අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය ගොනු කළ එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබේ.

පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටියේය.

ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය.