ඔබ බියෙන් හිටපු දේ සිද්ද වෙලාද?

ඔබ ඔහුට ආදරය කළත් ඔහු ඔබට ආදරය කරන්නේ නැත්ද?

ඔබ පණ මෙන් ඔහුට ආදරය කළාද? ඔබ ඔහු වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කළාද? එත් අන්තිමේ ඔබට දැනෙනවද ඔහු ඔබට ආදරය නැහැ කියලා. මේ වෙලාවට ඔබට ජීවිතයම එපා විය හැකියි. ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් කිසිදා මුණ නොගැසේවි යැයි බියක් දැනේවි.

මෙය ඔබට ඉතාම අමාරු කාලයක් වේවි. එත් ඔබ කෙසේ හෝ හිත හදාගෙන ඔබේ ජීවිතයේ ඉදිරිය ගැන සිතිය යුතුයි. හිත වේදනාවෙන් ඉන්න මේ අවස්ථාවේ ඔබට කළ හැකි දේවල් 06ක් ගැනයි මේ කියන්න යන්නේ.

ඉතිරි කොටස පහලින්

01) ඔබ වෙනුවෙන් කාලයක් දෙන්න


ඔබ එක ආදරයකින් පරාද වුවත් ඔබ ජීවිතයෙන් පරාජය වී නැත. එහෙත් ඔබට ඔබ වෙනුවෙන් වැළපෙන්න, දුක් වෙන්න කාලයක් අවශ්‍යයි. ඔබේ ඇතුළාන්තයේ ඇති දුක නැති වන තුරු හඬන්න. දින කිහිපයක් නිවසේම ඉන්න. ඒ දුක නැති කර ගන්න ඔබට කාලයක් ගත වේවි. එත් මාස ගණන් හඬමින් ඔහු පිලිබඳ සිතමින් කල් ගෙවීමෙන් පලක් නැත. ඔබට කවදාවත් සැබෑ ආදරයක් සොයා ගත නොහැකි වේ යැයි නොසිතන්න. අනිවාර්යයෙන්ම ඔබට සැබෑ ආදරය හමු වේවි. ඔබේ දුක නැති කර ගන්න දින කිහිපයක් වෙන් කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම ඔබට පෙර මෙන් නැවත සතුටින් ජීවිතයේ ඉදිරියට යා හැකි වේවි.

02) නිතර ඔබේ පවුලේ අය හා යහළුවන් සමග කාලය ගෙවන්න


ඔබේ පවුල කියන්නේ ඔබේ ජීවිතයේ පදනම. ඔවුන් කිසිදාක ඔබව අත්හරින්නේ නැහැ. මේ කාලයේ ඔබට අවශ්‍ය වන්නේ ඔබට අනුකම්පා කරන්නන් නොව ඔබව ධෛර්යමත් කරන්නන්ය. ඔබේ පවුලේ අය තමයි එයට සුදුසුම පිරිස. මේ කාලයේදී ඔබ නිතරම ඔබේ පවුලේ අය සහ ඔබේ හොඳම යහළුවන් සමග ගත කරන්න. ඔවුන් ඔබට ජීවිතය පිළිබඳ නිසි උපදෙස් ලබාදේවි. ඔබේ පවුලේ ඉන්නේ ඔබට වඩා අත්දැකීම් වලින් පරිපුර්ණ අයයි. එනිසා හුදෙකලාව කල් ගෙවීමෙන් වැළකී ඔවුන් සමග කාලය ගත කරන්න. ඔබේ අත්දැකීම් ඔවුන් සමග පවසමින් නිසි උපදෙස් ලබා ගන්න.

ඔබට වඩා අත්දැකීම් වලින් පරිපුර්ණ ඔවුන් ඔබේ තත්ත්වය පිලිබඳ හොඳින් හඳුනා ගන්න නිසා ඔබට ඉදිරිය පිලිබඳ නිසි උපදෙස් ලබා දේ.

ඔබේ යහළුවන් සමග නිවසින් එලියට ගොස් විනෝදවන්න. එයින් කෙතරම් සතුටින් ජීවිතය ගත කළ හැකි දැයි ඔබට යළි මතක් වේවි.

03) ඔබ කැමති දේවල් කරන්න


ඔබේ දුක අමතක වන්න ඔබ කැමතිම දේවල් කිරීමට යොමු වන්න. ඔබ පොත් කියවීමට කැමති හෝ නැටුමට ගැයුමට කැමති හෝ ලිවීමට හෝ කැමති කෙනෙක් නම් එවැනි දෙයට යොමු වන්න. එයින් ඔබේ මනසට සුවයක් දැනේවි. එමෙන්ම යම් කාර්යයක නිරත වන විට ඔබට ඔබේ දුක පිළිබඳව ද අමතක වී යයි.

04) ඔබේ වටපිටාව වෙනස් කර ගන්න


එකම තැන හිඳීමෙන් එකම දේවල් කිරීමෙන් ඔබේ ජීවිතය ඒකාකාරී වේ. හිත් රිදීම් ඇති වූ විට ඒකාකාරී බව ඔබේ අසහනය තවත් වැඩි කරයි. එනිසා ඔබේ පවුලේ අය හෝ ඔබේ හොඳම යහළුවන් සමග විනෝද චාරිකාවක් යන්න. එසේත් නැති නම් ඔබේ යහලුවකුගේ නිවසට ගොස් ටික දිනක් ගත කරන්න. එවිට ඔබ අසහනකාරී තත්ත්වයෙන් මිදේ. එය ඔබේ සිතට සහනයක් ගෙනදේ.

05) අලුත් දෙයක් කිරීමට යොමු වන්න.


ඔබ කැමති දේවල් කොපමණ කලත් ඔබට හිත හදා ගත නොහැකි නම් ඔබ මින් පෙර අත්හදා බලා නැති අලුත් දෙයක් සඳහා යොමු වන්න. යම් ක්‍රීඩාවක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය හෝ එසේත් නැති නම් ත්‍රාසජනක ක්‍රියා හෝ එවැනි ඕනෑම අලුත් දෙයකට යොමු වන්න. අලුත් යමක් ඉගෙන ගැනීමේදී ඔබට ඇති වන කුතුහලය නිසා ඔබට ඔබේ අතීතය අමතක වී යාවි. ඔබ ඉගෙන ගැනීමට ආරම්භ කළ දේ අවසන් කරන විට ඔබ අලුත්ම කෙනෙක් බවට පත්වී හිඳීවි.

06) උද්යෝගිමත්ව ධනාත්මකව සිතන්න


ඔබේ රැවටුණු ආදරය නිසා ඔබ පසුබට වී සිටීමෙන් ඵලක් නැත. ඔබ කිසිවෙකුට මුහුණ නොදෙමින් අධෛර්යයමත් වී සිටියහොත් ඔබේ ජීවිතය ද අසාර්ථක වේ. අලුත් මිතුරන් ඇති කර ගැනීමට, අලුත් පුද්ගලයන් හඳුනා ගැනීමට බිය වීමෙන් වළකින්න. සෑම දිනකම අලුත් ජීවිතයක් පටන් ගන්න බව සිතා උද්යෝගිමත්ව සිටින්න. ධනාත්මකව සිතන්න. ඇතැම්විට ඊළඟට ඔබට මුණ ගැසෙන පුද්ගලයා ඔබේ සැබෑ ආදරයේ හිමිකරුවා විය හැකියි.

ආදරයෙන් පරාජය වූ විට ජීවිතයෙන් පරාජය නොවී සාර්ථක ජීවිතයක් කරා පිය නගන්න මේ කරුණු ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

Advertisment