කසාද ජීවිතේ කියන්නේ මොකක්ද කියලා කිසිම දෙයක් නොදන්න මට අකමැත්තෙන්ම ප්‍රභාශ්ගෙ පතිනිය වෙන්න සිද්ද වුනා.යන්තමින් අවුරුදු දහඅට ලැබුවා විතරයි කසාදය කියන බැම්මෙන් මගේ ජීවිතේ හිර වුනා.මගේ දුක කියන්න මට කාත් කවුරුවත් හිටියේ නෑ.හැම දෙයක්ම සිද්ද වුනේ පුංචිගේ උවමනාවට.

ප්‍රභාශ්ගෙයි මගෙයි කසාදෙ ප්‍රභාශ්ගෙ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව ලොකුවට ගත්තා.පුංචියි සුලේකා අක්කයි නම් ඒ ගැන තරහෙන් හිටියේ.එයාලට ඕනි වුනේ උත්සව නැතුව පොඩියට එන්ගේජ්මන්ට් එක විතරක් අරන් මාව යවා ගන්න.ප්‍රභාශ්ගෙ අම්මා සුලේකා අක්කගේ කසාදෙට අවශ්‍ය රත්තරං බඩු සේරම ටික අරන් දීලා තිබුනා.හැමෝම සතුටු වුනා ඒත් මං ඇර.

“බබා මොනවද අනේ ඔයා ඔය හැටි කල්පනා කරන්නේ.මාව දාලා යන්නද?ඒවා නම් දැන් බැහැ ඔන්න.දැන් ඔයා මගේ නෝනා වෙලා ඉවරයි……”

එහෙම කියමින් ප්‍රභාශ් මාව එයා ලගට ඇදලා ගත්තා.අද අපි දෙන්නගේ මංගල රාත්‍රිය වුනත් මගේ හිත හොදටෝම බියෙන් වෙලිලයි තිබ්බේ.මගේ වයසට ඔරොත්තු නොදෙන වගකීම් රැසක් මට පැටවිලා කියලා මට දැනුනා.මට දැනුනේ මං තාම ඉස්කෝලේ යන වයසේ පුංචි කෙල්ලෙක් කියලයි.මට නොදැනුවත්ම මගේ නෙතින් කදුලක් බිමට පතිත වුනා.
ප්‍රභාශ් එයාගෙ ඇගිලි තුඩු වලින් ඒ කදුලු පිස දැම්මා.

“මං දන්නවා හිරුණි ඔයාගෙ මේ පුංචි වයසට කසාදෙ බර වැඩියි කියලා.ඒත් ඔයා කිසිම දේකට බය වෙන්න එපා. ඔයාට මං ඉන්නවා අපේ අම්මලා ඉන්නවා.ඔයා කවදාවත් තනි වෙලා නෑ……”

මට තේරෙනවා ප්‍රභාශ් මට ගොඩාක් ආදරේ කරනවා.ඒත් මට ප්‍රභාශ් ගැන ආදරයක් දැනෙන්නෙ නැහැ.මං කාටවත් ආදරේ කරලා නෑ.මගේ ජීවිතේ ඉදිරිය කොහොම ගෙවෙයිද කියලා මට හිතා ගන්න බැරි වුනා.ප්‍රභාශ් මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.

“හිරුණි….මගේ හිතේ ඔයා ගැන තියෙන්නේ ලොකූ ආදරයක්.මං කියන්නෙ නෑ ඔයාට මට එකපාරටම ආදරේ කරන්න කියලා.ඔයා හිමිහිට හැම දෙයක් ගැනම හිතන්න.ඔය වයසට ආදරේ කියන දේ හිතට දැනෙනවනේ……”

පුංචිගේ ගෙදරදී විදපු දුක් කරදර වලින් මිදෙන්න මං ගත්තු මේ තීරණේ බරපතල වැඩියිද කියලා මට හිතුණා.මොනවා වුනත් මං දැන් ප්‍රභාශ්ගෙ පතිනිය වෙලා ඉවරයි.

සිතින් ප්‍රභාශ්ගෙ වෙන්න බැරි වුනාම මට අක්මැත්තෙන් හරි ගතින් ප්‍රභාශ්ගෙ පතිනිය වෙන්න සිද්ද වුනා.මට ලොකු අසරණ කමක් දැනුනා.

ප්‍රභාශ්ගෙ පතිනිය වෙලා ඒ නිවසට ගිය වෙලාවෙ ප්‍රභාශ්ගෙ අම්මයි,තාත්තයි මාව ගොඩාක් සතුටින් ලස්සනට පිලිගත්තා.ඒ දෙන්නා අපිට ආශිර්වාද කරා.

“හිරුණි….ඔයාට මහන්සිත් ඇතිනෙ. ගිහින් වොශ් එකක් දාගෙන එන්න කෑම කන්න.අම්මා කෑම ලෑස්ති කරලා ඇති……”

මං බාතෲම් එකට ගිහින් හොදට නා ගත්‍තා.ජීවිතේ ගැන දැනුනේ කලකිරීමක්. අම්මයි තාත්තයි ජීවතුන් අතර හිටියා නම් මගේ ජීවිතේ අද මොන තරම් සන්තෝශෙන් ගෙවෙනවද?නාගෙන ඉවර වෙලා දිග සායකුයි බ්ලව්ස් එකකුයි ඇදගෙන මං කාමරේට ආවා.ප්‍රභාශ් හිටියේ මට පිටුපාලා උඩ තට්ටුවේ ඉදන් පහල බලාගෙන.මං ටිකක් වෙලා ප්‍රභාශ් දිහා බලාගෙන හිටියා.ප්‍රභාශ් සුදුයි ලස්සනයි.ඕනම කෙල්ලෙකුගේ හිත ඇදිලා යන රුවක් ඔහුට තිබුනේ.හරිම කඩවසම් රුවක් ප්‍රභාශ්ට තිබුනේ.ඒත් මගෙ හිතට තාම ප්‍රභාශ් ගැන ආදරයක් දැනුනේ නෑ.

“ආ ඔයා නාලා ඉවරද හිරුණි.යමු පහළට කෑම කන්න.මට නම් ගොඩාක් බඩගිනියි……”

ප්‍රභාශ්ගෙ අම්මා අපි දෙන්නා වෙනුවෙන් ගොඩාක් රසවත් කෑම වේලක් හදලා තිබ්බා.මං හරිම ආසාවෙන් කෑම කෑවා. හුග කාලෙකට පස්සෙයි මං මේ විදියට බඩ පිරෙන්න කෑවෙ.පුංචිලාගෙ ගෙදර ඉන්නැද්දී කවදාවත් මට හරියට කන්න ඉඩ දෙන්නෙ නෑ.ඒ ගොල්ලො කාලා කෑම ඉතුරු වුනොත් විතරයි කන්න දෙන්නෙ.

“හිරුණි…..අද රෑට යමුද පන්සල්…..”

පන්සල් යන්න නම් මටත් ආස හිතුණා.

“අනේ හා……”

මං එහෙම කිව්වම ප්‍රභාශ් මං ලගට ආවා.මගේ පපුව ගැහෙන්න ගත්තා.මං බිම බලා ගත්තා.

“ඔයා මාත් එක්ක තරහද හිරුණි.මාත් එක්ක කතා කරන්නෙත් නෑ.පන්සල් යමුද කියලා ඇහුවා.අනේ හා කිව්වා විතරයි. මැරි කරපු අලුත දෙන්නෙකුට කතා කරන්න කොච්චර දේවල් තියනවද?ඔයා කිසිම සද්දයක් නෑ…….”

ප්‍රභාශ් එහෙම කිව්වම මට බයකුත් දැනුනා එයාට මාව එපා වෙලා මාව ආපහු පුංචිලාගෙ ගෙදර යවයිද කියලා.එහෙම වුනොත් පුංචි මාව නොමරා මරයි.මං කොහොම හරි ප්‍රභාශ්ගෙ හිත දිනා ගන්න විදියට වැඩ කරන්න ඕනි.

“මං තරහ නෑ ප්‍රභාශ්.මට තාම මේ ජීවිතේ හුරු නෑ.මං ඉක්මනට මේ ජීවිතේට හුරු වෙන්නම්.මට ටික කාලයක් දෙන්න……”

“හරි මැණික.ගිහින් ලෑස්ති වෙන්නකෝ. අපි පන්සල් යමු…..”

ප්‍රභාශුයි මායි රෑ හතට විතර පන්සල් ආවේ කාර් එකේමයි.අපි මල් පූජා කර්ලා බුදුන් වැදලා පහන් පත්තු කරා.මං බුදුන්ගෙන් ඉල්ලුවේ මගේ ඉදිරි ජීවිතේ කවදාවත්ම දුක් විදින්න ලැබෙන්න එපා කියලයි.🙏🙏

පන්සල් ගිහින් ඉවර වෙලා අපි රෑ කෑමට පුංචි හොටෙල් එකකට ගියා.

“හිරූ….ඔයා මොනවද කන්නේ……”

“ම්…මේ….ඔයා කන දෙයක් කමු ප්‍රභාශ්……”

“එහෙම කියලා බෑනෙ හිරූ.ඔයා ආස දෙයක් කියන්නකෝ.අපි කමු……”

“ම්ම්ම්…..කොත්තු කමු.එළවළු කොත්තු…….”

ප්‍රභාශුයි මායි කොත්තු කෑවා.අපි දෙන්නා කාලා ඉවර වෙනකොටම එතෙන්ම කව්ද මන්දා එක්කෙනෙක් ආවා.

“හලෝ මචං ප්‍රභාශ්.උඹව දැක්ක කල්…..”

“මචං සංගීත්.යකෝ මං හිතන්නේ අවුරුදු තුන හතරකට විතර පස්සෙ අපි හම්බුනේ……”

“ඒකනෙ බන්.කව්ද මචං මේ පුංචි කෙල්ල. උඹේ නංගිද?……”

ප්‍රභාශ්ගෙ යාලුවා එහෙම අහනකොට මට හිනාත් ගියා.😀😀

“නෑ යකෝ.මේ මගෙ වයිෆ්……”

“බුදු අම්මෝ බන්.උඹව බාල අපරාධ වලට අහු වෙයිද දන්නෙ නෑ……”🤣😀

“නෑ බන්.හිරුණිට අවුරුදු දහඅට සම්පූර්ණයි……”

“හරි බන් එහෙනම් කමක් නෑ.මට පරක්කු වුනා බන්.මං යන්නම්……”

“හරි මචං හරි……”

🌹🌹🌹

නිවාඩුව ඉවර වෙලා ප්‍රභාශ් වැඩට ගියා. ඊට පස්සේ ගෙදර ඉන්නේ මායි ප්‍රභාශ්ගෙ අම්මයි විතරයි.ප්‍රභාශ්ගෙ අම්මා මට හරිම ආදරෙයි.

“දුව නිකන් ඉන්න වෙලාවට ඔයා එලියෙ මල් එහෙම හිටවන්න.මෙහෙ පස හරිම හොදයි ඔය මල් පැල වලට.හොද සරුසාරෙට වැවෙනවා…..”

වත්තේ පැත්තකින් මං රෝස,කැනාස්, බාබන්ඩේසියා වගේ මල් වර්ග ගොඩාක් හිටෙව්වා.තව පැත්‍තකින් මෑ,මිරිස්,බටු, නිවිති,බණ්ඩක්කා වගේ එළවළු ජාති හිටෙව්වා.ඒවාත් හොදට හැදුනා.

දවසක් මං හවස බුදු පහන තියන්න මල් කඩ කඩා ඉන්නකොට ගෙදර☎️ ලෑන්ඩ්ෆෝන් එකට කෝල් එකක් ආවා. කවුරුවත් ආන්සර් කරන පාටක් නැති හින්දා මං ගිහින් කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ කව්ද කතා කරන්නේ……”