අම්මෙ තේනුකලාගෙ ගෙදරින් පණිවිඩයක් එව්වෙ නැද්ද තාම?…….”

“ඒක තමයි මාත් මේ බැලුවෙ.තාම මොකක් වත් කිව්වෙ නෑනෙ.මේ අය මේකට අකමැතිද දන්නෙ නෑ මේකට…….”

සාලෙන් ඇහෙන කුඩම්මාගේත් ලෝචනා නංගීගේත් සංවාදය මට කාමරේට ඇහුනා.මං හිටියේ කාමරේ අස් කර කර. කුඩම්මයි ලෝචනා නංගියි මේ බලන් ඉන්නේ එදා ආපු මනමාලයගේ ගෙදරින් පණිවිඩයක් එනකල්.බැරි වෙලාවත් එයාලා ලෝචනා නංගිට කැමති නෑ කියලා කිව්වොත් ඒකත් සිද්ද වුනේ මගේ මූසල කමට කියලා කුඩම්මා මට බනින්න පටන් ගනියි.

මීට මාස දෙකකට විතර කලින් ලෝචනා නංගිව බලන්න මනමාලයෙක් ගෙදරට ආවා.එදා සාලෙ හැමෝම එක්ක මාත් පැත්තකින් හිටියා. ඒ ආපු කට්ටිය ඊට පහුවදාම පණිවිඩයක් එවලා තිබ්බා එයාලා ලෝචනා නංගිට කැමති නෑ කියලා.ඒ වෙනුවට එයාලා කැමති වුනේ මට.

දෑවැද්දකුත් එපා කියලා කිව්වා.ඒ මිනිස්සු ලොකු සල්ලි කාරයෝ. කපුවා ඒ පණිවිඩේ දෙන්න ගෙදරට ආව වෙලාවෙ කුඩම්මා බැනලා එලව ගත්තා. නංගිව එපා නම් අක්කව දෙන්නෙත් නෑ කියලා.එදා ඉදන් කුඩම්මා මට නොයෙකුත් ඇනුම් පද කිය කියා ගහන්න බනින්න පටන් ගත්තා.මං හින්දා ලෝචනා නංගිට කවදාවත් කසාද බදින්න ලැබෙන්නෙ නෑ කියලා.

හවස් වෙලා මං නාලා ගෙදරට එනකොට තාත්තාත් ගෙදර ඇවිල්ලා හිටියා.වෙනදා වගේ නෙවෙයි.අද ගෙදර හැමෝම හිටියේ ගොඩාක් සතුටින් වගේ.මං ඒ ගැන අහන්නත් හදලා නිකන් හිටියා.

“ප්‍රාර්ථනා ඔයාට කියන්න සුභ ආරංචියක් තියනවා…….”

මං ගාවට ඇවිත් ලෝචනා නංගි එහෙම කිව්වා.එයාගෙ සතුට එයාගෙ මුහුණින්ම හොදට පෙනුනා.ඇස් කරකව කරකව ඒ කියන්න යන ඒ ආරංචිය මොකක්ද කියලා මට හරියට තේරුනෙ නෑ.

“ඒ මොකක්ද නංගි?…….”

“තේනුකලාගෙ ගෙදරින් පණිවිඩයක් එවලා.එයාලා කැමතියිලු ඉක්මනට මේ කසාදෙ කරන්න……..”

“මගේ සුභ පැතුම් නංගී…….”

මං නංගිට සුභ පැතුවත් එයා ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.නංගි හිටියේ ගොඩාක් ආඩම්බරයෙන්.රෑට කෑම කාලා මං කාමරේට ආවා.ටික වෙලාවකින් කුඩම්මයි තාත්තයි දෙන්නා කතා කරන සද්දෙ ඇහුනා.මගේ නමත් කියන සද්දෙ ඇහුනු නිසා මං කාමරේ දොර අයිනට වෙලා අහගෙන හිටියා.

“අපි කොහොමද එච්චර ලොකු ගානක් හොයන්නෙ.ලක්ශ දහයක් කියන්නෙ සුලු පටු ගානක්ද?…….”

“එහෙම කියලා බෑ.අපි කොහොම හරි ලක්ශ දහයක් හොයා ගන්න ඕනි.අනික, ලෝචනා මේක ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.මට බෑ කෙල්ලගෙ හිත රිද්දන්න…….”

දැනුයි මට තේරුනේ ලෝචනා නංගිට කතා කරපු මනමාලයගේ පැත්තෙන් දෑවැද්දට ලක්ශ දහයක් ඉල්ලනවලු.ඒ ගැන තමයි තාත්තයි කුඩම්මයි කතා කර කර හිටියේ.

“කොහොම හොයන්නද මන්දා ලක්ශ දහයක්.මේ දවස් වල බිස්නස් වලිනුත් ඒ තරම් ආදායමක් නෑ…….”

“එහෙමනං ඉතිං අපිට තියන මේ ඉඩමක් වත් විකුණලා දාමු.අරෙහෙ තියන ඉඩම වුනත් ලක්ශ දහයක් විතර වටිනවනේ…….”

“ඒ ඉඩම විකුණන්නෙ කොහොමද?ඒක තියෙන්නෙ ප්‍රාර්ථනාගෙ නමට……”

දෙයියනේ කුඩම්මා හදන්නේ අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ මට ලියපු ඒ ඉඩම විකුණන්නද?බැහැ ඒකනම් මං කොහොමටවත් කරන්න ඉඩ දෙන්නෙ නැහැ.

“ඔයා පොඩ්ඩක් ප්‍රාර්ථනාට කියලා බලන්නකෝ.ඔයා කියන දේ එයා අහනවනේ.තමන්ගෙ නංගි වෙනුවෙන් එයාට මේ වගේ දෙයක් වත් කරන්න බැරිද?……..”

කුඩම්මා කියන දේවල් වලට තාත්තා ඒ තරම් කැමැත්තක් පෙන්නුවෙ නැහැ.

“ඔයාට දැන්ද මතක් වුනේ ප්‍රාර්ථනා ලෝචනගේ අක්කා කියලා.ඒ කෙල්ලට ඔයාලා දෙන්නා කරන වෙනස්කම් මං හොදට දන්නවා.ප්‍රාර්ථනාගෙ අම්මා ඒක ප්‍රාර්ථනාට ලියලා දුන්නේ කවදා හරි කෙල්ලගෙ දෑවැද්දට දෙන්න.ඒක ලෝචනාට දෙන්න කියන්න මට අයිතියක් නෑ…….”

“ප්‍රාර්ථනා විතරක් නෙවෙයි ලෝචනාත් ඔයාගෙ දරුවා කියලා මතක තියා ගන්න.
මං ඔයත් එක්ක එනකොට ගෙනාපු දෙයක් නෑනෙ.මං හිගන්නී.මගෙ දුවත් හිගන්නි කියලනෙ ඔයා කියන්නෙ…….”

කුඩම්මා බොරුවට කදුලු හලන්න පටන් ගත්තා.

“නිකන් බොරුවට කෑ ගහන්න එපා මාධවී.ඒ දෙන්නම මගෙ දරුවො. ලෝචනාට වගේම ප්‍රාර්ථනාට අසාදාරණයක් වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ.මං කොහොම හරි ලක්ශ දහයක් හොයා ගන්නම්……..”


“ලොකු දුව පොඩ්ඩක් මෙහාට එන්නකෝ…….”

කුඩම්මා මට කතා කරන සද්දෙට මං සාලෙට ගියේ කවුරු හරි ඇවිල්ලා කියලා හිතාගෙනයි.නැත්නම් කවදාවත් කුඩම්මා මට ලොකු දුවේ කියලා කතා කරන්නෙ නෑනෙ.මං සාලෙට යද්දී කව්දෝ මන්දා දෙන්නෙක් සාලෙ වාඩි වෙලා හිටියා.

“මේ අපේ ලොකු දුව ප්‍රාර්ථනා…….”

“දුව මේ කපු මහත්තයා ඔයාට හොද මංගල යෝජනාවක් ගෙනල්ලා…….”

තාත්තා මට එහෙම කිව්වා.මේකත් කුඩම්මාගෙ ප්ලෑන් එකක්ද දන්නෑ.මට පොඩි බයකුත් දැනුනා.

“දුව බය වෙන්න එපා.මේ මගෙ යාලුවෙක්.එයාගෙ පුතාව තමයි දුවට යෝජනා කරන්නෙ.මේ උදවිය බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු…….”

කපු මහත්තයා මට ඒ මනමාලයාගෙ පව්ලෙ අය ගැන විස්තර කරන්න පටන් ගත්තා.

“දැන් එතකොට මනමාලයා ගැන විස්තරේ ටිකක් කිව්ව නම්?මොකක්ද කරන රස්සාව එහෙම?…….”

එහෙම ඇහුවෙ කුඩම්මා.එයාට ඕනි වුනේ මනමලයා සල්ලි කාරයෙක්ද කියලා දැන ගන්න.

“අපි ඉතිං පරම්පරාවෙන් පරම්පරාවට ගොවිතැන් කරන මිනිස්සු.මහ ලොකු සල්ලි බාගෙ නැති වුනාට මගෙ පුතා ගොවිතැනට හොද සූරයා.අපි කැමතියි මේ දුවට.දෑවැදි නම් අපි කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ…….”

දෑවැද්ද බලාපොරොත්තු වෙන්නෙ නෑ කිව්වම කුඩම්මගෙ මුහුණෙ ඇදුනෙ සතුටු සේයාවක්.මහ ලොකුවට සල්ලි බාගෙ නෑ කියලා කිව්වම කුඩම්මා හිත යටින් හිනා වෙන්න ඇති.මට ඒක හොදටම දැනුනා.

“අනේ ඉතිං ඒක අපේ යුතුකමක්නෙ. පුලුවන් හැටියට අපි දූ වෙනුවෙන් දෙයක් දෙන්නම්…….”

තාත්තා එහෙම කිව්වත් කුඩම්මා ඒ මැද්දට පැනලා එක එක දේවල් කියන්න පටන් ගත්තා.

💐💐

“දුව මොකද මේ කටයුත්ත ගැන කියන්නෙ?…….”

තාත්තා මගෙන් එහෙම ඇහුවා.

“එයාගෙන් තව මොනවා අහන්නද?එයා මේකට කැමතියි කියලා පණිවිඩයක් අරින්න.දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නෙ නැති කොට ආයෙ මේ වගේ හොද යෝජනාවක් එන්නෙ නෑ.මෙයා ගැන විතරක් බලලා බැහැනේ.අපි ලෝචනා ගැනත් හිතන්න ඕනි……..”

කුඩම්මා මැද්දට පැනලා කියවන්න පටන් ගත්තා.මගේ අකමැත්තෙන්ම මෙයාලා මේ කසාදෙ කරන්න හදන්නේ කියලා මට තේරුණා.තාත්තට මගේ කැමැත්ත වැදගත් වුනාට කුඩම්මට ඒක වැදගත් වුනේ නැහැ.

“තාත්තා කැමතියි නම් මගෙ අකමැත්තක් නෑ…….”

මං එහෙම කිව්වා.මහ ලොකු සල්ලි කාරයො නෙවෙයිනේ.ඒ මිනිස්සු දුප්පත් ගොවියෝ නිසා මට හිතුණා සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා.මං මේකට අකමැති වුනොත් අද කුඩම්මයි තාත්තයි අතරේ ලොකු වාදයක් යනවා. පුංචි කාලෙ ඉදන්ම මං ගත කරේ නිහඬ දිවි පෙවතක්.රණ්ඩු සරුවල් වලට මං බයයි.

“අපි දුවට බල කරන්නෙ නෑ.හෙට ඒ ළමයා මෙහාට එයි.දෙන්නා කතා බහ කරලා බලන්නකෝ…….”

තාත්තා මට එහෙම කියනකොට කුඩම්මා අපිට ගස්සගෙන වගේ ගේ ඇතුළට ගියා.


පහුවදා උදේ අටට විතර මට කතා කරපු මනමාලයා අපේ ගෙදරට ඇවිත් තිබුනා. ඒ තනියමයි.

“ආං තමුසෙගෙ හේන් ගොවියා ඇවිල්ලා…….”

ලෝචනා නංගි කාමරේට ඇවිල්ලා එහෙම කිව්වා.මං ඒකට මොකුත් නොකියා සාලෙට ගියා.තාත්තයි කුඩම්මයි එක්ක ඒ කෙනා කතා කර කර ඉන්නවා.

“ආ මේ ඉන්නෙ අපේ ප්‍රාර්ථනා දූ.දුව මේ ඉන්නෙ සුදේශ්.ඔයාලා දෙන්නා එලියට ගිහින් කතා කරන්නකෝ…….”

තාත්තා එහෙම කිව්වම මට ටිකක් ලැජ්ජත් හිතුණා එයත් එක්ක තනියම එලියට ගිහින් කතා කරන්න.සුදේශ් නැගිටලා එලියට ගියා.මාත් එයාගෙ පස්සෙන් එලියට ගිහින් ගල් බංකුව උඩ වාඩි වුනා.මං හිමිහිට එයාගෙ දිහා බැලුවා.ටිකක් විතර රැව්ල වවා ගත්තු අත් කොට කමිසෙකුයි පාට ගිය නිල් පාට ඩෙනිම් කලිසමකුයි ඇදගෙන හිටපු සුදේශ්ට ටිකක් වයස පෙනුනා.කණ ගාව කොණ්ඩෙ ටිකක් සුදු වෙලා තිබුනා.

“මගෙ නම සුදේශ්.ඔයා දන්නවනේ.ඔයාට මොනවද මං ගැන දැන ගන්න ඕනි?…….”

සුදේශ් මගෙන් එහෙම ඇහුවා.

“ඔ….ඔයාගෙ වයස කීයද?……..”

මං එහෙම අහනකොට සුදේශ් එකපාරටම හිනා වුනා.මට හිතුණා මං වැරදි දෙයක්ද ඇහුවෙ කියලා.

“මට දැන් අවුරුදු තිස් අටයි…….”

අනේ දෙවියනේ මට වඩා අවුරුදු දාසයක්ම වැඩිමහල්.මං කොහොමද එච්චර වයස මනුස්සයෙක්ව කසාද බදින්නේ?

“මොනවද කල්පනා කරන්නේ?වයස වැඩියි වගේද?…….”

“න්….නෑ එහෙම එකක් නෑ…….”

මං එහෙම කිව්වා.අවුරුදු තිස්අටක් වෙලත් මෙයා මෙච්චර කාලයක් කසාද නොබැද හිටියේ මොකද දන්නෑ.මට ඒ ගැන අහන්නත් හිතුණා.ඒත් මං සද්දෙ නැතුව හිටියා.

“මං දන්නවා ප්‍රාර්ථනා මොනවද කල්පනා කරන්නේ කියලා.අවුරුදු තිස් අපි අටක් වෙලත් මං තනිකඩව හිටියේ ඇයි කියලනේ හිතන්නේ?…….”

මට පුදුමත් හිතුණා මේ මනුස්සයා කොහොමද මෙච්චර හොදට මගෙ හිත කියවන්නෙ කොහොමද කියලා.

“මේ ගොවිතැනත් එක්ක වයස යනවා දැනුනෙවත් නෑ.කසාදයක් බදින්න මට උවමනාවක් තිබ්බේ නෑ.ඉතිං මං හිතුවෙ ඉතුරු කාලෙත් තනියම ජීවත් වෙනවා කියලයි.ඒත් ඉතිං ඔයාව දැක්කම මං ඒ අදහස අතෑරියා.මං කැමතියි ඔයාට…….”

වයස මිසක් සුදේශ්ගෙ වෙන වරදක් මට පෙනුනෙ නැහැ.එයා හරිම අහිංසක නිවුනු ගති පැවතුම් තියන කෙනෙක්.මට ගොඩාක් හොදට සළකයි කියලා හිතුණා. ඉතිං මං සුදේශ්ට කැමැත්ත දුන්නා.ඒත් කුඩම්මයි ලෝචනා නංගියි නම් සුදේශ්ගෙ වයස ගැන කිය කියා මට ඔච්චම් කරන්න පටන් ගත්තා.

ඕන දෙයක් කියපුවාවෙ කියලා මං සද්දෙ නැතුව හිටියා.උඩ පනින මිනිස්සුන්ට හැමදාම උඩ පනින්න බැහැනේ.කවදා හරි බිමට වැටෙයිනෙ.

“ආ තමුසෙගෙ අර නාකි මනමාලයා කතා කරේ නැද්ද?…….”

ලෝචනා නංගි කාමරේට ඇවිත් මගෙන් එහෙම ඇහුවා.එයා තව එක එක දේවල් කියලා සුදේශ්ට ඔච්චං කරන්න පටන් ගත්තා.තේනුක එයාට ගෙනත් දෙන්නෙ ගොඩක් වටින බඩු.සුදේශ් මට ගෙනත් දෙන්නෙ එච්චර ගනං බඩු නෙවෙයි. දුප්පත් වුනත් සුදේශ් එයාට පුලුවන් විදියට මාව සතුටෙන් තියනවා.ඒත් ලෝචනා නංගි සුදේශ්ට අනං මනං කියද්දී මං තවත් ඉවසුවේ නැහැ.

“මේ නංගි ඉස්සෙල්ලා මනුස්සයෙකුට
කතා කරන්න ඉගනගෙන ඉන්නවද? දුප්පත් වුනත් මගෙ සුදේශ් මට ගෙනත් දෙන ලේන්සුව වුනත් මට ගොඩාක් වටිනවා.සුදේශ් ආදරේ කරන්නෙ මට මිසක් ඔයාගෙ තේනුක වගේ මගෙන් ලැබෙන දෑවැද්දට නෙවෙයි.කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු