බූස්ස බන්ධනාගාරයේ සේවය කරන උප ප්‍රධාන ජේලර්වරයකුගේ නිවෙසේ ඉදිරිපස ‍දොර අසල ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ පහක් කිසියම් පුද්ගලයකු විසින් තබා ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රත්ගම පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එකී ජීව උණ්ඩ සහිත බෑගය තුළ ඉහත කී උප ප්‍රධාන ජේලර්වරයාගේ නම සිල්වා යනුවෙන් සඳහන් කර තිබී ඇති බවද ඒ පිළිබඳව විමර්ශනය සිදු කරන නිලධාරීහු පවසනවා.

ඉහත කී ජේලර්වරයා ඊයේ (15දා) පෙරවරු 6.30ට පමණ බූස්ස ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ ඉදිරිපස ‍දොර විවෘත කරන විට එකී ජීව උණ්ඩ පහ දැක ඔහු ඒ විගසම රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඒ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

පසුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානගේ මහතාගේ උපදෙස් මත එහි නිලධාරීන් පිරිසක් නිල සුනඛයකු හා ඇඟිලි සලකුණු පරීක්ෂක නිලධාරියකුද සමඟ එම ස්ථානයට ගොස් පරීක්ෂා කර එකී ජීව උණ්ඩ පහ පොලිස් භාරයට ගෙන තිබෙනවා.තමන්ට කිසිදු සතුරෙක් නොමැති බව මෙම ජේලර්වරයා පොලිසියට පවසා ඇති අතර මෙවැනි උණ්ඩ කීපයක් ඔහුගේ නිවෙස ඉදිරිපිට තැබුවේ කවුද? ඒ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව විමර්ශනයක් සිදු කරන බවද එකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන නිලධාරීහු පවසනවා.