ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු පමණ කැමැත්ත පළකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එම ක්‍රීඩකයන් අතරට බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ද ඇතුළත් බව වාර්තා වේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වන අතර එම කණ්ඩායම් 5 කොළඹ,මහනුවර,ගාල්ල,දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කරගනිමින් නම් කර තිබේ.

එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් කණ්ඩායම් 5ට විදේශීය ක්‍රීඩකයන් 30ක් තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් විදේශීය ක්‍රීඩකයන් 350 දෙනෙකු පමණ මීට එක්වීම සඳහා සිය කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කැමැත්ත පළ කර ඇති ක්‍රීඩකයන් අතර ක්‍රිස් ගේල්,දිනේෂ් රම්ඩීන්,ලුක් රයිට්,ෂොයිබ් මලික් සහ ෂහීඩ් අෆ්රිඩී ඇතුළත් බව වාර්තා වේ.

තරගාවලියේදී කොවිඩ් -19 වෛරසය හේතුවෙන් අදාළ නිරෝධායන කටයුතු සහ ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමටද නියමිතය.

මේ අතර,මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන තරගාවලි සංවිධායකයින් අද නිවේදනය කළේය.

ඒ අනුව,තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වන අතර පළමු තරගය පැවැත්වෙන්නේ වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම අතරය.