“ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” හි නළු නිළියන් ප්‍රේක්ෂකයින් ප්‍රථම වරට මුණගැසී වසර 20 කට ආසන්න කාලයක් මේ වන විට ගත වී ඇත. මෙම කතා ත්‍රිත්වය නිකුත් වි වසර ගණනාවක් ගත වූවත් සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වු වඩාත්ම ආදරණීය හා සාර්ථක කතා මාලාවක් බවට පත් වී ඇත. අති සාර්ථක ලෙස තම භුමිකාවන් තුළින් ප්‍රෙක්ෂකයාට සමීප වු මෙහි රංගවේදීන් තවමත් සක්‍රීයව තම රංගන හැකියාවන් ප්‍රේක්ෂකයා හමුවේ තබයි.

• ගැලඩ්‍රියෙල්

ගැලඩ්රියෙල් බලවත් ය, ඇය පැහැදිලිවම තරමක් බුද්ධිමත්ය. ඇය පෘථිවියේ ශක්තිමත්ම ජීවීන්ගෙන් කෙනෙක් වන අතර ඇය වඩාත් රූමත් තැනැත්තියක් ලෙසද ච්ත්‍රපට මාලාවේ විස්තර කෙරේ. ඇය සතු බලය ඇයව “එල්ෆ්වරුන් අතරින් බලවත්ම හා සුන්දරම තැනැත්තා” සහ “එල්වන් කාන්තාවන් අතරින් ශ්‍රේෂ්ඨතම තැනැත්තා” ලෙස පෙන්වා දෙයි. කථා මාලාවේදී ගැලඩ්රියෙල් බල මුදු වල නිර්මාණය සහ ඉතිහාසය පැහැදිලි කරයි. එමෙන්ම ෆ්‍රෝඩෝට සහ සෙසු සාමාජිකයන්ට මඟපෙන්වීම සපයයි.

කේට් බ්ලැන්චෙට් – (ගැලඩ්‍රියෙල්) ඕස්ට්‍රේලියානු සම්භවයක් ඇති ජනප්‍රිය සම්මානනීය නිළියකි. ඇය මේ දක්වා චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ රූපවාහිනී කතා මාලා දුසිම් ගණනක රඟපා ඇති අතර, එම කාලය තුළ ඇය ඇකඩමි සම්මාන දෙකක් (The Aviator ච්ත්‍රපටයේ හි හොඳම සහය නිළිය ලෙසත්, හොඳම නිළිය ලෙස Blue Jasmine) දිනා ඇත. නාට්‍යමය භූමිකාවන් ගණනාවකට අමතරව, බ්ලැන්චෙට් Thor: Ragnarok, Cinderella, Ocean’s 8 හි ද පෙනී සිට ඇති අතර, මේ වන විට ග්ලර්මෝ ඩෙල් ටෝරෝ සමඟ Nightmare Alley චිත්රපටයේ වැඩ කරයි.

• ලෙගෝලාස්

“ලෝර්ඩ් ඔෆ් ද රින්ග්” හි ප්‍රධාන සාමාජිකයන් නව දෙනාගෙන් එක් අයෙකු වන සින්ඩරියන් එල්ෆ් ලෙගෝලාස්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හි ප්‍රභළ චරිතයක් විය. ලෙගෝලාස් යනු මිර්ක්වුඩ්හි කුමාරයා, පණිවිඩකරුවෙකු සහ ප්‍රධාන දුනුවායෙකි. ඔහුගේ ඇස් පෙනීම, සංවේදී ශ්‍රවණය සහ විශිෂ්ට දස්කම් දැක්වීම නිසා ලෙගෝලාස් කතා මාලාව පුරා කැපී පෙනේ.

ඕර්ලන්ඩෝ බ්ලූම් – ඕර්ලන්ඩෝ බ්ලූම් විසින් පණ දුන් ‘ලෙගෝලාස්’ චරිතය ඉතා ඉක්මනින් රසිකයන්ගේ ප්‍රියතමයා බවට පත්විය. මෙම අපූරු නළුවා නැවත අප දකින්නේ තවත් ජනප්‍රිය ච්ත්‍රපට මාලාවක් වු “පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්” කතා මාලාව සමඟ වන අතර එය බ්ලූම්ගේ තරු ආකර්ෂණය වැඩි කළේය. බ්ලූම්ගේ නවතම චිත්‍රපටය වන The Outpost නිරිතදිග සිනමා උළෙල මගින් 2020 වසරේ තිරගත වීමට නියමිතව තිබුණද, කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් එය තිරගත කිරීම අවලංගු කරන ලදි.

• ඇරගොන්

“ඔහු ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” හි ප්‍රධාන චරිතයකි. අරගොන්ව මුලින්ම හඳුන්වා දුන්නේ ස්ට්‍රයිඩර් යන නමිනි. ඔහු අවසානයේ ගොන්ඩෝර්හි රජු වන ඉසිල්ඩූර්ගේ උරුමක්කාරයා බව හෙළි විය. කතා මාලාව පුරාම ඔහු විශිෂ්ට රණශූරයෙකු බවත් විශ්වාසවන්ත රජෙකු බවත් පෙන්වා දෙයි.

විග්ගෝ මෝර්ටෙන්සන් – විග්ගෝගේ සුපිරි රංගන කුසලතාවයෙන් ජීවය දුන් ච්ත්‍රපට රාශියක් ඇත. ඔහු සම්මානනීය දක්ෂ නළුවෙකු වන අතර Green Book (2018) ච්ත්‍රපටය සඳහා හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානයට 2019 දී නිර්දේශ විය. මේ වන විට ඔහු ච්ත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසද තම සිනමා ගමන ආරම්භ කොට අවසන්ය.

• අර්වන්

ප්‍රබල එල්වන් නායක එල්රොන්ඩ්ගේ දියණිය වන අර්වෙන්, කතා මාලා ත්‍රිත්වය පුරාම තමා ඉතා දක්ෂ බව ඔප්පු කරයි. ඇය බොහෝ විට හැඳින්වූයේ අර්වන් උන්ඩමියෙල් හෝ “ඊවන්ස්ටාර්” යනුවෙනි. යුද්ධයෙන් පසු දෙවන ඇරගෝර්න් රජු සමඟ විවාහ විමෙන් පසු ඇය නැවත එකතු වු ආනර් සහ ගොන්ඩෝර් රාජධානියේ රැජින බවට පත් වූවාය. ඇය නැවත එල්ෆ්වරුන් සහ මිනිසුන් සාමකාමී ප්‍රේමයෙන් හා සමගියෙන් එක්සත් කළාය.

ලිව් ටයිලර් – පීටර් ජැක්සන්ගේ මෙම කතා ත්‍රිත්වයේ ඇයගේ භූමිකාව සම්පූර්ණ කළ දා සිට, ටයිලර් ඇගේ වෘත්තීය ජීවිතය තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇති අතර, The Strangers, The Incredible Hulk, සහ Ad Astra, වැනි ජනප්‍රිය චිත්‍රපටවල ද, The Leftovers සහ Harlots වැනි රූපවාහිනී කතා මාලාවල ද පෙනී සිටියේය. ඇය මේ වන විට 9-1-1: Lone Star රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරයි.

• ගන්ඩල්ෆ්

ගන්ඩල්ෆ් යනු ශ්‍රේෂ්ඨතම මායාකරුවෙකි. විශ්මිත බලයන් හා බුද්ධිමත් බවින් පිරිපුන් ගන්ඩල්ෆ් අඳුරේ ස්වාමියාට එරෙහිව කටයුතු කළ මහා බලවේගයක් විය. ඔහු නිසැකයෙන්ම කතා මාලාවේ සතුරන්ට එරෙහිව තිබෙන විශාළතම උවදුර බව පෙනෙයි.

ඉයන් මැකලන් – ‘ගන්ඩල්ෆ්’ චරිතය පණ පෙව් ඉයන් මැකලන් හොලිවුඩ් සිනමාවේ අති දක්ෂ ප්‍රවීණ රංගනවේදියකු බව ඔබ නොදන්නවා විය නොහැකිය. 81 හැවිරිදි වියේ පසු වන මෙම ජේෂ්ඨ නළුවා කිසිවිටෙකත් සිනමාවෙන් විවේකයක් ගත්තේ නැත. The Good Liar සහ Cats වැනි 2019 වසරේ නිකුත් වු ච්ත්‍රපට දෙකකම ඔහු තම රංගන දායකත්වය ලබා දී තිබේ. එමෙන්ම ඔහු තවත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් කිහිපයකින්ම ප්‍රේක්ෂකයා හමුවේ නිතර පෙනී සිටියි.

• ෆ්‍රෝඩෝ බැගින්ස්

“ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” කතා ත්‍රිත්වයේ අවසාන මුද්ද දරන්නා සහ වීරයා වන ෆ්‍රෝඩෝ බැගින්ස්, ලොව බුද්ධිමත් ජීවීන් බලාපොරොත්තු වූවාට වඩා විශාල බලයක් සහ ආත්ම දමනයක් ඇති බව පෙන්නුම් කරයි.

එලයිජා වුඩ් – වුඩ් හොලිවුඩයේ තරමක් ජනප්‍රිය තරුවක් බව නොරහසකි. “ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්” කථා මාලාවේ ‘ෆ්‍රෝඩෝ බැගින්ස්’ ලෙස පෙනී සිටීමට පෙර පවා වුඩ් හොලිවුඩයේ ප්‍රධාන ළමා නළුවෙකු විය. මෑතකදී, වුඩ් ත්‍රාසජනක චිත්‍රපටයක් වු Come To Daddy (2019) හරහා ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණියේය.

• සැම්වයිස් ගැම්ගී

සෑම් යනු මෙම කතාවේ ප්‍රබල වීරයෙකි. ඔහුගේ චරිතය සමස්ත කතාවේ විශාලතම හා දීප්තිමත්ම ඉස්මතු කිරීමකි. ඔහුගේ මිතුරාට ඔහු දක්වන ගැඹුරු, පක්ෂපාතිත්වය ඔහුගේ අභ්‍යන්තර ධෛර්ය පිළිබඳව පෙන්වා දෙන ඇදහිය නොහැකි සාක්ෂියක් වන අතර, ෆ්‍රෝඩෝව ජීවතුන් අතර තබා ගැනීමට ඔහු කළ පරිත්‍යාගශීලී උත්සාහයන් බිය උපදවන සුළුය.

ශෝන් ඇස්ටින් – ඇස්ටින් වසර ගණනාවක් තිස්සේ කාර්යබහුල වී සිටි අතර, මෑතකදී යළි වැඩි අවදානයක් දිනා ගත්තේ ජනප්‍රිය කතා මාලාවක් වන ” The Stranger Things” හි ‘බොබ් නිව්බි’ ලෙස කල භූමිකාවක නිසාය. ඇස්ටින් මේ වසරේදී නිර්මාණය වන තවත් ත්‍රාසජනක ච්ත්‍රපටයක තම රංගන දායකත්වය ලබා දීමට සූදානම්ය.

• එල්රොන්ඩ් රජු

කතා මාලාවේ සිටින බුද්ධිමත්ම හා බලවත්ම පාලකයෙකු වන එල්රොන්ඩ් දිගු කලක් තිස්සේ අඳුරට අධිපති සවුරෝන්ගේ විරුද්ධවාදියෙකි. එබැවින් බල මුද්ද නැවත මතු වු විට එයට කළ යුත්තේ කුමක් දැයි තීරණය කිරීම සඳහා කවුන්සිලයක් කැඳවන්නේ එල්රොන්ඩ් ය. රණශූරයෙකු ලෙස ගත කළ කාලයේ ඔහු මඳක් පිටුපසින් පෙනෙන්නට තිබුණද, එල්රොන්ඩ් සටන්කරුවෙකු ලෙස අවතක්සේරු නොකළ යුතුය. ඔහු ‘රින්ග් ඔෆ් එයාර්’ දරන්නා ද වේ, එය ඔහුට අමතර හැකියාවන් රාශියක් ලබා දෙන බව කියනු ලැබේ.

හියුගෝ වීවිං – ‘එල්රොන්ඩ්’ චරිතය පිටුපස සිටින මිනිසා වන හියුගෝ වීවිං බොහෝ දුරට ප්‍රසිද්ධ වන්නේ The Matrix සහ එහි අනුප්‍රාප්තික චිත්‍රපටවල නියෝජිත ස්මිත්ගේ චරිතය සඳහා ය. එමෙන්ම මොහු V For Vendetta සහ Captain America: The First Avenger යන චිත්‍රපටවල ද පෙනී සිටියේය. මොහුගේ චිත්‍රපට තුනක් මෙම වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතය: Measure For Measure, Loveland, සහ Lone Wolf යන මෙම ච්ත්‍රපට 3ම තවමත් පශ්චාත් නිෂ්පාදන කටයුතු වල යෙදී සිටිති.

• ගිම්ලි

කුරුමිටි රාජධානියේ ග්ලොයින්ගේ පුත් ගිම්ලි, “ෆෙලෝෂිප් ඔෆ් ද රින්ග්” හි සාමාජිකයෙකි. රළු බාහිර පෙනුමක් ඇති නමුත් මෘදු අභ්‍යන්තරයක් ඇති ඔහු කිසි විටෙකත් සටනකදි පසුබසින්නේ නැත.

ජෝන් ඩේව්ස් – “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” කතා මාලාවෙන් පසු ඩේව්ස් ච්ත්‍රපට දුසිම් ගණනක පෙනී සිටියේය. ඒ අතරින් Indiana Jones And The Last Crusade සහ Aquaman (2018) වැනි ච්ත්‍රපට වල ඔහුගේ රංගනය කැපී පෙනේ.

• Éowyn

Éowyn of Rohan යනු මෙම කතා මාලාවේ වඩාත්ම ආදරණීය චරිතයකි – විශේෂයෙන්, සමහර විට, කාන්තාවන් සහ ගැහැනු ළමයින්, බොහෝ දෙනෙක් ඇය තුළ අගය කළ යුතු, අනුකරණය කළ යුතු හා ආදරය කළ යුතු දෙයක් දකිති. ඇය පෙලෙනෝර් ෆීල්ඩ්ස් සටනේදී නාස්ගුල්හී අධිපති වන ඇන්ග්මාර්හි මායාකාර රජු මරා දමයි. ඔහුව මිනිසෙකු විසින් මරා නොදමන බවට මැක්බත් අනාවැකිය මෙහිදී සත්‍ය වේ.

මිරැන්ඩා ඔටෝ – මෙම භූමිකාව පිටුපස සිටින ඕස්ට්‍රේලියානු නිළිය වන මිරැන්ඩා ඔටෝ, ගෙවුණු වසර කිහිපය තුළ තරමක් කාර්යබහුල වී ඇති අතර, මෑතකදී ජනප්‍රිය වු නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් වන Chilling Adventures Of Sabrina කතා මාලාවේ සෙල්ඩාගේ චරිතය නිරූපණය කරයි.

• මෙරියඩොක් “මෙරි”

මෙරි ෆ්‍රෝඩෝගේ නෑදෑ සහෝදරයෙකු සහ සමීපතම මිතුරෙකි. එමෙන්ම ඔහු මෙම කතා ත්‍රිත්වයේ සහචරයින් නව දෙනාගෙන් එක් අයෙකි. මෙරි තම මිතුරන් වෙනුවෙන් පෙනී සිටිමට කිසි විටෙක පසුබට නොවන ධෛර්යවන්ත ශක්තිමත් පුද්ගලයෙකි.

ඩොමිනික් මොනාගන් – “ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” හරහා කීර්තිය අත්කර ගත් සාර්ථක නළුවෙකි. චිත‍්‍රපට තුනේම ආදරණීය හා හාස්‍යජනක “මෙරි” බ්රැන්ඩිබක් ලෙස පෙනී සිටි මොනාගන්, බිලී බොයිඩ් සමඟ එක්ව කතා ත්‍රිත්වයේ අඳුරුතම අවස්ථාවන්ට බෙහෙවින් අවශ්ය විකට කාල (Comic Timing) සහනයක් ගෙන දුන්නේය. “ද රිටර්න් ඔෆ් ද කිං” නිකුතුවෙන් පසු වසර කිහිපය තුළ මොනාගන් Lost, X-Men Origins: Wolverine සහ Star Wars: The Rise Of Skywalker වැනි අති සාර්ථක චිත්‍රපටවල රඟපා ඇත. මේ වන විට ඔහු පරිසරය පිළිබඳව වාර්ථා වැඩසටහනක් මෙහෙයවනු ලබයි.

• පිපින්

පෙරෙග්‍රින් ටූක් හෙවත් ‘පිපින්’ ඔහු තම මිතුරා සහ සහෝදරයා වන මෙරි බ්‍රැන්ඩිබක් සමඟ සමීපව බැඳී සිටින අතර කතාවේ බොහෝ විට දෙදෙනා එකට සිටිති. පිපින්, මෙරි සහ ඔවුන්ගේ මිතුරා වන ෆ්‍රෝඩෝ බැගින්ස් සමඟ එක් වී බල මුදුව විනාශ කිරීමේ කණ්ඩායමේ ප්‍රයත්නයට එක් වෙයි. පිපින්ගේ අහිංසකත්වය සැම විටම කාගේත් සිත් පැහැර ගැනීමට සමත් වේ.

මෙම සුප්‍රසිද්ධ චරිතය පිටුපස සිටින නළුවා වන බිලී බොයිඩ්, “ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” හි පෙනී සිටීමෙන් පසු වසර ගණනාවක් තුළ සාර්ථක රංගන හා සංගීත දිවියක් ගත කර ඇති අතර, පසුව Outlander ජනප්‍රිය කතා මාලාවේ එක් වරක් පමණක් රංගනයෙන් දායක විය.

Shakya De Silva

Advertisment