ජෝර්දානය තුළ නව්‍ය කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව එරට දෙවන අබ්දුල්ලා රජු ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුවෙන් රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ජෝර්දානයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,179 ක් වන අතර කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ 10 ක් පමණයි.

කොරෝනා ව්‍යාප්තිය අවම වීමත් සමග ජෝර්දානය තුළ පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට එරට රජය පියවර ගනු ලැබුවා.

විදේශීය සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ජෝර්දානයේ පෞද්ගලික රෝහල් යළි විවෘත කිරීමට තීරණය කෙරුණේ පසුගිය මාසයේදීයි.

ඉහළ සෞඛ්‍ය සේවාවක් පවතින බවට සැලකෙන ජෝර්දානයට වාර්ෂිකව ප‍්‍රතිකාර සඳහා පැමිණෙන පුද්ගලයින් ගණන ලක්ෂ 05 කට අධිකයි. එලෙස විදෙස් රටවල සිට ප‍්‍රතිකාර සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 කට අධික ආදායමක් ජෝර්දානයට හිමි වනවා.