මේ විදියට සති දෙක තුනක්ම කිසිම වෙනසක් නැතුව ගෙවිලා ගියා.ඒ සති දෙක තුන ඇතුලත මං රශ්මිට දෙපාරක් කෝල් කරලා ගෙදර ගැන විස්‍තර ඇහුවා. අප්ප ච්චියි ලසන්තයි මාව හොයන එක තාම අතෑරලා නෑ.මට බයකුත් දැනුනා.
“මොනවද දුව කල්පනා කරන්නේ?……”
මල්කාන්ති නැන්දා මං ගාවට එනකල්ම මං දැක්කෙ නැහැ.
“මට ගෙදර ගැන මතක් වුනා නැන්දේ……”
“දුවට ඕනිම නම් ගෙදරට කෝල් එකක් දීලා බලන්න……”
“අනේ බැහැ නැන්දෙ.ඊට පස්සේ තාත්තා කොහොම හරි මං ඉන්න තැන හොයා ගනියි.මාව බලෙන්ම ලසන්තට කසාද බන්දලා දෙයි.අපේ තාත්තා කිව්වොත් දෙයක් කරලාමයි නවතින්නේ……..”
“ඉතිං දුව ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?හැමදාම පුලුවන්ද මේ විදියට හැංගිලා ජීවත් වෙන්න……”
මල්කාන්ති නැන්දා කියන කතාවත් ඇත්ත කියලා මට හිතුණා.තව කොයි තරම් කාලයක් මේ විදියට ජීවත් වෙන්නද?
“මට හිතාගන්න බැහැ නැන්දෙ මොනවා කරන්නද කියලා.මං මෙහෙ හිටියත් සමහර වෙලාවට පණ බයෙන් ඉන්නේ. කොයි වෙලාවක හරි තාත්තගෙ හරි ලසන්තගෙ හරි මිනිස්සු මාව හොයා ගනියිද කියලා…….”
“තව ටික කාලයක් යනකල් දුව මේ විදියට ඉන්න.ඊට පස්සේ බැරියැ හිතලා බලලා මොනවා හරි දෙයක් කරන්න.දුව අපිට හැමදාම මෙහාට වෙලා හිටියත් ප්‍රශ්නයක් නෙවෙයි.ඒත් දුවේ ඔයාටත් අනාගතයක් තියෙන්න ඕනිනෙ…….”
“නෝනෙ…….”
රත්නසේකර මාමා හේනෙ ඉදලා ගෙදරට ආවෙ එවලෙමයි.නැන්දා මං ගාවින් නැගිටලා ගියා මාමට තේ හදන්න.දුප්පත් වුනත් මේ මිනිස්සු මනුස්සකම අතින් ගොඩාක් පෝසත්.කිසිම ආඩම්බර කම්ක් නැති අව්‍යාජ මිනිස්සු.මෙයාලා නොහිටියා නම් අද මට මේ වෙනකොට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ.
____________________________________
“රන්මලී මොකද කරන්නෙ?……”
වැට කඩුල්ල පැනලා මගෙන් එහෙම අහගෙනම සපුමල් මං ගාවට ආවා. සපුමල් මෙහාට නිතරම වගේ එනවා.ඒ ඇවිල්ලා මාත් එක්ක මොනවා හරි කතා බහ කරනවා.දැන් සපුමල් මගෙන් මගේ දෙමව්පියෝ ගැන මොකුත් අහන්නෙ නැහැ.සමහර විට මට ඒ ගැන අහලා දුක හිතෙයි කියලා වෙන්න ඇති.
“මොකුත් නෑ සපුමල්.මං මේ නිකන් බංකුව උඩට වෙලා හිටියෙ.සපුමල් ආවෙ මොකක් හරි උවමනාවකටද?……”
“මං ආවෙ ඔයත් එක්ක ටිකක් කතා කරන්න රන්මලී…..”
“ඒ මොනවද සපුමල්?……”
“ඔයා මේ ගමට ඇවිල්ලා දැන් මාස තුනකටත් කිට්ටුයිනෙ.මාව හොදට අදුරනවනේ.මං කෙලින්ම කියන්නම්.මං කැමතියි රන්මලී ඔයාව කසාද බදින්න…….”
දෙයියනේ මොනවද මේ සපුමල් කියන්නේ?මං ගැන ඇත්ත දන්නවනම් කවදාවත් මට මෙහෙම යෝජනාවක් කරන එකක් නෑ.මං දැන් මොකද කරන්නෙ.මට සපුමල්ට ඇත්ත කියන්නත් බැහැ.
“ඔයා මොනවද කල්පනා කරන්නේ රන්මලී.මං ඔයාට ආදරේ කරන්නේ විහිලුවට නෙවෙයි.ඔයාව දැක්ක පලවෙනි දවසෙයි මට ඔයා ගැන ආදරයක් ඇති වුනේ.මං ගැන ඕනම දෙයක් ඔයා අහන්න.ඔයා වගේ අහිංසක ගුණ යහපත් කෙල්ලෙක්ව මං හැමදාම ප්‍රාර්ථනා කරේ මගේ බිරිඳ කරගන්න…….”
සපුමල් කියන දේවල් මං අහගෙන හිටියේ පපුව ගැහෙද්දීයි.සපුමල් ගොඩක් හොද කෙනෙක් තමයි.දැන් කාලෙ ඉන්න සමහර පිරිමිත් එක්ක බලද්දී, විශේෂයෙන්ම ලසන්ත ලා වගේ පිරිමිත් එක්ක බලද්දී සපුමල් කියන්නේ ගොඩාක් උතුම් මනුස්සයෙක්.සපුමල්ට ලැබෙන බිරිඳ ගොඩාක් වාසනාවන්තයි.මට සපුමල්ට ආදරේ කරන්න හිතුනත් කවදා හරි සපුමල් මං කාගෙ කව්ද කියලා දැන ගත්තොත් එදාට මොකක් වෙයිද?මං හිමිහිට සපුමල් දිහා බැලුවා.සපුමල් ඈත පේන කදු මුදුන දිහා බලාගෙන ඉන්නවා.
එකපාරටම සපුමල් ඔලුව හරෝලා මං දිහා බැලුවා.මට ලැජ්ජත් හිතුණා.මං අහක බලා ගත්තා.
“මොකද හොරෙන් හොරෙන් බලන්නේ?……”
“ආ කව්ද හොරෙන් හොරෙන් බැලුවේ…….”
මට හිනා ගියා සපුමල් ඒ අහපු විදියට.
“ඔයා තමයි මගෙ රන්මලී……”
සපුමල් ඒ කියපු විදියට මට හරිම ආස හිතුණා.මගෙ හිත මටත් හොරා සපුමල් ගැන හිතනවා කියලා මට හිතුණා.
“මං කොහොමද ඔයාගෙ රන්මලී වුනේ?……”
“ඔයාව තමයි මං කවදා හරි කසාද බදින්නේ.මං දන්නවා වචන වලින් නොකිව්වට ඔය හිත මට ආදරේ කරනවා කියලා…….”
ඇත්ත තමයි මං සපුමල්ට ආදරෙයි.ඒත් මං රන්මලී නෙවෙයි සුදර්ශි සංගීතා රණ්දෙනිගල කියලා දැන ගත්තොත් එදාට සපුමල් මොනවා කරයිද?සපුමල් මට ඇත්තටම ආදරෙයි නම් මොන ප්‍රශ්නෙ ආවත් මාව දාලා යන එකක් නැහැ.
“ඔයා මට ඇත්තටම ආදරේද සපුමල්……”
මං බොහොම හිමින් එහෙම ඇහුවා. සපුමල් මගේ අතින් අල්ල ගත්තා.ඒ ස්පර්ශයට මගේ අත වෙව්ලලා ගියා.ඇග හිරි වැටිලා වගේ ගියා කියලා දැනුනා.
“ඔව් රන්මලී මගෙ පණටත් වඩා මං ඔයාට ආදරෙයි…….”
“මොන ප්‍රශ්නෙ ආවත් කවදාවත් මාව දාලා යන්නෙ නෑ නේද සපුමල්?……”
“කවදාවත්ම නෑ රත්තරං.ඔයයි මායි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා හිතන්න.මගෙ ජීවිතේ තියනකල් මං ඔයාව පණ වගේ ආරක්ෂා කරනවා. සත්තයි මැණික…….”
මං හිමිහිට සපුමල්ගේ උරහිසට හේත්තු වුනා.මට ලොකූ ආරක්ෂාවක් වගේම ආදරයක් දැනුනා.
“මාත් ඔයාට ගොඩාක් ආදරෙයි සපුමල්……”
ඊලග කොටසින් නැවත හමුවෙමු