පොතුවිල් මුහුදු මහ විහාරයේ අනවසරයෙන් පදිංචි වී සිටි 13 දෙනකුට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගොනුකළ නඩුවකට අදාළ මැනුම් කටයුතුවල වාර්තාව ලැබෙන තුරු එම විහාරයට අයත් ඉඩම් මැනීම නවත්වන්නැයි පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22දා) නියෝග කළේය.

පොතුවිල් මුහුදු මහ විහාරයේ ඉඩම් මැනීමේදී ඇතිවූ ආරවුල හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නඩුවක් ගොනුකර තිබූ අතර ඊයේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ පොතුවිල් මහෙස්ත්‍රාත් විනිසුරු එම්.එච්. මොහොමඩ් රාබි මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිෂාම් කාරියප්පර්, අරිප් සම්සුදීන්, මොහොමඩ් කදීර් යන නීතිඥයෝ පෙනී සිටියහ.

මුහුදු මහ විහාරයට අයත් බව කියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් අක්කර 30ක ප්‍රමාණය පමණක් එම ආයතනයට මැනීමේ හැකියාව ඇති බවත් එම මැනීම් කටයුතුවලින් පසුව ඒ පිළිබඳව ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී නීතිඥ නිෂාම් කාරියප්පර් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මුහුදු මහ විහාරයට අයත් බව කියන ඉඩම් අක්කර 30ක ප්‍රමාණයේ පුද්ගලයන් 13 දෙනකු පදිංචි වී ඇති බවද ඔවුන්ට ජයභූමි ඉඩම් බලපත්‍ර ලබාදී ඇති බැවින් ඔවුන්ගේ පදිංචිය නීත්‍යනුකූල බවද කාරියප්පර් මහතා අධිකරණය වෙත පෙන්වා දුන්නේය.

මෙම කියන ඉඩම් අක්කර 30 අනවසරයෙන් පදිංචි වී එහි ගොඩනැඟිලි ඉදිකර ඇති බවට චෝදනා එල්ල වන පදිංචිකරුවන් 13 දෙනා ඉහත කී ඉඩම් සීමාව තුළ පදිංචි නැති බවට සනාථ වුවහොත් එම ඉදිකිරීම අඛණ්ඩව සිදුකිරීමට අවසර ලබාදිය යුතු යැයිද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් හෝ පොලිසියේ නිලධාරීන් නඩුව අවසන් වන තෙක් ඉහත කී පුද්ගලයන් පදිංචි ප්‍රදේශයට ගොස් ඔවුන්ට තර්ජන ගර්ජන සිදු නොකළ යුතු යැයිද කාරියප්පර් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පොලිසියද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නඩුව අවසන් වන තෙක් ඉහත කී පුද්ගලයන් පදිංචි ප්‍රදේශයට ගොස් ඔවුන්ට තර්ජන ගර්ජන සිදු නොකළ යුතු යැයිද කාරියප්පර් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය අවසන් වන තෙක් ආරවුල් සහගත බව කියන ඉඩම්වල පදිංචිකරුවන්ට තර්ජන කිරීම්, බිය වැද්දීම් සිදු නොකරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා පොලිසියට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව මෙම නඩුව ලබන අගෝස්තු මස 5දා විභාගයට ගැනීමට නියම කෙරුණද එදින මැතිවරණය පැවැත්වෙන බව පෙන්වා දීමෙන් පසුව මෙම නඩුව නැවත කැඳවන දිනය පසුව සමාලෝචනය කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.

ලක්ෂ්මි ජයකොඩි, දිගාමඬුල්ල – හසිනි සචින්තා ඉඳුවරී

Advertisment