අපි හය දෙනා අම්මලාගෙ ගෙදරට එද්දී විරාජ්ගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ ගෙදරට ඇවිත් තිබුනා.විරාජ්ගෙ තාත්තා මිදුලෙ බංකුව උඩ වාඩි වෙලා හිටියේ.
“වැල්ලෙ අයියා……”
විරාජ්ගෙ තාත්තව දැකපු ගමන්ම අර ළමයා එහෙම කෑ ගැහුවා.විරාජුත් පුදුමයෙන් වගේ ඒ ළමයා දිහා බැලුවා. විරාජ්ගෙ තාත්තා අපි ඉන්න දිහාවට ඇවිත් හිනා වෙලා ඒ ළමයගේ ඔලුව අත ගෑවා.
“පුතා කොහොමද මගේ නම දන්නේ?පුතාලා මේ වැල්ලෙ කට්ටියක් නම් නෙවෙයි වගේ……”
“මං මේ වැල්ලෙ අයව හොදට අදුරනවා. අපි දෙන්නා මස්සිනාලනේ.ඔයාට මං ණයයිනෙ සල්ලි වගේකුත්……”
ඒ ළමයා එහෙම කියද්දී විරාජ්ගෙ තාත්තා පුදුම වෙලා වගේ අපි දිහායි ඒ ළමයා දිහායි බැලුවා.
“මේ මොනවද දුවේ මේ ළමයා කියවන්නේ?හරියට ලොකු මිනිහෙක් වගේ…….”
“මටත් තාම මේ ගැන හිතා ගන්න බැහැ තාත්තෙ.අපි කට්ටිය යමුකො ගේ ඇතුළට……”
අපි හැමෝම ගේ ඇතුලට ආවා.මේ වෙද්දී නිෂා නංගියි අපේ මල්ලියි විවාහ වෙලා මාස දෙකක් විතර වෙනවා.අපි හැමෝම සාලෙ පුටු වල වාඩි වුනත් අර ළමයා වාඩි වුනේ නැහැ.සාලෙ කැබිනට් එක උඩ තියන මල් මාලයක් දාපු අප්පච්චිගේ විශාල ප්‍රමාණයේ චායාරූපය ලගට ගිහින් ඒ ළමයා ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.අපි හැමෝම පුදුම වෙලා වගේ ඒ ළමයා දිහා බලාගෙනයි හිටියේ.විනාඩි දහයක් විතර ගෙවිලා ගියා.එකපාරටම ඒ ළමයා නිෂා නංගි ගාවට ගියා.
“මගේ ලේලිගෙ අතින් හදපු බත් කටක් කන්න මට වාසනාවක් නැතුව ගියානෙ……”
ඒ ළමයා එහෙම කියනකොට නිෂා නංගි හොදටම බය වුනා.
“අම්මෙ මේ තාත්තා ආයෙ ඉපදිලාද?…..”
එහෙම කියාගෙන කෑ ගහගෙන නිෂා නංගි අම්මා ගාවට ගියා.
“අම්මෙ….මට හිතෙන විදියට මේ ඉන්නෙ අපේ තාත්තා.එයා ආයෙමත් මනුස්ස ආත්මයක ඉපදිලා…….”
හැමෝටම ඇහෙන විදියට කියන්න එහෙම කිව්වා.තාමත් කාටවත්ම හිතා ගන්න බැහැ මොනවද මේ වෙන්නෙකියන්නකියලා.
“පුතේ ඔයා කව්ද?මේ ඉන්න අයව ඔයාගෙ කව්ද?අපිට කියන්න ඔයාට මොකද වුනේ?…….”
විරාජ්ගෙ තාත්තා ඒ ළමයගෙන් එහෙම ඇහුවා.
“මේ මගේ නෝනා.මෙයා මගෙ දුව චායා. මේ මගේ පුතා නිර්මාල්.අපි හරිම ආදරෙන් ජීවත් වෙච්චි පව්ලක්……”
ඒ ළමයා ඒ ටික කිව්වේ තාත්තගේ ෆොටෝ එක දිහා බලාගෙන.දැන් නම් මට හොදටම විශ්වාසයි මේ මගේ තාත්තා.ඒ ළමයා ගිය ආත්මෙ අපි අතර අපේ තාත්තා විදියට ඉන්නැද්දී සිද්ද වෙච්චි හැම දෙයක්ම කිව්වා.අම්මගේ ඇස් වලට කදුලු පිරුනා තාත්තව මතක් වෙලා.
“ආනන්ද මහත්තයා එදා ඔයාට ඉස්කෝලෙ ඉදන් එද්දී පාර පනිනකොට මොකක්ද වුනේ.ඒ වාහනේ එනවා දැක්කෙ නැද්ද?…….”
එහෙම ඇහුවේ විරාජ්ගෙ තාත්‍තා.
“මං ඈතින් දැක්කා ඒ වාහනේ එනවා.එක පාරටම මට පපුවෙ කැක්කුමක් ආවා.ඊට පස්සෙ මට එතනින් පාර පැනගන්න අමාරු වුනා.ඒ වාහනේට මාව හැප්පිලා ඉස්කෝලෙ තාප්පෙ ගාවට විසික් වුනා.ඒ වාහනේ හැප්පිච්ච පාරට තාප්පෙ කඩාගෙන මගෙ ඇගට වැටුනා…….”
අපි හැමෝගෙම ඇස් වලට කදුලු පිරුනා මේ පුනරුප්පත්තිය ගැන අහලා.
“මට හිතා ගන්න අමාරුයි මේ සිද්ද වෙච්චි දේවල් ගැන.මගෙ පුතාගෙ අනාගතේට මේක ප්‍රශ්නයක් වෙයිද මහත්තයා…….”
විරාජ්ගෙ තාත්තගෙන් එහෙම ඇහුවේ ඒ ළමයගේ අම්මයි තාත්තයි දෙන්නම.
“මේ ළමයා මේ විදියෙ දේවල් කියන්න ගත්තේ කොයි කාලෙ ඉදන්ද?……”
මං ඒ ළමයගේ අම්මගෙන් එහෙම ඇහුවා.
“දැනට අවුරුද්දකට කලින් විතර නෝනා. එකපාරටම චායා දුව කියලා කියන්න පටන් ගත්තා.අපි හිතුවේ නිකන් බොරුවට එයාගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරපුවා කියවනවා කියලා.ඒත් දිගටම එයාගෙ පව්ලෙ අය වැල්ලෙ කට්ටිය ඉස්කෝලේ ගැන කියවන්න පටන් ගත්තා.අපිට ඒ ගැන සැකයක් හිතුණා මේ දරුවා කලින් ආත්මයක් ගැන කියවනවා කියලා.ඒක හරියටම ඔප්පු වුනේ අදයි…….”
ඊට දවස් දෙකකට පස්සෙ අපි ඒ දරුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා.ඒ දරුවට අවශ්‍ය කරන ප්‍රතිකාර දීලා මෝහනත්වයට පත් කරලා කලින් ආත්මෙ ගැන සදහටම අමතක කෙරෙව්වා.
“චායා….මොනවද අර ළමයි දෙන්නා කියවන්නේ අම්මා නංගියෙක් ගේන්න හදනවා කියලා.ඒ ඇත්තද?……”
විරාජ් මං ලගට ඇවිල්ලා එහෙම ඇහුවා. තාම මං ඒ සුභ ආරංචිය ගැන විරාජ්ට කිව්වෙ නෑනෙ.
“ඔව් ඇත්ත තමයි…….”🤰
මං හිමිහිට උත්තර දුන්නා.විරාජ් මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.
“මේ සැරේ දුවෙක් වුනොත් නම් හොදයී නේද චායා…….”
“ඔව් විරාජ්.කොල්ලො දෙන්නෙක්ම ඉන්නවනේ ඉතින්……”
🤰♥️
හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට කරමින් විරාජ්ගෙයි මගෙයි කැදැල්ලට ලස්සනම ලස්සන දුවෙක් ඉපදුනා. අයියලා දෙන්නා පණ වගේ නංගිට ආදරෙයි.දූගෙ නම දිව්‍යා සත්සරණී.
පුතාලා දෙන්නයි දුවයි එක්ක අපේ ජීවිත ගොඩාක් සන්තෝශෙන් ගෙව්නා.
නිමි.
කොටස් වශයෙන් පලවූ මනාලියක් ඉකිබින්දා නවකතාව අදින් අවසන් අතර කතාව පළ කිරීම සදහා සියලුම හිමිකම් ලබාදුන් නිලූ සදමිණි කතුවරියට විශේෂ ස්තූතිය. හෙට සිට කතුවරියගේ තවත් අලුත් නවකතාවකින් හමුවෙමු