දෙවෙනි චණ්ඩිකම…

·····~~~~~~~~·····

මගේ ඇස් නැවතුනේ ඒ මූණ මත… බොර පාට ඇස්.. නපුරු බව පෙන්වන තද කලු ඇහිබැමි, ඝනට වවපු රැවුල.. හිත හොල්ලනවා සත්තයි.. හැබැයි මගේ නෙවෙයි..

මොනවා වුණත් අලුත් ඒසීපී මහත්තයා නම් හැන්ඩියා..

බලමුකෝ මෙයාගේ වැඩ.. පොඩි ටෙස්ට් එකක් කරලම.. නමට ඒසීපීලා පොල් පිත්තෙන් වුණත් කපන්නම් මම..

මල් මාල දාලා පොලිසියේ මහත්වරු අලුත් සර්ව නම පිලිගත්තා.. පැමිණිල්ලක් දාන්න ආපු අපි එළියේ වේලෙනවා..

ටිකකින් අපිත් ඇතුළට ගියා..

අපිත් එක්ක ආපු අයියා කෙනෙක් පැමිණිලි ලියන කෙනා ගාවට ගිහින් මොනවද ඇහුවා..

අපොයි.. පැමිණිලි ලියන කෙනා හරියට ඇබරෙන්නේ එයාගේ පුතාට විරුද්දව පැමිණිල්ලක් දාන්න ආපු වගේනේ..

“අනෙ මහත්තයෝ.. කැවුම්, කිරිබත් කාලා ඉවර නම් අපේ පැමිණිල්ල ලියා ගමුනේ.. අපිත් හරි බිසී මනුස්සයෝ..”

වංගු කතා නැතුව මං කෙලින්ම කිව්වා.. ඇත්තනේ.. අපිත් මෙතන රස්තියාදුවනේ…

“අලුත් මහත්තයා ආව විතරයි.. පොඩ්ඩක් ඉන්න..”

“එහෙනම් සර් ගිහින් අලුත් මහත්තයාගෙන් පැමිණිල්ලක් ලියා ගන්න. අපිට ඔය පොත දෙන්න. අපි ලියන්නම්…”

මාත් එක්ක ආපු අයියා කෙනෙක් කිව්වා..

අයියලා සෙට් එකටම මළ පැනලා.. පුපුරන්න ආසන්න වෙඩි බෙහෙත් කරල් ටිකක් වගේ..

“මොකක්ද මෙතන වෙන්නේ..?”

ඕඕඕඕඕ යෑස්ස්ස්ස්ස්.. මේ ආවේ නළු බට්ටා කරළියට.. කටහඬ නම් ෆුල් ගාම්බීරයි…

පෙනුමටම ගැළපෙන කටහඬ…

ඒත් මූණ නම් හෙන අඳුරුයි…

“කවුද මේ මිනිහට ගැහුවේ…??”

මං ඔලුව ශීට් එකේ ගහපු පාර නළල තුවාල වෙලා ලේ පාරවල් දෙකක් ගලා ගියපු අර අසහනකාරයගේ මූණ දිහා බලන් මෙයා අහපි..

දැං දියල්ලකෝ උත්තර.. මූට ගහපු ඇන්ටිලාගේ, අයියලාගේ, අන්කල්ලගේ නම් ලිස්ට් එක අරන් ආවේ නෑනේ මං..

“මං…”

බොර පාට ඇස් වලට මං උත්තර දුන්නා..

“මිනිහෙක්ට ගහන්න කිසිම මිනිහෙක්ට අයිතියක් නෑ.. ”

“ගැහුවේ කවුද කියලා හොයන්න කලින් මේ අසනහනකාරයා ගුටි කෑවේ මොකද කියලා හෙව්වොත් නරකද අලුත් ඒසීපී මහත්තයෝ…”

ඒ ඇස් වල ඇඳුනේ පුදුමයක්.. මං වගේ ඉරටු කෙල්ලෙක් ඒ යුනිෆෝම් එකටවත් බයක් නැතුව ඒ ඇස් දිහාම බලන් කතා කරද්දී..

මුළු පොලිස් ස්ටේශන් එකම නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් අමුවෙන් කාලා වගේ බලන් ඉන්නේ..

“මොකක්ද මෙයාගේ පැමිණිල්ල..??”

ඒ ප්‍රශ්නෙ නම් කෙලින්ම යොමු වුණේ අපිට ලොකු සීන් දාපු අන්කල් කාරයට..

“සර්.. මේ මනුස්සයා අපේ පැමිණිල්ල ලියා ගත්තේ නෑ.. අපිව රස්තියාදු කරා..”

මාත් එක්ක හිටපු අයියා කෙනෙක් කිව්වා..

“ලියා ගන්නවා පැමිණිල්ල.. ”

ඔන්න දැං නම් සිරාම කටහඬ.. කන්ජරින් ෆිල්ම් එකට හඬ කවන්න ගන්න තිබ්බා…

එයා හැරිලා ගියා..

හෝව්.. හෝව්.. එහෙම යන්න දෙන්න පුලුවන්ද.. අලුත් ඒසීපී මහත්තයට… මගේ ටෙස්ට් එක තිබ්බෙත් නෑ..

අර අයියලා පැමිණිල්ල දානකම් මං ඔහේ බලන් හිටියා..

ඔන්න ඒසීපී මහත්තයගේ රූම් එකේ දොර ඇරුණා…

“සර්.. මෙයා රණාගේ ගෝලයෙක්ලු.. බය නැත්නම් විතරක් ලියා ගන්න.. රණා එක්ක ඇවිත් අපිට පාඩමකුත් උගන්වනවලු..”

මං ටිකක් සද්දෙන් කිව්වේ පැමිණිලි ලියන අන්කල්ට ඇහෙන්න.. අරයටත් ඇහෙන්නම ඕනි..

“රණාගේ ගෝලයෙක්…”

මොනවා වුණත් ඒ අන්කල්ගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා.. අතේ තිබ්බ පෑනත් එක්කම..

“මූ රණාගේ ගෝලයෙක්ද…?? රණාව දන්න එකෙක් මුණ ගැහුන එකත් සතුටක්..”

“පැමිණිල්ල ලියා ගෙන යවනවා මේ කට්ටිය.. මූ අපිව රණා ගාවට ගෙනියයි.. රාණට වෙන්නෙත් මූ වගේම දෙකට නැවෙන්න තමයි..”

අම්මෝ.. ඩයලොග්ස් ටික.. පපු කිනිත්ත ටොයින් ටොයින් ගෑවා..

එතකොට මෙයත් රණාව හොයන කෙනෙක්.. බලමුකෝ…. අපිත් ඉතින් මැරිලා භූතයෝ වුණත් මෙහෙම එපයි හොල්මන් කරන්න..

පැමිණිල්ලත් දාලා පාරට ඇවිත් වීල් එකක නැග්ගා.. දැං නම් ටිකක් දාඩියත් දාලා..

හැමතැනම රස්තියාදුව.. එපා වෙනවා අප්පා.. ට්‍රැපික් දෙයියන්ටත් වැඳලා පැය බාගෙක කට්ටක් කාලා ගෙදරට ආවා..

ඔව් මගේ ගෙදර…..

වල් බිහි වෙලා, දිරාපත් වෙලා ගියපු මගේ ගෙදර..

මුළු වත්තම කැලෑ වැවිලා.. දොරත් කඩන් වැටෙන්න ඔන්න මෙන්න වගේ..

වීල් එකෙන් බැහැ ගත්තට එතනින් එහා යන්න මට හයියක් නෑ වගේ…

ආයේම වීල් එකට නැග්ගා.. මගේ තාවකාලික නැවතුමට යන්න..

අන්තිමේ මං බැස්සේ රතු වත්ත හන්දියෙන්..

මං හොඳට වට පිට බැලුවා..

හන්දියේම තිබ්බ නුග ගහලා කපලා දාලා.. සෙවණක් නැතුව එතන හෝල්ට් එකේ පිච්චෙන මිනිස්සු..

කාලය කොච්චර ගෙවුණත් සමහර මිනිස්සුන්ගේ සිතුවිලි නම් වෙනස් වෙන්නේ නෑ..

අදත් ඉස්සර වගේම සීනි පොල්කොහු විකුණන සීයා ඉන්නවා.. ඒ වියපත් මූණ එදාටත් වඩා අද දුක්කිත පාටයි..

පාර දෙපැත්තවත් නොබල මං ඒ සීයා ගාවට ගිහින් සීනි පොල්කොහු බෑග් එකක්ම ගත්තා..

එතනින්ම වීල් එකකට නැග්ගා…

“කනත්ත පාර..”

යන්න ඕන තැන මං කිව්වම වීල් එකේ අයියා මං දිහා බැලුවේ වීල් එකට මෝහිණී ගොඩ වුණා වගේ..

ඇයි යකෝ මෙච්චර ලස්සනට දිලිහි දිලිහි ඉන්න මාව පේන්නේ නැති හැටි..

“අනේ නංගී.. වෙන වීල් එකක යනවද..”

මේ යකා බය වෙලා වෙන්න ඇති..

බය නොවී තියේද..? කනත්ත පාර කිව්වම වෙන මිනිස්සුන්ට හොල්මන් පොල්කොළ මතක් වුණාට මෙහේ අයට මතක් වෙන්නේ පාතාලේ..

ඔව්.. කුඩු, අරක්කු, ගංජා, මීනීමැරුම්, දූශන මේ හැමදේටම ඒ පාර ප්‍රසිද්දයි..

රාණාගේ පාර… එහෙමනේ කට්ටිය කියන්නේ දැං..

“අයියටත් කනත්තේ දැංම සැතපෙන්න ආසවක් නැත්නම් ඒ පාරේම යමු..”

බයෙන් බයෙන්, තිබ්බ අකැමැත්තත් එක්කම වීල් එක කනත්ත පාරේ ඉදිරියටම ගියා..

තඩි කළු පොරක් අපි දැකලා කනත්ත පාස් වුණ ගමන් පාරට පැන්නා..

වීල් එකේ අයියා දන්න සෙල්ලම් ඔක්කොම දාලා හයියෙන් බ්‍රේක් ඇල්ලුවා…

“ආ… නංගී.. වීල් එකේ බෑරක් යනවා වගේ..”

ඒ කළුවා වීල් එකෙන් එබිලා මං දිහා මහ අමුතු බැල්මක් දාන් ඇහුවා..

“ඔතනින් අයින් වෙනවද..? මං ආවේ රණාව හම්බෙන්න..”

ඒ මිනිහා ඇස් දෙකත් පුංචි කරලා මං දිහා බැලුවා..

අඩියක් විතර පස්සට ගියා…

තවත් මිනිස්සු හය දෙනෙක් අරහෙන් මෙහෙන් පාරට ආවා..

වීල් එකේ අයියා නම් බය වෙලා.. ඉතිපිසෝ ගාථාවත් කියනව ඇහෙනවා..

“මමයි රණා… මොකටද මාව හොයන්නේ…?”

අර තඩි මිනිහා රැවුලත් ඇඳ කිව්වා.. තප්පර දෙකක් තුනක් ඇතුළත අර මිනිස්සු කඩු, පිහි, තුවක්කු අතට ගත්තා..

මං වීල් එකෙන් බැස්සා..

“අයියා යන්න.. ”

මං සල්ලිත් දීලා වීල් එක පිටත් කරා..

මේ මිනිහා නම්….

මං ආපහු ඒ මිනිහා දිහා හැරිලා බැලුවා.. මමයි රණා….

මුගේ හිතේ ඇති නගරේ කිසි කෙනෙක් රණාව අඳුරන්නේ නැති හින්දා මාත් රණාව අඳුරන්නේ නෑ කියලා..

ඒක මතක් වෙද්දි මට කට කොණින් හිනාවක් ගියා..

“එතකොට ඔයා තමයි රණා…??”

කටත් බාගෙට ඇඳ කරලා මං ඒ මනුස්සයගෙන් ඇහුවා..

“ඔව්.. මමයි රණා.. දැං මොකක්ද නංගිට වෙන්න ඕන..?”

මං දිහාවට අඩියක් තියලා ඒ මනුස්සයා ඇහුවා..

මට හිනා ගියේ ඉබේමයි…

දෙපාරක් නොසිතම අත යාරයක් විතර ඇඳලා අර යකාගේ කම්බුලට හොඳ පාරක් දුන්නා..

අනිත් එවුන් කලබල වෙන්නයි හැදුවේ…

“ඒයි…. එකෙක් වත් ඉස්සරහට ආවොත් ආයේ ඉස්සරහට තියන්න කකුලක් නැති වෙයි…”

වටේ හිටපු ඔක්කෝටම මහ උදේත් හොල්මන් පේනවා ශුවර්…

“ගිහින් කියනවා තමුසලගේ මහලොකු රණා බොස්ට චුක්කු ඇවිත් කියලා…”

මං ඒ වචන ටික නම් කිව්වේ කෑ ගහලා.. එහෙම නැතුව මේ යක්කු පාලනය කරන්න බෑ..

එකෙක් දිව්වා ආපස්සට හැරිලා..

මං එහෙමම ළඟ තිබ්බ සොහොන් කොතක් උඩ වාඩි වුණා…. වටේ හිටපු එකෙක්වත් මං ගණන් ගත්තේ නෑ..

බෑග් එකෙන් ෆෝන් එක අරන් ඔහේ එෆ්බී එකේ උඩටයි පහළටයි ගියා ඇරෙන්න..

අර මට සද්දේ දාපු කළු මිනිහා මං දිහා බලන් හිටියේ නිකන් මේ දැං මාව රෝස් කරලා කන්න වගේ..

ඉතින් මට රෝස් පාන්ද…?? මං ඔහේ හිටියා..

ටිකකින් වාහයක් එන සද්දයක් ඇහුණා.. එකක් නෙවෙයි ගොඩක්.. ඒ කියන්නේ වාහන පෝළිමක්…

කනත්තේ පුරා තිබ්බ දූවිල අවුස්සමින් වාහන පෝළිමම අපි වටෙට නැවැත්තුවා..

මං මගේ කෙස් ගහක්වත් හෙලෙව්වේ නෑ..

අඩුම ගානේ ඔලුව උස්සලා එක තප්පරයකටවත් බැලුවේ නෑ..

වාහන වල හිටපු ඔක්කොම අය බැස්සා වගේ.. ඒත් එයා බැස්සේ නෑ තාම… ඒක මට දැනෙනවා..

ෆෝන් එකත් බෑග් එකට දාලා මං නැගිට්ටා..

ඊළඟ විනාඩියේ මැද තිබ්බ කළු කැව් එකේ දොර ඇරුණා..

ඔව්.. මේ එයා තමයි.. රණා….

ඔන්න ඉතින් අද දවසේ දැවෙන ප්‍රශ්නය.. චුක්කී කොහොමද රණාව දන්නේ…?? චුක්කී මොකටද රණාව හම්වෙන්න ගියේ…?

ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු…
බුදු සරණයි….!!

උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය