උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය සහිත ෆෙඩරල් පාලනයක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් වශයෙන් ලබා දීමට කැපවෙන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටීයි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අකමැත්ත මත ගෙන ආවක් බවත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසදුම් හිමිවන, ජාතික සංහිදියාව හා සමගිය ප්‍රවර්ධනය වන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් පමණක් ඊට සහාය දීමට සූදානම් යැයිද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයේම එකගත්වය මත යාපනයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී ඊයේ (18) එළිදක්වනු ලැබීණි.
එම ප්‍රකාශනය තුළින් තවත් ඉල්ලීම් කිහිපයක්ද අවධාරණය කර ඇත.
සිවිල් පරිපාලන කටයුතු ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයන් සදහා විශ්‍රාමික හිටපු හමුදා නිලධාරීන් පත්කිරිම නොපිළිගන්නා බවත් උතුරු නැගෙනහිර පළාත්වල රදවා සිටින හමුදාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සදහා අඛණ්ඩව හඩනගන බවත් දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් තවදුරටත් අවධාරණය කර තිබේ.
යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබද සත්‍ය සොයාගත යුතු බවත් අතුරුදන් වූවන් සෙවීමේ සහ වන්දි ප්‍රදානය කිරීමේ කාර්යාලය නීත්‍යනුකූල අන්දමින් පිහිටුවිය යුතු බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළයුතු බවටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලකොට තිබේ.
ජීවනෝපාය අඩපණ වී සිටින පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ දුෂ්කරතාවන් හදුනාගෙන ඔවුන්ගේ ආර්ථික තත්වය ගොඩනැංවීමට කටයුතු කරන ලෙසත්, ගෘහ මූලික වැන්දඹු පවුල් සදහා සහන සැලසිය යුතු බවටත් උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් අරඹමින් එම පළාත්වල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හිමිකර දීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1, 34/1 සහ 40/1 යෝජනා මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජාතික සන්ධානය මූලික වශයෙන් අවධාරණය කර තිබේ.