අඩු ආදායම්ලාභීන් ලක්‍ෂයකට ජනවාරි 15ට පෙර රජයේ රැකියා

0
1433

අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්‍ෂයකට ලබන ජනවාරි 15 වනදාට පෙර රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ස්වයං රැකියා සදහා ප්‍රාග්ධනය නොමැති, වගා කිරීමට ඉඩම් නොමැති හෝ සමෘද්ධිලාභීන් වැනි කණ්ඩායම්වලින් මේ සදහා සුදුස්සන් තෝරා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම රැකියා සදහා අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන් සලකා නොබලන බවද කෙසේවෙතත් උසස් පෙළ සමතුන්ට මෙම රැකියා ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. අඩු ආදායම්ලාභී පවුල් ආර්ථිකව සවිබල ගැන්වීම මෙම රැකියා ව්‍යාපෘතියේ අපේක්‍ෂාවයි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමත් නව බලකායක් පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් වැනි ශිල්පීන්ගෙන් නිර්මාණය කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ සදහා එම ශිල්පීන්ට පුහුණුවක් ලබාදීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රැකියා විරහිත උපාධිධාරීන් සදහා ගුරු පුහුණුවක් ලබාදී ඔවුන් ගුරු පුරප්පාඩු පවතින පාසල්වලට අනියුක්ත කරන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා පිළිබදවද විමසිල්ලෙන් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ අනුව ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා සදහා සුදුසුකම් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පහසුකම් හා අවස්ථා ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම කරුණු දැක්වූයේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (16)  පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාරට ඉකුත්දා සිදුවූ පහරදීම පිළිබදවද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබද සොයා බලන බවයි. තම පාලනය යටතේ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරයක් ඇති නොකරන බවද වැරදි ඇත්නම් පෙන්වා දෙමින් ආණ්ඩුව විවේචනය කිරීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය කඩිනමින් වෙනස් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා. එසේ නොමැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යාමද දුෂ්කර වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

Advertisment