1979 පෙබරවාරි 24 උපන්න මදුෂ් කඹුරුපිටියේ ගතාරේ. මදුෂ්ගේ අම්මා ඝාතනය වෙන්නේ 1989 ජූලී 21 දී.ජේවීපී රැස්වීමක ඉන්නකොට ආමි එකෙන් වෙඩි තියලා.ඊට පස්සේ පුංචි අම්මා ගාව ඉගෙන ගන්න මදූෂ් ඕලෙවල් වලින් පස්සේ අධ්‍යාපනය නවත්තනවා.1998 දී කසාද බැදලා මදුෂ් ගතාරෙන් යනවා නෝනගේ ගෙදර මාකඳුරේ.මාකඳුරේ යන නිසයි මාකඳුරේ මදුෂ් වෙන්නේ කාලයත් එක්ක.
කසාද බැඳලා ඉන්න මදුෂ් කරන්නේ දර විකුණන රස්සාවා.ඒ සල්ලි වලින් හම්බෙන ගානෙන් ගන්නවා අත් ට්‍රැක්ටරයක්.පස්සේ ඒ ට්‍රැක්ටරේ කරවල බිස්නස් කරනවා.
දවසක් ඔය ට්‍රැක්ටරය නිසා පාර හරස් වුණා කියලා කඹුරුපිටියේ උපනන්ද එක්ක මදුෂ් පැටලිලා මදූෂ් උපන්නදට ගහන්න යනවා.උපනන්ද මේක ගිහින් මස්සිනාට කියනවා.ඒ තමයි දකුණු පළාත් සභා එවකට ඇමති ඩැනී හිත්තැටිය.ඩැනී හිත්‍තැටියයි ගෝලයෝ ටිකයි ඇවිල්ලා මදුෂ්ලගේ ගේ ඉස්සරහා කෑ ගහනවා.ආයේ රණ්ඩුව දුරදිග යනවා.
මේ කාලෙම ඩැනීගේ මස්සිනා දිගින් දිගටම රණ්ඩු වෙනවා මදූෂ් එක්ක.මදුෂ් ඒ වෙද්දී රජයේ ඉඩමක ගෙයක් හදාගෙන යනගමන් ඉන්නේ.දවසක් මදුෂ් නැති වෙලාවේ ඩැනී හිත්තැටියලා,මස්සිනාලා ඇවිත් ගෙදර බඩු විසිකරලා දාලා බිරිඳට ගහලා එලවනවා.මේක දැනගත්ත එක දේශපාලකයෙක් ඩැනීට අඬගහලා කියනවා “ඩැනී තමුසේ දාගන්නේ ලොකු ලෙඩක් .ඔය පොඩි කොල්ලෝ එක්ක හැප්පෙන්න එපා” කියලා.(ඒ දේශපාලකයා තවම ඉන්නවා.සාක්ෂිත් තියෙනවා)
ඒ කිව්වා වගේම 2004 ජූලි 17 උපන්නදට වෙඩි තියලා මරනවා.ඒ උපන්නද දුන්න වදයට.පස්සේ මදූෂ් පැනලා යනවා.ඒ ගිය මදුෂ්ව පළවෙනි සහ අන්තිම වතාවට පොලීසියට කොටු වෙන්නේ 2006 දී.අත් අඩංගුවට ගන්නේ දැන් නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න ප්‍රියන්ත ජයකොඩි.ඒ නඩුවට රිමාන්ඩ් වෙනවා.ඒත් ඩැනීව අත් අරින්නේ නෑ.ඒ නිසා මදූෂ් බන්ධනාගාරයේ ඉන්න ගමන් එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියව කොන්ත්‍රාත්තුවක් දීලා ඝාතනය කරනවා 2006 ජූනි 11.ඒ වෙනුවෙන් ඇතුළේ ඉන්නම කොල්ලෙක්ව ඇප දීලා එලියට ගන්නේ.ඒ කොල්ලගේ නම ඇටය.(2013 දී ඔය ඇටයා කියන එකාව මරනවා කඩුවෙල සමයංලා)
ඊට පස්සේ 2011 දී මදූෂ් ඉන්නේ ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශ භාරයේ.එතනදිත් මරු වැඩක් කරනවා(ඒවා පස්සේ ලියන්නම්).පස්සේ එලියට එනවා.ඊට පස්සේ තමයි කංජිපානි සහ රිප්ඛාන්ගේ සහයෙන් ඩුබායි යන්නේ එතැනින් පස්සේ තමන්ට අභියෝගවුණ හැම කෙනාටම ගැහුවා.කොන්ත්‍රාත් දීලා.ඒක රහසක් නෙමෙයි.ඒක බොරුවකුත් නෙමෙයි.ඒ වගේම මදූෂ්ට ලංකාවේ දේශපාලකයෝ,පොලීසියේ අය,ව්‍යාපාරියකයෝ අතර ලොකු සම්බන්ධ කමකුත් තිබ්බා.ඒ සියල්ල මදුෂ් කියලා ඉවරයි.
කොහොම වුණත් අන්තිමේ ඩැනී හිත්තැටියලා තමයි කොහේවත් ඉන්න කොල්ලෙක් පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනෙක් කරලා අද පාන්දර ඇපල්වත්තෙදී මැරුම් කන තැනට පාර කැපුවේ.මදුෂ් ගැන ලියන්න තියෙන කතා ගොඩයි.ඒ වගේම මදුෂ්ටත් අපිට කියන්න තියෙන කතා ගොඩක් ඇති.
අමතක කරන්න එපා ඩැනී හිත්තැටියලත්,මාකඳුරේ මදුෂ්ලත් තවම සමාජයේ ඉන්නවා.ඒවා ආත්ම.ඒ නිසා තරුණ ළමයි පරිස්සමින් ජීවිතේ ගෙවන්න.මොකද ඒ ආත්ම තවත් කොල්ලෝ බිල්ලට හොයනවා…
උපුටා ගැනීමකි.
####$$$$$$$$$$$
හැබැයි මධුෂ් ගැන මෙහෙම සටහනක් නියෝජ්‍ය පොලිස්පති Priyantha Jayakody දාලා තිබ්බා.
සැවොම මේ ලිපි දෙක කියවන්න…..
සටහන : නියෝජ්‍ය පොලිස්පති Priyantha Jayakody
(පළමු ලිපිය : 2019 පෙබරවාරි 12 වැනිදා )
නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත
වෙනත් නම් :- මාකදුරේ මදූෂ්
ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය
උපන් දිනය :- 1979.02.24
ගැවසෙන තැන් :- ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ, මාවරල, මිනුවන්ගොඩ,
වාරියපොල.
මේ දිනවල සියළුම විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා වෙබි අඩවි අරක් ගෙන ඉන්නේ මදූෂ් ගැන. දිනපතා ජාතික පුවත්පත් වල මුල් පිටුවේ සිරස්තලය සැරසෙන්නේ මදූෂ්ගේ නමින්. ඒක හරියට එක කාලයක් සක්විතිගේ මුදල් ආයෝජනය ගැන පිටු ගනන් දැන්වීම් පල කරලා මුදල් උපයාගෙන ඊට පස්සේ සක්විති මුදල් වංචා කිරීම ගැන තවත් සති ගානක් පත්තරවල සිරස්තල සරසවපු ජාතියේ වැඩක්.
මාකදුරේ මදූෂ් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ මම. ඒ 2005 ජුලි මාසේ 25 වන දින වාරියපොලදී ගිණි අවි 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදියි. ඒ අවස්ථාවේ ඔහුට විරුද්ධව මීගමුව, ගාල්ල ප්‍රදේශ වල ලීසිං සමාගම් 03 ක් ආයුධ සන්නද්ධව කොල්ලකෑම සම්බන්ධව චෝදනා එල්ල වුනා.
මදූෂ් අත්අඩංගුවට ගත්තේ පාන්දර යාමයේ වාර්යපොල ප්‍රදේශයේ වත්තක ගල් ගුහාවක සැගව සිටියදී. මෙම කොල්ලකෑම සිදු කල කණ්ඩායමේ මදූෂ් එක් සාමාජිකයෙක් පමණයි. 2005 දී අත්අඩංගුවට ගද්දි මදූෂ් සම්බන්ධ වෙලා හිටියේ අයුධ සන්නද්ධ කොල්ලකෑම් කිහිපයකට සහ මිනීමැරුම් 02 කට පමණයි. ඒත් මේ වන විට මදූෂ්ගේ අපරාධ ඉතිහාසය මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් 50 කට අධික සංඛ්‍යාවකගෙන් සමන්විතයි. මේ හැම එකකටම වැඩියෙන් ඔහු ප්‍රසිද්ධ ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීම සම්බන්ධවයි.
ඔහු සිය අපරාධ ජීවිතයේ කූඨප්‍රාප්තිය සටහන් කලේ 2016 විතර. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ වන විට පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍ර.පො.ප. නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කිරීම හා පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ නම ඈදිලා තිබුනා. ඊට අමතරව දකුණු පළාතේ සේවය කල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට මදූෂ් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවියක මාධ්‍යෙව්දියෙක් මගෙන් ප්‍රශ්න කලා. මම ඔහුට දුන්නේ මේ වගේ උත්තරයක්.
“මදූෂ් කියන්නේ තුන්වන පන්තියේ අපරාධකාරයෙක්.විශේෂයෙන් කොල්ලකරුවෙක්. 2005 දී මම ඔහුව කන් ගැට්ටෙන් අල්ලගෙන පොලීසියට ගෙනල්ලා උසාවි දැම්මා. කවදා හරි මදූෂ්ගේ ජිවිතය කෙළවර වෙන්නේ හිර ගෙදර. එහෙම නැත්තම් පොලීසිය අතින් මහ මගදී වෙඩි කාලා . එතකන් ටිකක් ඉවසන්න”
මෙම ප්‍රකාශය මුද්‍රිත, විද්‍යුත් මෙන්ම සමාජ ජාලා මාධ්‍ය වල ප්‍රචාරය වුනා. ඒ අද වෙනකම් මදූෂ්ගෙන් ඒ ගැන නම් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. සමහරු මගෙන් ඇහුවා තුන්වන පන්තියේ අපරාධකාරයෙක් කියලා කියන්නේ ඇයි කියලා. මම එහෙම කිව්වේ ඔහු කරන අපරාධ වල කෘරත්වය සලකලා නෙමෙයි.
අපරාධකාරයෙක් වුනත් යම් කිසි මනුස්සත්වයක් හා සංයමයක් තියෙන්න ඕනේ. සමහර දරුණු අපරාධ වල නිරත අපරාධකරුවන් තුල පවා මනුස්සකම, සංයමයක් තිබුනා. ඒ නිසයි ඔවුන්ව පළවෙනි පන්තියේ අපරාධකරුවන් කියලා හදුන්වන්න පුළුවන්. ඔවුන් අපරාධකරුවන් වුනත් ඔවුන් තුල ඇති මනුස්සකම ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් “චීනා” වගේ අපරාධකරුවන් තුල මෙම තත්වය පැහැදිලිව තිබුනා. මම මීට පෙරත් මේ පිළිබදව මුහුණු පොතේ සදහන් කරා.
අපේ අපරාධ ඉතිහාසයේ සුප්‍රකට අපරාධකරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් අතර, “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, “චොප්පේ” ප්‍රසිද්ධයි. මේ අය හුග දෙනෙක් තමන්ගේ බාහු බලයෙන් අපරාධ ක්‍රියාවල යෙදුනු අය. ඔවුන් සෑම කෙනෙක්ම අපරාධකරුවන් වුනත් සමහරුන්ට ඔවුන් ජීවත් වුන සමාජය තුල විශාල ගෞරවයක්, සැලකීමක් ලැබුනා මේ ගැන ඕන තරම් අපි කතා අහලා තියෙනවා. උතුවන්කන්දේ සරදියෙල් සුද්දෝ හැදින්වුවේ අපරාධකරුවෙක් විදියට. ඒත් සාමාන්‍ය ජනයා අතර ඔහු වීරයෙක් වුනේ “ලංකා රොබින්හුඩ්” හැටියට.
ඒත් මදූෂ් වගේ කෙනෙක් ගැන එහෙම කතා කරන්න ඉඩක් තියෙනවාද ?. මදූෂ් සිදු කල මනුෂ්‍ය ඝාතන කිසිම එකකට ඔහු පැමිණ තිබුනේ නැහැ. ඒ හැම එකක්ම සිදු කලේ පසුබිමේ ඉදගෙන. කුඩු සල්ලිවලින් පාපතර කුලී මිනීමරුවන් ලවා මදූෂ් සිදු කල සුප්‍රකට ඝාතනයක් තමයි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයෙක් මෙන්ම දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය. මෙම ඝාතනය සදහා ඔහු භාවිතා කලේ වෙනත් වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පලාගිය හුදා භටයෙකු වූ “කමාන්ඩෝ නිශ්ශංක” නැමැත්තායි. ඔහු දරුණු අපරාදකරුවෙක්. කුලී මිනිමරුවෙක්. මෙම අපරාධකරුව මදූෂ් ඇප තියලා එළියට අරගෙන තමයි මෙම අපරාධය ඔහු ලවා සිදු කෙරෙව්වේ.
“කමාන්ඩෝ නිශ්ශංක” මිනුවන්ගොඩ ප්‍රදේශයේ මා විසින් මෙහෙයවන ලද පොලිස් කණ්ඩායමක් සමග සිදු කල වෙඩි හුවමාරුවකදී මිය ගියා. මෙම සිද්ධියේ ඉදලා මදූෂ් සැලසුම් කරන සෑම අපරාධයක්ම සැළසුම් කරේ පසුබිමේ ඉදලා කුලී මිනීමරුවන් යොදවලයි. මෙවැනි අයෙකු තමයි තුන්වන පන්තියේ පාපතර අපරාධකරුවෙකු ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම මදූෂ් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එව්වා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කළු සල්ලි වලින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කලා. යහළුවන්ට, දේශපාලඥයන්ට මෙන්ම පන්සල් පල්ලි වලටත් අත දිගහැරලා වියදම් කල බවට තොරතුරු තියෙනවා. මදූෂ් මෙරටට එවපු මත්ද්‍රව්‍ය භාවිතා කරලා විනාශ වුන හැම ජීවිතයකටම මෙම පාපතර අපරාධකරු වග කිවයුතුයි.
මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. පෙබරවාරී මාසේ 04 වෙනිදා වෙනකම් අපේ මාධ්‍යෙව්දීන් බහුතරයක් මදූෂ් ගැන ලිව්වේ ජාතික වීරයෙක් ගැන ලියන විදයට. ඔහු ගැන ලියවුනු ලිපි වලින් ඔහු වීරයෙක් කරා විතරකුත් නෙමෙයි ඔහුව අනුගමනය කිරීමට අපගේ තාරුණයන් අතර උත්තේජනයක් ඇති කලා. මදූෂ් වගේ අපරාධකරුවෙකු හමුවේ ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ මහමේරු පර්වතයක් වගේ නොසැලී ඉන්න සංවිධානයක්. නින්දා, ගැරහුම්, ප්‍රසංශා මේ හැම එකක්ම උපේක්ෂා සහගතව විදගන්න ශක්තිය තියෙන සංවිධානයක්. වසර 36 ක් වූ මගේ සේවා කාලය ඇතුලත “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, වගේ අපරාධකරුවන් සමග ගැටෙන්න පොලීසියට සිද්ද වුනා.
ඒත් අද ඒ අපරාධකරුවන් කොහෙද ඉන්නේ කියන එක තීරණය කිරීම මෙම සටහන කියවන පාඨකයින්ට භාරයි. මදූෂ්ට අයිති වෙන්නෙත් ඒ ඉරනමම තමයි. ජීවිත දහස් ගානක් බිලිගත් සයිනයිඩ් සංස්කෘතිය හදුන්වාදුන් වේලු පිල්ලේ ප්‍රභාකරන් පවා අවසාන මොහොතේ දැල්වුනු ජීවත් වීමේ ආශාව දරාගෙන අවසානයේ අමුඩය පිටින් වෙල්ලමුල්ලි වයික්කාල්හි කඩොලාන අතරේ සැගවෙන තත්වයට පත්වුනා. ප්‍රභාකරන්ගේ ලගින්වත් තියන්න බැරි මදූෂ්ටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. මොන තරමි අපරාධ කලත්, මොන තරම් ජීවිත විනාශ කලත් හැම අපරාධකරුවෙක්ම විනාඩියක් හරි ජීවත් වෙන්න ආසයි. වැලිකතර චිත්‍රපටයේ ASP රන්දෙනිය හා ගෝරිං මුදලාලි අතර ඇතිවූ දෙබසකින් මම මෙම සටහන අවසාන කරනවා.
“උඹ ජීවත් වෙන්න ආසයි මිනිහෝ. උඹ බයගුල්ලෙක්, උඹ ආසයි උඹේ සල්ලි වලට, උඹේ කාර් වලට, උඹේ බලයට, ලස්සන මාලිගාවලට ඒ හින්දා තමයි උඹ මේ සේරම කරන්නේ. ගෑනියෙක්ට මුවා වෙලා වීරයෙක් වෙන්නේ නැතුව බැහැපන් යකෝ එළියට”.
=== දෙවන ලිපිය (2020.10.20) ===
“මදුෂ් “
මාකඳුරේ මධුෂ් ගැන මම මුහුණු පොතට එකතු කරන දෙවන සහ අවසන් සටහනත් මේකයි (මුල් සටහන 2019 පෙබරවාරි එකොළොස් වැනිදා මදුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මම මුහුණු පොතට එක් කළා එය සටහනක් දැන් නැවත share කරලා තියනවා )
සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත ඉපදිලා තියෙන්නේ කඹුරුපිටිය පොලිස් වසමේ, ගතාරේ එහෙත් ඔහු විවාහ වෙන ගයනි මුතු මාලගේ ගම මාකඳුර. විවාහ වෙලා බින්න බැස්සට පස්සේ තමයි ගතාරේ මධූෂ් “මාකඳුරේ මධූෂ්” බවට පත් වන්නේ.
ශ්‍රී ලංකා පොලීසියෙ අපරාධ ඉතිහාස ලේඛනවල මදුෂ්ගෙ නම මුලින්ම සටහන් කිරීම සිදු කළේ මම එතකොට මදුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙක් මීගමුව . ගාල්ල ,ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මුලින්ම මධූෂ්ව මම වාරියපොල දි අත්අඩංගුවට ගත්තේ 2006ජූලි මාසේ විසි පස්වෙනිදා එය තමයි ශ්‍රී ලංකාව ඇතුලත මදුෂ් අත්අඩංගුවට ගත් පළමු සහ අවසාන වතාව මේ අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිපීටර් වගේ තුවක්කුවක් අත්අඩංගුවට ගත්තා මේ වෙනකොට මධූෂ් ඔහුට වෙඩි තැබූ බව කියන ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධ ව පොලිසියට අවශ්‍යව තිබුණ අපරාධකාරයෙක්
ගමේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ගමෙන් පළා ඇවිත් “උණාකුරුවේ ශාන්ත” කියන අපරාධකාරයා සමඟ සම්බන්ධ වෙලාලීසිං සමාගම් ඇතුළු මුල්‍ය ආයතන කොල්ලකෑමේ සිද්ධින් දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මධූෂ් ඇතුලු අපරාධ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ . මාස ගණනාවක් අත්අඩංගුවේ තබා ගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය විස්තර ලබාගෙන මධූෂ් අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව ප්‍රශ්න කිරීම් කරන අවස්ථාවේදී මම දැනගෙන හිටියා ඔහු තුළ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ අරමුණක් තියෙන බවත්,ඔහු ඩැනී හිත්තැටිය සමග දැඩි වෛරයකින් පසුවන බවත්, මම මේ සම්බන්ධව ලිඛිතව සහ වාචිකව ඩැනී හිත්තැටිය දැනුවත් කළා. එහෙම තියෙද්දී තමයි මදූෂ් සූක්ෂමව බන්ධනාගාර ගත කරල හිටපු මාරක ළිඳේ බයිසිකල් ධාවකයෙකු සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා ඇප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනා ලෙස සැලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනී හිත්තැටිය ඝාතනය සිද්ධ කරන්නේ.
වසර පහකට පස්සේ 2011තමයි මධූෂ් බන්ධනාගාරයෙන් එළියට එන්නේ.ඔහු බන්ධනාගාර ගතව ඉන්න කාලෙදී ඔහුගේ නම ඈදෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධ සිද්ධියකට මේකෙ කෙළවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයෙක් මේ හේතුවෙන් මාස 18 ක ට ආසන්න කාලයක් මධූෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය රඳවා ගෙන ප්‍රශ්න කරනවා, ඇප අරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මධූෂ් යන්නේ කොළඹ අලුත්කඩේට,මේ කාලෙදී තමයි ඔහු කන්ජිපානි ඉම්රාන් සහ රිප්ඛාන් කියන අලුත් කඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නේ.
එම මිත්‍රත්වය ඔස්සේ තමයි ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිර් රාජ්‍යය නොහොත් ඩුබායි රටට යන්නේ.මදුෂ්ට ඩුබායි රටට යන්නත් ඩුබායි ගිහින් පදිංචි වෙන්නත් උදව් කළේය රිප්ඛාන් ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලියක් විසින් රිප්ඛාන්ව ඝාතනය කිරීම මදූෂ්ට ඔරොත්තු දුන්නේ නැහැ මේ ඝාතනයට සම්බන්ධ වෙලා හිටපු “කොස් මල්ලි “කියන තැනැත්තාව අඟුණකොළපැලැස්ස දී ඝාතනය කරලා සිරුර රහසිගතව මිහිදන් කරල බෙල්ල කපාගෙන ඇවිල්ලා රිප්ඛාන්ව මරපු තැනම තියලා තමයි මධූෂ් සැනසුම් සුසුම් හෙළුවේ. ඔහුගේ අපරාධකාරීත්වය ඒ තරමටම මෙලේචිජයි .
2011 සහ 2019 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාරික ජාලයක් ගොඩ නඟනවා ඇෆ්ගනිස්තානය ඉරානය ඔස්සේ ” රන් චන්ද්‍රවංකයේ” (GOLDEN CRESENT) සිට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට පමණක් නොව මාලදිවයින සහ බංග්ලාදේශයට යැවීම ඔහුගේ මූලික ව්‍යාපාරය වනවා
මේ අතර තුර තමයි මදුෂ් මූලික වෙලා මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්නේ මේ ප්‍රහාරය සඳහා ඔහු නවාස් නැමැති තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔත්තුකරුවකු ලෙස යොදාගන්නවා. ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිලියන්දල ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුෂ්ගේ සැලැස්ම. සැලැස්ම නියමෙට වැඩ කරනවා ප්‍රහාරය ඔහු හිතුවේ ආකාරයටම සිද්ධ වෙනවා මේ ප්‍රහාරය හේතුවෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්යෙක් මිය යනවා පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජීව බරපතළ තුවාල ලබනවා (මේ ප්‍රහාරය හේතුවෙන් පොලිස් පරීක්ෂක රංගජීව අදටත් ආබාධිතයකු බවට පත් වී සිටිනවා ) ප්‍රහාරයට මැදි වූ සිවිල් පුරවැසියකුත් මිය යනවා .
සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිස් සමග ගැටෙනවා අඩුයි බොහෝ විට සිදු වන්නේ යම් අපරාධකරුවකු අත්අඩංගුවට පත්වීමේ අන්තරායක් ඇති වූ විට ඔහු පලායාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදුකරන වෙඩි තැබීමේ සිදුවීමයි . එහෙත් සැලසුම්කර පොලිස් කණ්ඩායමක් ස්ථානයකට කැඳවා ප්‍රහාරයක් එල්ල කරන්න සමත් අපරාධකරුවන් ඉන්න ඉතා අතලොස්සක් මදුෂ් එි අතළොස්සෙන් එකෙක් .
මගේ පොලිස් ජීවිතය තුළ විමර්ශනය කරන ලද අපරාධ අතරින් සුවිශේෂ අපරාධයක් තමයි කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දීකුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ “සමයන්” ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය. මෙය ඉතා තීක්ෂණ ලෙස සැලසුම් කර තිතට සිදු කළ අපරාධයක්. අපරාධය ට සුදුසුම දඩබිම තෝරා ගැනීම, අවශ්‍ය වෙඩික්කරුවන්,තුවක්කු සහ පතරොම් සොයාගැනීම, සුදුසුම උපක්‍රමය තෝරා ගැනීම සහ එයට සුදුසු අපරාධකරුවන් කණ්ඩායම සොයාගැනීම .අපරාධ සිදු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතරින් සුවිශේෂයි මේ හැම අංශයක් ගැනම සලකා බැලූවත්, “එතනමඩල ප්‍රහාරය” හැම අංශයකින්ම ඉතා විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටිනවා .මෙම ප්‍රහාරය සැලකෙන්නේ කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් හැටියටයි මේ ප්‍රහාරය සැලසුම් කර මෙහෙයවනු ලැබුවේ මධූෂ් .
ප්‍රහාරයෙන් පස්සේ එයට මූලිකත්වය ලබා දුන් අපරාධකරුවන් දෙදෙනා වන අංගොඩ ලොක්කා සහ ලඩියා ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමත් මදුෂ්ගේ සැලැස්මේම අංගයක් . මීට අමතරව රුපියල් මිලියන 800 ක් වටිනා මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධිය සැලසුම් කිරීම පිටුපස හිටියෙත් මදුෂ් එම අපරාධ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. මදුෂ්ගේ අපරාධ චාරිකාව ගැන සලකා බැලුවහම ඔහු හැම විටම සිදු කරලා තියෙන්නෙ ඉතා සූක්ෂමව අපරාධ සැලසුම් කිරීම සහ සුදුසුම අය යොදවා එය ක්‍රියාවට නැංවීමයි . ස ඔහුගේ අපරාධ චාරිකාවේ මුල්ම අවධියේ ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මුලින් සඳහන් කළ මංකොල්ලකෑමේ සිද්ධීන් හැර ඔහු පෞද්ගලිකවම පෙනී සිට වසිදු කරන ලද අපරාධ ඉතා විරලයි .
ඔහු විසින් සිදුකරන ලද සෑම අපරාධයකම මහ මොළකරු ගේ කාර්යභාරය තමයි මධූෂ් ඉෂ්ට කළේ. ලැබී තිබෙන ආරංචි හැටියට මේ වන විට මදුෂ් ට අයත් තරු තුනේ හෝටලයක් ඩුබායි දේශීයේ තිබෙනවා ඊට අමතරව වාහන අංගනයක් තියෙන බවටත් තොරතුරු තියෙනවා ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා “දිට්ඨධම්ම වේදනීය කර්මය “කියලා මදුෂ් ට දැන් පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි. ගවයා පසුපස ගැල එන්නා සේ යමකු විසින් සිදුකරන ලද අපරාධද ඔහු පසුපසම එනවා
1979 උපන් මධූෂ් වසර විසිපහක නාඹර තරුණයකු ලෙස අපරාධ ලෝකයේ අභිෂෙක් ලබන්නේ 2005 වසරේදීයි. වසර පහළොවක් වැඩි කෙටි කාලයක් තුළ ඔහු අපරාධ ලෝකයේ කිරුළු පලන් රජකු බවට පත්වනවා. ජීවිත දහස් ගණනක් මත් මාරයාට බිලි දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන සල්ලි වලින් ඔහු ජීවිතයේ ලැබිය හැකි සියලු සුඛවිවරණය ලබනවා අවසානයේදී ඔහුට සියලු සුබ විවරණයන් ලබාදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සිදුකළ වෙඩි තැබීමකටම මැදිව ජීවිතයෙන් සමු ගන්න ඔහුට සිද්ධ වෙනවා .
මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.”එස්. එෆ් ලොක්කා” සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි