අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුහුණු පොතේ අපූරු සටහනක් පල කර තිබෙනවා. මේ එම සටහනයි

2005 මම ජනාධිපති වෙනකොට මේ රට තනි රටක් ලෙස තවදුරටත් පවතිනවා ද නැද්ද යන්න සංවාදයේ තාර්කික අවසානයට ඇවිල්ල තිබුණෙ. අවුරුදු 2000කට වඩා පැරණි අඩම්බරකාර ඉතිහාසයක් තිබුණ අපේ රට බිත්තියට ම හේත්තු කරල තිබුනෙ.

පිහියෙන් අනින්න විතරයි තිබුණෙ. මට ගොඩාක් විකල්ප ඉතිරි වෙලා තිබු‍නෙ නැහැ. හැම පැත්තෙන්ම වට කරල තිබුනෙ. ආර්ථික වශයෙන් රට අඩපණ කරල. සාමාජීය වශයෙන් චිත්ත ධෛර්ය බිඳල. ජාත්‍යන්තර වශයෙන් කොටු කරල. මේ වගේ වෙලාවක නායකයෙකු ලෙස තීරණ ගන්නෙ කොහොම ද කියන එක ගැන කිසිම පාඩම් පොතක ලියල තිබුනෙ නැහැ.

මං හිතුවා ඒ පාඩම තියෙන්නෙ මං තුලමයි කියල.

මට මතක් වුනා දවසක් මං අනුරාධපුර ශ්‍රී මහ බෝධිය වඳින්න ගිය වෙලාවෙ බෝධියෙන් ගැලවිලා මං ලඟට ම පාවෙලා ආපු බෝ කොලය. ඒක මං ඒ වන විටත් ගෙදර ගෙනත් සුරක්ෂිතව තියාගෙන සිටියා. ඒත් එක්කම මට ලංකාවේ මුළු ඉතිහාසයම එක පාරම මගේ ඇස් ඉස්සරහින් විදුලි වේගයෙන් චිත්‍රපටියක දර්ශන වගේ යන්න පටන් ගත්තා.

මං හිතුවා මම අලුත් මිනිහෙක් වෙලා කියල. රටේ නායකයා ලෙස මට ජීවයක් ආවා. මගේ ඉදිරි දර්ශනය විය යුත්තේ මේ ඉතිහාසය හා එහි පාඩම් නොවේ ද කියා මට කල්පනා වුනා. මේ වෙනකල් නිදහසින් පස්සේ කිසිම නායකයෙක් අපේ ඉතිහාසයෙන් ඉගෙන ගෙන තිබුණෙ නැති එකත් මට ඒ වෙලාවෙ තමයි කල්පනා වුනේ. මම මම ම වුනා. අන්න එහෙම සිදු වූ පරිවර්තනය තමා අද ඔබ ජීවත් වෙන රට ඔබට ලැබෙන්න පාදක වෙන්නෙ. එසේ නොවන්නට ඔබේත් මගේත් ඉරණම බොහෝ වෙනස් වෙන්න තිබුණා.

දැන් අපේ මාතෘ භුමිය නව ආකල්ප වලින් හා නව දැක්මකින් යුත් නව ගමනකට පන්නරය ලබා ගෙන තිබෙනවා.

දිනෙන් දින පරිවර්තනය වන ලෝකය ඉදිරියේ මාතෘ භුමිය ඔසවා තැබීමට නම් අප සියලු දෙනා අලුතින් සිතිය යුතු අතර, නව ආකල්ප වලට ඉඩක් දිය යුතු බව මා තදින් විශ්වාස තිබෙනවා.

මුළු රටම නව ගමනකට සැරසෙන මෙම මොහොතෙහි, අප සැම එකට එකතු වී සෞභාග්‍යමත් දේශයක් ගොඩ නගමු!