විසිරුණු හීනයක්
02 වන කොටස
◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈
සඳුදා සිට සිකුරාදා – සුපුරුදු රෑ ❽ට
◈ ━━━━━━━ ⸙ – ⸙ ━━━━━━━ ◈
” බබා.. ආ.. තාත්ති ඉන්නවා ලයින් එකේ.. කෝ.. ඉක්මනට කතා කරන්න.. අම්මිට පරක්කු වෙන්න බෑනේ පුතේ වැඩට යන පළවෙනි දවසෙම.. ඉක්මනට කතා කරලා තියන්න ඒ නිසා..”
අපර්ණා එහෙම කියලා ෆෝන් එක මෙතුලිට දුන්නා.
” හෙලෝ තාත්ති.. බබා.. “
” කියන්න මැණික.. ඉස්කෝලේ යන්න පරක්කු නැද්ද මේ උදේම අම්මි එක්ක මේ රණ්ඩු අල්ලන්නේ..? “
” නෑ.. පරක්කු නෑ.. අනේ තාත්ති ඔයා එන්නේ නැද්ද..? “
” ඉක්මනට එනවා මැණික.. “
” ඉක්මනට කියන්නේ කවද්ද..? හැමදාම තාත්ති ඉක්මනට එනවා කියනවා විතරනේ.. බබාව බලන්න එන්නේ නෑනේ.. ඉස්සර කිව්වේ බබා ඉස්කෝලේ යන්න කලින් එනවා කියලා.. දැන් බබා ඉස්කෝලේ යන්නත් පටන් අරන් ඉවරනේ.. තාත්ති නෑනේ එන්නේ.. “
” ඔහොම ඉන්නකෝ.. බබා දැන් ඉස්කෝලේ එක වසරෙනෙ ඉන්නේ.. මහන්සි වෙලා ඉඟෙන ගෙන දෙක වසරට යන්න පාස් වුනාම තාත්ති බෝනික්කෝ ගොඩාක් අරන් එන්නම්.. තව චොකලට් ගොඩකුත් ගේන්නම්.. “
” මට චොකෝ එපා තාත්ති.. ඔයාව ඕනේ බබාට.. “
මෙතුලි එහෙම කියද්දි පුංචි එකීගේ මුළු මූණම අඳුරු වෙනවා අපර්ණා දැක්කා. දැන් කොයි වෙලාවක හරි මෙතුලි අඬන්න පටන් ගන්නවා කියලා අත්දැකීමෙන් දන්න නිසාම අපර්ණා එක්මනට ලඟට ඇවිල්ලා මෙතුලිව බදාගෙන ඉඹලා ඔළුව අත ගාන්න ගත්තා.
” මෙතූ බබා තාත්තිගේ හොඳ දුව නේද..? “
” ම්ම්ම්.. “
” එහෙනම් නෝටි බබා වෙන්නේ නැතුව අම්මිට වද දෙන්නෙත් නැතුව ඉන්න ඕනේ තාත්ති ආපහු එනකන්.. “
” අම්මි පව්.. “
මෙතුලි එකපාරටම අපර්ණා දිහා බලලා එහෙම කිව්වා.
” ඇයි..? අම්මිට මොකෝ වුනේ..? “
” අම්මි ඊයේ රෑත් ඇඬුවා.. “
” ආ.. “
” තාත්ති.. අහන්නකෝ.. බබාට බෝනික්කො චොකෝ දෙකම එපා.. අම්මි ඒවා බබාට අරන් දෙනවා.. “
” එහෙනම් මොනාද ඕනේ..? “
මෙතුලි ෆෝන් එක කනේ තියාගෙනම අපර්ණා දිහා ටිකක් වෙලා බලන් හිටියා.
” තාත්ති බබාට චොකෝ බෝනික්කෝ ගේන සල්ලි වලින් අම්මිට සාරි ගේන්න.. අම්මි පව්.. බබාට අළුත් ඉස්කෝලේ යන්න ඔක්කොම ඇඳුම් ෂූස් අළුතෙන් අරන් දීලා අම්මි පරණ සාරි ඇඳන් එයාගේ අළුත් ඉස්කෝලේට යනවා.. අනේ බබාට මුකුත් එපා.. අම්මිට සාරි විතරක් ගේන්න.. ලස්සන ඒවා.. පාට පාට.. අම්මි සුදුයිනේ.. සෝස පාට ලස්සනයි අම්මිට.. “
මෙතුලිගේ කටින් ඒ වචන ටික පිට වුනා විතරයි අපර්ණා ඇස් වල කඳුළු පුරවන් පොඩි එකීව බදාගත්තා. හයක් හතරක් තේරෙන්නේ නෑ කියලා කිව්වාත් මෙතුලිට මේ වෙනකොට සෑහෙන්න දෙයක් තේරෙනවා කියලා මේ කියන දේවල් අහන් ඉද්දි අපර්ණාට දැනුණා.
” හරි මැණික.. තාත්ති සාරි ගොඩාක් අරන් ඉක්මනට එන්නම්කෝ.. රෝස පාට සාරිම විතරක් ගේන්නම්.. “
” ඔය බොරු.. හැමදාම ඕම තමා කියන්නේ.. ඒත් බබා දන්නවා තාත්ති දැන් බබාට ආදරේ නෑ කියලා.. එන්න ඕනි නෑ.. ඔහේ ඉන්න.. බබා අම්මි එක්ක ඉන්නවා.. තරහයි මම.. “
මෙතුලි එක පාරටම එහෙම කියලා ෆෝන් එක කට් කරලා අපර්ණා දිහා බැලුවා. තමන්ව බදාගෙන ඇස් වල කඳුළු පුරවන් බලන් ඉන්න අපර්ණා දිහා මෙතුලි බලන් ඉඳලා ඒ පුංචි අත් වලින් අපර්ණාගේ ඇස් වල තියෙන කඳුළු පිහිදැම්මා.
” අම්මි අඬන්න එපා.. බබා අම්මිට ආදරෙයිනේ.. තාත්ති වගේ බබා යන්නේ නෑ අම්මිව දාලා.. “
” අනේ මගේ පැටියෝ………. “
මෙතුලිට එච්චරයි කියන්න ලැබුනේ අපර්ණා පොඩි එකීව ඉඹගෙන ඉඹගෙන ගිහින් බදාගෙන ටිකක් වෙලා ඇඬුවා.
” අම්මිට ආදරෙයි නේද..? “
ටික වෙලාවකින් මෙතුලිගෙන් ඈත් වෙලා ඒ පුංචි මූණ අත් දෙකෙන්ම අරන් හිමින් නළල ඉඹලා අපර්ණා එහෙම ඇහුවා.
” ගොඩාරියක් ආදරෙයි.. “
” එහෙනම් ආපහු නිතරම තාත්තිට කෝල් කරන්න කියලා අම්මිට වද දෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.. “
අපර්ණා එහෙම ඇහුවාම මෙතුලි ආපහු අපර්ණාව බදාගෙන කම්මුලක් ඉම්ඹා.
” අම්මි අඬන්න එපා.. බබා අම්මිට කරදර කරන්නේ නෑ ආපහු.. බබා නෝටි නෑ.. බබා ගුඩ් ගර්ල් දැන්.. “
මෙතුලි එහෙම කියද්දි අපර්ණා ආපහු පුංචි එකීව ආදරෙන් ඉඹගෙන ඉඹගෙන ගියා. අපර්ණාගේ මුළු ජීවිතේම නතර වෙලා තියෙනේ පුංචි මෙතුලි ගාව. මේ හුරතල් කතා, ඒ පුංචි රවුම් ඇස් දෙක, හිනා වෙනකොට වල ගැහෙන රෝස කම්මුල් අපර්ණාගේ ජීවිතේට තියෙන එකම සැනසීම වුනා.
තමන්ගේ කියලා තිබුන ගොඩාක් දේවල් අහිමි වෙලා ගිය මේ ජීවිතේ තව එක දවසක් හරි අපර්ණා ඉස්සරහට අරගෙන යන්නේ පුංචි මෙතුලි නිසයි. තමන්ට දෙන්න පුළුවන් උපරිම දේවල් දීලා දවසක මෙතුලිවත් ලස්සනට හදාගෙන තනියම ජීවත් වෙන එක තමයි අපර්ණාගේ ජීවිතේ දැන් එයාට තියෙන එකම බලාපොරොත්තුව. පුංචි මෙතුලි තමයි අපර්ණාගේ හයිය. ඒ වගේම අපර්ණාගේ ලොකුම දුර්වලකම.
” අපි යන් මැණික.. පරක්කු වෙනවා අපිට.. “
අපර්ණා එහෙම කියලා ඇස් වල පිරිලා තියෙන කඳුළු පිහිදගෙන මෙතුලිවත් අරගෙන පාරට බැස්සා. උදේ වරුවේ සෙනඟ එක්ක තෙරෙපිලා අමාරුවෙන් බස් එකට නැගලා මෙතුලිව ලඟින්ම තියන් පරිස්සමෙන් එක්කන් ඇවිල්ලා ඉස්කෝලේ ගාවින්ම බැස්සා.
” සුදු මැණික.. පරිස්සමෙන් ඉන්න ඕනේ.. ඉන්ටවල් වෙලාවට ඔය කෑම පෙට්ටියේ තියෙන කෑම ඔක්කොම ටික කාලා අම්මි බනානා එකක් දාලා ඇති.. එකත් කන්න ඕනේ.. අන්න නෙත්මිත් ඇවිල්ලා ඉන්නවා උදේම.. ගිහින් නෙත්මි ගාවින්ම ඉඳගන්න.. අර බලන්න කවුරුත් ඇවිල්ලා නෑ එයා ගාවට.. ඔයාගේ යාළුවා ඉතින් එයානේ.. “
ඉස්කෝලේ ඇතුලේ පන්තිය ගාවටම එක්කන් ඇවිල්ලා අපර්ණා එහෙම කිව්වාම මෙතුලි එතනම දණ ගහලා අපර්ණාට වැන්ඳා.
” බුදුසරණයි මගේ මැණික් කැටේ.. අම්මි ඉස්කෝලේ ඇරෙන වෙලාවට මෙතනටම එන්නම් බබාව අරගන්න.. බැරිවෙලාවත් අම්මි එන්න චුට්ටක් හරි පරක්කු වුනොත් ක්ලාස් එකෙන් එළියට ඇවිල්ලා කොහේවත් යන්නෙ නෑ.. ඇතුළට වෙලා ඉඳගෙනම ඉන්න ඕන.. හොඳද.. යන්න ඇතුලට.. “
මෙතුලි ඔලුව වනලා පන්තිය ඇතුලට ගිහින් නෙත්මි ගාවින්ම ඉඳගන්නකම් බලන් ඉඳලා අපර්ණා ඉස්කෝලෙන් එළියට ඇවිත් ආපහු බස් එකට නැගලා අද වැඩ බාරගන්න තියෙන තමන්ගේ අළුත් ඉස්කෝලෙ ගාවින් ඇවිල්ලා බැස්සා. මෙතුලිගේ ඉස්කෝලේ ඉඳලා මෙතනට වැඩි දුරක් නැති හින්දා අපර්ණාට ඇත්තටම මේ ලැබුන රස්සාව ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක් ලබා දුන්නා.
” Good Morning මැඩම්.. May I come in..? “
අපර්ණා එයාගේ අළුත් ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා ප්‍රින්සිපල් මැඩම් ගේ ඔෆිස් කාමරය ගාවට ගිහින් කතා කළා.
” Good Morning අපර්ණා.. Come come.. have a sit.. “
මැදි වයස ඉක්මවා ගිය බටහිර පන්නයේ මැඩම් කෙනෙක් තමයි ප්‍රින්සිපල් විදියට හිටියේ.
” Thank you මැඩම්.. “
” So.. Welcome to JJ International College.. I hope you will give your Best to my students here.. “
” Definitely Madam.. I promised that I will never disappoint you.. Because I really need this job and I love kids.. you know that, I also got a little doll at Home.. “
” aa… yeah yeah.. I remembered at the interview you said about her.. ඊයේ නේද දුවට ඉස්කෝලේ පටන් ගන්නවා කියලා කිව්වේ..? “
” ඔව් මැඩම්.. ඊයෙ තමයි ග්‍රේඩ් වන් එකට ඉස්කෝලේ පටන් ගත්තේ.. “
අපර්ණාට එහෙම කියද්දි මතක් උනේ ඊයේ පුංචි මෙතුලිව අලුතෙන්ම ඉස්කෝලෙට අරන් ගිය විදිය. ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ලොකුම සිහිනය තමයි හොඳම ඉස්කෝලෙකට තමන්ගේ දරුවාව ඇතුලත් කරන එක. මෙතුලි පුංචි කාලෙ ඉඳලාම ඒ හීනේ අපරණාගේ හිතේත් තිබුණා. ඒත් තමන්ට කියලා ස්ථිර පදිංචියතක් තහවුරු කරගන්න බැරි නිසා පහුගිය කාලෙම අපර්ණා හිටියේ ලොකු කනස්සල්ලකින්.
ඒ වුනාට නිලූයි එයාගේ මහත්තයායි අපර්ණාට ඒ වෙනුවෙන් ගොඩක් උදවු කළා. නිලූ තමන්ගේ ගෙදර ඔප්පුව තාවකාලිකව අපර්ණාගේ නමට හරවලා ස්ථිර පදිංචියක් පෙන්නලා නිලූගේ මහත්තයා අඳුරන අයගේ මාර්ගයෙන් උදව් අරන් කොහොමහරි පුංචි මෙතුලිව හොඳ රජයේ පාසලකට ඇතුලත් කරගන්න පුළුවන් වුනා. ඒ උදව් කරපු දවසේ ඉඳලා අපර්ණා නිලූට ඒ වෙනුවෙන් ස්තුති නොකරපු දවසක් නෑ.
” අපර්ණාට පුළුවන්නේ බබාව අපේ කොලේජ් එකටම දාන්න.. අපි ස්ටාෆ් එකේ අයට ඩිස්කවුන්ට් එකක් තියෙනවා ෆීස් වලට.. ඇත්තටම ගෙවන්න ඕනේ නෝර්මල් ටර්ම් ෆීස් එකෙන් භාගයයි.. එහෙම වුණා නම් අපර්ණාට ගොඩක් ලේසියි.. “
ප්‍රින්සිපල් මැඩම් එහෙම කිව්වාම අපර්ණා උත්තර නොදී මොහොතකට බිම බලා ගත්තා.
” Why Aparna..? ෆයිනෑන්ෂල් ඉෂූස් එහෙම තියෙන නිසාද ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට බබාව දැම්මේ නැත්තේ..? “
අපර්ණාගේ මූණේ වෙනස තේරිලා මැඩම් එහෙම ඇහුවා.
” ඔව් මැඩම්.. මාත් ආසයි බබාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න.. ඒත් එච්චර ලොකු දේවල් කරන්න අමාරුයි.. මගේ සැලරි එකෙන්නේ මේ හැමදේම කරගන්න ඕනේ මැඩම්.. ඒ නිසයි මම කොහොමහරි ගවර්මන්ට් ස්කූල් එකකටම දාගත්තේ.. “
” ඒත් අපර්ණාගේ හස්බන්ඩ් රට ඉන්නවා කියලා නේද කිව්වේ..? “
මැඩම් එකපාරටම එහෙම ඇහුවා විතරයි අපර්ණාට දෙන්න උත්තරයක් කටට ආවේ නැති නිසා ටිකක් වෙලා කල්පනා කළා.
” ගේ හදන වැඩ වලටයි බබාව ඉස්කෝලෙට දාන එකටයි ණයක් අරගත්තා මැඩම්.. එයා එවන සල්ලි වලින් තමයි මැඩම් මම ඒ ණය ගෙවලා දාන්නෙ.. ඉතින් ඒ ඇරෙන්න මටයි බබාටයි ජීවත්වෙන්න සල්ලි ලැබෙන්නේ මම හොයන කීයක් හරි දේකින් තමා ඉතිං.. “
” Oh I see.. These days living cost is very High.. පිටරට ගිහිල්ලා වුණත් එක්කෙනෙක් හම්බ කරලා ජීවත් වෙන්න අමාරුයි.. Anyway.. Forget about that..
අපර්ණා ඉන්ටවිව් එකේදි මගෙන් කරපු රික්වෙස්ට් එක ගැන මම කන්සිඩර් කළා.. ඒ නිසා මම අපර්ණාට අන්තිම පීරියඩ්ස් වලට කිසිම ක්ලාස් එකක් දාලා නෑ.. ඒ නිසා ඉස්කෝලේ ඇරෙන වෙලාවටම අපර්ණාට ඕෆ් වෙලා යන්න පුළුවන්.. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එන්ටර්ටේන් කරන්නේ නැහැ.. But Aparna I saw something in you.. During the interview I really noticed that.. especially when I asked that, why you are shifting from your previous job to this one you said that you need an extra bit of money to give a better education for your daughter..
ඒ විතරක් නෙමෙයි ඉන්ටවීව් එකේ වැඩි හරියක්ම තැන්වල අපර්ණා කතා කළේ ඔයාගේ බබා ගැනමයි.. මං හිතනවා අපර්ණා හොඳ ටීචර් කෙනෙක්ටත් වඩා හොඳ අම්මා කෙනෙක්.. අන්න ඒ ගුණයට මම කැමතියි.. yeah.. I really liked it.. අපි ටීචර්ස්ලා වෙන්න කලින් අපිට පුළුවන් වෙන්න ඕනේ හොඳ අම්මා කෙනෙක් වෙන්න.. තමන්ගේම දරුවාට අපිට හොඳ අම්මා කෙනෙක් වෙන්න බැරි නම් අපි කොහොමද තව කෙනෙක්ගෙ දරුවෙක්ගේ අනාගතේ වෙනුවෙන් මහන්සි වෙන්නේ.. ඉතිං ගොඩාක් අය ගාව නැති දෙයක් මම අපර්ණාගේ දැක්කා.. So Good Luck.. This is your Timetable.. you can start your classes from the second period onwards.. keep your attitude like this.. you will go a long way..”
” Thank you Madam.. I will do my best.. “
අපර්ණා එහෙම කියලා මැඩම් දුන්න පන්ති කාලසටහනත් අතේ තියාගෙන මැඩම්ගේ ඔෆිස් කාමරයෙන් එළියට බැස්සේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. කලින් ලැබුනාට වඩා ටිකක් වැඩිපුර වැටුපක් ලැබෙන මේ රස්සාව පුළුවන් තරම් හොඳට කරගෙන පුංචි මෙතුලිව තවත් ලස්සනට බලාගන්නවා කියලා අපර්ණා තමන්ටම පොරොන්දු වුණා.
- අපර්ණාට අළුත් ඉස්කෝලේ පළවෙනිම දවසේ මුණ ගැහෙන අමුත්තා කවුද..?
තාමත් කතාවේ කියවුනේ චරිත දෙකක් ගැන විතරයි. එකක් අපර්ණා. අනික පුංචි මෙතුලි. තාමත් කුතුහලයක් වුන මෙතුලිගේ තාත්තා කෝ..? එයා කවුද..? කොහෙද ඉන්නේ..? මොනවාද කරන්නේ..? ඇයි එයා මෙතුලිව බලන්න එන්නේ නැත්තේ..?
එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩක් ඇති නේද හිත් වල. ගණන් ගන්න එපා තාම හාර්ට් ඇටෑක් දෙන්න පටන් ගත්තෙ නෑ. ඒකට සැරසෙන ගමන් මේ ඉන්නේ. කොහොමත් ජීවිතාරක්ෂණාවරණයක් දාලා තියාගන්න. මේ කතාවේ සමහර කොටස් වලදි වගකීමක් නම් ගන්න අමාරුයි. ඒකයි කතාව දාන්න කලින්ම කිව්වේ ඔයාලට මේ කතාව කියවන්න තියෙන උවමනාවට වඩා පුංචි මෙතුලිගේ කතාව ඔයාලා වෙනුවෙන් ලියන්න මට තියෙන උවමනාව වැඩියි කියලා.
හොඳ ළමයි වගේ කතාව කියවලා බැක් ගිහින් ඉස්සර වගේම පෝස්ට් එකට ලයික් කරලා, ඉස්සර වගේම කමෙන්ට් කරලා යන්න. නැත්තං රීච් අඩු වෙලා කට්ටියට කතාව පේන්නේ නැති වෙයි.
ඊලඟ කොටස හෙට රෑ 8ට.
බුදුසරණයි ☸☸☸
Nishee Boteju