වසර විස්සක් අබලන්ව තිබූ මෙරට ප්‍රධානතම කඩදාසි කර්මාන්තශාලාව වූ වාලච්චේන කඩදාසි කම්හලේ කටයුතු පසුගියදා යළි ඇරඹූවා.

ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් මුල්වී මෙරට දේශීය කර්මාන්තශාලා යළි ස්ථාපනය කිරීමේ නව රජයේ ප්‍රතිපත්තිය අනුවය.

විශේෂත්වය වන්නේ මෙම වාලච්චේන කම්හලේ යන්ත්‍ර පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් අබලි යකඩ සදහා විකිණීමට සුදානම් කර තිබූ ඒවා වීමය.

මේ අනුව 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලයට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ පවසනවා.

වාලච්චේන කඩදාසි කම්හලේ මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය සහ බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ප්‍රකාශ කළා.

එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත් එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍ර ද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඞ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ජූලි 30 වැනිදා කොළඹ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටොන් තිහක ප්‍රථම කඩදාසි තොගය අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.