රාත්‍රි කාලයක බීමත්ව සිය යතුරු පැදියෙන් ප්‍රධාන මාර්ගයක පැමිණි පුද්ගලයකු මාර්ගයේ පාලමක් ඉදිකරන ස්ථානයක වාහන හසුරුවමින් සිටි සේවකයකුට පොලිස් නිලධාරියෙකු යැයි සිතා සංතෝෂම් මුදලක් සේවකයා අත තබා එම ස්ථානයෙන් පිටව ගිය බව කියැවෙන පුවතක් වාර්තා වේ.
එය වාර්තා වන්නේ වයඹ පළාතේ ප්‍රධාන නගරයකට නුදුරු ස්ථානයකිනි. එම පුවත සැකවින් මෙසේය.
එය වයඹ පළාතේ පිහිටි ප්‍රධාන මාර්ගයකි. එම මාර්ගය කාපට් කිරීම සිදුකරනු ලබමින් පැවති අතර එය සිදුකරනු ලැබුවේ කොන්ත්‍රාත් සමාගමක් විසිනි. කාපට් කිරීම බොහෝදුරට අවසන්ව තිබූ අතර මේ දිනවල මාර්ගයේ අබලන්ව ඇති පාලම් හා බෝක්කු වෙනුවට අලුතින් පාලම් හා ඉදිකිරීම් සිදුවෙමින් පවතී.
නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරකින් පිහිටි ස්ථානයක අබලන් වූ පාලමක් වෙනුවට නව පාලමක් ඉදිකෙරෙමින් පැවති අතර එදින රාත්‍රී 10ට පමණ සමාගමේ සේවක පිරිසක් පාලමට කොන්ක්‍රිට් දැමීමේ නියැලී සිටියහ.
එක සේවක මහතෙක් කහ පැහැති ඇඳුමකින් සැරසී හිස් වැසුමක්ද පැළද අලුතින් ඉදිකරන පාලමට මීටර් 100ක පමණ දුරකින් වාහන හැසිරවීමේ යෙදී සිටි අතර ඔහු තරමක වේගයෙන් පැමිණි යතුරුපැදියකට නවතන ලෙස සංඥා කරනු ලැබුවේ ඉදිරියෙන් එන වාහනවලට යෑමට ඉඩ දීම සඳහාය.
යතුරුපැදියේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය නවතා සේවක මහතා අසලට පැමිණ ලියුම් කවරයක් ඔහු අත තබා වහා එම ස්ථානයෙන් පිටව ගියේ මෙසේ ද පවසමිනි.
‘‘සර් මම යාළුවෙකුගේ වෙඩින් එකකට ගියා, පරණ යාළුවෝ ගොඩක් හම්බ වුණා. ඉතින් ටිකක් බීවා. දඩ ගහන්න නම් එපා. මේක තියාගන්න.’’
ලියුම් කවරය විවෘත කළ සේවකයාට එහි දක්නට ලැබුණේ රුපියල් 1000 අලුත්ම නෝට්ටුවකි.