල්ලුවහම. නමුත් මාසෙකට සෑහෙන්න තරම් මුදලක් ඔහුගේ මේ වෙලාවේ ඔහුගේ අතේ නොමැතිකමින් ඔහු ඈ දිහා බලාගෙන හිටියේ අසරණ විදිහට.
” කමක් නෑ නෝනා. දැනට ඔයටික දෙන්ඩ. මං පුලුවං වෙලාවක ආපහු ඇවිත් ඉතුරු බෙහෙත් ටික අරගෙන යන්නං. “
හීන් හඬින් ඔහු කිව්වේ වටේ පිටේ හිටපු අයට නොඇසෙන්න.
බලදේව ෆාමසියෙන් එලියට ආවේ ඇවිදින මලමිනියක් වගේ. ඔහුට ඔහු ගැනම ඇතිඋනේ පිලිකුලක්.
” දෙයියනේ අසරණ දරුවට බෙහෙත් අරගන්න තිබුනු සල්ලි නේද මම ඒ අරගත්තෙ. “
අතේ තිබුනු කෑම මල්ල කාණුවට වීසි කරපු බලදේව අසල තිබුනු ලයිට් කණුවකට හේත්තු උනේ මුලු ලෝකෙම තමන් ඉදිරියේ කැරකැවෙන්නාක් මෙන් දැනුනු නිසා.
නිමි