බස් රථයක් නොමැතිව, රාත‍්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීම වී ඇත්තේ කිලෝමීටර් 30 ක්වූ පැලවත්ත – නෙලූව මාර්ගයේදී ය. යතුරු පැදියකින් පැමිණ ඇති එම පුද්ගලයා විසිනන් නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප‍්‍රවාහන පහසුකම් ලබා දී ඇති අතර එම අවස්ථාවේ යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්‍ෂිත හිස්වැසුමක් නොමැති වුව ද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන රැගෙන යාමට කටයුතු කර තිබුණේ ඔහුට පිහිටවීමේ අරමුණින් ය.
නමුත්, එම මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පසුපැදිකරුට ආරක්ෂිත හිස්වැසුම් නොමැතිවීම හේතුවෙන් දඩ නියම කර තිබෙනවා.
බස් රථයක් නොමැතිව අදාළ පුද්ගලයා කිලෝමීටර් 6ක් පමණ පා ගමනින් සිය නිවස කරා ගමන් කරමින් සිට ඇති අතරතුරේ දී මෙම යතුරුපැදිකරු විසින් සිය යතුරු පැදියෙන් ඔහුට ප‍්‍රවාහන පහසුකම් ලබාදී ඇත.
තවද, මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුපැදිකරුට ආරක්ෂිත හිස් වැසුම් නොමැති වීම හේතුවෙන් දඩ පත‍්‍රයක් ලබාදුන් අදාළ පොලිස් නිලධාරියාට ද මීට පෙර මෙම මාර්ගයේ බස් රථයක් නොමැතිව සිටින අවස්ථාවේ දී මෙම යතුරුපැදිකරු විසින්ම මෙම නිලධාරීයාට පොලිස් ස්ථානයටම ප‍්‍රවාහන පහසුකම් ලබාදී තිබීමයි.
එම අවස්ථාවේ දී ද අදාළ පොලිස් නිලධාරියාට ආරක්ෂිත හිස්වැසුමක් නොතිබුණු බව මෙම යතුරු පැදිකරු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. දඩ පත‍්‍රිකාව ලියන අවස්ථාවේදී මෙම යතුරුපැදිකරු මෙම සිද්ධිය අදාළ නිලධාරියාට සිහිපත් කර තිබෙන අතර එහිදී මෙම යතුරු පැදිකරු මෙම පොලිස් නිලධාරියාට සදහන් කර ඇත්තේ පෙර සිදුවීමට ද තමන්ට දඩ පත‍්‍රයක් ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත්, බස් රථයක් නොමැතිව මහ මඟ අසරණව සිටි පුද්ගලයෙකු ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව ප‍්‍රවාහනය කිරීමේ වරදට දඩ පත‍්‍රිකාවක් ලබාදී තිබෙනවා. අදාළ දඩ පත‍්‍රිකාව ද සමගින් මෙම සිදුවිම පිළිබද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තබමින් මෙම පුද්ගලයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙම මාර්ගයේ බස් රථයක් නොමැතිව අසරණව සිටින කිසිදු පුද්ගයෙකු තමන් මඟ හැර නොයන බවයි.
දඩ පත‍්‍රිකා සියයක් ලැබුණත් තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ෆේස්බුක් සටහන හරහා සඳහන් කර තිබෙනවා.එමෙන්ම, බස් රථයක් නොමැතිව අසරණවන පුද්ගලයින් වෙනුවෙන් අදාළ මාර්ගයට රාත‍්‍රි බස් රථයක් යොදවන ලෙසටද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.