සංසලා….මොකද ළමයො මේ මහ දවලුත් නිදාගෙන.නැගිටින්න.ගෑනු ළමයි මෙහෙම කම්මැලිකමේ නිදාගන්නෑ…….”
අම්මා කෑ ගහගෙන ඇවිත් මං පොරවාගෙන උන්නු ශීට් එකෙන් ඇද්දා. සීතල වැඩිකමට මාව ෆ්‍රිජ් එකේ දැම්මා වගේ දැනුනා.
“අනේ අම්මෙ සීතල හින්දනේ නිදා ගත්තෙ.මට නම් මෙහෙ එපා වෙලා තියෙන්නෙ අප්පා…….”
නෝක්කාඩු ස්වරයෙන් කියූ මං ඇදෙන් වාඩි වී කොට්ටයක් බදා ගත්තෙමි.
“ඇයි ඔයා මෙහාට අකමැති?කොළඹ ඉන්නෙ කොහොමද බලන්න.පැය විසිහතරෙම පුදුම දාඩියක් තියෙන්නෙ…….”
“එහෙ දාඩිය නිසා ඉන්න බැහැ.මෙහෙ සීතල නිසා ඉන්න බැහැ.අනේ මන්දා…….”
“හරි හරි ටික දවසක් ගියාම ඔයා මේ පරිසරයට පුරුදු වෙයි…….”
එහෙම කියලා අම්මා එතනින් ගියාට පස්සෙ ආයෙමත් පොරවාගෙන නිදා ගන්න හිතුණත් මං නිදා ගත්තෙ නෑ.අත් දිග ටී ෂර්ට් එකක් ඇදගෙන බිම ගෑවෙන තරම් දිග කලිසමක් ඇද ගත්තු මං මිදුලට ගියා.
“ආ පුංචි නෝනෙ දැන්ද ඇහැරුනේ. නෝනට බඩගිනියි නම් මං ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්……”
“අනේ එපා අප්පු මාමෙ.මට තාම බඩගින්නක් නෑ.පස්සෙ හිමීට කමු……”
කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන මං වැට අද්දරටම ආවා.ඉදහිට පාරේ වාහනයක් ගියත් මේ පාරේ වාහන යන්නෙම නැති තරම්.වැට අද්දර ඉදන්ම මං අවට වටපිටාව දිහා හොදට බැලුවා. මේ සුන්දර නුවරඑළියට මා මේ පැමිණියේ ප්‍රථම වතාවටයි.අප්පච්චීත් අම්මාත් මෙහි අවුරුද්දකට දෙවතාවක් පමණ පැමිණෙයි.අපි පදිංචි වෙලා ඉන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් වල.අප්පච්චී රැකියාව කරන්නේ කොළඹ ප්‍රධාන පෙලේ ආයතනයක විධායක නිළදාරියෙක් විදියට.අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.මං ඉස්කෝලේ ගියේ හොස්ටල් එකේ නතර වෙලා.මං ඒලෙවල් පාස්. මට කැම්පස් යන්න බැහැ කියලා අම්මටයි අප්පච්චිටයි කිව්වා.එයාලා ඒකට විරුද්ධ වුනේ නෑ.දැන් මට අවුරුදු විස්සයි.ඒ වුනාට මට තියෙන්නෙ අවුරුදු දාහතරක පහළවක පෙනුම.
ඊයේ උදේ අප්පච්චිගේ ක්ෂණික තීරණයකට අනුව අපි තුන්දෙනා නුවරඑළි ආවා.අපි දැන් ඉන්න මේ බංගලාව අප්පච්චිට අයිති එකක්.එයාලා දෙන්නට නුවරඑළිය පුරුදු වුනාට මට නම් මේ දේශගුණය කොහෙත්ම පුරුදු නැහැ.
“දූ අප්පච්චී හෙට ආයෙමත් කොළඹ යනවා කිව්වා.අපි දෙන්නට මෙහෙ තමයි ඉන්න වෙන්නෙ අප්පච්චි එනකල්…….”
මා අසළටම පැමිණි අම්මා එලෙස කිව්වා.
අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ අප්පච්චිගේ වැඩ පිළිවෙල.කලින් කියන්නෙ නැතුව එකපාරටම නුවරඑළි ආවා.දැන් අපිව මෙහෙ දාලා එයා කොළඹ යන්න හදනවා.මට අප්පච්චිගේ වැඩ ගැන කේන්තියකුත් දැනුනා.
“මොකද දූ ඔයා සද්දෙ නැතුව ඉන්නෙ?ඔයා මෙහාට කැමති නැද්ද?…….”
මං පිළිතුරක් නොදී හිටපු හින්දා අම්මා නැවතත් ප්‍රශ්නයක් ඇහුවා.
“මේ දේශගුණය මට පුරුදු නෑ අම්මා.ඒත් අපිව මෙහෙ දාලා ඇයි අප්පච්චි කොළඹ යන්නෙ?ඉතිං අපි විතරක් මෙහෙ ඉන්න එකේ තේරුමක් නෑනෙ…….”
“අප්පච්චි ගියාට ආපහු සතියකින් එනවනේ.මේ පරිසරයට මං නම් හුගාක් කැමතියි…….”
“අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ අප්පච්චිගේ වැඩ ගැන.ඇයි අම්මා අපි හදිස්සියෙන්ම නුවරඑළි ආවෙ?…….”
“අනේ මං දන්නෑ දුව.දැන් කතා කරා ඇති. යමු කෑම කන්න…….”
මං අහපු දේට අම්මා උත්තරයක් දුන්නෙ නෑ.
“මට දැන්ම කන්න බැහැ.ඔයාලා කන්න්. මං ටිකක් පල්ලෙහා ඇවිදලා එන්නම්…….”
“හා.හැබැයි පරිස්සමින්.ඉක්මනට ගෙදර එන්න…….”
අම්මා ගියාට පස්සෙ මං ගේට් එක ඇරගෙන පල්ලෙහාට ගියා.ඒ හරියට අවට වටපිටාව හොදට පේනවා.මීදුම, ලස්සන මල්,එළවලු වගාව එහෙම හොදට පෙනුනා.මිනිසුන් කිහිප දෙනෙක්ම පාරේ ගමන් කරනවා දැක්කා. මං ටිකක් ඉස්සරහට ගියා.
“ශාත්තරේ…..ශාත්තරේ…..අත බලලා තමා ශාත්තර කියනවා…….”
ඒ හඩට මං පිටිපස්ස බැලුවා.රෙදි මල්ලක් එල්ලාගෙන අතේ පුංචි කෝටුවකුත් තියාගෙන ලස්සන දමිළ ගෑනු කෙනෙක් පාරේ අයිනෙන් ආවා.
“පුංචි නෝනා ශාත්තරයක් බලමුද?…….”
“අනේ මං සල්ලි ගෙනාවෙ නෑනෙ.මේ නිකමට වගේ පාරට ආපු ගමන්…….”
“ශල්ලි යෙපා නෝනා.මං ශාත්තරයක් කියන්නම් නෝනට.නෝනා හරිම පිං පාටයි.කෝ දෙන්න නෝනගෙ ඔය වාශනාවන්ත අත…….”
මං ඒ සාත්තර කියන ගෑනු කෙනාට මගෙ අත දුන්නා.ටිකක් වෙලා මගේ අත දිහා ඒ ගෑනු කෙනා බලාගෙන හිටියා.
“නෝනගෙ නම මොකක්ද?…….”
“සංසලා මධුරභාෂිණී සූරියආරච්චි…….”
“නෝනගෙ නමත් ලශ්ශනයි.නෝනගෙ රූපෙත් ලශ්ශනයි.ඒත් නෝනා… නෝනගෙ ජීවිතේ නම් යේම ලශ්ශන නෑ…….”
මොකක්….මොනවද මෙයා මේ කියන්නෙ?
“ඒත් ඇයි ඔයා එහෙම කියන්නෙ?මට මොකද වෙලා තියෙන්නෙ?මං හොදින් ඉන්නවනේ…….”
“යේක යේම තමයි නෝනා.නෝනා කියන්න බලාන්න නෝනා දුක් විදලා තියනවඩ?…….”
“අම්මයි අප්පච්චියි කවදාවත් මට අඩුවක් කරේ නැහැ.හැම සැප සම්පතක්ම දුන්නා. දෙපාරක් ඉල්ලන්න කලින් හැම දෙයක්ම මට අරන් දුන්නා.දුක කියලා දෙයක් මගෙ ජීවිතේ තිබිලම නෑ…….”
අහපු දේට මං හරියටම උත්තර දුන්නා.
“යේක වෙන්ට ඇති නෝනා.ඒත් නොනගෙ අනාගතේ නම් ශුබ නෑ.හරිම දුක්බර විදියටයි නෝනට ජීවත් වෙන්න ශිද්ද වෙන්නේ.මොනවා කරත් නෝනට ඒ දුකෙන් නම් ගැලවෙන්ට බෑ……..”
අනේ දෙයියනේ මේ ගෑනු කෙනා මේ කියවන්නේ.මගෙ අනාගතේ ගැන කියන මේ දේවල් ඇත්තද?සාත්තර ගැන මං එතරම් විශ්වාස නොකරත් මේ කියන විදියට මට නම් බයකුත් දැනෙනවා මගෙ ජිවිතේ ගැන.
“මට දුක් විදින්න ලැබෙන්නෙ මොනවා හින්දද?දන්න කියන කාලෙ ඉදන් මං කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ…….”
මං ඒ සාත්තර කියන ගෑනු කෙනාගෙන් එහෙම ඇහුවා.ඒ පාර ආපහු මගෙ අත බලලා කියන්න පටන් ගත්තා.
“ශමහර විට මේක නෝනා කරපු වරදක් නෙමෙයි වෙන්නත් පුලුවං.ඒත් නෝනා වෙන්ට තියන දේ වලක්කන්න බෑ…….”
තව දුරටත් මේ කියන දේවල් මට අහන්න බෑ.මං දුවලා ගෙදර ආවා.
මං ගෙදර එද්දී කවුරුවත් පේන්න හිටියේ නෑ.අම්මයි අප්පච්චියි කාමරේ කතා කරන සද්දෙ ඇහුනා.මං ගැන කියනවා ඇහුනු හින්දා මං බිත්තිය ලගට වෙලා අහගෙන හිටියා.
“සංසලා මෙහෙ ඉන්න කැමති නෑ.මට බය කෙල්ල කොළඹ යන්න ඕනිමයි කියලා කෑ ගහයිද කියලා…….”
“එහෙම කෑ ගැහුවා කියලා සංසලාව කොළඹ එක්කන් යන්න බෑනෙ.මෙහාට වෙලා හිටියොත් කෙල්ලගෙ ජීවිතේ බේර ගන්න පුලුවන්.ඒත් සංසලාට වැඩිය එලියට යන්න දෙන්න එපා.උගෙ මැරයො සංසලා මෙහෙ ඉන්නවා කියලා දැන ගත්තොත් ලොකු විනාශයක් වෙන්නෙ…….”
අප්පච්චී මොනවද මේ කියන්නේ. කාගෙන්ද අප්පච්චී මාව බේර ගන්න හදන්නේ.මොනවා වුනත් මෙතන මං නොදන්න ලොකු දෙයක් තියනවා.අර දෙමළ ගෑනු කෙනා සාත්තරේට කියපු දේවල් ඇත්තද?
“තව කී කාලයක් මෙහෙම ඉන්නද මන්දා. සංසලා මේ දේවල් දැන ගත්තොත් මොනවා වෙයිද දන්නෑ……..”
“පව් අහිංසකී.අරුන් වෙඩි කාපු ඌරො වගේ හැමතැනකම සංසලාව හොයනවා…….”
නැවත හමුවෙමු