ජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි දේශීය වරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබුණද, එකී ප්‍රතිපාදන තුළින් දේශීය සැපයුම්කරුවන්ට මෙන් ම සමාගම්වලට ප්‍රතිලාභ අත්කර ගැනීමට ඇති හැකියාව සීමිත බව නිරීක්ෂණය වී ඇත. කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ දේශීය සමාගම් සහ ව්‍යවසායකයින් විසින් සිය ව්‍යාපාරික කටයුතු සඳහා රජයේ සහාය වැඩි වශයෙන් අපේක්ෂා කරනු ලබයි. එම කරුණ ද සැලකිල්ලට ගනිමින්, රැකියා අවස්ථා ඇති කරමින් වැඩි අගය එකතු කිරීමක් කළ හැකි දේශීය කර්මාන්ත වශයෙන් හඳුනාගනු ලැබ ඇති ගෘහ භාණ්ඩ සහ උපකරණ, මෘදුකාංග හා දෘඩාංග සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පහත සඳහන් පරිදි දේශීය වරණයන් ලබා දීම සුදුසු බවට පෙනී ගොස් ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩා හා සේවා ප්‍රසම්පාදනය කිරීමේදී අවම වශයෙන් 51%ක හිමිකම ශ්‍රී ලාංකික පුරවැසියන් සතු සමාගම්, දේශීය සමාගම් වශයෙන් හඳුනාගෙන වසර 5ක කාලයක් සඳහා පහත සඳහන් පරිදි දේශීය වරණය සඳහා අවස්ථාව සලසා දීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i. දේශීය අගය එකතු කිරීම අවම වශයෙන් 50% ක් වන දේශීය නිෂ්පාදකයින් වෙතින් පමණක් කාර්යාලයීය ගෘහ භාණ්ඩ සහ උපකරණ අවශ්‍යතාවන් ප්‍රසම්පාදනය කිරීම.

ii. සියලුම මෘදුකාංග අවශ්‍යතා දේශීය සමාගම්වලින් පමණක් ප්‍රසම්පාදනය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම අපහසු වන්නේ නම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව පමණක් එවැනි මිල දී ගැනීම් දේශීය සමාගම් නොවන ආයතන වෙතින් සිදු කිරීම.

iii. රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය පරිගණක දෘඩාංගවලට අදාළ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සකස් කරනු ලබන අතර, කිසියම් ආයතනයක් 25%ක දේශීය අගය එකතු කිරීමක් සිදු කරනු ලබන්නේ නම් ප්‍රසම්පාදන ඇගයීම් ක්‍රියාවලියේදී එකී ආයතනය සඳහා 30%ක වරණයක් ලබා දීම.

iv. නිවාස, මාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන සහ මලාපවහන පද්ධති ඇතුළු සියලු ඉදි කිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දිය යුතු අතර, විදේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා උප කොන්ත්‍රාත් ලබා දෙන්නේ නම් එම කොන්ත්‍රාත්තුවල වටිනාකම තාවකාලික අරමුදල් රහිත කොන්ත්‍රාත් මිලෙන් 10%කට නොවැඩි විය යුතු වීම.

v. ඉහත දැක්වෙන අයුරින් කටයුතු කිරීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින් සංශෝධිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිකුත් කිරීම.