දැන් අඩලා පලක් නෑනෙ මයෙ දුවේ. හිත හදා ගන්න බලන්න.හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයිනෙ…….”
අම්මා මගේ ඔලුව අතගාමින් එලෙස කිව්වත් මං කොහොමද දෙයියනේ හිත හදා ගන්නෙ?මගෙ මුලු ජීවිතේම බොරුවකට රැවටීමකට යට වෙලා ඉවරයි.ආපහු ගෙදර යන්නත් බැහැ.
“මං කොහොමද අම්මෙ හිත හදාගන්නෙ? දෙයියනේ මං හීනෙකින්වත් හිතුවෙ නැහැ පූර්ණ කසාද බැදලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා.ඒ කසාද ගෑනි මැරුනා කිව්වට මට ඒක විශ්වාස කරන්න බැහැ……..”😭😭
“අපි කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා දුවේ.ඒත් දැන් මොනවා කරන්නද?අපි මේ මිනිස්සුන්ගෙ බොරු වලට අහුවුනානෙ…….”
“මට බයයි අම්මෙ.පූර්ණ මට මෙහෙම කරයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ…….”😢😢
“අමාරුවෙන් හරි හිත හදාගන්න බලන්න දුවේ.දැන් කාලා ඉන්න.අපිත් ගෙදර යන්න ඕනි…….”
අම්මයි තාත්තයි ගෙදර ගියා.මං බාතෲම් එකට ගිහින් නා ගත්තා.
මගෙ නම සේනානි අහිංසා කුමාරසිංහ.
මගෙ අම්මා ජයනි කුමාරසිංහ.මගෙ තාත්තා ජානක කුමාරසිංහ.මීට අවුරුදු දහයකට කලින් මගෙ අම්මා මැරුනේ අපේ ගමට ගංවතුර ගලපු වෙලාවෙ ඇගට ගහක් කඩන් වැටිලා.එතකොට මට අවුරුදු එකොලහයි.ඒ වෙනකොට මං ලොකු ළමේක් වෙලාවත් නැහැ.අම්මගෙ මරණෙන් අවුරුද්දකට පස්සෙ තාත්තා කුඩම්මාව අපේ ගෙදරට මනමාලියක් කැන්දන් ආවා.කතන්දර පොත් වලින් නපුරු කුඩම්මලා ගැන මං අහලා තිබුනු හින්දා මං හිතුවේ මේ කුඩම්මාත් ඒ වගේ නපුරු දුශ්ට ගෑනු කෙනෙක් කියලා.ඒත් මං හිතපු විදිය වැරදියි කියලා කාලයත් එක්කම මට තේරුනා.තාත්තාටත් වඩා කුඩම්මා මට ආදරේ කරා.මගේ පාඩම් වැඩ පන්ති වැඩ කෑම බීම ගැන කුඩම්මා හොයලා බැලුවා.කවදාවත් මට කිසිම දේකින් අඩුවක් කරේ නෑ.අවුරුදු දෙකකට පස්සේ කුඩම්මාට පුතෙක් ලැබුනා.මට හිතුණා තමන්ගේම දරුවෙක් ලැබුනාට පස්සෙ කුඩම්මාගෙ හිතේ මට තිබ්බ ආදරේ නැති වෙයි කියලා.ඒත් එහෙම වුනේ නැහැ.කුඩම්මා හැමදාම මට එයාගෙම කුසින් වදාපු දරුවෙකුට වගේ සැළකුවා.ඉතිං මාත් කුඩම්මාට මගේම අම්මට වගේ සලකලා අම්මේ කියලා කියන්න පටන් ගත්තා.
පෙරේදා මගෙයි පූර්ණ එදිරිමාන්නගෙයි කසාදෙ තිබුනා.එක දිනකට සීමා වුනු කසාදෙ අද තමයි පූර්ණ මාව එයාගෙ ගෙදරට කැන්දන් ආවෙ.ඒ ඇවිල්ලා පූර්ණ කෙලින්ම ගියේ ගේ ඇතුළේ තිබුනු වෙන කාමරේකට.පූර්ණගේ කාමරේ තියෙන්නේ උඩ තට්ටුවේ කියලයි පූර්ණ මට කියලා තිබුනේ.පූර්ණගේ පිටි පස්සෙම මාත් ඒ කාමරේට ගියා.ඒ කාමරේ ලා රෝස පාට නෙට් එකක් ඇතුලේ පුංචිම පුංචි දරුවෙක් ගුලි වෙලා නිදාගෙන හිටියා.පූර්ණ ඒ දරුවව හරහට වඩා ගත්තා.
“සේනානි….මේ මගේ දුව.එයාට තාම මාස හතරයි……”
එහෙම කියලා පූර්ණ මට ඒ හැම දෙයක්ම කිව්වා.පූර්ණ කලින් කසාද බැදපු ගෑනි මහ ජරා ගෑනියෙක්ලු.මිනිස්සු දෙතුන් දෙනෙක් එක්කම යාලු වෙලා හිටපු ඒ ගෑනි පූර්ණව කසාද බැදලා තියෙන්නේ දේපල තණ්හාවටලු.දරුවා ලැබෙන්න ඉන්න කාලෙ පූර්ණගෙ වයිෆ් මිනෝලි ඒ දරුවා නැති කරන්න සෑහෙන්න උත්සහ කරාලු.ඒත් පූර්ණ නිසා මිනෝලිට ඒක කරගන්න බැරි වෙලා.දරුවා ලැබුනට පස්සෙ මිනෝලි හොස්පිටල් එකෙන් පැනලා යන්න ගිය වෙලාවෙ හොස්පිටල් එක ඉස්සරහ පාරෙ ආපු කන්ටේනර් එකක හැප්පිලා එතනම මැරිලා.දරුවට අම්මා කෙනෙක් ඕනි හින්දා පූර්ණගේ අම්මයි තාත්තයි ගෙනාපු මේ යෝජනාවට පූර්ණ අකමැත්තෙන් හරි කැමති වෙලා.
“සේනානි….සේනානි මෙච්චර වෙලා මොනවද බාතෲම් එකේ කරන්නේ?……”
පූර්ණගේ කටහඬට මං ගැස්සිලා වගේ ගියා.මෙච්චර වෙලාවක් මං හිටියේ අතීතය සිහිපත් කර කර.ඉක්මනින් තුවාය ඇදගත්තු මං බාතෲම් එකෙන් එලියට ආවා.
“තමුසෙ බාතෲම් එකේ මොනවද මෙච්චර වෙලා කරේ.මට රිටන් එක දෙන විදියක් ගැනද කල්පනා කරේ?…….”
“න්..නෑ පූර්ණ.මට ගෙදර මතක් වුනා…….”
“හ්ම්ම්.එහෙනම් කමක් නෑ.මොකද තමුං ආපහු ගෙදර ගියත් වැඩක් වෙන්නෙ නෑ. තව මිනිහෙක් එක්ක යන්න තමුසෙට බෑනෙ…….”
මට තේරෙනවා පූර්ණ හදන්නේ මගෙන් පලි ගන්න.මිනෝලි හින්දා පූර්ණට මුලු ගෑනු සංහතියම එපා වෙලා වගේ.ඒත් හැම ගෑනිම එක වගේ නෙවෙයි කියලා මං කොහොමද පූර්ණට තේරුම් කරන්නෙ?
“මං ආපහු ගෙදර යන්නෙ නෑ පූර්ණ…….”
“කාලා එනවා දැන්…….”
“ඔයා කෑවද පූර්ණ?…….”
“මං කෑවා.තමුසෙ ගිහිල්ලා කනවා…….”
“දුව කෑවද පූර්ණ?…….”
යුතුකමක් විදියට මං පූර්ණගෙන් එහෙම ඇහුවා.එහෙම ඇහුවා විතරයි පූර්ණ මං දිහා බැලුවේ මං මහා ලොකු වරදක් කරපු විදියට.මට බයත් හිතුණා ඒ බලපු බැලිල්ලට.
“ඔව් කාලා ආං පුටුවක් උඩ වාඩි වෙලා ටීවි බලනවා…….”
අපොයි දෙයියනේ එතකොටයි මට මතක් වුනේ පූර්ණගේ දුවට තාම මාස හතරයිනෙ කියලා.මං ඇහුවෙ මහ මෝඩ ප්‍රශ්නයක්නෙ.ඒ දරුවට තාම දත් ඇවිල්ලත් නෑනෙ.
“අනේ සොරි පූර්ණ.මට අමතක වුනා.දුව තාම පුංචියිනෙ…….”
“තමුසෙට මේ ඩිංගට ඒකත් අමතක වුනාද?යනවා දැන් ගිහිල්ලා කාලා එනවා……”
මං කුස්සියට ගියා.පූර්ණගේ අම්මා කුස්සියෙ වාඩි වෙලා කිරි එකක් නිව නිව හිටියා.
“ආ දුවේ ඔයා තාම කෑවෙ නෑ නේද?මං මේ කෑම එක වහලා තිබ්බා.කන්න…….”
බඩගින්න වැඩි කමට මං කෑම එක කාගෙන කාගෙන ගියා.
“ගොඩක් බඩගින්නෙද හිටියෙ දුව?…….”
මගෙ ඔලුව අත ගාලා පූර්ණගේ අම්මා එහෙම ඇහුවා.මං ඔලුව වනලා කිව්වා.
කාලා ඉවර වෙලා මං පිගාන හෝදලා රාක්කෙන් තිබ්බා.
“දුව අපිත් එක්ක තරහින්ද ඉන්නෙ?…….”
“අනේ නෑ අම්මෙ…….”
“පූර්ණ ගැන මේ ඇත්ත හැංගුවට අපිට සමාවෙන්න දුවේ.අපිට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.අර පුංචි කෙල්ලට අම්මා කෙනෙක් ඕනි නිසයි අපි මේක කරේ.මිනෝලි අපේ පව්ලම විනාශ කරා. වටේ යන මහ ජරා ගෑනියෙක්.මට මතක් වෙනකොටත් ඉවසන්න බෑ.ඒකි මැරිලා මාස හයක් යන්නත් කලින් පූර්ණට වෙන කසාදයක් කරලා දුන්නා කියලා දුව අපි ගැන වැරදියට හිතන්න එපා.මිනෝලි වගේ ජරා ගෑනියෙක්ට අනුකම්පා කරන්න හොදම නෑ……..”
“දැන් පරණ දේවල් අමතක කරන්න අම්මෙ.මං ඉන්නවනේ.මං දුවව හොදට බලා ගන්නම්…….”
මට ඔයා ගැන විශ්වාසයි දුවේ.දැන් ගිහින් නිදා ගන්න.
මං කාමරේට එද්දී පූර්ණ දුවව වඩාගෙන නලවනවා.පූර්ණට තාම හරියට දුවව නලවගන්න බෑ.මං ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.
“පූර්ණ කෝ දෙන්න දුවව මගෙ අතට.මං නලවන්නම්…….”
“තමුසෙ කොහොමද දරුවව නලවන්නේ. අනේ නිකන් පැත්තකට වෙලා ඉන්නවා. ළමයව බිමටවත් අතාරියී ඊට පස්සෙ……”
මේ යකාට පිස්සුද මන්දා.ළමයව බිමට අතාරින්න මට පිස්සුයැ.
“අනේ පූර්ණ විකාර කියවන්න එපා.කෝ දෙන්න දුවව…….”
මං බලෙන්ම වගේ දුවව අතට අරගෙන හිමිහිට නැලෙව්වා.මගේ නැලවිල්ලට දුවට හොදට නින්ද ගියා.ඊට පස්සෙ බොහොම පරිස්සමින් මං දුවව තොටිල්ලෙන් තියලා නෙට් එක දැම්මා.
“තමුසෙ කොහොමද ඕයි ළමයව ඔච්චර හොදට නලවගත්තේ?…….”
“අම්මට මල්ලිව හම්බෙනකොට මට අවුරුදු දහතුනයි.මට ඒ කාලෙ ඉදන්ම මල්ලිව වඩාගෙන කවලා පොවලා නාවලා පුරුදුයි…….”
“හ්ම්ම්.ඒක හොදයි.මං වැඩට ගියාම තමුසෙ දුවව හොදට බලා ගන්නවා…….”
“තමුසෙ හෙට වැඩට යනවද?…….”
මට තමුසෙ කියලා කතා කරපු හින්දා මාත් පූර්ණට එහෙම කතා කරා.
“කාටද තමුසෙට කිව්වෙ මටද?තමන්ගෙ මිනිහට ඔහොමද කතා කරන්නෙ?…….”
“එතකොට තමන්ගෙ ගෑනිට කතා කරන්නෙ ඔහොමද?ඔයත් මට තමුසෙ තමුසෙ කියලනෙ කියන්නෙ…….”
“ආහ්….සොරි සොරි…….”
ඊලග කොටසින් හමුවෙමු