“අපේ මහත්තයා…..දුවට අර කාරණාව ගැන කිව්වද?……”

“තාම නෑ නෝනෙ.හිමීට කියන්න ඕනි.මට තියන බය මේ ළමයා මොනවා කියයිද කියලා……”

කාමරය දෙසින් ඇසෙන අම්මාගේත් අප්පච්චීගේත් මේ සංවාදයට මා ඇහුන්කන් දුන්නේ මුලුතැන්ගෙට යන අතරවාරයේදීය.අනිවාර්යයෙන්ම අම්මයි අප්පච්චියි මේ කතා වෙන්නේ මං ගැන වෙන්න ඕනි.මොකක්ද දන්නෑ ඒ කාරණාවක් කියලා කිව්වේ.පස්සෙ හිමිහිට අහන්න ඕනි…….
එහෙම හිතපු මං කුස්සියට ගිහින් බීපු තේ කෝප්පෙ හෝදලා රාක්කෙන් තියලා මගේ කාමරේට ගියා.

“දුවේ….පොඩ්ඩක් මෙහාට එන්නකෝ……”

අප්පච්චී මට කතා කරන හඩින් හොදටම තේරුනා ඒ ඉස්සෙල්ලා කියන්න හදන කාරණාව ගැන තමා කියලා.මං අප්පචිලාගේ කාමරේට ගියා.

“ඇයි අප්පච්චී……”

“දුව…අපිට ඔයත් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න තියනවා……”

එහෙම කිව්වේ අම්මා.මං හොද උවමනාවෙන් කතාවට සවන් දුන්නා.

“මොකක්ද අම්මේ?……”

“දුව….ඔයාට මංගල යෝජනාවක් ඇවිත් තියනවා……”

“අපොයි දෙයියනේ……”🤦🤦 මට එකපාරටම එහෙම කියවුනා.😁😁

“මොකද ළමයො අපොයි දෙයියනේ කියන්නේ?……”

“මොකුත් නෑ අම්මේ.මට නිකන් එහෙම කියවුනා.කාගෙන්ද අම්මේ ඔය යෝජනාව……”

“සෝමදාස මාමා ඒ යෝජනාව ගෙනාවෙ. එයාගෙ පුතා……”

“මොකක්??……”😡😡

මට එකපාරටම පුදුමයක් ඇති වුනා විරාජ්ගෙන් මට විවාහ යෝජනාවක් ආවා කිව්වම.ඒ වගේ තරහකුත් ඇති වුනා.

“ඇයි දූ පුදුම වෙලා වගේ…….”

“පුදුම වෙන්නෙ නැද්ද අම්මෙ මට ඔය විරාජ්ව පේන්න බැහැ.අනේ අම්මෙ මං එකක් කියන්නම්.අප්පච්චී අදම පුලුවන් නම් මේ දැන්ම සෝමදාස මාමලාගෙ ගෙදරට පණිවිඩයක් යවන්න මං මේකට කැමති නෑ කියලා……”

“පුතේ….එහෙම එකපාරටම තීරණ ගන්න එපා.ටිකක් කල්පනා කරලා බලන්න.විරාජ් ටිකක් දඩබ්බර මුරණ්ඩු කෙනෙක් තමයි.ඒත් අපිට සෝමදාස මාමලාව තරහ කරගෙන මේ වැල්ලෙ ජීවත් වෙන්න බැහැනේ…….”

“ඇයි මේ වැල්ලෙ මිනිස්සුන්ගෙ ජීවිත එයාලට ලියලා දීලද?…….”😡😡

මට ආවෙ පුදුම තරහක්.ඇයි දෙයියනේ මේ වැල්ලෙ මිනිස්සු එයාලට ඔලුව නවාගෙන ජීවත් වෙන්න ඕනිද?

“දුව…..පොඩ්ඩක් කල්පනා කරලා බලලා තීරණයක් ගන්න.ඒ මිනිස්සු වැදගත් විදියට මෙහාට ඇවිත් මේ යෝජනාව කෙරුවා.ඉතිං අපි ඒකට ගරු කරන්න ඕනිනෙ…….”

“ඉතිං…..මට මොකද?අම්මේ මං එකක් කියන්නම්.මං ඔය විරාජ් කියන එකාට කොහෙත්ම කැමති නෑ.මාව මැරුවත් මං ඕකව නම් කසාද බදින්නෙ නැහැ…….”🤬🤬

එහෙම කියපු මං එතනින් නැගිටලා ගිහින් මගේ කාමරේට ඇවිත් දොර වහ ගත්‍තා.’මං කවුරු කියලද මූ හිතාගෙන ඉන්නේ’.

මගේ නම චායා සමන්මලී.මගෙ අම්මා ශිරාණි අබේසේකර.අප්පච්චී ආනන්ද අබේසේකර.මට මල්ලි කෙනෙක් ඉන්නවා.එයා නිර්මාල් අබේසේකර.අපේ ගම මීගමුව.මීගමුවේ මුහුදු වෙරළ අයිනෙමයි අපේ ගෙවල් තියෙන්නේ.අපේ ගෙදර උඩ තට්ටුවේ මගේ කාමරේ ජනේලෙ ඇරියම මුහුද හොදට පේනවා.
උපන් දා ඉදලම අපි ජීවත් වුනේ මේ වැල්ලෙ තමයි.මේ වැල්ලේ �මිනිස්සු ජීවත් වුනේ මාලු වෙළදාම කරලා.එයාලගෙ ප්‍රධාන වෘත්තීය වුනේ මේ මාලු වෙළදාමයි.මගේ අප්පච්චී මීගමුවේ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති.මේ වැල්ලේ දුප්පත් අහිංසක දරු දැරියන් සියලූම දෙනා පාහේ ඉගෙනුම ලැබුවේ ඒ පාසලේ.ඉස්කෝලේ විදුහල්පතිවරයා නිසා අප්පච්චීට වැල්ලෙ මිනිස්සු හොදට ගරු කරනවා.

සෝමදාස බණ්ඩාර කියන්නේ මේ වැල්ලේ මාලු මුදලාලි.එයා ලග දුප්පත් අහිංසක ධීවරයෝ ගොඩ දෙනෙක් ඉන්නවා. සෝමදාසට වැල්ලෙ හැමෝම කියන්නේ ‘වැල්ලෙ අයියා’ කියලයි.මුලු පළාතෙම ඉන්න මිනිස්සු එයාට සෑහෙන යටත්. මේ පළාතෙම බලය පතුරගෙන එයා ඉන්නේ.
කොයි තරම් මසුරු කම් කරත් සෝමදාස මුදලාලි දුප්පත් මිනිස්සුන්ට හරියට පිහිට වෙනවා.සෝමදාස මුදලාලිගෙ එකම පුතා තමයි විරාජ්.මට නම් විරාජ්ව පෙන්නන්න බෑ.නොම්මර එකේ රස්තියාදුකාරයා.එයාටම හරියන චන්ඩීන් පිරිසක් එයාත් එක්ක ඉන්නවා.

“දුවේ….මේ දොර අරින්නකෝ ළමයෝ……”

ඒ පාර අම්මා ඇවිල්ලා දොරට තට්ටු කරන්න පටන් ගත්තා.බේරෙන්න බැරිම තැන මං ගිහින් දොර ඇරියා.

“ඇයි අම්මේ මේ දොර කඩන්න වගේ ගහන්නේ?…….”

“රෑට කන්නෙ නැතුවම නිදා ගන්නද හදන්නේ?විකාර නොකර ඇවිත් කාලා නිදා ගන්න……”

“මට බඩගිනි නෑ අම්මා.අම්මලා කාලා නිදා ගන්න.ගුඩ් නයිට්…….”

අම්මට එහෙම කියලා මං දොර වහලා නිදා ගත්තා.


“අක්කෙ මේං සමාධි අක්කා ඇවිත් කතා කරනවා……”

මල්ලි ඇවිත් මට එහෙම කිව්වා.මං ටක්ගාලා ඉක්මනට එලියට දුවගෙන ගියා.

“ආනේ….සමාධි කවද්ද ගමේ ගිහින් ගෙදර ආවේ?…….”

“ඊයෙ හවස ආවෙ චායා.මං මේ නිකමට ආවෙ ඔයාව බලලා යන්න.ආ ඔයාට මේ පොඩි බඩුවක් ගෙනාවා මං……”

සමාධි එයාගෙ අතේ තිබ්බ පොඩි බෑග් එකක් මගෙ අතට දුන්නා.

“මේ මොනවද සමාධි?…….”

“මැංගුස් වගයක්……”

“අනේ තැන්ක්‍යූ සමාධි.කතාවෙන් කතාවෙන්ම මට ඔයාට ගෙට අඩගහන්නත් අමතක වුනා.සොරි අනේ. එන්න ගේ ඇතුළට…….”

“නෑ චායා.අපි යමුද මුහුදු වෙරළ පැත්තට……”

“ඉන්න මං අම්මට කියලා එන්නම්……”

කුස්සියට දුවගෙන ගිහින් අම්මට කියලා මං සමාධිත් එක්ක මුහුදු වෙරළ පැත්තට ගියා.වෙරළ අයිනෙ ගලක් උඩින් අපි වාඩි වුනා.

“අද වහියි වගේ නේද චායා?……”

“ඒ වගේ තමයි සමාධි.ඊයෙ හවසත් වැස්සා……”

මාත් එක්ක කතා කර කර හිටියත් සමාධි මුහුදේ ඈත ඉසව්ව දිහා බලාගෙන කල්පනා කරනවා.සමාධි හිටියේ ටිකක් දුකින් වගේ.

“සමාධි….ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නේ?……”

“එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ චායා.අනේ මන්දා අප්පා……”

“ලොකු ප්‍රශ්නයක් නැත්නම් පොඩියට හරි ප්‍රශ්නයක් ඇතිනෙ.මට කියන්න පුලුවන් දෙයක් නම් කියන්න……”

“අම්මලා මට මනමාලයෙක් හොයලා චායා……”

සමාධි එහෙම කියනකොට මට මතක් වුනේ විරාජ්ගෙ ගෙදරින් මට ආපු විවාහ යෝජනාව ගැන.සමාධිගෙ මුහුණින් මට පෙනුනේ එයාගෙ අම්මලා හොයපු මනමාලයට සමාධි කැමති නෑ වගේ.

“ඉතිං සමාධි ඔයා කැමති නැද්ද ඒ මනමාලයට……”

“එහෙම දෙයක් නෙවෙයි චායා.එයා මට වඩා වයසින් ටිකක් වැඩිමහල්.ඉතිං මට මොකක්ද වගේ……”

“ඉතිං එයාගෙ වයස කීයද?……”

“තිහයි……”

“අනේ අම්මෝ සමාධි.ඔයා කියපු විදියට මං හිතුවේ අවුරුදු හතලිහත් පැනලා ඇති කියලා.අවුරුදු තිහ නම් මොකක්ද අනේ.අපිට වඩා අවුරුදු හතයිනෙ වැඩිමහල්……”

“අම්මලා කියන්නෙත් ඕකම තමයි.අනේ මන්දා මට නම් මොකක්ද වගේ……”

“නිකන් බොරුවට හිතන්න එපා සමාධි. එයා හොද මනුස්සයෙක් නම් කැමති වෙන්න.වයස ප්‍රශ්නයක් කර ගන්න එපා. අවුරුදු තිහ කියන්නේ හැර මිටියෙන් යන වයස නෙවේනෙ……”

“හරි හරි.පණ්ඩිත ආච්චිනෙ උඹ.ඒක නෙවෙයි උඹට නැද්ද තාම කොල්ලෙක්?……”

“අනේ මේං වැන්දා මට තාම එහෙම අමාරුවක් නෑ……”😁😁🙏

“අනේ පලයං බං යන්න.බලමුකෝ බලමුකෝ අපි අපිත් මේ වැල්ලෙනෙ ඉන්නේ……”😁😀

“හරි හරි යමං දැන් ගෙදර.අම්මලා බලාගෙන ඇති අපි එනකල්……”


“දුවේ අර කාරණාව ගැන පොඩ්ඩක් හිතලා බැලුව නම් හොදයි නේද?……”

පලා මිටිය සුද්ද කරන ගමන් අම්මා මගෙන් එහෙම ඇහුවා.මං දන්නවා අම්මා මේ මගෙන් අහන්න හදන්නේ විරාජ්ගෙ ගෙදරින් ආපු විවාහ යෝජනාව ගැන කියලා.

“මොන කාරණාවද අම්මෙ?……”

“අර වැල්ලෙ අයියගෙ ගෙදරින් ගෙනාපු විවාහ යෝජනාව ගැන……”

“අනේ අම්මේ……මං අම්මටයි, අප්පච්චිටයි එදාම කිව්වා මං ඒ යෝජනාවට කොහෙත්ම කැමති නෑ කියලා.මට ආයෙමත් ඒ ගැන කියන්න එපා…….”

“ඒ වුනාට පුතේ ඒ ළමයා නරක කෙනෙක් නෙවෙයිනෙ……”

“බේබද්දෙක්,රස්තියාදකාරයෙක්, කොයි වෙලේ බැලුවත් රණ්ඩු කරගන්නවා…. ඉතිං අම්මේ ඌ නරක කෙනෙක් නෙවෙයිද?……”

“ආ….මේ මොකද අම්මයි,දුවයි දෙන්නා රණ්ඩුවක්ද?……”

එහෙම අසමින් අපි ගාවට ආවේ අප්පච්චී.

“මං මේ දුවට කිව්වේ වැල්ලෙ අයියලාගෙ ගෙදරින් ගෙනාපු යෝජනාව ගැන තව පොඩ්ඩක් හිතලා බලන්න කියලා. කොහෙද ඒ ගැන කිව්වා විතරයි මෙයා මෙතන කෑ ගහන්න පටන් ගන්නවනේ…….”

අම්මා මං කතා කරේ කේන්තියෙන්.ඒත් එහෙමයි කියලා මං කොහොමද මේ යෝජනාවට කැමති වෙන්නේ.

“මං මේ අහන්නමයි හිටියේ දුවගෙන්.ඇයි දුව විරාජ්ට ඔච්චරටම අකමැති?ඒ ළමයගේ ටිකක් හොද නැති ගතිගුණ නම් තියනවා තමයි……”

“ටිකක් නෙවෙයි අප්පච්චී ගොඩක්. අප්පච්චිට ඒ නරක ගතිගුණ ටිකක් වගේ පෙනුනට මට නම් එහෙම පේන්නෙ නැහැ.අප්පච්චි ගුරුවරයෙක් නේද?හොද නරක මොකක්ද කියලා අප්පච්චිට අපි හැමෝටම වඩා තේරෙනවා.එහෙම එකේ ඇයි දෙයියනේ තමන්ගෙ එකම දුවව මේ රස්තියාදකාරයෙක්ට බන්දලා දෙන්න හදන්නේ?……”😥😡

තරහක් වගේම දුකකුත් මට දැනුනා. ඇස් වලට කදුලු පිරුනත් මං ඒවා පිටතට ගලන්නට ඉඩ දුන්නෙ නැහැ.

“දුව….අපි කියන දේත් පොඩ්ඩක් අහන්න.
ඔයා කියන දේත් ඇත්තක් තියනවා. නමුත් විරාජ් එහෙම නරක මනුස්සයෙක් නෙවෙයි.බලන්න මේ වැල්ලෙ කී දෙනෙක්ට එයා රස්සා හොයලා දුන්නද? ඉස්කෝලේ යන කාලෙත් ඒ දරුවා හරිම හොද ගතිගුණ තිබ්බා.ටිකක් දඩබ්බරයි හිතුවක්කාරයි තමයි.ඒවා ඔය වයසට සාමාන්‍ය දේවල්.අදින පලදින විදියෙන් මනුස්සයෙක්ව මනින්න එපා…….”

අප්පච්චී විරාජ් ගැන මට ගොඩාක් උපදෙස් දුන්නා.ඒත් මගෙ හිත වෙනස් වුනේ නැහැ.

“දුවේ….වැල්ලෙ අයියා අපිට ඒ කාලෙ ඉදන්ම කොයි තරම් උදව් කරාද?අපිට මේ ඉඩමත් අරන් දුන්නෙ එයා.මේ වැල්ලෙ හැමෝම එයාට රජෙකුට වගේ සලකන්නේ.එයාව තරහ කරගෙන අපිට මේ වැල්ලෙ ඉන්න ලැබෙන්නෙ නැහැ දුවේ.මං දුවට මේ තරම්ම බල කරේ විරාජ් ඔය දුව කියන තරම්ම නරක මනුස්සයෙක් නෙවෙයි හින්දා.පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න…….”

මට නම් තේරෙන්නෙ නැහැ ඇයි අප්පච්චී මේ විවාහ යෝජනාව ගැන මේ තරම්ම හිතන්නේ කියලා.සෝමදාස මුදලාලිව තරහ කර ගන්න බෑ කියලා මං කොහොමද අර විරාජ්ව කසාද බදින්නේ. මට පුලුවන් නම් මං ගිහින් ඕකගෙ දත් හැන්දම බඩට අරිනවා.ඒ තරමටම මට ඌව පේන්න බැහැ.😡😡

“අම්මෙ මං නිරූපා අක්කලාගෙ ගෙදරට ගිහින් එන්නම්.මේ ගව්මක් මහන්න දෙන්න තියනවා……”

මහන්න දෙන්න තියන ගව්මත් අරගෙන මං නිරූපා අක්කලාගෙ ගෙදරට ගියා.ඊට පස්සෙ ගව්මෙ මිම්මත් දීලා ආපහු ගෙදර එන්න ආවා.වෙරළ අයිනෙන් එනකොට මං දැක්කා විරාජ් පොල් ගහකට හේත්තු වෙලා ඉන්නවා.දැක්කෙ නෑ වගේ මං එන්න හැදුවත් විරාජ් මං ආපු පාර හරස් කරගෙන හිට ගත්තා.

“කොහෙද මේ හදිස්සියෙන්ම වගේ දුවන්නේ?……”

“ගෙදර යන්නෙ.ඇයි?……”😡

“අම්මෝ මෙයාගෙ සැර.ඉක්මනට නාකි වෙයි ඔයා……”

“ඉතිං නාකි වුනාවෙ.ඇයි මොකද?……”😡

“ටිකක් ගරු සරු ඇතුව කතා කරන්නකෝ චායා.මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි……”

මට ආවෙ පුදුම කේන්තියක්.විරාජ් කතා කරේම මං ඇස් දිහා එක එල්ලේම බලාගෙන.

“මට ඔයත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ විරාජ්……”

“අපෙ තාත්තා ඔයාලගෙ ගෙදරට ගෙනාපු යෝජනාව ගැන ඔයා මොකද කියන්නෙ?……”

“මං ඒකට කොහෙත්ම කැමති නෑ විරාජ්. මං ඒ ගැන අම්මටයි,අප්පච්චිටයි කිව්වා……”

ඊලග කොටසින් නැවත හමුවෙමු