2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බාල සොහොයුරෙකු වන රියාජ් බදුර්දීන් සැප්තැම්බර් 29 පස්වරු 5ට පමණ නිදහස ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

අපරාධ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් වීම හේතුවෙන් ඔහුව නිදහස් කර ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත්ව නොතිබීම ද විශේෂත්වයකි.

පසුගිය අප්‍රේල් මස 14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුත්තලමේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් රියාජ් බදුර්දීන් මාස 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස නිදහස් කර තිබෙනවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා, ව්‍යාපාරික මොහොමඩ් අස්මින් රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඊට අදාළව එම කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙතෙක් නිදහස් කර ඇත්තේ රියාජ් බදුර්දීන් පමණි.

කෙසේ වෙතත්, අප්‍රේල් 15 දින පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ මෙම සැකකරුවන් සියලුදෙනාම පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.