සැමියා සමග ඇති කරගත් ගැටුමකින් පසු සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමට වැවකට බැස්ස තරුණ බිරිඳ කබරයකු දැකීමෙන් බිය වී දිවිනසා ගැනීම පසෙක තබා පෙරළා නිවස බලා දිව ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඇය 27 හැවිරිදි තරුණ දෙදරු මවකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය තම යෙහෙළියක සමග කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක රැකියාවක් සඳහා ගොස් තිබිණි. එහිදී දැනහැඳින ගත් කොළඹ ප්‍රදේශයේම තරුණයකු සමග දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද විවාහ විය. විවාහයෙන් අනතුරුව දෙදෙනා ආයතනයට නුදුරු ප්‍රදේශයක කුලියට ගත් කාමරයක පදිංචි වූහ.
ඇය පළමු දරුවා ලැබීමෙන් පසු රැකියාව අතහැර ගමට පැමිණි අතර සැමියා කොළඹ එම ආයතනයේම තවදුරටත් රැකියාව කරගෙන ගියේය. ඔහු මාසයකට වරක් දරුවා සහ බිරිඳ බැලීමට ගමට පැමිණීම සිරිතක් කරගෙන තිබිණි. වර්තමානයේ ඇය දෙදරු මවකි. බිරිඳ හා දරුවන් බැලීමට පැමිණෙන සෑම දිනකම ඔහු ඇයට පවසන්නේ දරුවන් දෙදෙනා රැගෙන කොළඹ තම මව්පියන්ගේ නිවසට යමු කියාය.
මෙම යෝජනාවට ඇය විරුද්ධ වන නිසා ඔහු පෙරළා නිවසින් පිටව යන්නේ සිත් අමනාපයෙනි. මෙදින ද පැවති එම කතා බහෙන් පසු ඇති වූ ගැටුමේදී ඇය පැවසුවේ මේ කරදරයෙන් බේරීමට ඇති එකම විසඳුම නිවස අසල ඇති වැවට පැන දිවි නසා ගැනීම බවය. එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය තම කුඩා සිඟිති පුතු සැමියා අතට දී නිවසින් එළියට පැන හඬා වැළපෙමින් කෙළින්ම දිව ගියේ වැව දෙසටය. වැවට දිව ගිය ඇය වැවට බැස වැවේ ගැඹුරු දෙසට පියමැන්නේය. ඒ වෙන විට ඇයගේ ඉණ දක්වා ජලය තිබුණි. ඇය එහිදී දුටු දසුනින් බියට පත් වූවාය. තමන් ඉදිරියට වේගයෙන් දිය කබරයකු එන අයුරු දැක ගත හැකි විය.
සියදිවි නසා ගැනීම පසෙකට තැබූ ඇය ‘අම්මේ දිය කබරයෙක් එනවෝ ’යැයි කියා කෑ ගසමින් ජලයෙන් ගොඩටවිත් පෙරළා නිවස බලා දිව යන්නට වූවාය.
මැයගේ මෙම සියදිවි නසා ගැනීම ගැන වැව අසලට විත් රහසේ බලා සිටි සැමියාටත් ඇයගේ මවටත් ඇයගේ මෙම දිව යෑම නිසා ඇති වූ සිනහව නතර කර ගැනීමට විනාඩි ගණනාවක් ගත විය. එදිනෙන් පසු ඇයගේ සියදිවි නසා ගැනීමේ සිහිනයත් සැමියා ඇය සමග රණ්ඩු වීමත් අවසන් වූ බව තරුණියගේ මව සිය ඥාතීන්ට පවසා තිබුණි.