Crush එකක් කියලා කියන්නේ ඔබ හිතින් විතරක් ආදරය කරන කෙනෙක්ටයි. දුර ඉඳන් බලාගෙන, සමහර විට යාලුවෙක් වගේත් ළඟින් ආශ්‍රය කරන ගමන්, ඔබේ ආදරය ප්‍රකාශ නොකර ඉන්න වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට එයාට වෙන ප්‍රේම සම්බන්ධයක් තියෙනවා, නැතිනම් වයස ප්‍රශ්නයක්, නැතිනම් ඔයා දෙන්න අතර යාලුකම හානි කරගන්න බයයි. මෙන්න මේ වගේ තව ගොඩක් හේතු නිසා Crush එක Crush එකක් විදියටම හැමදාම තියෙන අවස්ථාවන් වැඩියි.

මේක හරිම ලස්සන, සුන්දර අත්දැකීමක්. දුක හිතෙන සිංදු අහලා, කවි ලියලා, චිත්‍රපට බලලා, අඩලා, කල්පනා කරලා, යාලුවෝ එක්ක පැය ගණන් දුක කියලා මේක විඳින්න පුලුවන්. ඒ වගේම ගොඩක් අය කියන විදියට නොලැබුණු, සම්පූර්ණ නොවුණු ආදරේ තමයි වඩාත්ම සුන්දර.

නමුත්, මේ Crush එක හරි කරදරයක් දක්වා වර්ධනය වෙන අවස්ථාවන් ඇති වෙනවා. කෑමක් නෑ, නින්දක් නෑ, ඉගෙනීම, රාජකාරිය හරියට කරන්න බෑ, අන්න ඒ වගේ අවස්ථාවල මේක අමතක කරලා දාන එක තමයි හොඳම වැඩේ. ඒ වුණාට ඉතින් වැඩි දෙනාට මතක නැති කරන්න මතක නැති වෙනවානේ. නැත්නම් දුරස් වෙන්න හදනකොට තවත් ලංවෙනවා. රැජිණිය අපි අද ඔයාලට කියලා දෙන්නේ වේදනාකාරි Crush එකක් අමතක කරන විදියයි.‌

1.ඈතට යන්න.. ඈතට යන්න.

ඉංග්‍රීසි කියමනක් තියෙනව “Out of sight, out of mind” කියලා. ඒ කියන්නේ ගතින් දුරස්වෙන අය සිතිනුත් දුරස් වෙනවා. මේ කතාවේ ඉතාම ප්‍රායෝගික ඇත්තක් තියෙන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

ඔබේ Crush එක ඉන්නේ ඔබ නිතර හමුවෙන තැනක නම්, හැකිතාක් එතනින් ඈත් වෙන්න. යන එන එක අඩු කරන්න පුලුවන් තැනක් නම් එහෙම කරන්න, ඔෆිස් එකේ වගේ නොයා බැරි තැනක් නම් එයා එක්ක කතා කරන එක අඩු කරන්න. මේක කරන්න ලේසි වැඩක් නෙවෙයි, Crush එක එන තැනකට නොයා ඉන්න එක අමාරුයි. ඒ නිසා ඔබ එයාව හමුවෙන්න තියෙන වෙලාවට මග නොහැරිය හැකි වෙනත් වැඩ යොදාගන්න. ඒ වගේම පුලුවන් නම් ඔවුන්ව ෆේස්බුක් එකෙන්, වට්සැප් එකෙන් බ්ලොක් කරන්න. ෆෝන් නම්බර් එක ඩිලීට් කරන්න.

2.රොමෑන්ටසයිස් කරන එක නවත්වන්න

සාමාන්‍යෙන් Crush එකක් තියෙනකොට අපි එයාලාව රොමැන්තිකකරණය කරනවා. මේකේ තේරුම එයාලා කරන හැම දෙයක්ම හරි, එයාල අඳින හැම ඇඳුමක්ම ලස්සනයි, එයාලා කතා කරන හැම දේම හරි විනෝදයි කියලා හිතන එක සහ ඒවා ගැන සිහින දකින `එක. ඔබ නව යොවුන් වියේ නෙවෙයි නම් පසුවෙන්නේ බොහෝවිට ඔබ අත්දැකීමෙන් දන්නවා කාලයකට පස්සෙ Crush එක ගැන හිතලා බලන විට තේරෙනවා ඔවුන් ඒ තරම් සර්ව සම්පූර්ණ නැහැ කියලා. ඔවුන් ගැන ඇත්ත දකින්න උත්සහ කරන්න.

3.යාලුවන් සහ පවුලේ අය එක්ක බෙදාගන්න

‌ගොඩක් දෙනා Crush එක ගැන කාටවත් කියන්නේ නෑ. හිතේ තද කරගෙන ඉන්නවා. මේකෙන් වේදනාව වැඩි වෙනවා. විවෘත වුණාම අමතක කරන්න ලේසියි. නමුත් ඔබ මේක වැඩිහිටියෙක්ට කියනවා නම් වඩාත් හොඳයි, මොකද ඔයාගේ කෙළිලොල් යාලුවෝ ඔයාට මේ ගැන කියලා විහිලු කරන්න ඉඩ තියෙනවා. මේ ගැන ඔයා එක්ක “සීරියස්” කතා කරන කෙනෙක්ගේ උපදෙස් ලබාගන්න.

තව කෙනෙක්ගේ අදහසක් නිතරම වටිනවා.

4.ඔබේ අදහස් නැවත හිතන්න, ලියන්න

තව කෙනෙක්ගේත් අදහස් අහලා, ඇත්ත දේ ඇත්ත විදියටත් දකින්න උත්සහ කරලා, නැවත් මේ මුළු සිදුවීමම නැවත හිතන්න, කැමති නම් ලියන්න. නැවත නැවත මේ ගැන හිතනකොට ඔබ ඒ ගැන හිතන විදිය වෙනස් වේවි.

5.ආදරය ප්‍රකාශ කරන්න

ඔබ මේක තාම උත්සහ කරලා බැලුවෙ නැත්නම්, ඔබේ Crush එකට ඔබේ ආදරය ප්‍රකාශ කරන්න. සමහර විට නොසිතූ විදියට හොඳ උත්තරයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔබව ප්‍රතික්ෂේප වුණොත් එතන ඔයාට පැහැදිලි උත්තරයක් ලැබෙනවා. එතකොට ඉක්මනට ඔයාට අමතක කරන්න ලේසි වෙයි.

6.අලුත් විනෝදාංශ සොයාගන්න

ඔයා දැකලා ඇති සමහර අය ඉන්නවා ආදරය වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැති තරම් තමන් ආසා කරන වෙනත් දේවල් වලට බැඳිලා ඉන්න. සමහරු වගා කරන්න ආසයි, ඒකෙම ජීවත් වෙනවා. මේ වගේ අලුත් විනෝදාංශයක් සොයා ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. මනස වෙනත් ආසා හිතෙන වැඩකට යොමු කරන්න.

7.ඔබේ වැරදි ගැන හිතන එක නවත්වන්න

Crush එක ලැබෙන්නේ නැති වුණාම ඇති වෙන හැඟීමක් තමයි මේක සිද්ධවුණේ මගේ අඩුපාඩුවකින් කියන එක. ඊට පස්සෙ ඔයාට ඔයාගෙ පෙනුම, කටහඬ, ඇඳුම් පැළඳුම්, දැනුම ආදි ඔක්කොම දේවල් ගැන අවතක්සේරුවක් දැනෙන්න පටන් ගන්නවා. මේක දිගටම තිබුණොත් එයින් ඔබේ පෞර්ෂයටත් බලපෑම් වෙලයි නවතින්නේ. මේක නවත්වාගන්න ඔයා ඔයාගෙ කැමති දේවල් ලැයිස්තුවක් ලියන්න, උදේට ඒක කියවන්න. කණ්ණාඩියෙන් බලන්න. ලස්සන ඇඳුම් ගන්න. ව්‍යායාම කරන්න පටන් ගන්න.

8.අලුත් ආදරයක් සොයාගන්න

Crush එකෙන් ලේසියෙන්ම ගැලවෙන්න පුලුවන් විදියක් තමයි අලුතෙන් ආදරය කරන්න කෙනෙක් හොයාගන්න එක. ඔයාට පහසුවෙන් ආදරය කරන්න පුලුවන් ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න. මේක දැන් ඉස්සරටත් වඩා ලේසියි, මොකද දැන් ඩේටින් ඇප්ස් එහෙමත් තියෙනවනේ.

9.වර්තමානය තුල ජීවත් වෙන්න, ඇත්ත පිළිගන්න

Crush එකක් තියෙන කොට ගොඩක් අය ජීවත් වෙන්නේ හීන ලෝක වල. එයා එක්ක යාලු වෙන හැටි, එයාව බඳින හැටි, ගෙවල් හදන හැටි, මල් ගස් වටේ සිංදු කිය කිය නටන හැටි එහෙම හිත හිතයි එතකොට ගොඩක් දෙනා ජීවත් වෙන්නේ. මේකෙන් මිදෙන්න. වර්තමාන මොහොතේ ඔයාට වඩා වැදගත් දේවල් මොනවද කියලා කල්පනා කරන්න. අධ්‍යාපනය, රැකියාව ආදී දේවල් ගැන හිතන්න, ඒවා කරන්න වැඩි වෙලාවක් සහ ශ්‍රමයක් යොදවන්න.

10.අනාගතය පිළිගන්න විවෘත මනසක් තියාගන්න

ඔයාගේ ජීවිතය විනාශ කරන තීරණ වලට එළඹෙන්න එපා. “මම ආයෙ කාටවත් ආදරේ කරන්නෙ නෑ. මම එයා හැර වෙන කාගෙවත් ආදරේ පිළිගන්නේ නෑ” කියලා හිතන්න එපා. ඔයා නොහිතන දේවල් වල සතුටත් තෘප්තියත් රැඳිලා තියෙන්න පුලුවන්. අනාගතය ඔයාට දෙන දේවල් විවෘත මනසකින් බාරගන්න. ඉස්සරහට යන්න. පස්සේ කාලෙක ඔයාට ඔයාගෙ Crush එකත්, ඔයා එයාට පිස්සුවෙන් වගෙ ආදරේ කරපු හැටිත් මතක් කරලා හිනා වෙන්නත් පුලුවන් වේවි.

Advertisment