2019 අප්‍රේල් 21 දින මෙරට කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විට තීරණාත්මක මොහොතකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අවසන් මාස 3ක කාලය තුළ පැවැත්වූ මාධ්‍ය හමුවල දී අනාවරණය විය.

මේ වන විට අදාළ පරීක්ෂණවලට සමගාමීව ප්‍රකට නීතිඥවරයෙකු, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොහුරෙකු ඇතුළු 200ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසානය කරා පැමිණෙමින් ඇති බව පොලීසිය සඳහන් කර තිබුණි.

ඒ අනුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයක දීම දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් ජූලි 09 දින ඒ සඳහා සහභාගී වුවත්, වාර්තා වන තොරතුරු අනුව අවස්ථා කිහිපයක දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම රිෂාඩ් බදුර්දීන් විසින් මගහැර තිබෙනවා.

ඒ අනුව ජූලි 19 දින නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්නාරම පොලීසිය හරහා හිටපු අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ජූලි 20 දින පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ – 03 වෙත ඉදිරිපත් වන ලෙසයි. ඊට අදාළව නිල දැනුම් දීම සිදුකර ඇත්තේ විමර්ශන අංශ -03 ස්ථානාධිපතිනී දීපානි මැණිකේ විසිනි.

ලිපියක් මගින් ස්ථානාධිපතිනිය දැනුම් දී ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙසේ කැඳවන බවයි.
රිෂාඩ් නොපැමිණෙයි, ලිපියක් එවයි

එහෙත් රිෂාඩ් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ උපදෙස් මත නීතිඥ ඉශාන් ගමපාලගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත ජූලි 20 දිනැතිව යොමුකර ඇති ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ, තම සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව එළැඹෙන දිනයක් ලබා දෙන ලෙසයි.

එසේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළව තම සේවාදායකයා මින් ඉහත දී ද සහයෝගය ලබා දී ඇති බව කියා ඇති නීතිඥවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම සේවාදායකයා මේ වන විටත් පැය දහයකට අධික කාලයක් ගත කරමින් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

එසේම අදාළ ලිපිය මගින් රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ 2020 ජූලි 17 දිනැතිව මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියක් සම්බන්ධවයි.

“නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා” මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී රිෂාඩ් බදුර්දීන්ට හට බාධා කිරීමෙන් වලකින ලෙස මෙන්ම, විමර්ශන කටයුතු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබ්බට කල් තබන ලෙස දැනුම් දී ඇති බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව දැනට සිදුකරගෙන යන විමර්ශන කටයුතු වලට සහභාගී වීමට සහ සහාය වීමට තම සේවාදායකයා කැමැත්තෙන් සිටින බව පෙන්වා දී ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසු දිනයක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියෙන් පවසා ඇත.
මැතිවරණ කොමිසමේ ලිපිය

මේ අතර රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරයා උපුටා දක්වන 2020 ජූලි 17 දිනැති ලිපිය මගින් මැතිවරණ කොමිසම, වැඩබලන පොලිස්පතිවරයා වෙත පවසා ඇත්තේ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවක දී අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි.

එහිදී අදාළ පරීක්ෂණ මැතිවරණය අවසන් වන තෙක් කල් දැමීමට රැස්ව සිටි සියලු දේශාපලන පක්ෂ නියෝජිතයින් එකඟ වූ බව ලිපියේ දක්වා තිබෙනවා.

එසේම රවී කරුණානායක සහ රිෂාඩ් බදුර්දීන් ඔවුන්ගේ පක්ෂවල ජ්‍යෙෂ්ඨයින් බැවින් මැතිවරණ කටයුතු සඳහා සහභාගී වීමට ඇති අවස්ථාව තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවත් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය බවත් මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.