ශේෂාද්‍රි මේ දිනවල මොනවද කරන්නේ?
මේ දවස්වල නම් මම නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. මොකද කොරෝනා නිසා පහුගිය කාලේ කලා කටයුතු ඔක්කොම නතර වුණා.හැම වැඩක්ම දින නියමයක් නැතුව කල් ගියා.
මෑතකදී මොනවගේ කලා නිර්මාණවලටද ආරාධනා ලැබුණේ?
අලුතින් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා.ඒකේ රූගතකිරීම් නම් ළඟදීම පටන්ගනීවි.ඒ ඇරුණාම ටෙලිනාට්‍යයකටත් මට කතාකරලා තියෙනවා.හැබැයි තවම ඒක බාරගන්නවාද නැද්ද කියලා මම තීරණය කරලා නැහැ.තව ටිකක් කල්පනා කරලා බලලාම උත්තරයක් දෙනවා කියලයි හිතාගෙන ඉන්නේ.
ඔය අතරේ ශේෂාද්‍රි ව්‍යාපාර කටයුතුවලටත් සම්බන්ධ වෙලා නේද ඉන්නේ?
ඔව්.මම ෆෙස්බුක්,ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ ජාල හරහා ධබකසබැ ීඑදරු එකක් පවත්වාගෙන යනවා.මම චිත්‍ර ඇදලා,ඒවා ටී ෂර්ට්වල ප්‍රින්ට්කරලා අලෙවි කරනවා.ඒක පටන් අරන් ටිකක් කල්.නමුත් 2013-2014 දී වගේ ඒ ව්‍යාපාරය නැවත්වන්න සිද්ධ වුණා.මගේ පහුගිය උපන් දිනය දවසේ මම ආයෙමත් ඒක පටන්ගත්තා.
කොරෝනා නිසා ලැබුණු නිවාඩුවට කලින් පවා කාලයක් ඔබ කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලයි හිටියේ.කලාකරුවන් එකතුවෙන විශේෂ අවස්ථාවලදී පවා ,ඔබේ සොහොයුරියන් දෙන්නා පේන්නට හිටියත් ඔබව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ.ඒවගේම කාලයක් ඔබ මාධ්‍යවලින් පවා ඈත්වෙලා හිටියා.ඇයි එහෙම වුණේ?
ඔය කියන කාරණාව ඇත්ත.එහෙම කරන්න මට සාධාරණ හේතුවක් තිබුණා.කාලයක් මගේ ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඇතිවුණා.ඒ සමහර ඒවා මම හිතපුවත් නැති දේවල්.ඒ නිසා තවදුරටත් ප්‍රසිද්ධියේ කතාබහට ලක්වෙන කෙනෙක් වෙන්න මට වුවමනා වුණේ නැහැ.මොකද සමහර අය මං ගැන කිව්වේ හරි දේවල් නෙවෙයි.බොරු ගොත ගොතා වැරදි දේවල්ම තමයි ප්‍රචාරය කළේ.ඔය කියන කාරණා මට මානසිකව දරාගන්න බැරි තත්ත්වයකට ආවා.ඒ හින්දා මම හිතුවා මේ හැමදේකින්ම අයින් වෙලා , කවුරුත් කතා නොකරන තැනකට ගිහින් ඉන්න එක හොඳයි කියලා.ඒක මම හොඳට හිතලා බලා ගත්තු තීරණයක්.
නමුත් ඒ තීරණය නිසා රංගන ශිල්පිනියක් විදියට ඔබට කරන්න තිබුණු ගොඩක් දේවල් මගහැරුණා නේද?
ඔව්.ඔය අතරතුරේ හුඟක් අය මට කිව්වා මේ විදියට කලාව පැත්තෙන් මොනවත් නොකර ඉන්නේ අපරාදෙනේ,තව වයස ගතවෙන්න කලින් මගේ තියන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කියලා.ඒත් මම ඒ තීරණය ගන්න්න මගේ හැමදෙයක්ම යථා තත්ත්වයට පත්වෙනතුරු කල්ගත්තා.දැන් මම තීරණය කරලයි තියෙන්නේ,ඉස්සර වගේම ආයෙමත් හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගු ගමනක් යනවා කියලා.

ඒ කියන්නේ කලින් තිබුණු ගැටලු සියල්ල දැන් විසඳිලාද තියෙන්නේ?
අපොයි ඔව්.ඒ ඔක්කොම දැන් ඉවරයි. ඒ කාලය තුළ මගේ හැමදෙයක්ම මම හදාගත්තා. මම දැන් මානසිකවත් ඉස්සරට වඩා ගොඩක් ශක්තිමත්.ඒ විතරක් නෙවෙයි , ඒ කාලය තුළ මම නිකම් හිටියෙත් නැහැ.මගේ අධ්‍යාපන කටයුතු මම අවසන් කළා.පූර්ව ළමාවිය සංවර්ධනය ගැන තමයි මම ඉගෙන ගත්තේ.ඒ සම්බන්ධව උපාධියකුත් සම්පූර්ණ කරපු නිසා මම දැන් ගුරුවරියක් විදියට කටයුතු කරනවා. දැනට මම පුද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරනවා.
ගැටලු සේරම විසඳුනාට පස්සේ දැන් ශේෂාද්‍රිගේ පුද්ගලික ජීවිතයේත් ලොකු වෙනසක් සිද්ධ වෙලා.ඒ වෙනස ඇතිකරපු ඔබේ පෙම්වතා ගැන හා හා පුරා කියලා රැජිනිය පාඨකයන්ට කියමු නේද?
එයාගේ නම ක්‍රිෂාන් පෙරේරා.සංගීතඥයෙක් විදියට තමයි ගොඩක් අය එයාව හඳුනන්නේ.
ශේෂාද්‍රිගේ ජීවිතයට ඔහු සමීප වුණේ කොහොමද?
ක්‍රිෂාන් මගේ අක්කා දිනක්ෂිගේ හොඳම යාළුවෙක්.ඒ වගේම එයා අපේ පවුලේ හිතවතෙක්.අවුරුදු දහයක පහළොවක විතර ඉඳන් මම ක්‍රිෂාන්ව අඳුරනවා.එයා නිතර අපේ ගෙදරත් එනවා.ඒත් කවදාවත් මට එයා ගැන විශේෂ හැඟීමක් තිබිලා නෑ.එයාටත් මං ගැන එහෙම තිබිලා නෑ.මගේ අක්කා තමයි අපි දෙන්නාව එකතුකරන්න මැදිහත් වුණේ.අක්කා කිව්වා ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා.ක්‍රිෂාන්ටත් අක්කා ඒ ගැන කියලා තිබුණා.එහෙම තමයි අපි දෙන්නාගේ සම්බන්ධය ඇතිවුණේ.
ඔබේ දෙමවුපියෝ මේ ගැන මොකද කිව්වේ?
තමන්ගේ දරුවෝ කවදාහරි විවාහවෙලා හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා දකින එකයි දෙපවුපියන්ගේ ආසාව.මගේ අම්මාටයි තාත්තාටයිත් ඒ ආසාව තියෙනවා.ඒ අය ගොඩක් ලක් ඉඳලා ක්‍රිෂාන්ව අඳුරනවා.ඒ වගේම ඒ අය ක්‍රිෂාන්ට හුඟක් කැමතියි.ඒ හිබ්දා දෙමාපියන්ගේ අවසරයත් ඇතුව තමයි අපි මේ සම්බන්ධය පටන්ගත්තේ.
ක්‍රිෂාන් කලාවට සම්බන්ධ කෙනෙක්වීමත් මේ සම්බන්ධයට බලපාන්න ඇති නේද?
ඔව්.අපේ පවුලමත් කලාවට ලැදි නිසා ඒ අවබෝධයත් අපි අතරේ තියනවා.හැබැයි ක්‍රිෂාන් පැය අටේ රැකියාවකුත් කරන කෙනෙක්.ඒ වැඩ රාජකාරි ඉවරවෙලා තමයි එයා සංගීත කටයුතුවල යෙදෙන්නේ.ඒ හින්දා එයා ගොඩක් වෙලාවට කාර්යබහුලයි.ඒ හින්දා අපේ ගෙදර සමහර වෙලාවට විශෙෂ සාද වගේ දේවල් තියන අවස්තාවලදී පවා එයාට ඒවා මගහැරෙනවා.නමුත්,මම වගේම මගේ පවුලේ හැමෝමත් එයාගේ කාර්යබහුල බව ගැන අවබෝධයක් තියෙන නිසා ගැටලු මතුවෙන්නේ නැහැ.
ඔබේ අක්කා දිනක්ශි සහ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර අතර තියෙන ප්‍රේම සම්බන්ධයත් ගැන දැන් බොහෝදෙනාට රහසක් නෙවෙයි.ඔබ අක්කාට කලින් විවාහ වේවිද නැත්නම් අක්කාගේ විවාහය මුලින් සිද්ධවේවිද?
ඒ දෙන්නා තවම විවාහවෙන දවසක් ගැන හරියට සැලසුම් කරලා නැහැ.අක්කා දන් ආයෙමත් කාර්යබහුල වෙලයි ඉන්නේ.මමත් තවම තීරණය කරලා නැහැ කවදා වගේ විවාහ වෙනවද කියලා.ඒ නිසා අක්කා කලින් විවාහවේවිද මම ඉස්සර වේවිද කියලා තවම නම් හරියට කියන්න බැහැ.කවූරු ඉස්සරවිණත් මුලින්ම ඒ ගැන ”රැජිනිය”ට කියන්නම්.
ඔබ ක්‍රිෂාන් එක්ක එකතුවෙලා ළඟදීම කරන්න යන අලුත් වැඬේ ගැනත් කතා නොකළොත් අඩුවක් නේද?
මම මියුසික් වීඩියෝවල පෙනී ඉන්නේ නෑ කියන තීරණයේ තමයි මෙච්චර කාලයක් හිටියේ.උසස් පෙළ කරන කාලේ විතරක් එක මියුසික් වීඩියෝවකට දායක වුණා.ඒත් අවුරුදු දහයකට විතර පස්සේ ඒ තීරණය වෙනස් කරලා,ක්‍රිෂාන් ගයපු අලුත්ම ගීතයක මියුසික් වීඩියෝවේ පෙනීසිටියා.ක්‍රිෂාන් දනගෙන හිටියා මම මියුසික් වීඩියෝවල ඉන්න ඒතරම් කැමැත්තක් තිබුණේ නැති බව.ඒ හින්දා ඒ විෂුවල් එකට ගන්න කෙනෙක් ටික කාලයක් තිස්සේ හොයද්දී තමයි මම කිව්වේ , එහෙනම් මම ඒක කරන්නම් කිවලා.එයත් ඒකට කැමති වුණා.දැන් ඒ මියුසික් වීඩියෝවේ වැඩකටයුතු ගොඩක්ම දුරට ඉවරයි.තව සතියකින් විතර ඒක එළිදක්වන්නයි අපි හිතාගෙන ඉන්නේ.
කිෂාන් කනංකෙ