තද අවු රෂ්මියෙන් කර්කෂ වූ භූමියේ වියළි කොල ඒ මේ අත සක්මන් කරන්නට විය. ගෙවීගිය කාලය පුරා වැසි බිදුවකුදු පොළව සිපගෙන නැති හැඩකි. මෝටර් රථයේ රියදුරු අසුනට බරදුන් මා මොහොතක් කල් මැන්නේ දීර්ඝ ගමනක අවසානය සනිටුහන් කිරීමේ යම් ප්‍රීතියක් සිත තුල ඔප්නැංවුන හෙයිනි.

මිනිත්තු කිහිපයක නිහැඩියාවකට පසු මා රථයේ දොර විවර කලෙමි. වියළි කොල කර කර හඩින් දෙපා වලට පොඩි කරමින් මා ගමන් ඇරඹුවේ එම අපූරු හඩටද සවන් යොමු කරමිනි.

මා සිත ළමා කාලය කරා පියමනින්නට විය. කුඩා කල මා මෙන්ම අනෝමාද යට කී හඩට ප්‍රිය කලබව නොරහසකි. නමින් ජයන්ත වූ මගේත් අනෝමාගෙත් සම්බන්දය වැලි කෙලියේ පටන් ඇරඹි සහෝදර බැදීමක් විය.

අනෝමා මගේ මාමාගේ එකම දියණිය වූ අතර මහ ගෙදර ඔවුන්ගේ හිසට සෙවණ සැපයිනි. කලක පටන් අප පවුල් අතර පැවති විරසක බව කුමන හේතුවක් මුල් කොටගෙන ඇතිවූයේද යන්න පැනයකි.

කෙසේ නමුදු විවාහ වී වෙනවූ අන් පවුල් වල ඇති බෙදාහදාගැනීමේ හෝ ඇති නැති පරතරය හේතුවෙන් හටගත් විරසකයකැයි මා සිත අනුමාන කරන්නට විය. විශේෂයෙන් මාමාගේ ක්‍රියාකලාපය අප්පච්චී, අම්මා මෙන්ම මා හටද එතරම් රිස්සුවේ නැත.

අධික මාන්නයකින් ඔළුව උදුම්මවාගත් මාමා නැන්දා මෙන්ම අනෝමාද සිය අණසකට යටත් කොටගෙන තිබිණි. අනෝමා මේ සියල්ලන්ටම වඩා වෙනස් චරිතයක් වූවාය. කරුණාවන්ත බව ඇයට උපතින්ම හිමි වූ ආභරණයක් විය.

ආර්ථික අතින් අසරණව සිටි අපහට ඈ යම් පිළිසරණක් වූවාය. මාමාට හොරා මා අත මුදල් තැබූ වාරද අනන්තය. අප එකම පාසලේ ඉගෙනුම ලැබීමද එම සහෝදරත්වය ලියලා වැඩීමට හේතු වන්නට ඇත. යට කී බැදීමට මාමාගේ අවදානය යොමුවීමට වැඩි කලක් ගතවූයේ නැත. ඔහු අප නිවසටම පැමිණ තර්ජනය කල දිනය මා හට අද මෙන් මතකය.

කඩුල්ලේ ලී එකිනෙක ගලවා දමමින් නිවස දෙසට පැමිණෙන මාමා දුටු අම්මා මාද රැගෙන ගෙට ගොඩවූයේ අප්පච්චීගේ විධානයක් අනුවය.

අයියේ… මොකදෑ මේ කලබලෙන් වගේ.

මම ආවේ දෙයක් කියල යන්න මිසක් උඹල එක්ක හිතවත්කම් පාන්න නෙවෙයි. උඹලෑ කොල්ලට කියාපං මයෙ කෙල්ල එක්ක බජනෙට යන්න එපා කියලා. නෑයො උනාට උඹල අපි පෑහෙන්නෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මගේම නංගි වුනත් වෙන කුලේක එකෙක් කසාද බැදගත්තනම් මට ඒකි වගේම ඒකිගෙ දරුවත් නීචයි.

අයිය ඔහොම කතාකරන එක සාදාරන නෑනේ. අපි හැමෝම මිනිස්සු. මම කිසිම දවසක මයෙ ගෑණිට අඩුපාඩුවක් කරල නෑ.

හහ්…… වළව්වක හැදුන කුමාරිහාමි කෙනෙකුට අඩුපාඩු නැතිව සලකන්න පුලුවන්ද උඹ වගේ වසලයෙකුට. ඒවෑන් මට වැඩක් නෑ. මින් මනත උඹේ කොල්ල මයෙ දෝනි එක්ක මිත්‍රකම් පානව දැක්කොත් කොල්ලට වෙන දේ හිතාගන්න බැරිවෙයි.

කට පරිස්සම් කරගනින් හාමු. උඹ හිතනවා වගේ අපි අත පල්ලෙන් වැටිල නෑ. මහලොකුවට හිතුවට මට වගේම උඹටත් ලැබුන දෙයක් නෑ. පුහු නම්බුව ඇරෙන්න. මට වගේම කොල්ලටත් උරුමයක් තියනවනම් ඒක අයිතිකරගන්නවා දැනගනින්.

තෝ මාත් එක්ක කටගහන් එනවද?

මාමා තව තවත් අරියාදුවට එද්දී අප්පච්චීගේ ඉවසීමේ සීමාවද බිදී යන්නට විය. වහලයේ සගවා තිබූ මන්නය ඔහුගේ දෑතට එන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තව අඩියක් ඉස්සරහට තියපං බලන්න. තෝ මෙතනම බාවනවා පරයා.

අප්පච්චීගේ රළු තර්ජනයටත්, අත වූ මන්නයටත් මාමා පසුබසින්නට විය.

හොදයි බලාගමු. තොපි වහ කෑවයි කියලා හිතාගනිල්ලා. මින් මනතට මම තොපිට යහතින් ඉන්න දෙන්නේ නෑ.

පිටව ගිය මාමාගේ තර්ජනය සුළුවෙන් තැකිය නොහැකි වග අප්පච්චීගේ හැසිරීමෙන් පෙනීගියේය.

පුතේ දැන්ම කඩමණ්ඩිය දුවල ගිහින් මේ අඩුම කුඩුම ටික අරන් වරෙන්.

දිගු බඩු ලැයිස්තුවක් මා අත තබන ගමන් අප්පච්චී මුමුණන්නට විය. පෙරලා නිවසට පැමිණෙන විට අප්පච්චී මිදුලේ පහන් පැලක් සකස් කරමින් සිටියේ මා තවත් පුදුමයට පත් කරවමිනි.

ගෙන ආ අඩුම කුඩුම පහන් පැලමත තැබූ අප්පච්චී එදින රාත්‍රියේ බොහෝ වේලාවක් කන්නලව් කරන්නට ඇත. පැදුරේ ඇලවුනු මා හට නින්ද පැමිණෙන තෙක්ම ඒ කන්නලව්ව ඇසෙන්නට විය.

පසුදා අවදිවත්ම මා ගෙල කුඩා සුරයක් පළදා තිබිණි. කිසිදු හේතුවක් මත එය නොගලවන ලෙස අප්පච්චී තරයේ අවවාද කලේය.

එදා පටන් දින කිහිපයක් ගතවූ තැන නිවස පසුපසින් උලමෙකුගේ අදෝනාව ඇසෙන්නට වූයෙන් යම් නරක ආරංචියක් අතලග වගට ඉගි පළකරන්නට විය. දිනෙක නිවසේ ඉදිරිපස දොරට යමෙකු තඩිබාන හඩ ඇසෙයි. එනමුත් කිසිවෙකු පෙනෙන මානයේ නැත.

විටෙක ඉදෙන බත ලේ පැහැ ගැන්වෙයි. තවත් විටෙක යමෙකු යටි ගිරියෙන් බෙරිහන් දෙන හඩින් අප සියල්ලෝම නින්දෙන් අවදි වෙයි. කරුණු කාරනා එසේ සිදුවෙද්දී අප්පච්චී දිනෙන් දින දුර්වල වන්නට විය. අප වටා සිදුවන මෙම අද්භූත සිදුවීම් පෙල පිටුපස මාමාගේ ඍජු සම්බන්දයක් ඇති වග අප්පච්චී තරයේම විශ්වාස කරන්නට විය.

දිනෙන් දින කරදර උග්‍ර අතට හැරෙද්දී අප දැඩි සේ අසරණ වන්නට විය. එය තවත් ප්‍රභල වූයේ අප්පච්චී එක්වරම ලෙඩ ඇදට වැටීම මුල්කර ගනිමිනි.

නෝනේ මගේ පණ කෙන්ද තියෙන්නෙ තව ටික දවසයි. ඒත් උඹල ජීවත් වෙන්න ඕනි. ඒ නිසා කොල්ලවත් අරගෙන ඈතකට පලයන්. මම පුලුවන් විදිහට උඹලව ආරස්සා කලා. තවත් උඹලෑ අයියන්ඩි එක්ක හැප්පෙන්න පුලුවන් කමක් මට නෑ.

අප්පච්චීගේ කතාවට අම්මා එකග නොවූවාය. ඒ වෙනුවට මාද රැගෙන මාමා හමුවට යාමට ඈ තීරණය කලේ පිංසේන්ඩු වී හෝ අප්පච්චීගේ ජීවිතය බේරාගැනීමේ අරමුණ පෙරදැරිව විය යුතුය.

මොකද උඹල හොරගල් ඇහිදින්නේ. වරෙව් පේන මානෙට. මාමාගේ රළු හඩට අම්මාත් මමත් එකග විය.

ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ අසුන් ගත් මාමා අපවෙත පහත් බැල්මක් හෙලන්නට විය.

ළගදීම උඹල එනවග මම දැනන් උන්නා. හ්ම්ම්ම්… උඹලගෙ සැකේ හරි. මමයි උඹේ මිනිහට ඔහොම කලේ. ඌ ඒකට සුදුසුයි. මෙතෙක් උඹේ මිනිහ ඇරෙන්න. මේ ගමේ තබා අහල ගම් හතකවත් එකෙක් මට මන්නයක් මානලා නෑ. ඒ නිසාමයි පහල වත්තෙ ගුරුන්නාන්සේ ලවා විනයක් කටින්න තීරණය කලේ. දැන් තොපිට තේරෙනවද මාත් එක්ක හැප්පුනොත් වෙන දේ.

අපිට සමාව දෙන්න බුදු අයියේ. අපි මේ හැමදේම අතෑරල දුර පළාතකට යන්නම්. මගෙ මිනිහව සනීප කරල දෙන්න.

හහ්… එහෙම එකපාරටම සමාව දෙන්න පුලුවන් වරදක් නෙවෙයි ඌ කලේ. ඒකට ඌ විතරක් නෙවෙයි උඹලත් දඩුවම් විදින්න ඕනි.

අනේ… අපිට එහෙම කරන්න එපා අයියේ

මං කියන විදිහට වැඩ කරපල්ල. එහෙම උනොත් මම ඒ ගැන හිතල බලන්නම්.

මොනවද අපි කරන්න ඕනි.

උඹයි මේ කොලුවයි වළව්වට බැලමෙහෙවරකම් කරපං.

මොක….ද්….ද…..? ඒ කතාවෙ තේරුම අයියේ. මම හරිය කියමුකෝ. ඒත් මේ දරුවට සමාව දෙන්න අයියේ.

උඹට උඹේ මිනිහව සනීප කරගන්න ඕනිනම් මම කියපු විදිහට කරපං. එච්චරයි.

අම්මා මෙන්ම මා තුලද දැඩි කෝපයක් ඉස්මතු වුවද මාමාගේ යෝජනාවට එකග වෙනවා හැරෙන්නට කලහැකි අන් කිසිවක් නොමැති විය. කාලය දින සති මාස ගණනින් ගෙවී ගොස් වසර දෙකක් ගතවන්නට ඇත. ඒ වනවිට අම්මාත් මමත් වළව්වට කඹුරා හෙම්බත්ව සිටියද අප්පච්චීට සුළු ගුණයක්වත් ලැබී නොතිබිණි.

යම් දිනෙක මේ දුක් කම්කටෝළු නිමවී යහපත් කලක් ලැබේවි යන ප්‍රාර්ථනය හැරෙන්නට අපට අප පවා අහිමිව ගොස් තිබිණි. මේ සියල්ලටම වඩා අනෝමාගේ ප්‍රතික්ෂේප කිරීම මා හට දැඩි වේදනාවට කරුණක් විය.

ඇතමුන්ට රාත්‍රිය සුන්දර වුවද ගරාවැටුනු බිත්ති හතරට කොටුවූ මටත්, අම්මා හා අප්පච්චීටත්, එය අසුන්දර අද්දැකීමක් වූයේ යටකී අද්භූත බලවේගයන්ගේ කෙණහෙලිකම් තවදුරටත් පැවතීම හේතුවෙනි.

මට මැරිල යන්න දීපල්ලා……

කල් යත්ම අප්පච්චී ඔහුටම වෛර කරගන්නට විය. දිනෙන් දින උග්‍ර වූ ඒ අදෝනාව කටුමැටි බිත්ති වලින් පිටතට නොඇසුනා යැයි කිවහොත් එය මුසාවකි.

අනෝමා හදිසියේම අතුරුදන් වන්නේ මේ අතරතුරය. අතුරුදන්වී දින ගණනාවක් ගෙවී ගියද ඈ පිළිබද කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ පසුබිමක මාමාගේ අවදානය අප කෙරෙන් ගිලිහී යන්නට විය.

මේ පිලිබද අප්පච්චීගේ කන තබත්ම ඔහුගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මෙතෙක් මාමාගේ පවුලට දොස් දෙවොල් තැබූ අප්පච්චී අනෝමා පිලිබද දැඩි සේ දුක් වන්නට විය.

අකුණු පුපුරමින් වැසි ඇදහැලුනු දිනයක මා වළව්වට කොටුවූයේ පෙරලා නිවසට යාමට නොහැකි වීම හේතුකොට ගනිමිනි. වෙනදා මා සමග තනියට සිටි අම්මා එදා වේලපහින්ම ගෙදර ගියේ අප්පච්චී නැහැවීමට උවැසි වූ හෙයිනි. ටිකෙන් ටික වැස්ස තද වෙද්දී නැන්දාගේ අවසරයෙන් මා කුස්සි මුල්ලේම රැය පහන් කිරීමට තීරණය කලෙමි.

මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම එතෙක් පැවති වරුෂාව හිරිපොද වැස්සක් දක්වා බාල වී ගියේය. පිළිකන්නේ ජනේලය අසල යමෙක් කොදුරන හඩින් නින්දත් නොනින්දත් අතර සිටි මා අවදි වීමි.

හාමු මහත්තයා අද තමයි දවස තවත් සුනංගු වුනොත් අපි පරාදයි.

හ්ම්…. ඉස්සර වෙයං.

වචනයේ පරිසමාප්තියෙන්ම එහි සිටි අයෙක් මාමා වන වග මා නිශ්චිත කරගත්තේ කටහඩට වඩා හාමු මහත්තයා යන ආමන්ත්‍රණයෙනි. රෑ ජාමයේ එලියට බැසීමට මා අපමණ සේ බිය වුවත් යට කී කතාබහ කුමක් අරඹයා පැවතියේද යන කුතුහලය මා ශක්තිමත් කරවීමට සමත් විය.

රහසිගත කතාබහ තරමක් ඈත්වන තෙක් නිහඩව හුන් මා පසුපස දොර විවෘත කලෙමි. කෑලි කැපිය හැකි ඝණ අදුරේ තරමක් දුරින් විදුලි පන්දම් ආලෝකයක් දැකගත හැකිවිය.

ගත කිළිපොලා යන සුළගත්, හිරිපොද වැස්සත්, එක් කල සීතලෙන් බැටකමින් මා ඔවුන් පසුපස ලුහුබදින්නට වීමි. අඩ හෝරාවක පමණ ගමනකින් පසුව යට කී ආලෝකය යම් ස්ථානයක නතර විය. එය ගල්ලෙනක් බව මා අවබෝධ කොටගත්තේ ඇතුලතින් දැල්වුන පන්දම් කිහිපයක් හේතුවෙනි.

ඒ ආසන්නයේ ගලකට මුවා වූ මාහට මාමා මෙන්ම අනෙක් පුද්ගලයාද පැහැදිලිව දැකගත හැකිවිය. ඔහු යකැදුරෙකු බව හැද සිටි ඇදුම් ආයිත්තම් වලින් අවබෝධ කරගත හැකිවිය.

ඇතැම් විට අප්පච්චීට විනයක් කටින්නට ඇත්තේද මොහු විය යුතුය. මොන මොනවාදෝ කෙදිරූ දෙදෙනා පසෙකින් තිබූ ගලක් ආයාසයෙන් තල්ලු කරන්නට විය. ඒ හා සමගම ගල පසෙකට තල්ලු වී දොරක් සේ විවර විය. විශාල පොල්ලක් සියතට ගත් මාමා දොර වැසී යාම වැළැක්වීමේ ඇටියෙන් එය මුක්කුවක් සේ ඇණ තැබීය.

ඔවුන් එතුලට ඇතුලුවන විටම මා විවර වූ දොර ආසන්නයටම ළංවූයේ ඇතුලත සිදුවන දේ සියැසින් දැකබලාගැනීම අරමුණු කොට ගනිමිනි. පන්දම් කිහිපයක පිහිටෙන් ආලෝකමත් වූ ගුහාව පුරා ආහාර බදුන් කිහිපයක් හා විශාල පිදේනි තට්ටුවක් දැකගත හැකිවිය.

තරමක් එහායින් පුටුවක් මත හිදගත් අදුරු ජායාවක් මා නෙත ගැටෙන්නට විය. මා දුටුවේ කුමක්ද? මාගේ දෑස් මා හටම වංචා කරනවාදැයි සිතන තරමටම දුටු දර්ශනය විශ්වාස කිරීමට මා මැලි වීමි. දෑස් අදුරට හුරුවත්ම ඒ රුවේ හිමිකාරිය අනෝමා වග හදුනා ගැනීමට මා හට හැකිවිය.

සිහිසුන්ව සිටි ඈ පුටුවකට තබා බැමි කිහිපයකින් වෙලා තිබිණි. තවදුරටත් ඒ දෙස බලාසිටි මාගේ අවදානය මාමාගෙන් ගිලිහී යන්නට ඇත. රළු අතකින් ගෙල ප්‍රදේශය තදවත්ම මා බෙරිහන් දෙන්නට වීමි.

අ……නේ……. එපා……..

එපා…… තෝ හොර අල්ලන්න ආවද බොල. පොඩි කමට නෙවෙයි මුගෙ වැඩ. වර මෙහෙට.

මාමාගේ රළු හඩ සමග මොනවාදෝ මාගේ නාසය ස්පර්ෂ වනවා මතකය. එතැන් පටන් සිදුවූයේ කුමක්ද යන්න මාගේ මතකයේ නැත.

මා අවදි වූයේ වේගයෙන් මතුරන ශබ්දයත්, දුම්මල දල්වන ආලෝකයත් සමගය. මාගේ දෑත් තදවන සේ බැමිවලින් වෙලා තිබිණි. ඉන් මිදීමට දැඩි උත්සාහයක නිරත වුවද එය නිශ්ඵල වූ තැන සිදුවන්නේ කුමක්ද යන්න දෑස් අයා බලාසිටිනවා හැරෙන්නට මා හට කලහැකි අන් කිසිවක් නොමැති විය.

වටා සිදුවන සිදුවීම් මලාව ඔස්සේ මාමා නිධානයක් ගැනීමට උත්සාහ කරන බව තේරුම් ගැනීමට මා හට වැඩි වේලාවක් ගතවූයේ නැත. එමෙන්ම අනෝමාගේ අතුරුදන්වීම මාමාගේ නොදැනුවත්කම මත සිදුවූවක් නොවන වගද ඒ වනවිටත් මා හට තහවුරු වී අවසන්ය.

හෝරා කිහිපයක ජප කිරීමෙන් අනතුරුව යකැදුරා කඩුවක් රැගෙන සිහිසුන් අනෝමා අසලට ළංවිය. සිදුවන්නට යන අපරාධය තවදුරටත් සියැසින් බලා සිටින්නට නොහැකි වූයෙන් මා දෑස් පියාගැනීමට තැත් කලෙමි. මාමාගේ මුහුනේ වේදනාවකට වඩා බලාපොරොත්තු සහගත බවක් ඔප්නැවී තිබිණි.

ඊළග මොහොතේ දැල්වෙමින් තිබූ කළු පැහැති පහනක් සහිත මංජුසාවක් විවෘත වූයේ යකැදුරාගේ කඩු පහරින් දිවි හැරගිය අනෝමාගේ රුධිරයෙනි.

පහන දෙස මාමා මෙන්ම යකැදුරාද හෙලුවේ කෑදර බැල්මකි. පහනක් වෙනුවෙන් සිය එකම දියණියගේ ජීවිතය විනාශ කල මාමා පිළිබද මා සිතේ පිළිකුලක් පැන නගින්නට විය.

මගේ උරුමේ…… මෙච්චර කාලයක් මම බලාගෙන හිටියෙ කළු පහන මගේ අතට ගන්න. දැන් මට අභියෝග කරන්න පුලුවන් ජගතෙක් මේ ගමේ තියා රටේවත් නෑ.

හාමු මහත්තයා දවල් හීන දකිනවා වගේ. මෙච්චර අමාරු කාරියක් කරල කළු පහන පාදගත්තේ උඹට පූජ කරන්න කියල හිතනවනම් ඒක මෝඩකමක්.

හහ්….. අන්තිමට උඹ ඔහොම කතාවක් කියයි කියල මම හිතුවා. මගේ හුස්ම වැටෙන තුරාවට කළු පහන පිට එකෙක්ට අයිතිවෙන්න දෙන්නේ නෑ බොල.

මාමා අවසන් වචන කිහිපය පිටකලේ සිය ඉණ රැදි කිනිස්ස පිටතට ගනිමිනි. එතැන් පටන් දෙදෙනා අතර මාරාන්තික සටනක් ආරම්භ විය. අත රැදි ආයුධ වලින් දෙදෙනාම එකිනෙකාට හානි කරගනිද්දී මා ගෙල රැදි සුරය ගිණියම් වන වග මා හට හැගෙන්නට විය. තත්පර කිහිපයකින් එය ගැලවී වැටුනේ මා බැද තිබූ බැමි කිහිපයද ගලවා දමමිනි.

තියුණු කිණිසි පහරකින් යැකැදුරා මැරී වැටෙද්දී මාමාද නැගිට ගැනීමට නොහැකි තරම් දුර්වලව සිටියේ ඔහුගේ සිරුරේද තියුණු කැපුම් පහර කිහිපයක් පැවති හෙයිනි.

ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් මා පිටවූයේ යටකී උරුමයද දෑත් අතර රදවා ගනිමිනි. ගල් දොර පසුකර යනවාත් සමගම මාමාගේ වෙහෙසකර කටහඩ මාගේ දෙසවන් ස්පර්ශ කරන්නට විය.

ව…..වතු….ර….. ටි….ක……ක්…..
පු…..තේ… උ….ද…..ව්…..

අප්පච්චී ඇදකට සීමා කල, මගේත් අම්මාගේත් ජීවිතය කාලකණ්නි කල ඔහුගේ ආයාචනයට සවන් දීමට තරම් ඒ මොහොතේ මා සිත මෘදු වූයේ නැත. දොරට තබා තිබූ ලී මුක්කුව පෙරලා දැමීමට තරමේ වෛරය සිතතුල ඇවිලෙද්දී වැසී යන දොරටුවෙන් මාමාගේ අවසන් කෙදිරිල්ලද නික්මෙන්නට විය.

මා දෑත් අතර රදවාගෙන ආ කළු පහන එදා පටන් අප පැල්පතේ බුදුරුව ඉදිරියේ දැල්වුනේ මුලු මහත් නිවසම ආලෝකමත් කරමිනි. සැබෑවකි, ඒ ආලෝකය දිනෙන් දින අප ජීවිතද බබළවන්නට විය.

ගෙවීගිය වසර පනහක කාලය පුරාවට යට කී සිදුවීම හැරෙන්නට මා සිත කැළඹූ වෙනත් සිදුවීමක් ඇතැයි කිව නොහැකි තරම්ය. එනමුදු යහපතට මෙන්ම අයහපතටද එකසේ යොදාගතහැකි කළු පහන වැරදි අයෙකු අතට පත්වෙතැයි යන අනියත බිය මා සිත තුල හොල්මන් කරන්නට විය. එයම කරණ කොටගත් මා කළු පහන උපන් පොලෝ කුහරයටම නැවත බාර කිරීමට තීරණය කලෙමි.

මතකයන් මා ගමනාන්තය දක්වා රැගෙනවිත් අවසන්ය . කළු පහන ප්‍රබන්ධයක් නොවන වගට අද මා ගෙවන සැපවත් ජීවිතය සාක්ෂියකි. එහෙත් ඒ සැපවත් බව තුල මාමාගේ අවසන් අදෝනාව සෑම රාත්‍රියකම නින්ද මා කෙරෙන් උදුරාගෙන තිබිණි. ලෙන් දොරට බරදුන් මගේ මුවින් සැනසුම් සුසුමක් පිටවූයේ ඇතැම් විට එම කථාංගයේ අවසාන මෙසේ සනිටුහන් කල නිසා විය යුතුය.

නිමි !

Advertisment