අදට තුන් මාසයක්. මගේ 3 වෙනි ආදර අන්දරේට තිත තියලා. හැමදාම නැතත් සතියකට කෝල් 2 කින් විතර සැනසෙනවා. තාමත් නුහුරු නිසා වෙන්ට ඕනේ. මටනම් එහෙමයි. එයාට නැති උනාට. අද ජොබ් එකේ නිවාඩු දවස. හිතුනා පොඩි ගමනක් යන්න. ඉස්සර සතියකට දෙපාරක්වත් ගිය පාරක. අට නවයේ කටු පනිනකම් මං කාබරේට වෙලා කකුල් වන වන හිටියේ. තෙරපි තෙරපි යන්න ගමණක් නෙමෙයි නේ මේක.

9.45 යි දැන් ඉතින් පහේ බස් එකක් එනකන් මම සුගතදාසගේ බස් ස්ටෑන්ඩ් එකේ. කැළණියට යන කැම්පස් කෙල්ලෙක් පශ්චාත් තාපය හිර කරගෙන මගේ දකුනෙන්. වමේ ඒකට පැණි හලන කටුනායක ගාමන්ට් කොල්ලෙක්. උන් දෙන්නව එක පැත්තකට කරලා මම ඉස්සරහට ගියා. මම ඔය කැටයම් කපලා ඉවරයි.

දැන් ඇති. අහක බලා ගත්තේ තාම මටත් හිතක් තිබ්බ හින්දා. විනාඩි කිහිපයකට පස්සේ මම හිටියේ 5හේ බස් එකක. මතක් වෙනවා මේ බස් එකේ නටපු නැටුම්. කොච්චර නටලා තියෙනවද කියනවනම්, කොන්දා ටිකට් කැඩුවේම ගෑණි ගැන අහගෙන.

” කෝ අද මිස් නෑ… එක්කන් එන්නද යන්නේ…”
” ආ… ඔව් ඔව්….”
” මං දැක්කෙත් නෑ මේ ටිකේ සර්ව. මිස්ව නම් හම්බුනා.”
“ආ… එහෙමද…? මම ට්‍රේනින් එකකට රට ගිහින් හිටියේ…”
” ආ… ඒක තමයි…”

මුටත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ. යකෝ…. කෙල්ලවත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නෙ මෙයා කොළඹ ඇවිත් තියෙනවා.කොහෙද දන්නේ නෑ ගියේ… ස්කෝලෙටවත් ද? නැත්තම් අලුත් කොල්ලා බලන්න ආවද දන්නේ නෑ…

” අයියේ… අපි බඳිමු….? “
” බඳින්න. හා හා බඳිමු. “
” අද… මේ දැන්… “
“මේ බස් එකේ… පිස්සු හැදීගෙන එනවද…? “


” නෑ නෑ අපි දඹදෙනියෙන් බහිමු. මම දන්න රෙජිස්ට්‍රාර් කෙනෙක් ඉන්නවා. එයාව අල්ලගමු. සාක්කියට කොන්දා අයියවයි ඩයිවර් අයියවයි ගමූ…. උන් දෙන්නා පැනලා එයි මම කීවොත්.”


” එතකොට ඔයා කියන්නේ මේ බස් එකේ මිනිස්සු ඉදිද්දී මේ බස් එක කුරුණෑගල යද්දී ඒකේ තව මිනිස්සුන්වත් තියාගෙන ඩ්‍රයිවරයා එයි කියලද අපේ මගුලට අත්සන් කරන්න…?”


” ඔව් එනවා… මම නේ කියන්නේ… මොකද ඔයා කැමතිද..?”


” හැබැයි මම කැමති උනොත්. ගිහින් කතා කරන්න ඕනේ ඔයා කොන්දටයි ඩ්‍රයිවරයටයි. හරිද…?”


” හරි මම කතා කරන්නම්. ඔයා කැමතිද කියන්නකෝ… අනේ අනේ…. හා කියන්නකෝ…”


” හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා…. රුපියල් පන්දහක් ඕනේ දැන් රෙජිස්ටේෂන් එකට. මං ගාව එච්චර සල්ලි නෑනේ. “
” ඒක අපි බස් එකේ ඉන්න අයගෙන් ඉල්ල ගමූ…. ඔයා කැමතිනේ… හරී… මම ගිහින් කතා කරන්නම්.”
” පොඩ්ඩක් ඉන්න නංගි පිස්සුද ළමයෝ. අප්පේ… ඉවරයි… මගේ සායම…”

නංගි ගිහින් ඩ්‍රයිවර්ටයි කොන්දටයි මේ ගැන කියනවා මම බලාගෙන හිටියා. ඊට පස්සේ නංගි අනික් පැත්ත හැරිලා බස් එකේ පිරිලා හිටපු අයටත් කතාව කිව්වා. හැමෝම මං දිහා බලලා හිනා උනේ නිකන් සුද්දෙක් බස් එකට නැග්ග ගානට. හැමෝම අත්පුඩි ගැහුවා. මට ළඟ හිටපු කොල්ලෙක් සුභ පැතුවා. නංගිත් දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තා.

” ඔන්න හරී… බස් එකේ අයත් කැමතියි. අපි බඳින්නයි යන්නේ…”


” පිස්සුද ළමයෝ… මේ මිනිස්සුන්ට ත් පිස්සු. දැන් මොකද ඩ්‍රයිවර් අයියා කිව්වේ. “


” දැන් කෙලින්ම බස් එක නවත්තන්නේ දිවුලපිටියේ. එයා දන්න කෙනෙක් ඉන්නවලු. අපි දෙන්නා එතනට ගියා රෙජිස්ට් උනා. ආයේ බස් එකේම නැග්ගා. ගෙදර ගියා. එච්චරයි…”


” මෝඩියේ මේ බස් එකේ මිනිස්සු… උන්ට වෙන වැඩ නැතුවද මේ මගුලක් බලන්න කැමති උනේ…”


” ඒවා මම දන්නේ නෑ. ඔන්න ලෑස්ති වෙන්න. මනමාල මහත්තයා ලස්සනට ඉන්න එපැයි. කෝ ඉන්න මම කොන්ඩේ ටිකක් පීරන්න.”


” මේ මට මෙහෙම හොඳයි. ඔයා කොණ්ඩේ පීරගන්න. අනේ මන්දා නංගි සිරාවටම අපි බදිනවද එතකොට….?”


” අයියේ ඔයා පොඩ්ඩක් මෙහෙට එන්න. මේ ඔය ජැකට් එක දෙන්න මෙයාට. අතනට ගිහින් ආපු ගමන් දෙනවා.”
“ආ.. හරි අවුලක් නෑ නංගි ලෑස්ති වෙන්න මම මෙයාව ලෑස්ති කරලා ගන්නම්.”

බස් එක නැවතුනේ දිවුලපිටියෙ රෙජිස්ට්‍රාර්ගේ කාර්‍යාලේ ඉස්සරහ. බස් එකේ අයියත් අමුතු හෝන් එකක් ගහලා බස් එකේ හෑන්ඩ් බේක් ගැහුවා.

” එන්න එන්න අපේ අලුත් ජෝඩුව බහින්න බලන්ඩ ලස්සනට…”
” කුමාරයෝ… ගිහින් රෙජිස්ට්‍රාර් මහත්තයට කියලා එතන ලෑස්ති කරලා ගනින්… මේ ඔය බස් එකේ කට්ටියත් පොඩ්ඩක් බැහැලා එන්න. “

මම බස් එකෙන් බැස්සේ අනුන්ගේ ජැකට් එකකුත් දාගෙන. පොඩ්ඩක් හිර උනත් ඒක ලස්සනට තිබ්බා. ඒක දීපු එකා මට ඉස්සරහින් ඇවිත් ෆෝන් එකෙන් ෆොටෝ ගහනවා හෝ ගහලා. තාම නංගිව දැක්කේ නෑ. බස් එකේ ගෑණු වටකරගෙන කෙල්ලට මෙච්චර මොනා ඇන්දනවද මන්දා ඔච්චර.

” යං යං… මනමාල මහත්තයා ඉස්සර වෙලා යං. නෝනා එයි. “

වයසක පහේ සියා කෙනෙක් බුලත් විටක් කටේ තියාගෙන මට කිවේ. මමත් ගියා. ටික වෙලාවකින් මං ලඟ ඇවිත් හිට ගත්තේ මාත් එක්ක බස් එකේ හිටපු නංගිම නෙමෙයි. යකෝ මේ හදිස්සියේ මේකිට කොහෙන්ද දිග සායක්. කෝ මේකගේ ඩෙනිම. මම උඩ ඉදන් බිමටම බැලුවා. යකඩෝ කොන්ඩේ මල් වැලකුත් ගහලා. මම පුදුමෙන් බලන් ඉදිද්දී වටේ උන් මට හිනා උනා.

” එහෙනම් අපි වැඩේ පටන් ගමු නේ.. හරිනේ…”

එහෙම කියලා රෙජිස්ට්‍රාර් මහත්තයා වැඩේ පටන් ගත්තා. ටික වෙලාවකින් පොතෙත් අත්සන් කරන්නයි කියලා මට කියනවා. මේ හදිස්සියේ කසාදයක් බදින්න. මොන විකාර වැඩක්ද..? අනික මේ මිනිස්සුන්ටත් වෙන් වැඩක් නැද්ද?

” දැන් මම කිව්වට පස්සේ කියන්න.”
“තරිඳු පෙරේරා වන මම මෙහි සිටින, රිද්මි අමර්සිංහ වන අය මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් භාර ගන්නා බවට මෙහි සිටින සියළු දෙනාට සාක්ෂි දක්වමි. වාසනා වත් කාලයේද ආවාසනාවත් කාලයේද දුර්භික්ෂයේ ද මා ඇයට විශ්වාසදායක වෙමි. “

මෙහෙම මමත් නංගිත් කිව්වට පස්සේ සාක්කියටත් බස් එකේම දෙන්නා අත්සන් කරලා අපිට සුභ පතන්න ගත්තා. බස් එකේ කට්ටියම. රෙජිස්ට්‍රාර් ට සල්ලි දුන්නෙත් ඩ්‍රයිවර් අයියා.

” කෝ දෙන්නා කිස් එකක් දෙන්න. කො කෝ…”

පොටෝ ගහන කොල්ලා එහෙන් කෑගද්දී මගේ මූණ අල්ලගෙන තද කරපු හාද්දක් දුන්නේ නංගි. අපි ඒ කාර්‍යාලයෙන් එළියට එනකොට පැත්තකින් රතිඤ්ඤා පුපුරනවා. මේක මගුලක්ම තමයි. බස් එකේ උන් දිවුලපිටිය හන්දිය දෙවනත් කරන්න කෑගැහුවා. පොලට බඩු ගන්න ආපු මිනිස්සුත් වට වෙලා බලන් ඉද්දී. නංගි නම් මූණ පුරාම ලොකු හිනාවකින් මගේ දිහා බලන් හිටියා.

අනේ ඒ කෙල්ල දැන් මගේ ගෑණි… මොනා උනත් ආදරේ තව වැඩි වුණා විතරයි. පොලෙන් ගත්ත කරපිංචා මිටියක් දිග රම්පේ කෑල්ලකුත් එක්ක. ඒක තමයි නංගිගේ මල් බොකිය. කොළඹ කුරුණෑගල පහේ බස් එක තමයි අපේ මංගල රථය. මම ජැකට් එක අතට අරන් බොහොම උජාරුවට ඒ වගේම හරිම සතුටින් පහලට බැස්සේ නංගිගේ අත මගේ අතේ රදෝගෙනමයි.

” ඔතන ඉඳන් බස් එකට උස්සගෙනයි යන්ට ඕනේ පුතේ…”

අර බුලත් හපේම මට කියන්න උනා. මම එක පිම්මට නංගිව උස්සන් බස් එකට නැග්ගා. පූජක පක්ෂෙට වෙන් කටපු ශීට් එකේ අපි දෙන්නට ඉන්න කියලා. බස් එක එක එක විදියේ තාල දාපු හෝන් ගහගෙන දිවුලපිටියෙන් ආයේ පිටත් උනා. බස් එකේ ඉස්සරහ කට්ටිය නැති උනාට පිටිපස්සේ කට්ටිය මොනවදෝ කරන බවක් දැනිලා මම පස්සට ගියා.

මේන් මුන් කේක් එකකුත් අරන්. දැන් කපන්නලු. නංගි මගේ අත අල්ලගෙන කේක් එක කැපුවේ කොන්දා කේක් එක අල්ලන් ඉන්න අතරේ. බස් එකේ හැමෝටම කන්න බොන්න බිස්කට් කේක් මෙගා බීම තියෙද්දී. ඩ්‍රයිවර් අයියා මහ සද්දෙට සින්දුවක් දැම්මේ අලුත බැදපු ජෝඩුවට නටන්න කියන ගමන්.

” මහත්තයා. මහත්තයා. මහත්තයා…. හිනාවෙවී පට්ට හීනයක් දැක්කා වගේ. මොකෝ බදින දවසවත් හීනෙන් දැක්කද…? බහින නැත ට ආවා. බැහැගමු..”

” ආහ්.. මොකක්ද…? ඔව් බං ඇත්තටම දැක්කෙ ඒක තමා. “

මම නංගිගේ ගෙවල් පාරට හැරෙන තැනින් බැහැගත්තා. එතන තිබ්බ ලයිට් කණුවට ටිකක් හේත්තු වෙලා මම කල්පනා කලේ. යකෝ මට මොකක්දේ උනේ කියන එක. කොහොම උනත්. ඒ වගේ මගුලකට මම කැමතී. බස් එකක මගුලක් ගන්න එක මාරම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා මටම හිතුණා. කවුරුත් නොකරපු වැඩක් නේ.

මේක කියන්න ඕනේ නංගිට. මම එහෙම්මම ෆොන් එක ඇදලා ගත්තේ නංගිට කෝල් එකක් දෙන්න. කන්ටැක් ලිස්ට් එකේ නංගිගේ නම නැති වෙනකොට මම ෆෝන් එක අනික් පැත්ත හරවලා බැලුවේ මේ මගේ ෆෝන් එකද කියලා. නම්බරේ ගහලා කෝල් කලහමයි මට මතක් උනේ. මම දැන් නංගිව අත ඇරලා මාස තුනක් කියලා.

“උඹට නම් මොකද නංගි. දැන් කොල්ලෙකුත් ඉන්නවා නේ. මට තාම මේ මගුල අත ඇරගන්න බෑ බං. “

පාර පැනලා ආයේ පහේ බස් එකක එල්ලුනේ හීනේ කන්ටිනිව් වෙන්න කියලා හිතාගෙන.

හිතට දැනුණු දේවල් වචන වෙන්නේ හරිම අඩුවෙන්…
මේ තියෙන්නෙ හරිම චුට්ටයි…
ආදරේ හැටි එහෙමයි….

නිමි

Advertisment