මොරගහකන්ද, කළු ගඟ මහවැලි F කලාපය කාබනික කෘෂිකර්ම නිෂ්පාදන සිදු කරන තිරසාර සංවර්ධන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් තිබේ.
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

ඒ අනුව එම කලාපයේ කෘෂි රසායනික, කෘමිනාශකවලින් තොර කාබනික එළවළු, පළතුරු හා අතිරේක භෝග වගාව ප්‍රවර්ධනය කෙරෙනු ඇති.

ඊට අමතරව ගල්වැටි, ජෛව වැටි පාංශු සංරක්ෂණ ක්‍රම භාවිතා කර තිරසාර පාංශු භාවිතය තහවුරු කළ යුතුය.

වාරි ජලය සංරක්ෂණය කිරීම සහ ජලය කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා ජල සංරක්ෂණ ක්‍රම ප්‍රවර්ධනය ද මේ යටතේ සිදු වේ.

භෝග වගාව හා ඒකාබද්ධව කුකුළු පාලනය, කිරිගව පාලනය, එළුගව පාලනය හා තෘණ වගාව ඇතුළත් සමෝධාන ගොවිපළ ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට ද නියමිතය.

භෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර එම කලාපය තුළම නිෂ්පාදනය කිරීම ද තව ත් සැලසුමකි.

එතෙක් ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර රජය විසින් සපයනු ලැබේ.

එම කලාපයේ කාබනික නිෂ්පාදන සහතික කර සෘජු නිෂ්පාදන මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙස දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එම නිෂ්පාදන, මහවැලි නකල්ස් කාබනික නිෂ්පාදන සන්නාමයෙන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඌන භාවිත පළතුරු භෝග ප්‍රවර්ධන තුළින් එම භෝග සංරක්ෂණය කිරීම මෙන්ම මී මැසි පාලනය සිදු කිරීමට නියමිත වේ.

එහෙත් එම කලාපය තුළ පලිබෝධනාශක, කෘමිනාශක සහ වල්නාශක අලෙවි සැල් පවත්වාගෙන යාමට අවසර හිමිවන්නේ නැත.

එම කලාපය කෘෂි සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කෙරෙන්නේ වගාව පිළිබඳ අධ්‍යාපන දැනුම ද ලබාගත හැකි ආකාරයෙනි.

එම කලාපයේ වාරි ජලය, විශේෂ අනුමැතියකින් තොරව කිසිදු කාර්මික කටයුත්තක් සඳහා ලබානොදෙනු ඇති.

අදාළ ගොවි සංවිධාන සඳහා අවශ්‍ය කෘෂිකාර්මික උපදෙස් සහ නිර්දේශ ලබාදීමට මහවැලි අධිකාරියෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායෙන් කළමනාකරණ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතය.