මනාලියක් ඉකි බින්දා👰
💗ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මං විරාජ් එක්ක ගෙදර යන්න ලෑස්ති වුනා.මං ලෑස්ති වෙලා එනකල් අප්පච්චී විරාජ් එක්ක සාලෙට වෙලා කතා කර කර හිටියා.මං ඇදගෙන ඉවර වෙලා ඇදුම් බැග් එක අතට ගන්නකොට මල්ලි ඇස් දෙකේ කදුලු පුරවගෙන කාමරේට ආවා.

“ආ…මොකෝ මේ ඇස් වල කදුලු?……”

මං මල්ලිගෙන් එහෙම ඇහුවා.

“මට සමාවෙන්න අක්කෙ.මං හින්දා තමයි මේ හැමදේම…….”

“ඒ ගැන දැන් හිතන්න එපා මල්ලී.ඔයාට සනීප වුනානෙ.මං ගිහින් එන්නම්…….”

මං එහෙම කියලා ඇදුම් බෑග් එකත් අරගෙන සාලෙට ආවා.

“දුවේ…..ප්‍රශ්න ඇති කර ගන්නෙ නැතුව ඉවසීමෙන් සමගියෙන් ජීවත් වෙන්න……”

අම්මටයි අප්පච්චිටයි හැමදේකටම වැරදි කාරයා වුනේ මාවමයි.ඒ දෙන්නගේ කැමැත්තටනේ මං විරාජ්ව කසාද බැන්දේ.ඇයි එහෙම පොඩ්ඩක් හිතන්න බැරි.

අම්මටයි අප්පච්චිටයි මල්ලිටයි සමු දීලා මායි විරාජුයි ගෙදර යන්න පිටත් වුනා.

“චායා…මේ අහනවා දැන් ගෙදර ගියාම අපෙ අම්මා තමුන්ගෙන් ඇහුවොත් මොකක්ද වෙච්චි ප්‍රශ්නෙ කියලා එහෙම ලොකුවට ප්‍රශ්නයක් වුනේ නෑ කියලා අර මං කියලා දීපු විදියටම කියනවා.මං අම්මට කිව්වෙ නෑ තමුසෙ අර සමාධිත් එක්ක කියපුවා…….”

මං ඒකට හා කියන්න ඔලුව වැනුවා විතරයි.ඒ කියන්නේ විරාජ් මං ගැන වැරදි මොකුත්ම එයාගෙ අම්මත් එක්ක කියලා නැහැ.ඒත් එහෙමයි කියලා මගෙ හිතේ විරාජ් ගැන අනුකම්පාවක් නම් ඇති වුනේ නැහැ.


“කුසුමා….අම්මයි තාත්තයි කෝ?……”

“මහත්තයා ලොකු නෝනයි ලොකු මහත්තයයි පල්ලියට ගියා.දැන් මග එනවා ඇති……”

පැයක් විතර ගියාට පස්සේ විරාජ්ගෙ අම්මයි තාත්තයි ගෙදර ආවා.විරාජ්ගෙ අම්මා මාව දැකලා ගොඩාක් සන්තෝශ වුනා.

“අනේ චායා දුවේ කොයි වෙලේද ආවේ?……”

“දැන් ටිකකට කලින් ආවෙ අම්මෙ……”

“දුව එදා අපි කාටවත්ම කියන්නෙ නැතුව ගෙදරින් ගිහිල්ලා.මං කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.ප්‍රශ්නයක් වුනොත් මට කියන්න.මං දූගෙ අම්මා වගේනෙ……”

ඇත්තටම විරාජ්ගෙ අම්මා මට මගේම අම්මා තරමටම ලෙංගතු වුනා.මං හිතුවේ මං ගෙදරින් ගිය එකට විරාජ්ගෙ අම්මා මට දොස් කියයි කියලා.ඒත් එහෙම වුනේ නැහැ.

“චායා….තමුසෙට මීට පස්සේ කොහේට හරි යන්න ඕනි නම් මට කියලයි යන්න ඕනි.මගෙන් අහන්නෙ නැතුව මේ ගෙදරින් එලියට එක අඩියක් තියන්න තහනම් තේරුනාද?……”😡😡

විරාජ් හදන්නේ මාව මේ ගෙදර කොටු කරලා තියා ගන්නද?දෙයියනේ මේ මනුස්සයට පිස්සු හැදීගෙනවත් එනවද?

“විරාජ් ඔයාට පිස්සුද?ඇයි මාව මේ විදියට හිර කරගෙන තියාගන්න හදන්නේ.මට කියලා නිදහසක් නැද්ද?මං ඔයාගෙ බිරිඳ වුනා කියලා ඔයාට බෑ මේ විදියට මට බලපෑම් කරන්න……”😠

හිතේ තිබ්බ ආවේගයත් එක්ක මං එහෙම කිව්වා.

“බිරිඳ….තමුසෙ මගෙ බිරිඳ වෙලා ඉන්නෙ නමට විතරයිනෙ ඕයි.ආ…කියනවා බලන්න ගෑනිගෙන් තමන්ට මිනිහට ඉශ්ට වෙන්න ඕනි එක යුතුකමක්වත් තමුන්ගෙන් මට ඉශ්ට වෙලා තියනවද? කසාද බැදලා දැන් මාස හයක් වෙන්න ආවා.මේ මාස හයට තමුසෙ එක පාරක්… ආසාවට එක පාරක් මට තේ එකක් හදලා දීලා තියනවද?කියනවා බලන්න…….”🤬😡

විරාජ් අහපු දේට මට කට උත්තර නැතුව ගියා.මං මොනවා කියන්නද?කියාගන්න දෙයක් නැතුව මං බිම බලා ගත්තා.ඒත් මං සද්දෙ නැතුව හිටියෙ නෑ.

“ඒ හින්දද විරාජ් ඔයා මාව මේ විදියට හිර කරගෙන ඉන්න හදන්නෙ?මට පිස්සු හදවන්නද ඔයා ලෑස්ති වෙන්නෙ?…..”

“පිස්සු…..මේ විදියට ගියොත් පිස්සු හැදෙන්නෙ තමුසෙට නෙවෙයි මට. තමුසෙ හින්දා මට පිස්සු නොහැදී තිබ්බ එක තමයි පුදුමෙ……”😡😡

“දුවේ….මෙන්න යාලුවෙක් ඇවිල්ලා……”

විරාජ්ගෙ අම්මා කාමරේට ඇවිත් එහෙම කිව්වා.අනිවාර්යයෙන්ම සමාධි වෙන්න ඇති.මං ඉක්මනට පල්ලෙහාට ගියා. හිතුවා වගේම සමාධි තමයි ඇවිල්ලා හිටියේ.

“ආ….සමාධි ගොඩ කාලෙකට පස්සේ.
කොහොමද ඉතිං?මොකෝ මේ පැත්තේ?……”

“චායා….මගෙ වෙඩින් එක ලබන මාසෙ දොලහ.ඔයයි විරාජුයි අනිවාර්යයෙන්ම එන්න ඕනි හරිද?ආ…මෙන්න කාඩ් එක…….”

“අනිවාර්යයෙන්ම එනවා සමාධි……”

“මං එහෙනම් ගිහින් එන්නම් චායා.තව ගොඩාක් තැන් වලට යන්න තියනවා……”

සමාධි ගියාට පස්සෙ ඒ කාඩ් එකත් අරගෙන මං කාමරේට ගියා.

“මොකක්ද ඔය?…….”

මං ඒ කාඩ් එක විරාජ්ගෙ අතට දුන්නා. විරාජ් ඒක හොදට බැලුවා.මට බය හිතුණා විරාජ් මට සමාධිගෙ වෙඩින් එකට යන්න දෙන එකක් නෑ කියලා.

“දැන් තමුංට මේ වෙඩින් එකට යන්නම ඕනිද?……”

“ඔව් යන්න ඕනි තමයි.මගෙ හොදම යාලුවනේ.ඔයා අකමැති වුනත් මං සමාධිගෙ වෙඩින් එකට යනවා……”

මං බය වුනේ නෑ විරාජ්ගෙ කටට.එයා හිතාගෙන ඇත්තේ මාව එයාගෙ පදේට නටවන්න.

“නෑ…තමුං සමාධිගෙ වෙඩින් එකට යන්නෙ නැහැ.මං තමුංට යන්න දෙන්නෙ නැහැ…….”🤬🤬

“ඔයාට පිස්සුද විරාජ්.සමාධි මගේ හොදම යාලුවා.මං වෙඩින් එකට නොගියොත් සමාධි මාත් එක්ක තරහ වෙයි.මට යන්නම ඕනි…….”

“තමුසෙට මාර කැක්කුමක්නෙ තියෙන්නෙ යාලුවා ගැන.මගෙ වචනෙට වඩා තමුසෙට සමාධිව ලොකු වුනා……”🤬🤬

“ඇයි විරාජ් ඔයා මගෙන් මෙහෙම පලි ගන්න හදන්නේ?……”

“ඕකට ගිහින් තිබ්බොත් මං තමුසෙගෙ කකුල් දෙක කඩනවා…….”

එහෙම කියලා විරාජ් කාමරෙන් ගියා. විරාජ් හදන්නේ මගෙන් පලි ගන්න.මට හොදටම ඇඩුනා.මල්ලිගේ ජීවිතේ බේර ගන්න මං මගේ මුලු ජීවිතේම අනතුරේ දා ගත්‍තා.වෙලාවකට හිතෙනවා මෙහෙම ජීවත් වෙනවට වඩා හොදයි මැරෙන්න තියනවනම් කියලා.

දවසින් දවස ගෙවිලා ගියා.මං හිත හදාගත්තා සමාධිගෙ වෙඩින් එකට නොගිහින් ඉන්න.

“ආ….මේක ගන්නවා…….”

එහෙම කියලා විරාජ් මගෙ අතට බ්‍රවුන් පේපර් බෑග් එකක දාපු මොකක්ද මන්දා පාර්සලයක් දුන්නා.මං ඒක අතට අරන් බැලුවා.රෝස පාට ලස්සන සාරියක්.

“මේ….ඇයි විරාජ් මට සාරියක්?……”

“මට නම් එන්න බැහැ.තමුං යනවා ඕන්නං යාලුවගෙ වෙඩින් එකට…….”

දෙයියනේ මට පුදුම සන්තෝශයක් දැනුනේ.මට හිතුනෙම නෑ විරාජ් මට සමාධිගෙ වෙඩින් එකට යන්න දෙයි කියලා.මං ඒ සාරිය අතට අරන් හොදට බැලුවා.හරිම ලස්සනයි.😀😀


“විරාජ්….මං…..රූපා අක්කලාගෙ ගෙදරට ගිහින් එන්නද?…….”

“ඒ මොකටද?…….”😡

“මහන්න දීපු සාරි ජැකට් එක අරන් එන්න…….”

“හා ගිහින් එනවා…….”😡

මං ඉක්මනට රූපා අක්කලාගෙ ගෙදරට ගියා.යද්දී රූපා අක්කා වැඩ කරමිනුයි හිටියේ.මං සල්ලි දීලා සාරි ජැකට් එකත් අරගෙන ගෙදර එන්න ආවා.නැත්නම් පරක්කු වුනොත් විරාජ්ගෙන් බැනුම් අහන්නයි වෙන්නේ.සාරි ජැකට් එකත් අතේ තියාගෙන මුහුදු වෙරල අයිනේ පොල් ගස් පේලිය දිගේ එද්දී බෝට්ටුවක් උඩ හිටපු දෙන්නෙක්ව දැකලා මං එකපාරටම නතර වුනා.’දෙයියනේ අර විරාජ් නේද ඉන්නේ?😱කව්ද අර විරාජ් එක්ක ඉන්න කෙල්ල.මං පොල් ගහකට මුවා වෙලා බලාගෙන හිටියා.විරාජ් හිටියේ ඒ කෙල්ලගේ කරේ අත දාගෙනයි. මට හොදටම දුක වගේම බයකුත් දැනුනා.කව්ද ඒ කෙල්ල?🤔🤔මීට කලින් නම් මං ඒ කෙල්ලව දැකලා නැහැ.ඒ කියන්නේ විරාජ් මේ කෙල්ලත් එක්ක යාලු වෙලාද?එහෙනම් විරාජ් මට බොරුවටද ආදරේ කරන්නේ?තව දුරටත් මට ඒ දිහා බලාගෙන ඉන්න බැරි වුනා. ඉක්මනට ගෙදර දුවලා ආවා.

කාමරේට ඇවිල්ලත් මං කල්පනා කරේ කව්ද ඒ විරාජ් එක්ක හිටපු කෙල්ල කියලයි.මටත් නොදැනීම මගෙ ඇස් වලට කදුලු ගලාගෙන ආවා.

“මොකද තමුං අඩන්නෙ?…….”

විරාජ් කාමරේට එනකං මං දැක්කෙ නැහැ.ඒ කියන්නේ විරාජ් මගෙන් පලි ගන්නේ මේ කෙල්ල හින්දද?මට කේන්තියකට වඩා දැනුනේ දුකක්.ඇස් දෙකට උනපු කදුලු නවත්තගන්න මට බැරි වුනා.

“කන ඇහෙන්න නැද්ද තමුසෙගෙ?මොකද අඩන්නෙ?……”😡

“මොකුත් නෑ…….”😡

විරාජ් තවත් කෙල්ලෙක් එක්ක හිටියා කියලා ඇයි මං මෙහෙම දුක් වෙන්නෙ?මං විරාජ්ට ආදරේ නෑනෙ.දෙමව්පියන්ගේ කීමටනෙ මං විරාජ්ව කසාද බැන්දේ. මටත් ඕනි විරාජ්ගෙන් ඈත් වෙන්නනේ. ඇයි මට විරාජ් මගෙන් ඈත් වෙලා යනවා කියලා සතුටු වෙන්න බැරි?මට ඒ ගැන හිතා ගන්න බැරි වුනා.මට දැනෙන්නේ ඊර්ෂ්‍යාවක්ද ඒ දෙන්නා ගැන🤔🤔


මේ අතරතුර මං සමාධිගේ වෙඩින් එකට ගිහින් ආවා.ඒත් හිතට කිසිම සතුටක් දැනුනේ නැහැ.කියාගන්න බැරි මොකක්ද මන්දා අමුතු පාලුවකින් හිත පිරිලයි තිබ්බේ.වෙනදා වගේ විරාජ් මාත් එක්ක කතාවට එන්නෙ නෑ.උදේ පාන්දර හත විතර වෙනකොට විරාජ් ගෙදරින් යනවා. කොහේ යනවද දන්නෑ.නිවාඩු දවසටත් විරාජ් ගෙදර නෑ.මං කීප වතාවක්ම දැක්කා විරාජ් හිනා වෙවී කාත් එක්කද මන්දා ෆෝන් එකෙන් කතා කරනවා.අර කෙල්ලත් එක්ක වෙන්න ඇති.මට හිතට දැනුනේ දරාගන්න බැරි තරම් දුකක්.ඒ දිහා බලලා හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබ්බේ නැහැ.😫😥

කරන්න කියලා දෙයක් නැති නිසා මං මුහුදු වෙරළ පැත්තට ගියා.විරාජ්ට කිව්වෙ නෑ.විරාජ් ගෙදර හිටියේ නැහැ. හිතට දුකක් පාලුවක් තනිකමක් දැනුනම මං ඉස්සර ඉදන්ම කරන්නේ මුහුදු වෙරලට ඇවිල්ලා මේ විදියට මුහුද දිහා බලන් ඉන්න එක.එහෙම ටිකක් වෙලා බලන් ඉන්නැද්දී හොදට පුරුදු කෙනෙක්ව මං දැක්කා.මුහුදට මුහුණ ලා තිබුනු ගල් පර්වතයක් උඩ ඉදගෙන හිටපු ඒ කෙල්ලව අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.ඔව් මේ එදා විරාජ් එක්ක හිටපු කෙල්ල තමයි.කව්ද අර කොල්ලා?හැබැයි ඒ විරාජ් නම් නෙවෙයි.ඒ කෙල්ල ඒ කොල්ලගේ උරහිසට ඔලුව තියාගෙනයි හිටියේ.විරාජ්ව අල්ල ගත්තු ජරා කෙල්ල.
එහෙම හිත හිතාම හිතේ ඇති වුනු ආවේගයත් එක්ක මං ඉක්මනට ඒ කෙල්ලයි කොල්ලයි හිටපු තැනට දුවලා ගියා.මාව දැක්කම ඒ කෙල්ලයි කොල්ලයි දෙන්නම ගැස්සුනා.එතකොටයි මං ඒ කොල්ලව හරියටම දැක්කේ.මේ විරාජ්ගෙ යාලුවා ධම්මික නෙ.

“ආ….මේ චායානෙ……”

ඒ කොල්ලා එහෙම කිව්වා.

“මේ ධම්මික අයියනෙ.මේ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද?…….”

මං කටකොනකින් හිනා වෙලා එහෙම ඇහුවා.

“ඔව්….ඇයි චායා?……”

“මේ වගේ සට කපටි අම්මණ්ඩිලාගෙන් ඈත් වෙලා ඉන්න ධම්මික අයියෙ.මේ කෙල්ල මහ ජරා කෙල්ලෙක්.ඔයාට ආදරේ කරන ගමන් මේ ජරා කෙල්ල මගෙ මිනිහවත් අල්ලගෙන ඉන්නේ. ලැජ්ජ නැද්ද අනුන්ගෙ මිනිස්සුන්ව අල්ල ගන්නෙ?…….”🤬🤬

මං එහෙම කිව්වත් ඒ කෙල්ලවත් ධම්මිකවත් කලබල වුනේ නැහැ.මං බලාපොරොත්තු වෙච්චි කිසිම දෙයක් වුනේ නැහැ.මට පුදුම හිතුණා.

“චායා…..ඔයා මේ දේවල් වැරදියටයි තේරුම් අරගෙන තියෙන්නේ.අපි ඔයාට වෙච්චි හැම දෙයක්ම කියන්නම්…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු