පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව ජුලි 31 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුන ද එම නඩුව කැඳවූ අංක 204 අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු මස 26 වන දින යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින් දැනුම් දුන්නේය.

මෙම පෙත්සමේ තීන්දුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කර ඇත.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් කියා තිබිණි.